ප්‍රචණ්ඩත්වය හා හිංසනය නවතනු - C 190 සම්මුතිය අපරානුමත කර නීති සම්පාදනය කරනු

ප්‍රචණ්ඩත්වය හා හිංසනය නවතනු - C 190 සම්මුතිය අපරානුමත කර නීති සම්පාදනය කරනු

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශවලත්, විධිමත් හා අවිධිමත් ක්ෂේත්‍රයන්ගේත්, වැවිලිකරයේත් සේවක සේවිකාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හා හිංසනය මේ වනවිට අශීලාචාර ලෙස වර්ධනය වන ප්‍රවණතාවයකි. අවාසනාවකට ඊට ගොදුරුවන්නවුන් පැමිණිලි නොකිරීමත්, කිසිදු සභාවක වැදගත් ලෙස ඒ ගැන කතා නොකිරීමත්, සාකච්ඡා නොකිරීමත් බරපතල ගැටළුවකි. පෞද්ගලික අංශයේ මැද තලයේ කළමනාකාරිත්වය විශේෂයෙන් කාන්තාවන්ට එරෙහිව හිංසනය හා අතවර කිරීම් ඔවුන්ගේ කළමනාකරණ පිළිවෙතක් ලෙස යොදා ගන්නකි.

එනිසා ඉතාම මෑතකදී සේවා ස්ථානයන්හි සිදුවූ පහරදීම් දෙකක් සඳහා තිබිය යුතු වූ පුළුල් විරෝධ හා උද්ඝෝෂණ නොවුනු අතර,මාධ්‍යයන්හි ද වැදගත් ආවරණයක් නොතිබුණි. කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් නොවැම්බර් මස 11 වන දින මාධ්‍ය හමුවක දී ඇයට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකු වරක් නොව කිහිප වරක දී පහර දුන් බව පැවසුවා ය. ඔහු වාට්ටුවේ හෙදියන්ට ද එළෙසින් පහර දී ඇතැයි ඇය පැවසුවා ය. ඔහු මෙවර ඇයට පහර දුන්නේ ඇය දෙමසක පමණ ගැබිණි මවක් බව දැන සිටියදී යැයි ද ඇය මාධ්‍යයට පැවසුවා ය.

ඉන් දෙසතියක් ඇතුළත දෙවැන්න වාර්තා වූයේ නොවැම්බර් මස 24 වන දින ය. මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධාන නිලධාරී එහි සේවිකාවකට පහර දෙන අයුරු වීඩියෝ පටයක් ලෙස  සමාජ මාධ්‍ය ජාලයන්හි ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර ප්‍රධාන මාධ්‍යයන්හි ද වාර්තා විය.

ඇය පැවසූයේ ද මීට ඉහතින් ද ඔහු බරපතල හිංසනයකට ඇයව ලක් කර ඇති බව ය.

මේවා කිසිවකු විසින් කිසිම විටෙක, කිසිම තැනකදී ඉවසා සිටිය යුතු නොවේ. ප්‍රචණ්ඩත්වය හා හිංසනය ශාරීරිකව හා කට වචනයෙන් සේවා ස්ථානයන්හිත්, පොදු මගී ප්‍රවාහනයේදීත්, පොදු ස්ථානයන්හිත් විවිධාකරයෙන් හමු වන්නේ ය. එයට වැඩියෙන් ගොදුරු වන්නේත්, ඒවා නිහඬව විඳ ගන්නේත් කාන්තාවන් ය. සේවා ස්ථානයන්හිත්, පොදු මගී ප්‍රවාහනයේදීත්,පොදු ස්ථානයන්හිත් සිදුවන ප්‍රචණ්ඩත්වය හා හිංසනය වාර්තා නොවන හා පැමිණිලි නොවන හෙයින් මග හැරී යන්නකි.

ප්‍රචණ්ඩත්වය හා හිංසනයෙන් තොර පරිසරයක් සඳහා සැමට අයිතියක් ඇත. ඒ වෙනුවෙන් පසුගිය 2019 වසරේ ජුනි මාසයේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය රැකියාවේ ස්වරූපය හා රැකියා කොන්දේසි නොතකා ප්‍රචණ්ඩත්වය හා හිංසනයට එරෙහි ලොව පළමු ප්‍රමිතීන් ඇතුළත් 190 වන සම්මුතිය (C190) සම්මත කළේය.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 190 වන සම්මුතිය අපරානුමත කර ඊට අනුරූපී වන දේශීය නීති සම්පාදනය කළ යුතුව ඇත. එහෙත් වසරකුත් මාස 06 ක් පමණ ගතව තිබියදීත් ක්‍190 සම්මුතිය ගැන කිසිදු අවධානයක් කිසිවකු යොමු නොකර ඇති තත්ත්වයක් හමුවේ එය ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ හා බලපෑම් කිරීමට අපට සිදුව ඇත.

ඉන්ඩස්ට්‍රි-ඕල් ගෝලීය වෘත්තීය සමිතිය නියෝජනය කරමින් C190 සම්මුතිය දේශීය වශයෙන් බල ගන්වමින් ඒ අනුව නීති සම්පාදනය කිරීමට අද නොවැම්බර් මස 25 වන දින ඔවුන් දියත් කරන ජාත්‍යන්තර උද්ඝෝෂණයට අපි ද එක්වෙමු.

ප්‍රචණ්ඩත්වය හා හිංසනය නවතා සියල්ලන්ගේ ජීවිත යහපත් ලෙස වෙනස් කරන්නට රාජ්‍ය හා පෞද්ගලික අංශවලත්, විධිමත් හා අවිධිමත් ක්ෂේත්‍රයන්ගේත්, වැවිලිකරයේත්, ඉතිරි අනෙක් ක්ෂේත්‍රයන්ගේත් සියළු සේවකයින්ට මෙම උද්ඝෝෂණයට එකතු වන ලෙස අපි මෙයින් ඉල්ලා සිටිමු. එවගේම මේ සමාජයේ යුක්තිය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අන් සියල්ලන්ගෙන් ද මෙයට හවුල් වන ලෙස අපි ඉල්ලමු. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 190 වන සම්මුතිය අපරානුමත කර එහි කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන මෙන් අපි එක්ව ආණ්ඩුවට බල කරමු.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

වැඩබිම