මෙවර ජනාධිපතිවරණයේදී වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ගෙන් 22%ක් ඡන්දය භාවිත කර නැති බව නිදහස් වෙළෙඳ කලාපීය කම්කරු සහයෝගිතාව පවසයි.
කටුනායක, බියගම, වතුපිටිවල, මීරිගම ආදි නිදහස් වෙළෙඳ කලාපවලට සංක්‍රමණය වී සේවය කරන 80,000ක් පමණ වූ සේවක සේවිකාවන්ට තමන් රැකියාව කරන ප්‍රදේශයේ තුළ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම් තමන්ගේ ඡන්ද අයිතිය අහිමි නොවන බව ද එම සහයෝගිතාවට අනුබද්ධ ශ්‍රමාභිමානි කේන්ද්‍රයේ සම්බන්ධීකාරක සුගත් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ (23) දින සමාජයීය හා සාමූහික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ජනාධිපතිවරණයට පසුදින ඇඳිරි නීතිය යෙදීම නිසාත් ප්‍රවාහනය යථාවත් වීමට ප්‍රමාද වීම නිසාත් ඡන්දය භාවිත කිරීමට ගම්බිම් බලා පිටත් වූ වෙළෙඳ කලාප සේවක සේවිකාවන් නැවත සේවා ස්ථානවලට වාර්තා කිරීම ප්‍රමාද විය. මේ හේතුවෙන් ඔවුන්ගේ පැමිණීමේ දීමනාව ලෙස ගෙවනු ලබන රුපියල් 5000 – රුපියල් 10,000ත් අතර මුදලක් අහිමි වී ඇතැයි ද ඒ මහතා පැවසීය. වැටුපෙන් මෙවැනි ප්‍රමාණයක් අහිමි කර ගන්නවා වෙනුවට ඡන්දය භාවිත නොකර සිටීම සුදුසු බව බොහෝ සේවක සේවිකාවන් පෙන්වා දෙන බැවින් මෙවර ඡන්දය භාවිත නොකරන නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ගේ ප්‍රමාණය මීට වඩා ඉහළ යා හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.
ගැටලව සම්බන්ධයෙන් 2015 වසරේ සිට මැතිවරණ කොමිසම ඇතුළු නිරීක්ෂණ ආයතන දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇතත් තවමත් නිසි ක්‍රමවේදයක් සකස් කර දී නැතැයි මෙම අවස්ථාවට එක් වූ නීතිඥ තරුශි දිශාරා මහත්මිය පැවසුවාය.
හැඳුනුම්පත් අස්ථානගත වූ පිරිස් සඳහා තාවකාලික හැඳුනුම්පත් සකසාගෙන පූර්ව මැතිවරණ සූදානමක් සඳහා කාලයක් නොලැබීම ද සෑම මැතිවරණ කාලසීමාවකදීම සිදු වන්නක් බව පෙන්වා දුන් ඇය කාලානුරූපීව ඇති වන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන අයුරින් මැතිවරණ නීති වෙනස් විය යුතුව ඇතැයි ද කීවාය. මෙම අවස්ථාවට ඩාමේදු සාමූහික සංගමයේ ලේකම් චමිලා තුෂාරි, රෙඩ් ඕගර්නයිශේෂන් විධායක අධ්‍යක්ෂ චන්ද්‍රා දේවනාරායන මහත්මීහු ද එක් වූහ.
රන්මලී සෝමසිරි / දිනමිණ