මැතිවරණ ප්රචාරක වාසි සලසාගැනීමේ උපායශීලි ප්‍රවේශ ඡන්දදායකයන් ප්‍රතික්ෂේප කළ යුතු බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව අද වන විට ප්රජාතන්ත්රීය අගයන් වඩාත් මූර්තිමත් වන ආකාරයේ දීපව්‍යාප්ත ඡන්ද විමසීමක් පවත්වා, තවත් විසල් මැතිවරණ ප්රවර්තනයක් සඳහා ක්‍රමයෙන් සේන්දු වෙමින් සිටින රාජ්‍යයකි. එහිලා සීමිත නියෝජනයක් සඳහා ඉදිරිපත්ව ඇති පිරිස ප්‍රමාණාත්මකව අසීමිතය. එය සංඛ්‍යාත්මක අගයක් ලෙස දක්වන්නේ නම්, මෙවර නාම යෝජනා ලබා දී ඇති සමස්ත අපේක්ෂක අපේක්ෂිකාවන් ප්‍රමාණය 8821 කි. ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක පිරිසක්, අපේක්ෂකයෙක් සතු නිත්‍යානුකූල දේශපාලන ප්‍රචාරණ හිමිකම් අයිතිය භාවිත කරමින් ඉතා වගකීම් සහගත මෙන්ම සදාචාරාත්මක මැතිවරණ ප්‍රචාරයක් සිදුකරමින් සිටිනු නිරීක්ෂණය කළ හැකිය.
එනමුත් අතලොස්සක් වන අපේක්ෂකයන් පිරිසක්, තම සුපුරුදු කූටෝපක්‍රම සහිත අවර ගණයේ මැතිවරණ ප්‍රචාරණ විධික්රම මඟින් ඡන්දදායකයන් මුලා කිරීමේ සියුම් මෙහෙයුමක නිරතව සිටිනු අපි විමසිල්ලෙන් බලා සිටින්නෙමු. එහිදී දැඩි විචාර බුද්ධියකින් මෙන්ම අනාගතවාදී දැක්මක් සහිතව සංවාදයට බඳුන් කළ යුතු ජාතික තලයේ සංසිද්ධීන් ඉමහත් අභිරුචියෙන් අඛණ්ඩව තෙපලන අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය මැතිවරණ නීති උල්ලංඝනය නොකරනු ඇති වුවද, යම් ජන කොටසක් ආසන්න දිනෙක දී නිසැකවම ලද යුතු යුක්තිය, චේතනාන්විතව පසුපසට ඇද දමනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
එවැනි අවදානම් සහගත අදියරක් කරා ජනතාව මෙහෙයවන එක් අපේක්ෂකයෙක් වනු ඇත්තේ උදය ප්‍රභාත් ගම්මන්පිල බව අපගේ නිරීක්ෂණයයි. ඔහු, වසර 2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල වූ බිහිසුණු හා තිරස්චීන ත්‍රස්ත ප්‍රහාරය හා සබැඳි වාර්තා කිහිපයක් පිළිබඳව අඛණ්ඩ සංවාදයක් අරඹා මෙදිනට ගෙවී යන්නේ පස්වැනි දිනයයි. ඔහු ඉතා චතුර ලෙස තම අභිලාශ සමනය කරගැනීමෙහිලා සිදුකරන අඛණ්ඩ මාධ්‍ය හරඹය වෙනත් කලෙක සිදු වූයේ නම් මෙලෙස කරුණු පැහැදිලි කිරීමේ අවශ්‍යතාවක් කිසිවිටෙකත් පැනනොනගිනු ඇත්තේය. පිවිතුරු හෙළ උරුමය නම් දේශපාලන පක්ෂයේ නායකත්වය දරන ඔහුට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ද පසුගිය වසර පහක කාලය තුළම පැවතිණි. එහෙත් මෙලෙස සලාක ක්‍රමයට කිසිදු නව අනාවරණයක් සිදු නොකරන, හුදූ ඡන්දදායක අවධානය පමණක් ලබාගැනීමේ අවස්ථාවෝචිත මාධ්‍ය හරඹයක් කිරීම සඳහා ඔහු වැන්නෙක් පෙළඹී ඇත්තේ මන්ද? ඒ වෙන අන් කවර කරුණක් නිසා හෝ නොව, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අවැසි ප්රචාරක වාසිය ලබාගැනීමේ අනියම් අභිලාශය සමනය කරගැනීමේ ඒකායන මාර්ගය ලෙස ඔහු මෙවර තෝරාගෙන ඇත්තේ මුලු රටක් කම්පනය කළ සංවේදී සිද්ධි දාමයක්ය.
