මනුෂ ලියූ "The Right Eye" ජනගත කෙරේ

මනුෂ ලියූ "The Right Eye" ජනගත කෙරේ

වර්තමාන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය සහ මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කළ මනුෂ නානායක්කාර විසින් රචිත “The Right Eye” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රැංග්‍රිල්ලා හෝටලයේදී  (24) දින ජනගත කරන ලදි.

දක්ෂිණාංශික තරුණ දේශපාලඥයෙක්, කම්කරු ව්‍යාපාරය සම්බන්ධයෙන් ලියනු ලැබූ පළමු ග්‍රන්ථය වන්නේ “The Right Eye”කෘතියයි. මෙතෙක් කල් කම්කරු ව්‍යාපාරය සම්බන්ධයෙන් වාමාංශික ලේඛකයින් අතින්, වාමාංශික දේශපාලනයට නැඹුරුව ග්‍රන්ථ සකස් කර තිබුණත් දක්ෂිණාංශික ඇසකින් කම්කරු ව්‍යාපාරය සම්බන්ධයෙන් විග්‍රහයට ලක්වන පළමු ග්‍රන්ථය වන්නේ මෙයයි.

ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ඉතිහාස පිළිබද දක්ෂිණාංශික විග්‍රහයක් සහිතව එක් සංග්‍රහයකින් කියවීමේ අවස්ථාව මෙමගින් හිමිවන අතර සමස්ත කම්කරු ව්‍යාපාරය හා අනාගත ශ්‍රම වෙළදපොළ සම්බන්ධයෙන් වන පැහැදිළි දැක්මක්ද ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර තිබේ.

කම්කරු ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට ලියවී ඇති සියලුම ග්‍රන්ථ සහ ප්‍රකාශන අධ්‍යනයන කර කම්කරු ඉතිහාසයේ සැගවුන සිදුවීම්වල යතාර්ථය කරළියට ගැනීමට මෙමගින් උත්සාහ ගෙන ඇත.

කිසිදු දේශපාලන ව්‍යාපාරයකට, වාසිසහගත නොවන අයුරින් මධ්‍යස්ථ විග්‍රහයක් මෙහි අන්තර්ගත කර තිබේ.

මාධ්‍යවේදියෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කර, ආරුමුගම් තොන්ඩමන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේදී වතු කම්කරුවන්ගේ ජීවිත පිළිබද සමීප අධ්‍යයනක් කිරීමට කතුවරයාට අවස්ථාව හිමිවූ අතර එය සමස්ත කම්කරුවා පිළිබද අධ්‍යයනයකට මග විවර කළේය. ලංකා කම්කරු කොංග්‍රසය හරහා දේශපාලනයට පිවිසීම මෙම අධ්‍යයනය දේශපාලන කෝණයකින් බැලීමට අවස්ථාව උදා කර දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ දක්ෂිණාංශික දේශපාලනය තුළ සහ වාමාංශික නැඹුරුවකින් යුත් දේශපාලන ධාරාව තුළිනුත් ලැබූ අත්දැකීම් කම්කරුවා සම්බන්ධයෙන් මධ්‍යස්ථ අධ්‍යයනක් කිරීමට දොරටු විවෘත කළේය. විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම විගමණික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් මෙන්ම ලෝකයේ ශ්‍රමික ඉල්ලුම පිළිබදව සමීප අධ්‍යයනයකට  අවස්ථාව විවෘත කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අනාගත වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීම සදහා කරනු ලැබූ අධ්‍යයනයන්ද සිය ග්‍රන්ථයට ඇතුළත් කරගෙන ඇති කතුවරයා අනාතගත ශ්‍රමිකයා සම්බන්ධයෙන් අනාගතවාදී දැක්මක්ද ඉදිරිපත් කරනු ලබයි.