විභාග රාජකාරි වල නියුතු නිලධාරින් PCR පරික්ෂණ සිදු කළ යුතුයි

විභාග රාජකාරි වල නියුතු නිලධාරින් PCR පරික්ෂණ සිදු කළ යුතුයි

අවදානමක් සහිතව උසස් පෙළ විභාග රාජකාරිවල නිරත නිලධාරීන් සඳහා විශේෂ පහසුකම් සැලසිය යුතු ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ වන විට උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ගණනාවකින් කෝවිඞ් 19 ආසාධිත දරුවන් පිළිබඳව වාර්තා වී ඇත. ගම්පහ ප‍්‍රදේශයේ මෙන්ම කොළඹ ප‍්‍රදේශයේ පාසල්වල ද උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් කෝවිඩ් – 19 අසාධනය වීම තුළ විභාග රාජකාරිවල නිරත ගුරු සහ විදුහල්පතිවරු මෙන්ම අනෙකුත් දරුවන් ද දැඩි අවදානමකට ලක්ව ඇත.

බස්නාහිර පළාතේ පවතින ඇදිරි නීති තත්වය තුළ විභාග කොමසාරිස්වරයා සඳහන් කළ පරිදි පොදු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක නොවූ අතර, විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට තම වියදමින් ප‍්‍රවාහන පහසුකම් සපයා ගැනීමට සිදු විය. එසේම විභාගයට පෙනී සිටින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේදී පෞද්ගලික ප‍්‍රවාහන කටයුතු සඳහා දෙමාපියන්ට ද විශාල මුදලක් දැරීමට සිදු වූ අතර, ඔවුන් දැඩි පීඩාවකට පත් විය. විශේෂයෙන්ම ඔක්තෝම්බර් 31 දින විශාල දරුවන් සංඛ්‍යාවක් විභාගයට සහභාගි වූ ගිණුම්කරණය විෂය පැවති අතර, බස්නාහිර පළාත තුළ ඇදිරි නීති තත්ත්වය ප‍්‍රකාශයට පත් කිරීම තුළ දරුවන් මෙන්ම විභාග රාජකාරිවල නිරත නිලධාරීන් ද දැඩි දුෂ්කරතාවන්ට පත්විය. රටේ පවතින අවදානම් සහගත තත්වය යටතේ විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට ප‍්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය දිගන් දිගටම ඉල්ලා සිටි අතර, ඇදිරි නීති ප‍්‍රදේශවල විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට ප‍්‍රවාහන දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා ලිපියක් නිකුත් කර නැවත එය කෙටි පණිවිඩ ඔස්සේ සංශෝධනය කර ඇත. ඒ සම්බන්ධයෙන් මේ වන විට අපැහැදිලිතාවයක් පවතින අතර, මේ තත්ත්වය තුළ ප‍්‍රවාහන දීමනා සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විධිමත් චක‍්‍රලේඛයක් නිකුත් කළ යුතුය.

එසේම නිරෝධායනය වන දරුවන් සහ කෝවිඩ් – 19 ආසාධිත බව තහවුරු වූ දරුවන් සමග විභාග රාජකාරි වල නිරත නිලධාරීන්ට මේ වන විට කෝවිඩ් – 19 ආසාධනය වීමේ අවදානමක් ද උද්ගතව ඇත. කෝවිඞ් ආසාධිත වූවන් ලෙස හඳුනාගත් දරුවන් සම්බන්ධයෙන් හා නිරෝධායනය වන දරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ විභාග රාජකාරිවල නිරත ගුරු-විදුහල්පතිවරුන්ට PCR පරීක්ෂණ කළ යුතු වුවත් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැත. මේ තත්ත්වය තුළ ඔවුන්ට පෞද්ගලික රෝහල්වලින් PCR පරීක්ෂණ සිදු කර ගැනීමට සිදුව ඇති අතර, ඒ සඳහා රු.9500/- ක් වැනි විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇත.

උසස් පෙළ විභාගය නොවැම්බර් 06 දින දක්වා පැවැත්වෙන අතර, මේ තත්වය තුළ නිරෝධායනය වන දරුවන් සහ කෝවිඞ් අසාධිතයයි තහවුරු වූ දරුවන් සමග කටයුතු කළ විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ගේ PCR පරීක්ෂණ වෙනුවෙන් ගෙවූ මුදල් ප‍්‍රතිපූරණය කිරීමට සහ යම් නිලධාරියෙකුට PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නම් එවැනි නිලධාරීන් වෙනුවෙන් කඩිනමින් PCR පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් පැහැදිලි ක‍්‍රමවේදයක් ප‍්‍රකාශ කළ යුතුය.

වැඩබිම