සාමකාමීව උද්ඝෝණය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමකි

සාමකාමීව උද්ඝෝණය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමකි

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ජන අරගයේ නිරත පුරවැසියන්, පූජ්‍ය පක්ෂය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ ඒකාබද්ධව ජූලි 9 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් පළ වී ඇති ප්‍රතිචාර පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පුරවැසියන් සතු මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියෙහිම දිගුවක් වන සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වීමේ අයිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව අවධාරණයෙන් කියා සිටී.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සමගාමීව පැවැත්වෙන භික්ෂූන්වහන්සේලාගේ සත්‍යග්‍රහයකට එරෙහිව උසාවි නියෝගයක් ලබා ගැනීමට පොලිසිය ක්‍රියා කළ අතර, 9 වැනිදා ජනාධිපති මන්දිරය අසල උද්ඝෝෂණ වැළැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට පොලිසිය දැරූ උත්සාහයන් දෙකක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. පොලිස් හා ආරක්ෂක හමුදා බළ ඇණි යොදවා උද්ඝෝෂණ මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට විවිධ වාර්තා පළ වෙමින් තිබේ. පසුගිය තෙමසක පමණ කාලය තුළ අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවට එරෙහිව පැවති උද්ඝෝෂණ මැඩලීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ ආකාරය දෙස් විදෙස් මානව හිමිකම් ආරක්ෂකයින්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර, උද්ඝෝෂණවලට හා උද්ඝෝෂකයින්ට එරෙහිව පොලිසිය ඉල්ලා සිටි නියෝග ලබා දීම අධිකරණය අවස්ථා ගණනාවකදීම ප්‍රතික්ෂේප කළේය.

සාමකාමීව උද්ඝෝෂණවල නිරත වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ‘භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස' යටතට ගැනෙන අයිතිවාසිකමක් බව, සුප්‍රකට ජනඝෝෂා නඩු තීන්දුව ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කිහිපයකින්ම තහවුරු කර ඇති බව නැවත වරක් සිහිපත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සාමකාමී උද්ඝෝෂණවලට එරෙහිව බලය යෙදවීම එම මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කරයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙහිදී පොලිස්පතිවරයාට අවධාරණයෙන් කියා සිටින්නේ, බලයේ සිටින දේශපාලනඥයන්ගේ උවමනාවන් සපුරාලීම නොව, පුරවැසියන් සතු ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප්‍රමුඛ වගකීම බව සලකා කටයුතු කරන ලෙසයි. එමෙන්ම උද්ඝෝෂණවල නිරත වන මහජනයාගේ මූලික අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට නිසි උපදෙස් ලබා දෙන ලෙසත්, 9 වැනිදා පැවැත්වෙන උද්ඝෝෂණවලදී ආරක්ෂක අංශවල ක්‍රියාකලාපය නිරීක්ෂණය කොට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යළි ස්ථාපිත කර ගැනීම හා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් ලෙස ජන අරගලයට සිය සහාය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සාමකාමීව හා අහිංසාවාදීව සිය අරමුණු දිනා ගැනීම පිණිස කැප වන ලෙස අරගලයේ නිරත සියලු පාර්ශවවලින් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටී.