සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතිහාසයේ දූෂිතම සහ අසාර්ථකම යුගයට නායකත්වය ලබාදෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයායි - GMOA

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතිහාසයේ දූෂිතම සහ අසාර්ථකම යුගයට නායකත්වය ලබාදෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයායි - GMOA

රෝගී ජිවිත බිල්ලට ගනිමින් ඉතිහාසයේ දූෂිතම කාල පරිච්ඡේදය ගත කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනෙයේ වැඩිදුරටත් සඳහන් කරන්නනේ, ගෙවුණු වසර දෙකක කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය සෞඛ්‍ය පද්ධතිය තුල දිනෙන් දින උග්‍ර වන ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළ යාම සහ ඖෂධ ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇතිවීම යන අර්බුද ත්‍රිත්වය හමුවේ රෝගී සත්කාර සේවා අඩපණ වෙමින් පවතී.

සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුඛ්‍ය වගකීම වනුයේ මෙම අර්බුදය විසඳා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වුවද, ඔවුන් එම වගකීම පැහැර හරිමින් කටයුතු කිරීම පිළිගත නොහැකි තත්ත්වයකි. ඔවුන් සද්භාවයෙන් යුතුව මෙම ගැටලු විසඳීම සඳහා මැදිහත් නොවීම මීට හේතුවයි. ඒ හරහා මෙරට අහිංසක පුරවැසියන්ගේ ජීවිත අවධානමට ලක්වීම අතිශය කනගාටුදායක තත්ත්වයකි.

මෙවන් අර්බුදකාරී තත්ත්වයක දී බලධාරීන් පෙරටත් වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතු වුව ද, මේ වන විට නිරීක්ෂණය වන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි.

සෞඛ්‍ය පද්ධතියේ සහ ඖෂධ ක්ෂේත්‍රයේ දිගින් දිගටම පැවති වංචා දූෂණ විෂමාචාර මෙම අර්බුදකාරී මොහොතේ දී පෙර නොවූ විරූ අයුරින් ඉව වහා ගොස් තිබීම බරපතල ඛේදවාචකයකි. ඖෂධ සම්බන්ධ බරපතළ අර්බුදයක් ඇති වී තිබෙන මොහොතක දී පවා එම විෂමාචාර පාලනය කිරීමට හෝ අවම කර ගැනීමට කිසිදු අවංක උත්සහයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති බව පැහැදිලිය.

මෙය වඩාත් සනාථ වන්නේ පසුගියදා කරළියට පැමිණි රුපියල් බිලියනයකට අධික වටිනාකමක් ඇති මානව ප්‍රතිදේහ ජනක /ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සම්බන්ධ සිදුවීමෙනි. කූඨ ලිපි ලේඛන භාවිතා කරමින් මෙරටට ගෙන්වූ අදාල ඖෂධයේ ප්‍රමිතිය පිළිබඳ කිසිදු සහතිකයක් නොමැත. ඖෂධය රට තුලට පැමිණි ආකාරය හෝ රට තුළ බෙදා හරිනු ලැබූ ආකාරය පිළිබඳව ද තොරතුරු නොමැත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙක් නොදන්නා ස්වරූපයෙන් හැසිරෙන අතර සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් ද සෑහීමකට පත්විය නොහැක. ඒ අතරතුර එම සමාගම කූඨ ලේඛන ඉදිරිපත් කිරීම හරහා තවත් ඖෂධ මෙරටට ආනයනය කර ඇති බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියම තොරතුරු හෙළිදරව් කර ඇත.

මෙහිදී උද්ගත වී ඇති බරපතලම ගැටලුව වනුයේ, දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව බරපතල වරදක් වන කූඨ ලේඛන සකස් කිරීමට චෝදනා එල්ල වන එම ඖෂධය ආනයනය කළ දේශීය සමාගම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල වගකිව යුතු ආයතන මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීමයි. අදාල සමාගම සහ එහි නිලධාරීන් ආරක්ෂා කරන ප්‍රබල අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේ දැයි බරපතල ගැටලුවක් පැන නැඟි ඇත.

හදිසි මිලදී ගැනීම් ඉහල යත්ම ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් මෙවන් ගැටලු ඇතිවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත. මාධ්‍ය සංදර්ශන හැර මේ සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම අසමත් විය. පසුගිය වසරේ දී හදිසි මිලදී ගැනීම් නිසා අහිමි වූ මුදල රුපියල් බිලියන තිහකට වැඩි බව මේ වන විට හෙළිදරව් වී ඇත.

මේ සියල්ල හරහා තහවුරු වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතිහාසයේ දූෂිතම සහ අසාර්ථකම යුගයට නායකත්වය ලබාදෙන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එම වගකීමෙන් සහ මහජන උදහසින් මිදිය නොහැකි බවයි.

ජීවිතය වෙනුවෙන් ඖෂධය ඉල්ලා අසරණ මිනිසුන් යදිද්දී, එම අර්බුදය ඉල්ලමක් කරගනිමින් ස්වකීය මඩිය තර කර ගැනීමට උත්සාහ කර ගන්නා කණ්ඩායම් වලට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙරට රෝගී ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය වටලන දිනය වැඩි ඈතක නොවන බව අපගේ පුරෝකථනයයි.