ඇඟළුම් ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන අභියෝගයන්ට මුහුණ දීමට නව වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය අවධාරණය කරයි

ඇඟළුම් ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන අභියෝගයන්ට මුහුණ දීමට නව වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය අවධාරණය කරයි

ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුදය මෙරට ඇඟලුම් අපනයන කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනු ලැබූවද පවතින තත්වය කළමනාකරනය කර ගනිමින් නව උපායමාර්ග හරහා විසඳුම් සපයා ගත යුතු බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය පවසයි. විශේෂයෙන්ම ඇඟළුම් ඇනවුම් අඩු වීම මත ඇතැම් ප්‍රධාන පෙළේ ඇඟළුම් අපනයන සමාගම් සිය සේවා ඵලදායීතාව වැඩි කර ගැනීමට සහ පිරිවැය පාලනය කර ගැනීමේ අරමුණෙන් ඔවුන්ගේ කර්මාන්තශාලාවන් හි ධාරිතාව පාලනය කිරීම, සේවක සමුහය එම සමාගම් වලට අයත් වෙනත් කර්මාන්තශාලා වෙත මාරු කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සඳහන් කරයි. පවතින අභියෝගාත්මක හා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයට පාලනය කළ නොහැකි සාධක මත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තිරසාර කළමනාකරන තීරණයන් වෙත එළැඹි අතර කිසිදු ප්‍රධාන පෙළේ සමාගමක් ශ්‍රී ලංකාව අතහැර යෑමට හෝ එම සමාගම්වල සේවය කරන සේවකයින් ගේ රැකියා සුරක්ෂිතභාවයට හානි වන කිසිදු පියවරක් හෝ ගෙන නොමැති බවද ඒකාබද්ධ ඇඟලුම් සංසද සම්මේලනය අවධාරණය කර සිටී.

ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුදයෙහි බලපෑමෙන් පූර්ණ වශයෙන් මිදීමට හෝ එය පාලනය කිරීමට හැකියාවක් නොමැති බැවින් මේ තත්වයට මුහුණ දීම සඳහා සාම්ප්‍රදායකත්වයෙන් මිදුණු නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසා සිටියේය. 2023 වසරේ දී අවසන් වීමට නියමිත GSP+ වරණීය තීරුබදු සහනය යළීත් දීර්ඝ කර ගැනීම, ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් ලබා දී ඇති ඇඟළුම් කෝටාව සැලකියයුතු වටිනාකමකින් ඉහළ නංවා ගැනීම, චීනය , ඇතුළුව ශ්‍රී ලංකාවේ ආනයන අපනයන ක්‍රියාවලියට සෘජුව මැදිහත්ව සිටින රටවල් සමග නොපමාව නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එළැඹිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. එමෙන්ම පුනර්ජනීනය බලශක්ති මූලාශ්‍ර වෙත යොමු වීම තුළ නිෂ්පාද පිරිවැය අවම කර ගැනීම,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි එකඟතාවන් මත දෙස් විදෙස් ණය ප්‍රති ව්‍යුහගත කිරීම, රජයේ වියදම් අඩු කිරීම සහ සෘජු බදු ආදායම වැඩි කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත්වීමත් එමගින් බැංකු පොළීය හා උද්දමනය යලි අවම මට්ටමට ගෙන ඒම වැනි සාර්ව ආර්ථිත ස්ථායීකරණ වැඩසටහන් තුළින් ආනයන අපනයන ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කර ගත හැකි බව ඔහු වැඩි දුරටක් පවසා සිටී.

යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි පවතින උද්දමනය හා ආර්ථික අර්බුදය හමුවේ එම රටවල සිටින ගැණුම්කරුවන් විසින් මෙරට ඇඟලුම් නිෂ්පාදකයින් වෙත ලබා දෙන ඇනවුම් 15% -20%ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති අතර මේ තත්වය මෙරට අපනයන වෙත සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව ඒකාබද්ධ ඇඟළුම් සංසදය පවසයි. 2022 වසර මෙරට ඇඟළුම් කර්මාන්තයේ ස්වර්ණමය වසරක් සනිටුහන් කරමින් ඇමරිකන් ඩොලර් බිලියන 5ක ආදායමක් හිමි කර ගැනීමට සමත් වූ අතර පවතින අර්බුද හමුවේ මේ වසරේදී ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් බිලියනයකින් පමණ අඩුවිය හැකි බව ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසිය. එමෙන්ම මෙම තත්වය 2023 වසර අවසන් වන විට යම් සාධනීය තත්වයට එළඹෙනු ඇති බව තමා අපේක්ෂා කරන බවද පැවසීය.

GSP+ වරණීය තීරුබදු සහනය මෙරට ඇඟළුම් කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා තීරණාත්මක සාධකයක් වන බැවින් මෙම සහනය දීර්ඝ කාලීනව පවත්වා ගැනීම ඇඟළුම් කර්මාන්තයේ තිරසාර පැවැත්මට අත්‍යවහ්‍ය සාධකයක් වනු ඇත. 2017 වසරරේදී හිමි වූ වරණීය බදු සහනය 2023 වසරේ දෙසැම්බර් 31වන විට වන විට අවසන් වීමට නියමිත අතර 2021 දී යුරෝපා සංගමය විසින් මේ සඳහා සිදු කළ ප්‍රතිපත්තිමය සංශෝධනයන්ට අනුව සඳහා යළි අයදුම් කිරීමේ කාලසීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කරන ලදි. යම් හෙයකින් 2025 දෙසැම්බර් 31වන දිනට පෙර යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති සුදුසුකම් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූයේ නම් 2025 වසරෙන් අනතුරුව ශ්‍රී ලංකාවට GSP+සහනය හිමි නොවන අතර සමාන්‍ය අපනයනකරුවෙකු ලෙස අදාළ තීරුබදු ගෙවීමෙන්ම පමණක් යුරෝපා සංගමයේ රටවල වෙළෙඳපොළට ඇතුලත් වීමට සිදු වනු ඇත. එහෙත් 2025 වසරෙන් අනතුරුව යළි GSP+ තීරුබදු සහනය ලබා ගැනීම සඳහා රජයේ කැපවීම ප්‍රමාණවත් නොවන බවට අපනයන ක්ෂේත්‍ර ගණනාවක අදහස වී තිබේ.

පවතින ආර්ථික තත්වය තුළ සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයින් යම් අසීරුතාවයකට පත් ව ඇති බව ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ “ජාත්‍යන්තර ඇණවුම් අඩු වීම තුළින් ඇඟළුම් සඳහා පවතින ඉල්ලුම 25%කින් පමණ අඩු වී ගිය අතර සුළු හා මධ්‍යම මෙන්ම මහ පරිමාණයේ සමාගම් සියල්ලම මේ තත්වය යළි යහපත් අතට පත් කර ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගනු ලැබුවා. වැසී ගිය කම්හල් සහ රැකියා අහිමිවීම් පිළිබඳ නිෂ්චිත දත්තයන් අපට වාර්තා වී නැති නමුත් සියලු දෙනාටම බලපා ඇති මෙම තත්වය යළි නිසි මාවතට ගැනීම සඳහා අපට කළ හැකි සියලුම ක්‍රියාමාර්ග මේවන විටත් ගෙන ඇති බව කියන්න පුළුවන්. සමහර ආයතන තාවකාලිකව වසා තිබෙන බව ඇත්තක්. එමෙන්ම ඇතැම් ආයතන සතියට දින දෙක තුනක් වැඩකරන අතර මාසික වැටුප ගෙවනවා. සුළු හා මධ්‍ය පරිමාණයේ ආයතන වලට තාවකාලිකව කෝවිඩ් කාලයේ මෙන්ම ආයතන තාවකාලිකව වසා ඇති කාලය තුළ කම්කරු කොමසාරිස්තුමාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව වැටුපෙන් 50%ක් එම ආයතනයන් හි සේවක මහත්ම මහත්මීන්ට ගෙවීම් සිදු කළා.” යනුවෙන් පැවසීය.

(ada derana)