ලංකා ගුරු සංගමයේ 65 වෙනි සම්මේලනයේ යෝජනා

ලංකා ගුරු සංගමයේ 65 වෙනි සම්මේලනයේ යෝජනා

ලංකා ගුරු සංගමයේ 65වන සංවත්සරය අනුරාධපුර,මාධ්‍ය විද්‍යාල ශාලාවේදී පසුගිය (සැප්තැම්බර් 23) දා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

එහිදී, ලංකා ගුරු සංගමය විසින් සම්මේලන යෝජනා හා ඉල්ලීම් පහත පරිදි වේ.

■          ගුරු විදුහල්පති සහ ගුරු උපදේශක සේවාවල වැටුප් අරගලයෙන් 97 සිට පැවති සමස්ත වැටුප් විෂමතාව ඉවත් කිරීමට ඉල්ලීම් කළ ද පැවති ගුරු අරගලය හමුවේ දිනාගත හැකිවූයේ ඉන් 1/3 කට ආසන්න කොටසක් පමණි. සමස්ත වැටුප් විෂමතාව ඉවත් කරන තුරු අරගලය අවසන් නොවන අතර, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ගුරු විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු සූදානම් කිරීමේ වැඩපිළිවලක් සැකසිය  යුතු බවට මෙම සම්මේලනය යෝජනා කර සිටී. 

■          අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කළ යුතු බව පිළිගෙන ඇති පසුබිමක  ඒ සඳහා වෙන් කරන මුදල දිගින් දිගටම ආණ්ඩුව විසින් කප්පාදු කරමින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය කරා උපක්‍රමශීලීව ගමන් කරමින් සිටී. එසේම වර්තමාන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) ණය ලබාදීමේදී රාජ්‍ය දේපළ විකිණීම, රාජ්‍ය සේවය පටු කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීම තුළ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවා අහෝසිකර දැමීමට සූදානමින් සිටී. එසේම ජනවරමක් නැති රජයකට එවැනි තීන්දුවක් ගැනීමට බලයක් නැත. ජන අභිලාෂයන්ට පටහැනි මෙම ක්‍රියාවන්ට එරෙහිව වැඩකරන පන්තිය, ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සියලු සංවිධාන සමග ඒකාබද්ධව කටයුතු කළ යුතු බව මෙම සම්මේලනය යෝජනා කර සිටී.

■          ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට පත් කළ කැබිනට් අනු කාරක සභාව විසින් යෝජනා කර ඇති පරිදි විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට අමරතව ඇති උසස්වීම්, වැටුප අඩුවීම, තීරුබදු රහිත වාහන බලපත් සම්බන්ධ ගැටලුව, දීමනා, මාණ්ඩලික සේවය පිළිබඳ ගැටලු ඇතුළු සියලු ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහාත්, ගුරු සේවයේ වැටුප් ගැටලුවට අමතරව ඇමති අනු කමිටුව සඳහන් කර ඇති ගුරු-විදුහල්පති සේවාවල වෙනත් ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහාත් වහා කමිටු පත් කොට එම කමිටු මගින් මාස 6 ක් ඇතුළත විසඳුම් ලබාදීමට යෝජනා වුවද මේ දක්වා එම ක්‍රියාමාර්ග ගෙන නොමැත. ඒ සඳහා බලකෙරෙන වැඩපිළිවෙලක් සැකසීමට මෙම සම්මේලනය යෝජනා කර සිටී.

■          ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් 2016 සිට 2020 වසර දක්වා විශ්‍රාම ගන්නා ලද විශ්‍රාමිකයන්ට විශ්‍රාම ප්‍රදාන පත්‍රයේ සඳහන් වැටුප ගෙවීම නතර කිරීමටත්,  වර්තමානයේ විශ්‍රාම ගන්නා නිලධාරීන්ගෙන් අයකරගත් වැන්දඹු අනත්දරු අරමුදල් දායකත්වයට අදාළ තොරතුරු ගෙනඒමට බලකරමින් සිදුකරන පීඩාවටත්, මේ වන විට විශ්‍රාම ගිය විශ්‍රාමිකයින් 20,000 කට ආසන්න පිරිසකට විශ්‍රාම පරිතෝෂිත දීමනා ලබා නොදීමටත් විරෝධය පළ කරන මෙම සම්මේලනය,  පීඩාවකින් තොරව විශ්‍රාම වැටුප් ලබාගැනීමටත්,  විශ්‍රාම වැටුප් අයිතිය තහවුරු කර ගැනීමටත් රජයට බලකළ යුතු බවට යෝජනා කර සිටී.

