රක්ෂණයේ දිවාකර වෙනුවෙන් විපක්ෂ නායකවරයා පාර් ලිමේන්තුවේ ප්‍රශ්න කරයි

රක්ෂණයේ දිවාකර වෙනුවෙන් විපක්ෂ නායකවරයා පාර් ලිමේන්තුවේ ප්‍රශ්න කරයි

මේ වන විට රක්ෂණ සංස්ථාව විකුණා දැමීමේ යටි අරමුණ සහිතව, වෘත්තිය සමිති නායකයෙකු වන දිවාකර ඇතුගලට එරෙහිව අසාධාරණ දඬුවම් මාරුවක් ලබාදීම සහ කාර්යාල පරිශ්‍රයට ඇතුල්වීම වැළැක්වීමට අදාලව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජුනි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී කරුණු විමසීමක් කළේය.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ වෘත්තිය සමිති මර්දනය සඳහා කටයුතු නොකරන බවත්, මෙම සිදුවීම ගැන සොයා බලන බවත්ය.

විපක්ෂ නායකවරයා කීවේ මෙසේය.

‘රක්ෂණ පොදු සේවක සංගමයේ ලේකම් ඉන්නවා දිවාකර ඇතුගල. වෘත්තිය සමිති නායකයෙක්. දැන් එතුමා සමිති කටයුත්තක් සඳහා කාර්යාලයීය විද්‍යුත් තැපැල් පහසුකම පාවිචචි කළා කියලා 2023 06 05 දින කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට කලවාන ශාඛාවට මාරු කරලා තියෙනවා.

ඒ කියන්නේ ඊමේල් එකක් යැව්වාය කියලා. දිවාකර ඇතුගල කියලා වෘත්තිය සමිති නායකයෙක්. ඔහු කරපු වරද තමයි ලාභ ලබන ආයතනයක් වන රක්ෂණ සංස්ථාවේ පෞද්ගලිකරණයට, එහෙම නැත්නම් විකුණා දැමීමට විරුද්ධව එතුමා කටයුතු කරනවා. කාර්යාලයීය විද්‍යුත් තැපෑල වෘත්තිය සමිති කටයුතුවලට කාලයක් තිස්සේ සියලුම වෘත්තිය සමිති භාවිතා කරලා තියෙනවා.

දිවාකර සහෝදරයා විතරක් නෙවෙයි, රක්ෂණ පොදු සේවක සංගමයේ මාධ්‍ය ලේකම් නයෝමි හෙට්ටිආරච්චි සහෝදරියටත් එක එක ප්‍රශ්න ඇති කරලා තියෙනවා.

කළමණාකාරීත්වයේ හිතුවක්කාරී උද්දච්ච ක්‍රියාවලියට විරෝධතාව පළ කරනවා. වහාම ඒ මාරුවීම රිවර්ස් කරන්න කටයුතු කරන්න. ඔහුට කාර්යාලයට ප්‍රවේශ වෙන එකත් තහනම් කරලා. කොහොමද එහෙම කරන්නේ.

ඉන්ෂුවර්න් එක ප්‍රයිවටයිස් කරන්න පිඹුරුපත් සකස් කරනකොට ඒකට විරුද්ධව වෘත්තිය සමිති නායකයෙක් නැගී සිටිනකොට, මොකක්ද විසඳුම කලවානට මාරු කරලා යවන එකද? මේක රිවර්ස් කරන්න කියලා මම ඉල්ලනවා.‘

මෙයට පිළිතරු ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මෙසේ පැවසීය.

‘ප්‍රශ්නය කලින් දැනුම් දුන්නා නම් සූදානම්ව පැමිණෙනවා. මෙම කාරණය අදාල දෙපාර්තමේන්තුව සමග කතාබස් කරලා පිළිතුරක් ලබා දෙන්නම්. වෘත්තිය සමිති නායකයන් ගැන අද කතා කරන්න ගරු විපක්ෂ නායකතුමා නැගී හිටීම ගැන මම ඇත්තවශයෙන් සතුටු වෙනවා. ඒ වගේම පුදුම වෙනවා. මොකද එතුමාගේ ආදරණීය පියාගේ කාලේ වෘත්තිය සමිති නායකයෝ ඔක්කොම ගෙදර යැව්වා. බුරුතු පිටින් ගෙදර යැව්වා. අසූතුන්දාහක් සුළු වැටුප් වැඩිවීමක් ඉල්ලපු වෙලාවේ ගෙදර යැව්වා. අපි හැමදාම ඉල්ලීම් කළා එක්කෙනෙක්ටවත් ලබා දුන්නේ නෑ.

අපේ ආණ්ඩුව පළිගැනීම් ක්‍රියාමාර්ගයකට යෙදෙන්නේ නෑ. ඒ නිසා බලධාරීන් එක්ක කතා කරලා පිළිතුරක් ලබා දෙන්නම්.‘

එයට නැවත ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කීවේ, ‘මම පියා වූ පමණින් කරපු හැමදේම අනුගමනය කරන පුතෙක් නෙවෙයි. වැදගත් දේවල් ඉදිරියට ගෙනියනවා. අඩුපාඩු තියෙනවා නම් බැහැර කරනවා.‘ යනුවෙනි.