ශ්‍රී ලංකා ක්‍රිකට්, නිලධාරින් - ක්‍රීඩකයින් බදුවලින් නිදහස් ද? - GMOA

ශ්‍රී ලංකා ක්‍රිකට්, නිලධාරින් - ක්‍රීඩකයින් බදුවලින් නිදහස් ද? - GMOA

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදු වලින් නිදහස් කර ඇති බවට ප්‍රකාශ කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කල බව කියවෙන මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වන ලිපියේ අන්තර්ගතය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන මෙන් ඉල්ලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමස‍ාරිස් ජනරාල් වෙත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

GMOA/MIS/2023/0005

2023.11.06

කොමසාරිස් ජනරාල්,

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,

චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත,

කොළඹ 02.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදු වලින් නිදහස් කර ඇති බවට ප්‍රකාශ කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කල බව කියවෙන මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වන ලිපියේ අන්තර්ගතය පිළිබඳ කඩිනම් පැහැදිලි කිරීමක් සිදු කරන මෙන් ඉල්ලා සිටිම.

උක්ත කරුණ පිළිබඳ අප සංගමයේ සාමාජිකයන් ගණනාවක් විසින් මෙන්ම ශාඛා සංගම් විසින් ද අපගේ අවධානය යොමු කරවා ඇත.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අත්සනින් යුතුව 2023.11.03 දිනැතිව නිකුත් කල බව හැඟවෙන ලිපියක කොටසක් මෙලෙසින් සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වෙමින් පවතියි. (ඇමුණුම - 1)

එලෙස හුවමාරු වන ලිපියේ අන්තර්ගතයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සහ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආදායම, බදු වලින් සම්පූර්ණ ලෙසම නිදහස් කොට ඇත.

මේ පිළිබඳව අප සංගමයේ විමතිය පල කරමු. මන්ද යත් මේ දක්වා ඔබ ඇතුලු බලධාරීන්ගේ ස්ථාවරය වුයේ මෙහි සඳහන් අයුරින් කිසිදු පාර්ශවයකට හෝ පුද්ගල කණ්ඩායමකට බදු නිදහසක් කිසිසේත්ම ලබා දිය නොහැකි බවයි.

බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එලෙසින් යම් ආදායමක් බදු වලින් නිදහස් කිරීමට නම් පාර්ලිමේන්තු අනුමැතිය සහිතව වත්මන් දේශීය ආදායම් පනත සංශෝධනයට ලක් විය යුතු බවයි.

අප ඇතුලු වෘත්තීයවේදින් විසින් අසාධාරණ හා අත්තනෝමතික බදු ව්‍යුහයන් සංශෝධනය කිරීම සඳහා සිදු කල ඉල්ලීම් කෙරෙහි කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වු බලධාරීන් මෙලෙසින් තෝරාගත් එක් කණ්ඩායමකට පමණක් විශේෂිත ලෙස සැලකීම කිසිසේත්ම සාධාරණීකරණය කල නොහැකි බව අපගේ විශ්වාසයයි. 

අප සාමාජික වෛද්‍ය නිලධාරීන් සඳහා දැනට පවතින බදු ව්‍යුහය හඳුන්වා දීමට පෙර කාලයට අදාලව ගෙවිය යුතු වූ වැටුප් හා දීමනා වල හිඟ මුදල් ලැබෙන අවස්ථා වල පවා ඉතා අසාධාරණ ලෙස විශාල මුදලක් නව බදු ව්‍යුහයන් උපයෝගි කරගනිමින් අය කරගන්නා ඔබ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන්, මෙම හෙලිදරව් වී ඇති නවතම කරුණ පිළිබඳව පැහැදිලි කිරීමක් අනිවාර්යයෙන්ම සිදු කල යුතු බව අවධාරණය කරමු.

ඒ අනුව මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ඉහත සඳහන් කල ලිපියේ බදු සහන සම්බන්ධයෙන් වන අන්තර්ගතය පිළිබඳව කඩිනම් පැහැදිලි කිරීමක් සිදු කරන මෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මීට විශ්වාසි,

වෛද්‍ය හරිත අලුත්ගේ,

ලේකම්.