■          විදුහල්පති සේවයේ උසස්වීම් ලබාගැනීමේදී පාසල් කළමනාකරණ ඩිප්ලෝමා (DSM), පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමාව (PGDEM) ඇතුළු පාඨමාලා සම්පූර්ණ කළ යුතු අතර, මේ සඳහා අවස්ථාවන් සීමාසහිත වීම සහ ඒ සඳහා අය කරන ගාස්තු ඉහළ තත්වයක තිබීම තුළ සමස්ත විදුහල්පතිවරු බරපතල පීඩාවකට පත්ව ඇත. එසේම ගුරුවරු සඳහා පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා, පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ද අවස්ථා සීමාසහිත වීම සහ අයකරන ගාස්තු ඉහළ තත්වයක පැවතීම තුළ මතුවී ඇති ගැටලුවලට පිළියමක් ලෙස එම පාඨමාලා නොමිලේ ලබාදීමටත්, ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමටත්, මේ වන විට සිදු කරමින් පවතින මාර්ගගත පාඨමාලාවල පීඩාකාරී භාවය නරත කිරීමටත් බලකර සිටීමට මෙම සම්මේ ලනය යෝජනා කර සිටී.

■          මේ වන විට රටේ බොහෝ පළාත්වල අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් අවශ්‍යතාවයෙන් අඩකටත් අඩු ප්‍රමාණයකින් පරිපාලන කටයුතු මෙහෙයවයි. මේ නිසා විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපන පරිපාලන කටයුතු අකාර්යක්ෂම වී ඇති අතර, බොහෝ තනතුරු සඳහා අවිධිමත්ව දේශපාලන හිතවතුන් පත්කර සිටිති. මේ තත්වයට අත්‍යාවශ්‍යම විසඳුම මේ වන විට ගැසට් කර ඇති අධ්‍යාපන පරිපාලන සේවා පුරප්පාඩු 400 සඳහා පවත්වන ලද විභාගයට අනුව විධිමත්ව සම්මුඛ පරීක්ෂණ පවත්වා කඩිනමින් පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට ආණ්ඩුවට බල කිරීමට මෙම සම්මේලනය යෝජනා කර සිටී.  

■          අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවන ළමා අපයෝජනයන්ට දැඩි විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය ළමුන්ගේ ආරක්ෂාව පද්ධතිය තුළ තහවුරු කිරීමේ වගකීම ගුරු සහ විදුහල්පතිවරුන්ට ඇති බව අවධාරණය කරන අතර, ළමා අපයෝජනයන්ට එරෙහිව දැඩි පියවර ගතයුතු බවත්, පාසල්වල උපදේශනය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් සකස් විය යුතු බවත්, 2016 නිකුත් කර ඇති පාසල් ළමුන්ට පීඩාකාරී වන ලෙස දඬුවම් කිරීම වැලැක්වීමට අදාළ චක්‍රලේඛ පිළිබඳ ගුරුවරු දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට බලකළ යුතු බවත්, ‘අපේ 7 පොත’ වැනි ළමුන් දැනුවත් කිරීමේ ක්‍රියාවලියන්ට වර්ගවාදී අකුල් හෙළීම මත නතර කිරීම වෙනුවට එම පොත නිකුත් කළ යුතු බව ද යෝජනා කර සිටී.

■          2005/1 දරණ අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛය පදනම් කරගෙන 2005 වර්ෂයේ සිදු කරන ලද පාසල් වර්ගීකරණයට අනුව 2006/44 දරණ චක්‍රලේඛය මගින් 2006.10.17 දින සිට අති දුෂ්කර පාසල්වල ගුරුවරුන්ට රු.2500/- ක් දීමනාවක් ද,  දුෂ්කර පාසල්වල ගුරුවරුන්ට රු. 1500/- දීමනාවක් ද ගෙවනු ලැබේ. මෙම දීමනාව මීට වසර 11 කට පෙර පැවති වැටුප් පදනම් කරගෙන තීරණය කරන ලද්දකි. වර්තමානයට ගැලපෙන පරිදි 3/2016 වැටුප් චක්‍රලේඛයේ වැටුප්තලවලට ගලපා එම දීමනාව ඉහළ දැමිය යුතු අතර, මේ වන විට වයඹ පළාත් සභාව නව පාසල් වර්ගීකරණයක් සිදුකොට දුෂ්කර දීමනාව කප්පාදු කිරීමට විරෝධය පළ කිරීමත්, සේවාස්ථ සැසි ඇතුළු ගුරුවරු සහ විදුහල්පතිවරු කැඳවන සියලු රාජකාරි කටයුතුවලට 3/2016 වැටුප් චක්‍රලේඛය පදනම් කරගෙන සංයුක්ත දීමනා හා ගමන් වියදම් ලබාදිය යුතු බවත්, ක්‍රීඩා හා සෞන්දර්ය ගුරුවරු විශේෂ සේවයක් කිරීමේදී ඔවුන්ට විශේෂ දීමනාවක් ගෙවිය යුතු බවත් මෙම සම්මේලනය යෝජනා කර සිටී.

