තත්ත්වයෙන් බාල ඖෂධ නිසා ඇස් අන්ධ වූවන් හා මියගිය අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න - වෛද්‍ය චමල් සංජීව මානව හිමිකම් කොමිසමට කියයි

තත්ත්වයෙන් බාල ඖෂධ නිසා ඇස් අන්ධ වූවන් හා මියගිය අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න - වෛද්‍ය චමල් සංජීව මානව හිමිකම් කොමිසමට කියයි
  • තත්වයෙන් බාල ඖෂධ නිසා ඇස් අන්ධ වුවන් සහ මරණයට පත්වූවන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්...

තත්වයෙන් බාල ඖෂධ නිසා ඇස් අන්ධ වීම සහ රෝගීන් මරණයට පත්වීම සම්බන්ධව අල්ලස සහ දූෂණයට එරෙහිව ජනතා ව්‍යාපාරයද, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයද, සිවිල් ක්‍රියාකාරී නීතිඥයන් ද (26) දින පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

මෙරට තුළ ලියාපදිංචි නැති තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම නිසා රෝගීන්ගේ ඇස් අන්ධ වීම සහ රෝගීන් මිය යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හා විධායක අධ්‍යක්ෂක ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ.

වෘත්තිය හා සිවිල් සංවිධාන මගින් දිගින් දිගටම පෙන්වා දෙන තත්ත්වයක් යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම මුවාවෙන් රට තුළට ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක් නොමැති ඖෂධ නිසි පරිදි තත්ව පරීක්ෂණයන්ට ලක් නොකරන ලද ඖෂධ ගෙන්වීම නිසා දැනටමත් ඒවා භාවිතා කරන රෝගීන්ගේ සංකූලතා සහ මරණයට පත් වීම් වාර්තා වන බව මෙහිදී පෙන්වා දී ඇත.

කොළඹ ඇස් රෝහල සහ නුවරඑළිය රෝහලේ අක්ෂි ශල්‍ය කර්මයට භාජන වූ රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක ඇසේ පෙනීම අඩුවීමට අදාල ශල්‍යකර්ම වලින් පසුව භාවිතා කරන ලද prednisolone කාණ්ඩය ඖෂධයක් හේතු වී ඇති බවට වාර්තා වන අතර කුමන තත්වයක් යටතේ හෝ ඇසේ පෙනීම ආබාධයට ලක් වූ රෝගීන්ට නැවත පෙනීම ලබාදීම සිදුකළ නොහැක.

එසේම තත්වයෙන් බාල නිර්වින්දන ඖෂධ නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ද සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ ද මරණ කිහිපයක්ම වාර්තා වී ඇති අතර එම රෝගීන්ට ද නැවත ජීවිතය ලබා දීමට නොහැක.

මීට අමතරව දිවයින පුරා වාර්තා නොවූ සිදුවීම් දැකිවිය හැක.

නිසි ක්‍රමවේදයක් යටතේ ඖෂධ විද්‍යාත්මක පරීක්ෂාවට ලක් කරමින් ගෙන එනවා වෙනුවට පෞද්ගලික ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් හදිසි ඖෂධ මිලදී ගැනීම් යටතේ රට තුළ ලියාපදිංචි නොමැති ඖෂධ හෝ ඖෂධ නියාමන අධිකාරිය ගුණාත්මක තත්ත්ව පරීක්ෂණයන්ට ලක් නොකරන ඖෂධ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ අන්දමට රෝගීන් වින්දිතයන් බවට පත්ව ඇතැයි මෙම පැමිණිල්ල බාර දෙමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

මෙම තත්ත්වය ඉතා බරපතළ වන අතර දිගින් දිගටම පෙන්වා දෙද්දී තත්ත්වෙත් බාල ඖෂධ ගෙන්වීම ට නිලධාරීන් බිය සැක නොදක්වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ පවතින අඩුලුහුඩුකම් නිසා බව පෙනී යන්නේ යැයි අල්ලස සහ දූෂණයට එරෙහි ජනතා ව්‍යාපාරය නායක කමන්ත රොෂාන් මහතා සඳහන් කළේය

මේ සියලු තත්ත්වයන් සලකා බලා මෙම සිදුවීමට වගකිවයුතු සියලු නිලධාරීන් මානව හිමිකම් කොම්ෂන් සභාවට කැඳවා මෙම වින්දිතයන් ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස  අල්ලස හා දූෂණය නාස්තියට එරෙහිව ජනතා ව්‍යාපාරය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියේය.