වෛද්‍යවරුන්ට යුක්තිය ඉටු නොවුනහොත් ඛේදවාචයකින් අවසන් වෙයි - GMOA අනතුරු අඟවයි

වෛද්‍යවරුන්ට යුක්තිය ඉටු නොවුනහොත් ඛේදවාචයකින් අවසන් වෙයි - GMOA අනතුරු අඟවයි

වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කර රෝහල් පද්ධතිය රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් අපොහොසත් වුවහොත්, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමේ සුදානම පිළිබඳ මාධ්‍ය හමුවකදී සඳහන් කලේ, ලබාදී ඇති එකඟතාවයන් සම්පූර්ණ කරමින්, ඛේදවාචකයකින් නිමා වීමට නියමිත සෞඛ්‍ය සේවාව සහ රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා පාලකයින්ට සහ බලධාරීන්ට ලැබී ඇති අවසන් අවස්ථාව කිසිසේත් මඟ නොහැරිය යුතු බව යලි යලිත් අවධාරණය කරන බවයි.

එම මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කලේ, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉහළ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය, සමානාත්මතාවයෙන් යුතුව සියලු පුරවැසියන්ට ලබා දීමෙහි ලා තීරණාත්මකම කාර්යභාරය ඉටු කරනුයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

ආර්ථික අස්ථාවරත්වය, ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අයහපත් වෘත්තිය පරිසරය ආදී කරුණු හේතුවෙන් වෛද්‍යවරුන් රටට අහිමි වීම හරහා මෙරට සෞඛ්‍ය සේවාවේ පැවැත්මට සිදුවන බලපෑම දරාගැනීම අපහසු වන්නේ එබැවිනි.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ සිටින වෛද්‍යවරුන්ගෙන් 25% ක ප්‍රමාණයක් නුදුරු අනාගතයේදීම රටට අහිමි වීමේ බරපතළ අවදානමක් මේ වන විට පවතී. මේ හේතුවෙන් රට පුරා රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක 400කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වැසී ගොස් හෝ ඉදිරියේ දී අඩපණ වීමේ අවදානමකට ලක්ව ඇත.

මෙම අර්බුදය ඉදිරියේදී ඛේදවාචකයක් බවට පරිවර්තනය වී රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීමට නම් වහාම වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටුකර ඔවුන්ට රට තුළ රැඳී සිටීමට සුදුසු වාතාවරණයක් සකස් කිරීම පාලකයින්ගේ මේ මොහොතේ ප්‍රමුඛතම වගකීම බව අවිවාදිතය.

බලධාරීන් තම වගකීම හඳුනානොගත් නිසා, ඔවුන්ගේ වගකිම් හා භූමිකාව ඉටු කිරීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක සේවා වලින් ඉවත් වීම ඇතුලු වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට පවා එළඹීමට සිදුවිය. ඒ අනුව පසුගිය 2023.11.02 දින සිට ආරම්භ වන පරිදි පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක එක්දින සංකේත වැඩ වර්ජන මාලාවක් ද ආරම්භ කරන ලදී. ඒ අතරතුර ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර සහ විසඳුම් රාමුව හේතුවෙන් සංකේත වැඩ වර්ජන මාලාව පමණක් තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර අනෙකුත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මකය.

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වූ විරෝධතා දින මාලාව අද දින බස්නාහිර පළාත පුරා රෝහල් ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවන්ගෙන් අවසන් වීමට නියමිතය.

හෙට දිනයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී, පෙර එකඟ වූ පරිදි එම විසඳුම් රාමුවට අදාල අවසන් හා නිශ්චිත විසඳුම් පිළිබඳ රජයේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශයට පත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තරයේ විශ්වාස කරමු.

රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය සේවාව බිඳ වැටීමෙන් ජන ජීවිත වලට නුදුරු අනාගතයේදී අත්විය හැකි ඉරණම පිළිබඳ අවබෝධයක් සහ සංවේදීතාවයක් ඇත්නම්, පාලකයින් මේ මොහොතේදී සිදුකල යුත්තේ වෛද්‍යවරුන් රැකගැනීම උදෙසා ප්‍රතිපත්ති සහ වැඩසටහන් වහාම ක්‍රියාත්මක කිරීමයි.

නමුත් යම් හෙයකින් බලධාරීන් තම වගකීම පැහැර හරිමින් සහ එකඟතා කඩකරමින් කටයුතු කිරීමට උත්සහ දරන්නේ නම්, ඊට අනුකූලව ප්‍රතිචාර දැක්වීමට ද අපට සිදුවනු ඇත.

ඒ අනුව පසුගිය 2023.11.03 දින මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වූ පරිදි තාවකාලිකව අත්හිටුවනු ලැබු වෘත්තිය ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීමටත්, එය වඩා තීව්‍ර කරමින් අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ග දක්වා ව්‍යාප්ත කිරීමටත් පසුබට නොවනු ඇත.

ලබාදී ඇති එකඟතාවයන් සම්පූර්ණ කරමින්, ඛේදවාචකයකින් නිමා වීමට නියමිත සෞඛ්‍ය සේවාව සහ රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා පාලකයින්ට සහ බලධාරීන්ට ලැබී ඇති අවසන් අවස්ථාව කිසිසේත් මඟ නොහැරිය යුතු බව යලි යලිත් අවධාරණය කරමු.