■          සංහිඳියාව, සංක්‍රාන්ති යුක්තිය වචනයට පමණක් සීමාකොට උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම ප්‍රමාද කරන අතර, එම ප්‍රදේශයන්හි සිදු වූ ඝාතනයන්, අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් උතුරේ මව්වරු ගෙනයන උද්ඝෝෂණයට දින 2000 කට වැඩි කාලයක් ගත වී තිබියදීත් මේ දක්වා විසඳුම් නොදීම, ජනතාවගේ ඉඩම් ද තවමත් මුදාහැර නැති තත්වයක එම ජනතාව ඒ සම්බන්ධයෙන් කරන අඛණ්ඩ උද්ඝෝෂණයන්ට ලංකා ගුරු සංගමය සහය පළ කර සිටී. දේශපාලන සිරකරුවන් 46 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තීරණ නොගෙන වසර ගණන් රඳවාගෙන සිටීමට විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය එම ප්‍රදේශවල අධ්‍යාපනය සම්බන්ධ අවධානය වැඩි කරන ලෙසත්, මානව හා භෞතික සම්පත්වල හිඟයන්ට විසඳුම් ලබාදෙන ලෙසත් යෝජනා කර සිටී.

■          පසුගිය වසර ගණනාවක කාලයක් තුළ ගුරු සේවයට ගුරුවරු බඳවා නොගැනීම හේතුවෙන් රට තුළ 30,000 ක පමණ ගුරු හිඟයක් නිර්මාණය වී ඇත. මේ නිසා වතු පාසල්, ග්‍රාමීය පාසල් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති අතර, රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සීමා කිරීම හේතුවෙන් මේ තත්වය තවදුරටත් උග්‍රවනු ඇත. ඒ අනුව වරස ගණනාවක් තිස්සේ පවතින ගුරු හිඟය පියවීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස මෙම සම්මේලනය යෝජනා කර සිටී.                                         

■          ගොවි ජනතාව මුහුණු දී ඇති පොහොර අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසත්, ගොවි නිෂ්පාදනයන් සාධාරණව අලෙවි කර ගැනීමට පවතින බාධක ඉවත් කරන ලෙසත්, ධීවර හා වතු ක්ෂේත්‍රයේ ගැටළුවලට පිළියම් යොදන ලෙසත්, වතුකරයේ බරපතල ලෙස කඩා වැටී ඇති අධ්‍යාපනය නංවාලීමට විශේෂ අවධානය යොමු කරන ලෙසත්, පෞද්ගලික අංශයේ මෑන් පවර් ක්‍රමය හරහා ශ්‍රම සූරාකෑම නතර කරන ලෙසත්, විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවයන්ට පිළියම් යොදන ලෙසත්, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සංවිධානය වීමේ අයිතියට තිබෙන බාධක ඉවත් කරන ලෙසත්, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීම හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයට පිළියම් යොදන ලෙසත් මෙම සම්මේලනය බලකර සිටින අතර, මෙම අයිතිවාසිකම් සම්බන්ධයෙන් අනෙකුත් වෘත්තීය සමිති සමග එක්සත් අරගලයන්ට සක්‍රීයව දායක විය යුතු බව යෝජනා කර සිටී.

■          ශ්‍රී ලංකාව බංකොලොත් තත්වයට පත්කර ගොවිතැන විනාශ කර මේ රට සම්පූර්ණයෙන් විනාශයට පත්කළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය ද, ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ඔහු සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කිරීම හා රාජපක්ෂ පවුල විසින් සිදුකර ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට එම දේපල රජයට පවරා ගන්නා ලෙස ආණ්ඩුවට බලකිරීමට මෙම සම්මේලනය යෝජනා කර සිටී.

■          ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තනතුරු සඳහා සේවා ව්‍යවස්ථාවට අනුව වාර්ෂිකව පුරප්පාඩු ගණනය කර ගැසට් කර ඒ අනුව පවතින පුරප්පාඩු සම්පූර්ණ කළ යුතුය. මෙම පත් කිරීම්වලදී ඒ ඒ පළාත් සභාවල පාසල් සඳහා විදුහල්පතිවරු පත් කිරීමට ඒ ඒ පළාත්වල අධ්‍යාපන ප්‍රඥප්තීන් හා ස්ථානමාරු ප්‍රතිපත්තිය පාදක කර ගත යුතුය. රටපුරා විදුහල්පතිවරු පත් කිරීමේදී මෙම ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම බැහැර කරමින් දේශපලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ අවශ්‍යතා මත විදුහල්පතිවරු ස්ථානගත කරමින් සිටී. ඒ සම්බන්ධයෙන් උතුරුමැද පළාත් මහාධිකරණයේ පවතින 2021/01 අංක යටතේ නියෝගයක් ඉල්ලා නඩුවක් ද පවරා ඇති අතර, විදුහල්පතිවරු බඳවා ගැනීම සේවා ව්‍යවස්ථාවට අනුව විධිමත්ව කළ යුතු බවටත් විදුහල්පති තනතුරු සඳහා ශ්‍රේණිධාරී විදුහල්පතිවරු පත් කිරීමේදී සහ ස්ථානමාරු කිරීමේදී නියමිත නීතිරීතිවලට අනුකූලව පත්කරන ලෙසත් මෙම සම්මේලනයට යෝජනා කර සිටී.

