මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ගේ (Public Health Nursing Officer (PHNO) සමස්ත සේවාව ඇගයීම සදහා වූ උත්සවයක් (26) දින බත්තරමුල්ල වෝටර්ස් ඒ්ඡ් (Waters Edge) හිදී පැවැතිවිණි. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය මගිනි.
විශේෂයෙන් සෞඛ්‍ය දත්ත හා දර්ශක අතුරින් ජාත්‍යන්තරික වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට යෑමේ දී මෙරට සෞඛ්‍ය පද්ධතියෙහි මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව වඩාත් ශක්තිමත් විය යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙහිදී ඉළක්කගත පුහුණු වැඩපිළිවෙළක් සදහා අවශ්‍ය වැඩපිළිවෙල අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා කඩිනමින් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා කීය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා - “මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල සේවාවක් සිදු කරනු ලබනවා. කිසිදු දෙයක් බලාපොරොත්තු නොවී මාසික වේතනයට සහ රාජකාරී ලියකියවිලිවලට සීමා නොවි ඉන් එහා ගිය සමාජ සත්කාර අත්‍යාවශ්‍ය සේවාවක් මොවුන් මුළු දිවයින තුළම සපයනු ලබනවා. මෙම කාර්ය මණ්ඩලයේ සාර්ථකත්වයේ රහස නම් ප්‍රාථමික සත්කාර ආයතනවල සාමූහිකව කණ්ඩායමක් ලෙස කටයුතු කිරිමයි. ඔවුන් වගකීමකින් සේවය කරනවා. මෙරට සෞඛ්‍ය සේවාව අද පවතින සුබවාදි තත්ත්වයට ගෙනඒමට මෙම සේවාව හේතු වී තිබෙනවා. ඉදිරියේ දී ඉළක්කගත වැඩසටහනකට යාම තුළින් ලෝකයේ සහ කළාපයේ ආඩම්බරයෙන් කතා කළ හැකි තැනකට පැමිණිය හැකි වෙනවා.”
“රෝහල්වල නේවාසික ප්‍රතිකාර ගැනීමට නොහැකිව නිවෙස්වල සිටින රෝගීන් කළමණාකරණය කිරිම ඔවුන්ගේ ප්‍රධාන වගකිමක්. එම නිවෙස් වලට ගොස් රෝගීන්ට අවශ්‍ය සේවා ලබාදීමේ ප්‍රාථමික සෞඛ්‍ය වැඩපිළිවෙළ තුළින් ආරෝග්‍යශාලා වෙත විශාල පිරිසක් පැමිණීම වැළැක්වීමට සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදි කිරීමට බෙහෙවින්ම සහයෝගයක් ලබාදෙනවා. අවදානම් සහිත දුර්වල රෝගීන් වෙනුවෙන් සේවය කිරීමේ දී විශේෂයෙන් වැඩිහිටි සහ මානසික රෝගීන්ට සහන සත්කාර සේවා සැපයීමේ දී ඔවුන් අනෙකුත් කාර්ය මණ්ඩල සමග සහයෝගයෙන් කටයුතු කරනු ලබනවා. ඉදිරියේ දී මහජන සෞඛ්‍ය හෙද සේවාවට යතුරු පැදි ඇතුලු ඔවුන්ගේ පොදු අවශ්‍යතාවයන් ලබාදීමේ දී පුමුඛතාවයක් ලබාදිය යුතුයි. නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ එයට යම් කාලයක් ගතවේවි. නමුත් දත්ත කළමණාකරණ කටයුතු සදහා අවශ්‍ය ටැබ් යන්ත්‍ර ඇතුලු උපකරණ කට්ටල ලබාදිම ගැන බෝනොවන රෝග අංශය දැනුවත් කළා. සෞඛ්‍ය ආයතන තුළ නිෂ්ශබ්දව විශාල වැඩකොටසක් සිදු කරන නිලධාරීන් සිටිනවා. ඒ වගේම කයිවාරු ගහගෙන සිටින පිරිසකුත් සිටිනවා. නමුත් වැඩකරන පිරිස හදුනාගතහොත් දුර ගමනක් යා හැකි වෙනවා.”
1926 මහජන සෞඛ්‍ය විෂය ආරම්භ කිරිමත් සමග “මහජන සෞඛ්‍ය හෙදිය” යන තනතුර ස්ථාපිතව ඇත. ඇයගේ රාජකාරිය වූයේ මාතෘ හා ළමා සෞඛ්‍ය කටයුතු සිදු කිරිම සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ කටයුතු අධීක්ෂණය කිරීමයි. 1980 වසර වන විට මහජන සෞඛ්‍ය හෙද තනතුර වෙනුවට “මහජන සෞඛ්‍ය හෙද සොයුරිය” ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට උසස්වීමක් ලබාදී ඇත. 2017 වසර වනවිට වැඩිහිටි ජනගහනය වැඩිවීම සහ බෝනොවන රෝගවල ඉහළයාමත් නිසා සේවා අවශ්‍යතාවය මත මහජන සෞඛ්‍ය හෙද නිලධාරී තනතුර ඇති කර ඊට අදාළ බඳවා ගැනීම 2018 වසරේ දී ආරම්භ කරන්නට විය. ඔවුන් ප්‍රාථමික සත්කාර ආයතනවලට (1000 පමණ) පත් කර ඇත. දැනට මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 160 ක් ස්ථිර පත්වීම් යටතේ සේවය කරනු ලබයි. තෙවන කණ්ඩායම වශයෙන් 300 දෙනෙකු පුහුණු කර බඳවා ගැනීමට සැලැසුම් කර ඇත. බෝනොවන රෝග වැළැක්වීමේ ක්‍රියාකාරකම් NCD Prevention Activities, වැඩිහිටි සත්කාර සේවා (Geriatric Care), සහන සත්කාර (ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර චාරිකා) (Palliative Care), තුවාල සත්කාර (Wound Care), හදිසි අවස්ථාවක ක්‍රියා කිරීම (Act any Emergency Situation), කුඩා පරිමාණ පරීක්ෂණ (Small scale field Research) ඔවුන් විසින් සපයන ප්‍රධාන සේවාවන් වේ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන සඳහා අවම වශයෙන් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 1000 ක් බඳවා ගැනීමේ ඇති වැදගත්කම, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල තනතුරු අනුමත කිරීම, සේවයේ නියුතු මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම, දත්ත කළමණාකරණ කටයුතු සදහා ටැබ් සහ මෙවලම් කට්ටලය ලබාදීමේ වැදගත්කම පිළිබදව ද අවධානය යොමු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුලු මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.