වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුවට අනුයුක්ත කෙරේ

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුවට අනුයුක්ත කෙරේ

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන 27 වනදාට පෙර මෙම වෛද්‍යවරුන් දිවයිනේ රෝහල් 63 ක් සඳහා යොමු කෙරේ. දැනට රෝහල් වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 694 ක පමණ පිරිසකගේ පුහුණු කාලය ලබන 27 වනදායින් අවසන් වීමට නියමිත අතර ඒ අනුව මෙම නවක වෛද්‍යවරුන් පිරිස අදාළ රෝහල් කරා අනුයුක්ත කෙරේ.මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් 30,000 ට ආසන්න ප්‍රමාණයක් සිටී. රට තුළ කුමන අභියෝගාත්මක තත්ත්වයක් පැවතියද සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව පසුගියදා පවුල් සෞඛ්‍ය නිලධාරීන් 222 කු සෞඛ්‍ය ක්ෂේත්‍රයට බඳවා ගැනිණි.

එමෙන්ම හෙද සේවාව සඳහා නවක හෙද හෙදියන් 3316 දෙනෙකු පුහුණුව සඳහා කඩිනමින් යොමු කිරීමට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වන විට අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ. එයට අමතරව පුහුණුව අවසන් කළ හෙද හෙදියන් 2000 ට අධික පිරිසකට පත්වීම් ලබාදීමට නියමිතය.