මෙරටේ අවසන් වරට පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙම අපේක්ෂකයා සහ මෙවර තරඟ නොකරනු ලබන ඔහුගේ තවත් සහායක දේශපාලන සගයන් කිහිපදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලයෙහි යම් ජනප්‍රසාදයක් ලබා තිබූ වෛද්‍යවරයෙක් පිළිබඳව රචිත මායාකාරී හා ප්රබන්ධාකර දේශපාලන රචනා හා උද්වේගකර මාධ්‍ය සාකච්ජා කිහිපයක් නැවත විමසුමට ලක්කරන ලෙස අප ඡන්දදායක ප්‍රජාවෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. එකී වංචාසහගත අනාවරණ අබිමුව අදාළ වෛද්‍යවරයා අධිකරණ විනිශ්චයට බඳුන් වුවද අවසන ඔහු නිදොස් බව සනාථ විය. එහෙත් ඒ වනවිටත් එකී බියකරු අනාවරණ මාලාව කරතබාගෙන බොහෝ දුරක් ගමන් කල අපේක්ෂකයන් කිහිපදෙනෙක් එමඟින් ලත් ක්ෂණික ජනතා අවධානය හමුවේ තම පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සලකුණු කරගැනීමට සමත් වූහ.
මෙලෙස, මැතිවරණ නීති තුළ පවත්නා නම්‍යශීලිබව තම මැතිවරණ ජයග්‍රහණය සඳහා කවර තරම් සටකපට ලෙස යොදා ගන්නා ලද්දේ දැයි යන්න සනාථ කිරීම සඳහා අප මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස පහත සඳහන් නිදසුන ද ඔබවෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. තම නම, කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ඡන්ද ප්‍රදේශයකම ප්‍රචලිත කිරීමේ අරමුණින් එවර එක් අපේක්ෂකයෙක්, ස්වාධීන කණ්ඩාමක් තරඟය සඳහා යොදවා තිබූ අතර ඒ සඳහා ඉදිරිපත් කරන ලද අපේක්ෂක අපේක්ෂිකාවන් 22 දෙනාම එකම පවුලක හෝ නෑ සනුහරයක සාමාජිකයන් වීම අහම්බයක්ද යන්න විචාරාත්මකව විමසන ලෙස අපි ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. මෙහි පහත දක්වා ඇත්තේ එම නාම යෝජනා ලැයිස්තුවේ එක් කොටසකි.
ඉහත කරුණු සලකා බලා, ඡන්දදායකයන් හට නිවැරදි තෝරාගැනීමක් සඳහා කිසිදු පිටුබලයක් නොලැබෙන ආකාරයේ මාධ්‍ය හමු පවත්වමින් මාධ්‍ය අවකාශය ආක්‍රමණය කරනු ලබන උදය ප්‍රභාත් ගම්මන්පිල පන්නයේ අපේක්ෂක මහත්ම මහත්මීන් වෙත අනියම් ආකාරයේ ප්රචාරක වාසියක් අත් කරනොදෙන ලෙස ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය සියලු මාධ්‍ය ආයතන වෙතින් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඔහු චේතනාන්විතව උත්සහ කරනු ලබන්නේ ඔබ මාධ්‍ය ආයතනය මඟින් කිසිදු මුදලක් නොගෙවමින් ලද හැකි ප්රචාරක වාසිය ලබා ගැනීම මිස වෙන අන් කවරක් හෝ නොවන බවත්, එකී උගුලේ සිරවී අනෙක් අපේක්ෂකයන් වෙත ලබාදිය යුතු සාධාරණ කාලය නිසිලෙස ඔවුන් වෙත ලබාදෙන ලෙසත් මෙහිලා ඉල්ලා සිටීමට කැමැත්තෙමු.