■          ළඟම පාසල හොඳම පාසල නමින් පසුගිය ආණ්ඩුව අරම්භ කරන ලද ව්‍යාපෘති සඳහා වෙන් කරන ලද මුදල් අවසන්ව තිබුණ ද ව්‍යාපෘති අඩකටත් වඩා අඩු ප්‍රමාණයකින් අවසන් කර තිබීම හේතුවෙන් පාසල්වල දරුවන් විදුහල්පතිවරු මෙන්ම ගුරුවරු ද දැඩි පීඩාවකට පත්ව සිටී. පාසල්වල මෙම ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වැඩ අවසන් නොකළ ගොඩනැගිලි මේ වන විට නටඹුන් බවට පත්වෙමින් තිබේ. මෙම ව්‍යාපෘතියට වෙන්වූ මුදල් අතිවිශාල ලෙස වංචා කර ඇති බව ලංකා ගුරු සංගමය විසින් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට හා රජයේ විගණකාධිපතිවරයා වෙතද පැමිණිලි කර ඇත. මෙම ව්‍යාපෘතියේ සිදු වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ෂණය කරන ලෙසත්, වැඩ අවසන් නොකළ ගොඩනැගිලි වැඩ අවසන් කිරීම සඳහා කඩිනමින් මැදිහත් වී විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් රජයට බලකිරීමට මෙම සම්මේලනයට යෝජනා කර සිටී.

■          රටේ පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රටේ දුප්පත් ජනතාව බරපතල ලෙස දරිද්‍රතාවයට ලක්ව ඇත. දැඩි ආහාර හිඟයෙන් පීඩාවට පත්ව ඇති ජන ප්‍රජාව පවුල් ලක්ෂ 20 ක් පමණ වන බව ආණ්ඩුව හෙළිදරව් කර ඇත. ඒ අතර ළමා මන්දපෝෂණය ආසියාවේ ඉහළම රටක් බවට ලංකාව පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය නිවේදනය කර ඇති පසුබිමක පාසල් දරුවන් මේ තත්වය හේතුවෙන් විවිධ පීඩාවන්ට ගොදුරු වෙමින්  සිටී. පාසල් නොපැමිණීම, පාසල් හැරයාම, අඩු වයසෙන් විවාහ වීම වැනි විවිධ ගැටලු පාසල් දරුවන් අතර බහුල තත්වයක් බවට පත්ව ඇත. මෙම ගැටලු විසඳීමට වහා මැදිහත්වන ලෙස ආණ්ඩුවට බලකරන මෙම සම්මේලනය මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස යෝජනා කර සිටී.

■          2015 වසරේ යහපාලනයක් ඇති කොට විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන ලෙස වූ ඉල්ලීම ඉටු නොකළ අතර, පසුව පැමිණි රජය 19 වන ව්‍යවස්ථා සංශෝධනය පවා නැවත ආපසු හරවන ලදී. මේ තත්වය තුළ රටේ ඒකාධිපති ස්වරූපයේ පාලනයක් සහිත ව්‍යවස්ථාව වහා අහෝසි කොට රට ප්‍රජාතන්ත්‍රීය කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන ලෙස මෙම සම්මේලනය යෝජනා කර සිටී.

■          මේ වන විට ලංකාවේ ජීවන වියදම 300% කින් වැඩි වී ඇත. වැඩකරන ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයකට පත්ව ඇත. ඒ අනුව වැඩකරන ජනතාව සඳහා වැටුප් වැඩිකිරීමක් ලබාදෙන ලෙසත්, එදිනෙදා ජීවිකාව ගෙනයන පිරිස් මෙන්ම කම්කරු, ගොවි, ධීවර, වතු ක්ෂේත්‍රවල ජනතාවට ජීවත්වීම සඳහා බඩුමිල අඩුකරන ලෙසත් ආණ්ඩුවට බල කිරීමට මෙම සම්මේලනය යෝජනා කර සිටී.

■          ගෝඨාභය රාජපක්ෂ රජය තම ආර්ථික දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ රට බංකොලොත් භාවයට පත්කර රටේ ආර්ථිකය කෘෂිකර්මය, ධීවර කර්මාන්තය ඇතුළු සමස්ත ක්ෂේත්‍රයන්හිම ජනතාව පීඩාවට පත් කිරීම තුළ එයට එරෙහිව මතු වූ ජන අරගලයේ යෙදී සිටි ක්‍රියාකාරීන් මර්දනය කරමින් කටයුතු කරන රනිල්- රාජපක්ෂ ආණ්ඩුවට විරෝධය පළ කරන මෙම සම්මේලනය අත්අඩංගුවට පත් කරන ලද සියලු අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත්, මර්දනය වහා නතර කරන ලෙසත් මෙම සම්මේලනය යෝජනා කර සිටී.

