පරිගණක තිර, Smart ජංගම දුරකතන භාවිතා කරන දරුවන්ට සෞඛ්‍ය ගැටළු රැසක්

පරිගණක තිර, Smart ජංගම දුරකතන භාවිතා කරන දරුවන්ට සෞඛ්‍ය ගැටළු රැසක්

පරිගණක තිර, Smart ජංගම දුරකතන තිර ආදිය දෙස අසීමිත කාල සීමාවක් බලා සිටීමෙන්, අසීමාන්තිකව පරිහරණය කිරීමෙන්  හා ඒවාට ඇබ්බැහි වීමෙන් ශ්‍රී ලංකාවේ දරුවන් සම්බන්ධව කායික මානසික සමාජයීය හා ආධ්‍යාත්මික සෞඛ්‍ය ගැටළු රැසක් මතුවී ඇතැයි සහකාර ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී කුමාරි ඉලුප්පිටිය පවසයි.

සහකාර ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී කුමාරි ඉලුප්පිටිය මහත්මිය මේ බව ප්‍රකාශ කලේ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අධ්‍යාපන ශ්‍රවණාගාරයේදී දැන් පැවැත්වෙන පුහුණු වැඩමුළුවක ප්‍රධාන දේශනය කරමිනි.

එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, අන්තර්ජාලය හා නව තාක්ෂණික උපකරණ වලට ඇබ්බැහි වූ දරුවන් සමාජයේ සෙසු පිරිස සමග අන්තර් සම්බන්ධතා පවත්වන්නේ සාපේක්ෂව අඩු වශයෙනි. එසේම ඔවුන් නිරන්තරයෙන් ඩිජිටල් ලෝකයේ හැසිරීම විනා ආධ්‍යාත්මික වශයෙන් සුවතාවක් වෙනුවෙන් හේතුවන කටයුතු වලින් අඩු වැඩි වශයෙන් බැහැර වෙති. කාර්යශීලී නොවී එකතැන සිටීමෙන් හා එම ඩිජිටල් උපකරණවලට අධිකව ඇබ්බැහි වීම  නිසා ඇසේ පෙනීමට හානි වීම ඇතුළුව විවිධ කායික සෞඛ්‍ය ගැටලු ඇතිවේ. අධික ආතතිය ඇතුළුව  එම දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හා ඉගෙනීමේ ගැටළු මතුවිය හැකි බවද ඉලුප්පිටිය මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

මේ කායික මානසික සමාජයීය හා ආධ්‍යාත්මික ගැටලු හේතුවෙන්  එම දරුවන් තුල ගැටලු සහගත  චර්යාත්මක වෙනස්කම් සිදුවන අතර, මේ තත්ත්වය සම්බන්ධයෙන් දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් හා සමස්ත සමාජයම දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය  බවද ඇය පවසා සිටි අතර, එසේ නොවන්නේ නම් නුදුරු අනාගතයේදී අප නොසිතන ගැටලු රැසකට පවුලක්, සමාජයක් ,රටක් ලෙස මුහුණ දීමට සිදු විය හැකි බවද ඉලුප්පිටිය මහත්මිය අවධාරණය කර සිටියාය.