රාජ්‍ය සේවා කොමිෂන් සභා නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - GMOA

රාජ්‍ය සේවා කොමිෂන් සභා නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - GMOA

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II ධූරය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා නියෝග ක්‍රියාත්මක නොකර ප්‍රශ්නගත නිලධාරියෙකු වන වෛද්‍ය ජී. විජේසූරියට තවදුරටත් එම ධූරයේ කටයුතු කිරීමට ඉඩ දීමට එරෙහි ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලිපියක් යවමින් දන්වා ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

උක්ත කරුණ පිළිබඳ මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස නිරන්තරයෙන් දැනුම් දීම් සිදු කල බව ඔබ හොඳින් දනියි.

දැනට එම ධූරයේ ‘අනීතික’ ලෙස කටයුතු කරන වෛද්‍ය ජී. විජේසූරිය මහතා එලෙසින් කටයුතු කරනුයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රතික්ෂේපිත අවසරයක් මධ්‍යයේ බව මේ වන විට හෙලිදරව් වී ඇත.

තත්ත්වය වඩාත් නිරවුල් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉහත ධූරය සම්බන්ධව තම ස්ථාවරය දිවුරුම් ප්‍රකාශයක් මඟින් ගරු අධිකරණය වෙත නොබෝදා ඉදිරිපත් කරන ලදී.

ඒ හරහා එම ධූරය සඳහා සත්‍ය වශයෙන්ම සුදුසුකම් ලබා තේරි පත් වී ඇති නිලධාරිනියට එම ධූරයේ කටයුතු කිරීමට ඉඩ දිය යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය තුල වෛද්‍ය විජේසූරිය මහතාට රැකවරණය ලබා දෙන “සැඟවුණු හස්තය” ඉහත ධූරය සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදි කටයුතු කර ඇති ආකාරය ඉතා නිර්ලජ්ජිත බව මේ වන විට හෙලිදරව් වෙමින් පවතී.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට‌ දැනුම් දී ඇති ස්ථාවරය වහාම ක්‍රියාත්මක වන පරිදි තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ නිත්‍යානූකූල වගකීම බව දැඩි ලෙස අවධාරණය කරමු.

ඒ අනුව ඉදිරි සතියක කාලය තුල වෛද්‍ය ජී. විජේසුරිය මහතා එම ධූරයෙන් ඉවත් කොට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අදාල ධූරය සඳහා සුදුසුකම් සම්පූර්ණ කර ඇති බව තහවුරු කර ඇති නිලධාරීනිය එම ධූරයේ පිහිටුවීමට සෞඛ්‍ය බලධාරීන් ලෙස ඔබ අසමත්වන්නේ නම් එයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කරා යොමු වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සගංමය ලෙස තීරණය කරන ලදී.

ඒ අනුව එහි ආරම්භක පියවර ලෙස එලඹෙන ඔක්‌තොම්බර් 2 වන දිනෙන් ආරම්භ වන සතිය තුල, මීට ඉහත දැනුම් දුන් පරිදි, නීතිවිරෝධි ලෙස එම ධූරයට අදාල වැටුප් දීමනා වරදාන වරප්‍රසාද වෛද්‍ය ජී. විජේසූරියට ලබා දීම පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරී ලෙස ඔබට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත විධිමත් පරිදි පැමිණිලි කිරීම සිදු කරනු ඇත.

එමෙන්ම ඉන් ඔබ්බට යමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ මෙම අත්තනෝමතික හැසීරීමට එරෙහිව ගනු ලබන දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් පිළිබඳ නිශ්චිත තොරතුරු එළඹෙන බදාදා පැවැත්වෙන අප සංගමයේ මධ්‍යම කාරක සභාවෙන් අනතරුව ප්‍රකාශයට පත් කරන බව අවධාරණය කරමි.

ගත යුතු ක්‍රියාමාර්ග මෙතරම් නිරවුල් ලෙස ප්‍රකාශයට පත්ව ඇති මොහොතක, තනි පුද්ගලයෙකු රැක ගැනීම වෙනුවෙන් සමස්ත පද්ධතියක් විනාශය කරා යාමට ඉඩදී බලා සිටින ඔබ ඇතුලු සෞඛ්‍ය බලධාරීන් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා රෝගී ජනතාවට වන අපහසුතාවය පිළිබඳ පූර්ණ වගකීම දැරිය යුතු බව පෙන්වා දෙමු.