පොලිස් ඇඳිරිනීතිය පැනවීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන විමසයි - FMM

පොලිස් ඇඳිරිනීතිය පැනවීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන විමසයි - FMM

සාමකාමීව විරෝධතා දැක්වීම පුරවැසියා සතු ව්‍යවස්තාපිත අයිතියක් බව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පොලිස්පතිවරයා ලෙස ඔබ හොඳන් දන්නවා ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විස්වාස කරයි.

එවැනි තත්වයක් තුළ මෙරට පුරවැසියන් හෙට (2022 ජූලි 9) දින සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම්කොට තිබියදී, ඔබේ අත්සනින් හා පොලිස් මූලස්ථානයේ ලිපි ශීර්ශය යටතේ බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතකට 2022. 07. 08 වන දින පැය 21 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පවසමින් නිකුත් කළ නිවේදනයක් අප වෙත ලැබී තිබේ.

මෙම නිවේදනය පිළිබඳ අප ලබා ගත් නීති උපදෙස් ප්‍රකාරව, මෙසේ පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාව මගින් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ලබා දී නැත.

එම නිසා ඔබ ජනතා පරමාධිපත්‍ය හිමි මහජනයා සතු මූලික මිනිස් අයිතිවාසීකම් උල්ලංඝනය කරමින් කිසියම් පාර්ශවයක් වෙත පක්ෂපාතීත්වය දක්වා ඇති බවට සාධාරණ සැකයක් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.

එය එසේ වී නම්, ඒ පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ තදබල විරෝධය ප්‍රකාශ කරන අතර මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද දන්වා සිටිමින්, මෙලෙස පොලිස් ඇඳිරිනීතිය පැනවීම සඳහා ඔබ වෙත ව්‍යවස්ථාපිතව පැවරී ඇති බලතල මොනවාදැයි පෙන්වා දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දන්වා සිටී.