නවක වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුව ප්‍රමාද කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා - GMOA

නවක වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුව ප්‍රමාද කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා - GMOA

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් හට සීමාවාසික පුහුණුව ලබා දීම අසාධාරණ ලෙස ප්‍රමාද කිරීමට එරෙහි ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර් ග ගැනීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වසර පහකට අධික කාලයක් වෛද්‍ය පීඨ වල වෛද්‍ය උපාධිය හදාරා අවසන් කළ පසු මෙරට තුළ වෛද්‍යවරයෙකු ලෙස පූර්ණ ලියාපදිංචිය ලබා ගැනීමට නම් එම වෛද්‍යවරුන් සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ යුතුය. එමෙන්ම මූලික රෝහල් පද්ධතියේ සිට ඉහළ රෝහල් ස්ථරයන්හි රෝගී සත්කාර සේවා පවත්වා ගැනීම සඳහා ද එම සීමාවාසික වෛද්‍යවරුන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

එබැවින් සෑම වසරකම නියමිත දිනයේදීම එම වෛද්‍යවරුන්ට සීමාවාසික පත්වීම් ලබාදීම අතිශයින් වැදගත්ය. මෙම ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතල වගකීමක් ඇත.

දැනට රට පුරා රෝහල් වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 400 කට අධික පිරිසකගේ පුහුණු කාලය එළඹෙන ජුනි මස 27 වනදායින් අවසන් වීමට නියමිතය. ඒ අනුව මීලඟ සීමාවාසික වෛද්‍යවරුන් කණ්ඩායමට එදින වන විට පත්වීම් ලබා දී තිබීම අනිවාර්යය.

එසේ සීමාවාසික පත්වීම් බලාපොරොත්තුවෙන් නවක වෛද්‍යවරුන් 400 ක් රැඳී සිටින අතර ඔවුන් තම වෛද්‍ය උපාධිය අවසන් කර වසරකට ආසන්න කාලයක් ද ගත වී ඇත. එසේ වුවත් මේ වන විට මෙම වෛද්‍යවරුන් 400 ක පිරිසට සීමාවාසික පත්වීම් ලබාදීම අසාධාරණ සහ අයුක්තිසහගත ලෙස ප්‍රමාද කිරීමේ තත්ත්වයක් උද්ගත වී ඇත.

මෙම වෛද්‍ය කණ්ඩායමට වඩා කණිෂ්ඨ, කොතලාවල වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් කණ්ඩායමකට ද මෙම පිරිස සමඟ  සීමාවාසික පත්වීම් ලබා දීමේ අරමුණින් මෙම න්‍යාය පත්‍රය දියත්ව ඇතැයි පැවසේ. සයිටම් ආයතනයේ සිසුන් පිරිසක් ද ඇතුළත් මෙම කොතලාවල වෛද්‍ය පීඨ කණ්ඩායම, තවමත් සීමාවාසික පුහුණුව සඳහා වූ මූලික සුදුසුකම් පවා සම්පූර්ණ කර නොමැත.

එහි ප්‍රතිඵලයක් ලෙස සීමාවාසික පත්වීම් ලබාදීම දැනුම් දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත යැවිය යුතු ලිපිය ද යැවීම කල්මරමින් කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වේ. මෙම අසාධාරණ ක්‍රියාවලිය පිටුපස සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකුගේ බලපෑමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ද චෝදනා එල්ල වී ඇත.

මෙම ක්‍රියාවලිය නිසා එළඹෙන ජූනි 27 වන දා සීමාවාසික පුහුණුව අවසන් කළ යුතු වෛද්‍යවරුන් පිරිසට ද, එම පුහුණුව අවසන් කිරීමට නොහැකි වීමේ තත්ත්වයක් උද්ගත වී ඇත.

සුළු පිරිසකගේ පටු න්‍යාය පත්‍ර සාක්ෂාත් කර කරගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් සිය ගණනක් මෙන්ම, රෝගීන්ගේ ජීවිත දහස් ගණනක්ද ඉදිරියේදී පීඩාවට පත්වීමට සිදුවීම කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයකි.

එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම ගැටලුව ද සාකච්ඡා කිරීමට නියමිතය. සඳුදා දිනය වන විට මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිසේත් පසුබට නොවන අතර, එම ඉදිරි ක්‍රියාමාර්ග හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.