■          1978 සම්මත කරගත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් පසුව සිංහල ජනතාවටත් එරෙහිව යොදාගත් අතර, එය මර්දනයේ උපකරණයක් ලෙස සෑම රජයක්ම යොදාගෙන ඇත. මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව අවිහිංසාවදීව වීදිබට ජනතාවට එරෙහිව රනිල් - රාජපක්ෂ රජය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගැනීම දැඩි පිළිකුලෙන් හෙළා දකින මෙම සම්මේලනය මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හාෂාන් ජීවන්ත යන ශිෂ්‍ය නායකයින් නිදහස් කරන ලෙසත්, වහාම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් රජයට බල කිරීමට යෝජනා කර සිටී.

■          පවතින ආර්ථික අර්බුදය හමුවේ පැන නැගී ඇති ඉන්ධන අර්බුධය හමුවේ ගුරු විදුහල්පතිවරු, සිසුන් ඇතුළු සමස්ත අධ්‍යාපන පද්ධතියම දැඩි පීඩාවට පත්ව ඇති අතර, තමන් ලබන වැටුපෙන් 50% කට වැඩි මුදලක් ප්‍රවාහනය සඳහා වැය කිරීමට සිදුව ඇත. මේ තත්වය තුළ ඉන්ධන වියදමට සරිලන දීමනාවක් වහා ලබාදෙන ලෙස යෝජනා කර සිටී.

■          රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් උද්ගත වී ඇති මූල්‍ය අර්බුදයෙන් ගොඩඒමට සඳහා බැංකු විසින් විශාල ලෙස ණය පොලී අනුපාතිකය ඉහළ දමා ඇත. මේ හේතුවෙන් බැංකු මගින් ණය ලබාගත් ගුරු-විදුහල්පතිවරු විශාල ආර්ථික පීඩාවකට පත්ව ඇත. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමත් භාණ්ඩ හා සේවාවන්වල මිල ඉහළ යාමත් හේතුවෙන් ණය වාරික ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති හෙයින් ණය ලබාගන්නා මොහොතේ පැවති තත්වයට ණය පොලී පහළ දමන ලෙසත් යෝජන කර සිටී.

ලංකා ගුරු සංගමයේ 65 වෙනි සම්මේලනයේ ඉල්ලීම්

■          අරගල කරුවන් මර්දනය වහා නවතනු !

■          ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින ශිෂ්‍ය ක්‍රියාකරීන් වහා නිදහස් කරනු !

■          ගුරු, විදුහල්පති හා ගුරු උපදේශක සේවා සඳහා වෘත්තික සභාවක් පිහිටවනු !

■          අධ්‍යාපනයට 6% ක් දළ දේශීය නිෂ්පාදතියෙන් වෙන් කරනු !

■          අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් හකුළා ගනු !

■          සියලු දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලබෙන ලෙස ග්‍රාමීය පාසල් පද්ධතිය දියුණු කරනු !

■          ග්‍රාමීය හා වතු පාසල්වල ගුරු හිඟයට විසඳුම් ලබාදෙනු !

■          සෑම පාසලක් සඳහාම අන්තර්ජාල පහසුකම් සහ පරිගණක පහසුකම් ලබාදෙනු!

■          තරගකාරී අධ්‍යාපනය වෙනුවට යහපත් පුරවැසියෙකු නිර්මාණය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකසනු !

■          ගුරුවරුන්ට පවරා ඇති ඉගැන්වීමට පරිබාහිර රාජකාරි වහා ඉවත් කරනු !

■          විදුහල්පතිවරයා මත පටවා ඇති අනවශ්‍ය බර ඉවත් කරනු !

■          ගුරු විදුහල්පති හිඟ වැටුප් වහා ගෙවනු !

■          ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පැමිණීමේදී ඇතිවන වැටුප් අඩුවීමට ස්ථිර විසඳුම් ලබාදෙනු !

■          දෙමාපියන් මත පටවා ඇති අධ්‍යාපනයේ නඩත්තුව ඉවත් කරනු !

■          විදුහල්පති සේවයේ සාධාරණ මාරු ප්‍රතිපත්තියක් ස්ථාපනය කරනු !

■          ගුරු විදුහල්පති සේවාවන් සඳහා වෘත්තික සභාවක් ස්ථාපනය කරනු !

■          2120/2 ගැසට් පත්‍රයට හා 9/2019 උපදෙස් සංග්‍රහයට අනුව ගුරු උසස්වීම් නිවැරදි කර හිඟවැටුප් ගෙවනු !

■          මොඩියුල සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිපත්තියක් සකස් කරනු !

■          පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා වැඩබලන විදුහල්පතිවරු පත්කිරීමේ තීරණය වහා නවතනු !

■          ජාතික පාසල් දහසක් පමණක් නොව සියලු පාසල් සමානව සංවර්ධන කරනු !

■          සිසුන් 100 ට අඩු පාසල් 3000 සංවර්ධනයට වහා වැඩපිළිවෙලක් සකස් කරනු !

