නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රමික අයිතිවාසිකම් පිළිබඳ විනිශ්චය සභාවේ වාර්තාව එළිදැක්වේ

නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රමික අයිතිවාසිකම් පිළිබඳ විනිශ්චය සභාවේ වාර්තාව එළිදැක්වේ

නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලු සහ ගැහැට පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමේ සහ සමාජයට ඒවා මුදා හැරීම සඳහා පසුගිය ජුනි මස නවවෙනි දින  එම සේවක ප්‍රජාවගේ සෘජු සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ නිදහස් වෙළඳ කලාපය ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විනිශ්චය සභාවේ වාර්තාව Stand Up Movement, Stand Up Workers, සංවිධානයන් හි මෙහෙයවීමෙන් ඊයේ (22) කොළඹදී ජනමාධ්‍ය වෙත එළි දක්වනු ලැබීය.

මෙම මාධ්‍ය හමුවේ දී Stand Up Movement, Stand Up Workers, සංවිධාන වෙනුවෙන් අශීලා දන්දෙනිය අදහස් දක්වමින් කියා සිටියේ,මේ රටේ ජාතික ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබා දෙන නිදහස් වෙළඳ කලාපයේ  සේවකයන්ගේ අවම මූලික මනුෂ්‍ය අයිතිවාසිකම් හෝ ලබාදීමට ඔවුන් ගෙන් සේවය ගන්නා පාලකයන් කටයුතු නොකරන බවය.විශේෂයෙන් පසුගිය කෝවිඩ් සමයේ මුළු රටම වසා තිබිය දී,සියලු ජීවත අවදානම් දරාගෙන රටේ ආර්ථිකය වැටෙන්න නොදී රැගෙන යාමට තමන්ගේ  උපරිම සේවය ලබාදුන් මේ රටේ ප්‍රධානතම සේවක කොට්ඨාසය නිදහස් වෙළඳ කලාප සහ ඇඟලුම් සේවක සමූහය බව ඇය පෙන්වා දුන්නාය.

එහි දී අදහස් දැක්වූ පියුමි ප්‍රබෝධනී කියා සිටියේ, Man Power Service තුළින් සේවයට ගන්නා තමන් වැනි අයට සිදුවන දැවැන්ත අසාධාරණකම් පිළිබඳ කිසිදු කෙනෙකු ප්‍රශ්න නොකරන බවය.මේ රටේ  සාමාන්‍ය සේවකයෙකුට හිමිවන මූලික මානුෂික වරප්‍රසාද වලින්  10% වත් මෑන් පවර් සේවකයන්ට හිමි නොවන බව අය සාක්ෂි සහිතව පෙන්වා දුන්නාය.

යුද්ධය හේතුවෙන් සිය දෙමව්පියන් සහ ඥාතීන් අහිමිව කොළඹට පැමිණ,කටුනායක වෙළඳ කලාපයේ රැකියාවක් කරන යාපනයේ ශ්‍රීධර නිලානී ද පෙන්වා දුන්නේ, මෙම කම්හල් ඇතුලේ තරුණියකට අවශ්‍ය මූලික සනීපාරක්ෂක පහසුකම්වත්නොලැබෙන බවය.

විශේෂයෙන් මෙම වෙළඳ කලාපීය කර්මාන්තශාලා තුළ දී සංක්‍රාන්තික ලිංගිකයන්ට ඇතිවන නිගරු සහගත පිළිගැනීම සහ අවමාන සහගත සැලකිල්ල පිළිබඳව සිහින තේනුවර සහ විෂ්ණු යන තරුණයෝ කරුණු පෙන්වා දුන්හ.තමන් ද මේ රටේ සාමාන්‍ය පුරවැසියන් බව නොසිතන මෙම ආයතනවල පාලකයන් සහ ඔවුන්ගේ සහායකයන් තමන්ව ලිංගික කෙලිබඩු ලෙස සලකා ක්‍රියා කිරීම අතිශය කණගාටු දායක බවත්,එසේ කළ කර්මාන්ත ශාලාවක හෙදියකට එරෙහිව මේ වන විට අධිකරණය නඩු පවරා ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවේ දී හෙලි වූ සෙසු කාරණා අතර,මෙම සේවක සේවිකාවන්ට EPF/ETF ප්‍රතිලාභ නොලැබීම, මෑන් පවර් සේවය නියාමනය කර සේවකයන්ට සාධාරණය ඉටු කරදීමට කම්කරු දෙපාර්තමේන්තුව දක්වන  කුසීතභාවය,සහෝදර සේවක සමූහයා වෙතින් ද තමන්ට සාධාරණ ලෙන්ගතුකමන් නොලැබිම පිළිබඳ  සංක්‍රාන්තික ලිංගිකයන් පෙන්වා දුන් කරුණු ද වැදගත් වේ.