"නිව්ස් ෆස්ට්" මාධ්‍යවේදීන්ට සිදු කළ අමානුෂික පහරදීම තරයේ හෙලා දකිමු - CESU

"නිව්ස් ෆස්ට්" මාධ්‍යවේදීන්ට සිදු කළ අමානුෂික පහරදීම තරයේ හෙලා දකිමු - CESU

පසුගිය ජූලි (09) දින දවස පුරා ආණ්ඩුවට විරෝධය පලකරමින්  සිදු කෙරුණු  මහජන අරගලය වාර්තා කරමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සිය රාජකාරිය ඉටු කළ ජන මාධ්‍යවේදීන් ඉලක්ක කරමින් ස්ථාන කිහිපයකම පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද බාධා කිරීම් ලංකා වතු සේවා සංගමය ලෙස අප තරයේ හෙලා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

විශේෂයෙන්ම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසල සිදුකෙරුණු පොදු ජන විරෝධය වාර්තා කරමින් සිටි සිරස රූපවාහිනියේ  "නිව්ස් ෆස්ට්" මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉලක්ක කරමින් අගමැති නිවසේ රැකවලුන් වූ පොලිස් විශේෂ කාර්යබලකාය විසින් අති අමානුෂික පහරදීමක් සිදුකරන ලද අතර එහිදී පහර කෑමට ලක්වූ නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන්ගේ කැමරා ඇතුළු මාධ්‍ය උපකරන වලටද බරපතල ලෙස හානි සිදුව ඇත.

මේ වනවිට පහරකෑමට ලක්වූ නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් රෝහල්ගත කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙම ප්‍රජාතන්ත්‍රවිරෝධී මැදිහත්වීම අප සංගමය ඉතා පිළිකුළෙන් යුතුව හෙලා දකින අතර මේ සම්බන්ධයෙන් අගමැතිවරයා වෙතද අපගේ බලවත් විරෝධය පළකර සිටිමු.

නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් ඇතුළු ජනමාධ්‍යවේදීන්ට පහර දුන් පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳව සොයා බලා ඔවුන්ගේ තරාතිරම නොබලා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබා දෙන ලෙසට මේ පිළිබඳ වගකිවයුත්තන්ගෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.