■          ඉන්ධන අර්බුදය තුළ ප්‍රවාහන වියදම වැඩිවීමට පිළියමක් ලෙස දීමනාවක් ලබාදෙනු !

■          සිසුන් පාසලට පැමිණීමේදී ප්‍රවාහන වියදම අඩු කිරීමට වැඩපිළිවෙලක් සකසනු !

■          1987 අංක 30 දරණ ජාතික අධ්‍යාපන විද්‍යායතන පනතට අනුව ජාතික විද්‍යාපීඨවලින් උපාධිය ලබාදෙනු !

■          ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පරිදි පන්තියක සිසුන් සංඛ්‍යාව 35 කට සීමා කරනු !

■          ජාතික අධ්‍යාපන කොමිසම බලාත්මක කරනු !

■          2016 සිට 2020 දක් විශ්‍රාම ලබාගත් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම ප්‍රදාන පත්‍රයේ සඳහන් වැටුප ගෙවීමට කටයුතු කරනු !

■          රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ජීවන අංකයට සමානුපාතිකව ලබාදෙනු !

■          පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා තීන්දු සම්බන්ධයෙන් කරන අභියාචනා සඳහා දේශපාලනයෙන් තොර වූ ස්වාධීන ව්‍යුහයක් සකස් කරනු !

■          සෑම පාසලකටම දුරකතන පහසුකම් ලබා දී පාසල්වල දුරකතන බිල්, විදුලි බිල් ඇතුලු ගෙවීම් රජයෙන් ලබාදෙනු !

■          ජලබිල පාසලෙන් අය කිරීමේ තීන්දුව වහා අහෝසි කරනු !

■          සෑම පාසලකටම අනධ්‍යයන සේවකයින් විධිමත්ව පත් කර, රාජකාරි විධිමත් කරනු !

■          අධ්‍යාපනයේ සැබෑ අරමුණු පසෙක දමා හුදෙක් විභාග ප්‍රතිඵල නැංවීම සඳහා යයි කියමින්  ගුරුවරු හා සිසුන් පීඩාවට පත් කිරීම වහා නවතනු !

■          ජනප්‍රිය පාසල්වල උපරිම සමාන්තර පන්ති සංඛ්‍යාව 6 කට සීමා කරනු !

■          13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාත්මක කරනු !          

■          13 වසරක අඛණ්ඩ අධ්‍යාපන සඳහා බඳවාගත් ගුරුවරුන්ට මතු වී ඇති නව ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙනු  කරනු !           

■          වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල පාසල් දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කරනු !

■          රාජකාරි කටයුතු සඳහා ගුරුවරුන්ට සංයුක්ත දීමනා සහ ගමන් වියදම් ගෙවනු !

■          පාසල් කළමනාකරණ ඩිප්ලෝමා ඇතුළු ඩිප්ලෝමා සහ පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා ගාස්තුවලින් නිදහස් කර නොමිලේ ලබාදෙනු! ඒ සඳහා ඇති අවස්ථා වැඩි කරනු !

■          අධ්‍යාපන සේවාවන්ගේ සේවා ව්‍යවස්ථාවන්ට අනුව පුරප්පාඩු සඳහා විධිමත් උසස්වීම් හා බඳවා ගැනීම් සිදු කරනු !

■          වැඩ බලන පත්වීම් ඉවත් කර ඒ සඳහා විධිමත් පත්කිරීම් සිදු කරනු !

■          පාසල් නොයන සහ පාසලින් ඇදහැලෙන ළමුන් සඳහා නිසි අධ්‍යාපන වැඩපිළිවෙලක් සකස් කරනු !

■          ප්‍රතිඵල වර්ධනය පදනම් කරගෙන සිසුන් පාසලෙන් ඉවත් කිරීම නතර කරනු !

■          විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා අධ්‍යාපන පහසුකම් පුළුල් කරනු !

■          ගුරු-විදුහල්පතිවරුන්ගේ විශ්‍රාම වැටුප විශ්‍රාම යන දිනයේ ම ලබාදෙනු !

■          විශ්‍රාමිකයින්ගේ නොගෙවූ පාරිතෝෂිත දීමනා වහා ගෙවනු !

■          2016 සිට විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ගන්නා උත්සාහය නවතා විශ්‍රාම වැටුප් අයිතිය තහවුරු කරනු !

■          දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වෙනුවට පාසල් නඩත්තුව සඳහා වාර්ෂිකව රාජ්‍ය ප්‍රතිපාදන ලබාදෙනු !

■          පෙළපොත්, ගුරු අත්පොත්, විෂය නිර්දේශ නියමිත වේලාවට ලබාදෙනු !

■          නිළ ඇඳුම් රෙදි ප්‍රමිතියෙන් යුතුව නැවත ලබාදෙනු !

■          පාසල් බෑග්වල බර වැඩිවීමේ ගැටළුවට නිසි විසඳුමක් ලබාදෙනු !

■          පාසල් විෂය මාලාව තුළ පවතින ආගම්වාදී සහ ජාතිවාදී විෂය කරුණු ඉවත් කරනු !

■          වර්තමානයේ දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ තත්වයට වහා පිළියම් යොදනු !

■          පාසල් පරිසරය ඩෙංගු පීඩාවෙන් හා වසංගත රෝගවලින් මුදා ගැනීමට නිසි  වැඩපිළිවෙලක් සකසනු !

■          පාසල්වල ඩෙස්පුටු හිඟයට පිළියම් ලබාදෙනු !

■          පාසල් පරිගණක ඒකක විධිමත් පරිදි නඩත්තු කර පහසුකම් වැඩි කරනු !

■          ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ බලාත්මක කරනු !

■          තොරතුරු පනත විධිමත්ව ක්‍රියාත්මක කරනු !

■          පාසල් ක්‍රීඩා තරග විනිශ්චය සඳහා සහභාගිවන ගුරුවරුන්ට ගෙවන දීමනාව වැඩි

■          කරනු !

■          දෙවන භාෂා ප්‍රවීණතා විභාග සමත්වූවන්ට දිරි දීමනා හා වැටුප් වර්ධක ලබාදෙනු !

■          මුදල් අයකර දෙවන භාෂා ප්‍රවීණතා පාඨමාලා පැවැත්වීම නතර කරනු !

■          වසාදමා ඇති විශ්ව විද්‍යාලය සම්පූර්ණ ධාරිතාවෙන් විධිමත්ව වහා විවෘත කරනු !

■          ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට පරිබාහිරව ගුරුවරුන්ට පවරා ඇති ව්‍යාපෘති, තත්වකව, ගිණුම් කටයුතු ඇතුළු බාහිර කටයුතුවලින් ගුරුවරු නිදහස් කරනු !

■          ගුරු-විදුහල්පති ස්ථානගත කිරීමේ ප්‍රතිපත්තියක් සකසා දුෂ්කර පාසල්වල ගුරු හිඟයට පිළියම් යොදනු !

■          විභාග රාජකාරි දීමනා වැඩිකරනු ! මෙතෙක් නොගෙවා ඇති දීමනා වහා ගෙවනු !

■          පාසල් වර්ගීකරණය යාවත්කාලීන කොට දුෂ්කර දීමනාව වැටුප අනුව සංශෝධනය කරනු !

■          ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යටත් නොකරනු !

■          ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල අධ්‍යයන කාලය සේවයට ඇතුළත් කොට නියමිත   වැටුප ගෙවනු !

■          පලාලි ඇතුළු වසාදමා ඇති ගුරු විදුහල් නැවත විවෘත කොට ගුරු සංවර්ධනය යාවත්කාලීන කරනු !

■          කාණ්ඩ විෂයන් සඳහා විද්‍යාපීඨ පාඨමාලා විශේෂිතව අරඹනු !

■          ගුරු සංවර්ධනය සඳහා අඛණ්ඩව පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරනු !

■          ගුරු හිඟයට පිළියම් යොදනු !

■          රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරනු ! ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු !

■          උතුරු නැගෙනහිර ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් ඔවුන්ට නැවත ලබාදෙනු !

■          පාසල් වාර විභාග විධිමත් කරනු ! නොමිලේ ප්‍රශ්න පත්‍ර ලබාදෙනු !

■          දේශාපාලන සිරකරුවන් වහා නිදහස් කරනු !

■          2007/20 දරණ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය විධිමත්ව ක්‍රියාත්මක කරනු !

■          වතුකරයේ දරුවන්ට උසස් පෙළ විද්‍යා-ගණිත විෂයධාරා හැදෑරීමට පහසුක ලබාදෙනු!

■          ගුරුවිද්‍යාලවල පාඨමාලා අවසන් කළ ගුරු සහායකයින්ට ප්‍රමාද නොකර පත්වීම් ලබාදෙනු !

■          ගුරු සහායක සේවා කාලය ගුරු සේවයේ නුපුහුණු සේවා කාලයට එකතු කරනු !

■          පාසල්වල මුදල් අය කිරීම තහවුරු කරන 5/2015 චක්‍රලේඛය වහා අහෝසි කරනු !

■          ළමා හිංසනය හා ලිංගික බලපෑම් පාසල් පද්ධතිය තුළින් පිටු දැකීමට කටයුතු කරනු !

■          ගුරුවරියන්ට රාජකාරි කටයුතුවලදී සිදු වන ලිංගික බලපෑම් නැවැත්වීමට කටයුතු       කරනු !

■          දෙමළ මාධ්‍ය අධ්‍යාපනයට අදාළ රාජකාරි ලිපි හා චක්‍රලේඛ දෙමළ භාෂාවෙන්          ලබාදෙනු !

■          දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබාදෙනු !

■          දැනට සීමා කොට ඇති ගුරු ආපදා ණය සඳහා ප්‍රමාණවත්ව මුදල් වෙන් කරනු !

■          ගුරු උපදේශනය සඳහා සුදුසුකම් ලත් ගුරු අධ්‍යාපනඥසේවයේ නිලධාරීන් යොදවනු !

■          ගුණාත්මක යෙදවුම් සඳහා ලබාදෙන මුදල් කප්පාදු නොකර ලබාදෙනු !

■          කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍යාරක්ෂක කටයුතු  සඳහා පාසල්වලට මුදල් ලබාදෙනු !

■          ජාතික අධ්‍යාපන ආයතනය, පනතට අනුව කටයුතු කරන ආයතනයක් බවට පත්        කරනු !

■          ජනවාර්ගික ප්‍රශ්නයට දෙමළ කතා කරන ජනතාව පිළිගන්නා විසඳුමක් ලබාදෙනු !

■          මාධ්‍ය නිදහස තහවුරු කරනු, මාධ්‍යාවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මෙන්තුවට කැඳවමින් සිදු කරන මර්දනය වහා නවතනු !

■          අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරනු !

■          ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් ගෙවනු ! පොහොර හිඟයට පිළියම් යොදා, මිල අඩුකර,  අත්‍යවශ්‍ය සහන ලබාදෙනු !

■          වතුකම්කරු දෙදනික අවම වැටුප වැඩි කරනු !

■          අධ්‍යාපන අමාත්‍යාංශයේ පසු විපරම් කමිටු ක්‍රියාත්මක කරනු !

■          විදේශ නිවාඩු ලබාගැනීමේදී ගුරුවරුන්ට සිදුවන බාධා ඉවත් කරනු !

■          රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ විදේශ නිවාඩු ලබා ගැනීමට නිකුත් කළ චක්‍රලේඛයේ හිමිකම් ගුරුවරුන්ට අහිමි කිරීම නතර කරනු !

■          දුෂ්කර පාසල්වලට ගුරු නිවාස පහසුකම් වැඩිකරනු !

■          කළමනාකාර සහකාර සේවයෙන් ගුරු සේවයට පත්වීම් ලද නිලධාරීන්ගේ කළමනාකරණ සේවා කාලය ගුරු සේවයට එක් කරනු !

■          අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ වහා වැඩිකරනු  ! දායක මුදල වැඩිකිරීම නතර කරනු !

■          සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ දරුවන්ට නිසි කලට ලබාදෙනු !

■          රාජකාරි වේලාවෙන් පසුව පාසල් තුළ සිදු කරන ගුරු රැස්වීම් ඇතුළු ගුරුවරු සහභාගි වන සියලු රැස්වීම් නවතනු !

■          පාසල්වල විදුහල්පති පුරප්පාඩු 1998/23 චක්‍රලේඛයට අනුව පුරප්පාඩු ප්‍රසිද්ධ කොට විධිමත්ව සිදු කරනු !

■          වැටුප් වර්ධක ලබාදීමේදී ඉදිරිපත් කර ඇති නව සේවා කෝන්දේසි වහා හකුලාගනු !

■          උපකෘත පාඨශාලා සහ පිරිවෙන් ගුරුවරුන්ගේ සේවා සුරක්ෂිතතාව තහවුරු කර ඔවුන්ගේ විනය ක්‍රියාව ආයතන සංග්‍රහයට අනුව සිදු කරනු !

■          උපකෘත පාඨශාලා සහ පිරිවෙන් ගුරුවරු විශ්‍රාම යාමෙන් පසු රජයේ සේවකයන්ට ලබාදෙන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබාදෙනු !

■          උපකෘත පාඨශාලා සහ පිරිවෙන් ගුරුවරු සඳහා නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර හිමිකම ලබාදෙනු !

■          පාසල් සංවර්ධන සමිති තුළ දෙමව්පිය අදහස්වලට වැට බඳින බියගැන්වීම් නවතනු !

■          කලාප කාර්යාලවල ගුරු සංගම් නියෝජිතයන්ගෙන් සමන්විත ණය මණ්ඩල පිහිටවනු!

■          කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රියජනක ස්ථාන බවට පත් කරනු !

■          සෑම පළාතකටම පොදු වැටුප් වර්ධක ආකෘතියක් හඳුන්වා දෙනු !

■          ප්‍රාථමික පන්තිවල දරුවන්ගේ සාක්ෂරතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, ඊට අදාළ ප්‍රතිපෝෂණ වැඩසටහන්  සකස් කරනු !

■          අධ්‍යාපන පද්ධතියේ උපදේශන සේවා ශක්තිමත් කරනු !

■          ඛනිජ තෙල්, ගෑස්, විදුලිය, ජලය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ හෙළනු !

■          විදුලිය, ඛනිජතෙල්, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් අයිඑම්.එෆ් කොන්දේසි මත   විකිණීම වහා නවතනු !

■          අසීමිතව ඉහළ දමන භාණ්ඩ හා සේවා මිල වහා පහත හෙළනු !

■          ඖෂධ හිඟයට පිළියම් යොදනු !

■          රටේ ආර්ථික බංකොලොත් භාවට වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරනු !