වැල්ලවත්ත රෙදි මෝල කියන්නේ මේ රටේ වමේ දේශපාලනයේ තිඹිරි ගෙයයි.
හයිලෙවල් පාරේ යන බස්වල ඉදහිට "රෙදි මෝල බහින්න" යැයි අසන්න ලැබීම සමහර මගීන්ට ද කොන්දොස්තරලට ද අමුත්තකි. මන්ද සමහරු පුරුද්දට එසේ කිව්ව ද අද වැල්ලවත්තේ රෙදි මෝලක් නැත. වැල්ලවත්ත යැයි අද ව්‍යවහාර වන්නේ ගාලුපාර අද්දර වැල්ලවත්තටය. එහෙත් වත්මන් "හැව්ලොක් සිටි" පිහිටි කලාපයට ශත වර්ෂයකට එහා ව්‍යවහාර වූයේ වැල්ලවත්ත කියාය. අදටත් ඒ ප්‍රදේශය හඳුන්වන නාමයක් නැත. නමුත් ඒ පැත්ත එදා සිට ජනප්‍රිය වුණේ රෙදිමෝල කියාය. ඒ ප්‍රදේශය උතුරු වැල්ලවත්ත වූ අතර ගාලු පාර කලාපය දකුණු වැල්ලවත්ත විය. |
වැල්ලවත්ත රෙදි මෝල යනු පසුගිය සියවස ආරම්භයේ දී ලංකාවේ තිබූ විශාලතම හා මෙරට ඉදි වූ ප්‍රථම මහ පරිමාණ කර්මාන්ත ශාලාව ය.
එහි ඉතිහාසය සොයා ගැනීම පහසු නැත. මන්ද ඒ පිළිබඳ කිසිවකු ලියා තියා නැත. දන්න කියන අය ද ජීවත් වෙන්නේ ඉතාම ටික දෙනෙකි. රෙදි මෝලේ ඒ ඉතිහාසය සොයා ගිය ගමනේ සටහනයි මේ.
වැල්ලවත්ත රෙදි මෝලේ ආරම්භ කලේ කවුද?
1890 දී වැල්ලවත්ත රෙදි මෝල ස්ථාපිත කරන්නේ ඉන්දීය ජාතිකයන්ය. (කුමාරි ජයවර්ධන). ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා මහතාට අනුව එහි අයිතිය හිමි වූයේ ටී.ඒ.ජී.නූර්බායිටය. නූර්බායි යනු එකල ඉන්දියාවේ සහ ලංකාවේ සිටි ධනවත්ම ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු නැව් හිමියෙක් ද විය. මෙරට පළමු නිහඬ චිත්‍රපටය වන ඇන්.ඇම්. පෙරේරා රඟපෑ "රාජකීය වික්‍රමය" චිත්‍රපටය නිෂ්පාදකයා ද, 1920 වැල්ලවත්ත ප්ලාසා සිනමාහල ඉදි කළේ ද නූර්බායි මහතා බව ප්‍රියන්ජන් සුරේෂ් මහතා පෙන්වා දෙයි.
weaving and spinning mill හෙවත් වැල්ලවත්ත රෙදි මෝල එදා පටන් මිනිස්සු හැඳින් වූයේ "වැල්ලවත්ත රෙදි මෝල" කියාය. එසේම රෙදිමෝල අසල ජීවත් වූ "විජයන්" නමැති ලේඛකයා ලියූ කෙටි පොතක සඳහන් වන්නේ ඉන්දියාවේ Koyaliya මහරාජා මෙම රෙදි මෝලේ අයිතිකරු සහ ආරම්භකයා බවය.
වැල්ලවත්ත රෙදි මෝලේ සේවය කළ 85 හැවිරිදි ඒබ්‍රහම් ජෝර්ජ් ආතර් මහතා ප්‍රකාශ කරන්නේ "ගෞරියර්" නැමති මහරාජා මෙහි හිමිකරු වූ බවයි.ඔහු වෙනුවෙන් මෙම රෙදි මෝලේ පරිපාලන කටයුතු කළේ,ඊ.එස්.කැප්ටන් නම් පාර්සි ජාතිකයෙකු බවයි. කෙසේ නමුත් මෙම වැල්ලවත්ත රෙදි මෝලේ ආරම්භකයා සහ හිමිකරු ඉන්දියානු ජාතිකයෙකු බව නිශ්චිතය.
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී එල්.ආර් ස්ටීවන් මහතා පවසන්නේ වැල්ලවත්ත රෙදි මෝලේ හිමිකරු රසල් නමැති සුද්දෙකු බවය. නමුත් රසල් යනු හිමිකරු නොව එහි ප්‍රධානියා බව ලියුම්කරුගේ මතයයි. බ්‍රිතාන්‍ය යුගයේ මෙරට සියලු මහා පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර ඉංග්‍රීසීන් සතුව පැවති අතර ඉන්දියානුවෙකුට හිමි ව තිබූ එකම කර්මාන්ත ශාලාව වැල්ලවත්ත රෙදි මෝල බව ආතර් මහතා අවධාරණය කරයි. ස්වදේශිකයකු ආරම්භ කළ ප්‍රථම කර්මාන්ත ශාලාව අනගාරික ධර්මපාලතුමන්ගේ උපදෙස් මත ඇරඹූ කැළණියේ අලියා ගිනි පෙට්ටි කම්හල බව කියවේ.
| එල්.ආර් ස්ටීවන්
1956 බලයට පැමිණි බණ්ඩාරනායක මහතා එකල ලංකාවේ තිබූ සියලුම විදේශීය සමාගම් සීමාසහිත සමාගම් (Limited) බවට පත්කොට ඒවායේ කොටස් මෙරට පුරවැසියන්ට නිකුත් කරන ලෙස පනතක් ගෙන ආ බවත්, ඒ අනුව මෙම රෙදි මෝලේ ද කොටස් ලංකාවේ පුරවැසියන්ට 49% ක් හිමි වූ බව ද 80 දශකයේ වැල්ලවත්ත රෙදි මෝල ඈවර කරන විට එහි වැඩිම කොටස් හිමිව තිබුණේ එන්.යූ. ජයවර්ධන මහතාට බව ආතර් මහතා සිහිපත් කරයි.
කාර්මික විප්ලවයෙන් පසු ජේම්ස් වොට් කපු කැටීමේ යන්ත්‍රය නිපදවීමත් සමඟම ගෘහස්ථ අත්යන්ත්‍ර කර්මාන්තයක්ව පැවති රෙදිපිළි නිෂ්පාදනය මහා පරිමාණ කර්මාන්තශාලා හෙවත් weaving mills ලෙස ලෝකයේ ප්‍රධාන නගරවල ස්ථාපිත වෙමින් පැවතුණි.
එහි ආසියානු ආරම්භකයන් වූයේ එකල (වර්තමාන පකිස්ථානය) ඉන්දියාවේ කරච්චි, ලාහෝර් ආදී ප්‍රදේශවල ජීවත් වූ ඉරාන සම්භවයක් සහිත පාර්සි ජාතිකයන් ය. පසු කලෙක මහත්මා ගාන්ධි ඉන්දියාවේ චරකය හා අත්යන්ත්‍ර රෙදි කර්මාන්තය උසිගන්වා එය ඉංදීය ජාතික ව්‍යාපාරය ලෙස ගොඩ නැගුවේත් මේ පසුබිමේ ය.
වැල්ලවත්ත රෙදි මෝලේ ඉතිහාසය ගැන අහන්න අද ජීවත්ව සිටින්නේ ඉතාම සීමිත පිරිසකි. ඔවුන් කියන මේ ඉතිහාසය ලියා තබන්නේ මතු පරම්පරාවේ දැන ගැනීමටය.
පුරා විද්‍යා බිම ඩෝසර් කිරීම
රෙදි මෝල ආසන්නයේ තිබූ පැරණි ලැයිම හෙවත් Bombay pattern සමූහ නිවාස ආකෘතික (Chaul) දෙමහල් නිවාස පේලිය (2018) පසුගිය කාලයේ මහ පොළොවට සමතලා කළේ නාගරික ඉතිහාසය, නාගරික පුරාවිද්‍යාව හෝ අන්‍ය දේශජ සම්ප්රදායේ වාස්තු විද්‍යා සම්ප්‍රදායන් පිළිබඳ මේ රටේ දේශපාලනඥයන්ට සහ නාගරික සංවර්ධන උගතුන් තබන අවම බර නිසාය.
මේ දුර්ලභ ඉතිහාස කතාව වෙනුවෙන් හොයාගෙන එම බෝම්බේ නිවාස පේළිය ජීවත් වී දැන් එම නිවාස වෙනුවට රජය ලබා දුන් "ලක්මුතු සෙවන" නව මහල් නිවාස සංකීර්යේ පදිංචි 79 හැවිරිදි B.M.ෆාරුක් මහතා හමුවීමු.
| බී. එම්. ෆාරුක්
"මගේ සීයා තමයි මුලින්ම රෙදි මෝලේ වැඩ කළේ. ඊට පස්සේ අපේ තාත්තත් මමත් එකේ වැඩ කළා. තාත්තා බුහාරි. සීයා සේරුවඩාන් ඉන්දියාවේ මදුරාසිවල ඉඳන් ආවේ. ඒගොල්ලෝ මෙහෙ ආවේ, සම්බන්ධ වුණේ කොහොමද කියලා අපි දන්නේ නැහැ .එයා වැඩ කළේ මෝලේ වීවින් අංශයේ. මේ රෙදි මෝල දැම්මෙ ඉන්දියාවේ බායිලා. ඒගොල්ලො ඒකේ වැඩට ඉන්දියාවේ මිනිස්සු අරන් ආවා. මොකද මේ weaving machine වැඩ දන්න අය ඒ කාලේ ලංකාවේ හිටියේ නැහැ. බෝම්බේ, මැඩ්රාස්වල හා කේරළයේ (මලයාලම්) මිනිස්සු තමයි මේ weaving mill වල වැඩ කරපු පළපුරුදු අය හිටියේ. 60 දශකය වන තුරු වැල්ලවත්ත රෙදි මෝලේ 60% වඩා සේවය කළේ මලයාලම් අය බව පැරණි වාර්තා වල දැක් වේ.
රෙදි මෝලේ සේවකයෝ
"මෝලේ ලොක්කෝ හිටියේ සුද්දො. ඒගොල්ලො තමයි මේ මැෂින්වල ඔක්කොම දන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම්, මලයාලම් සේරම වැඩ කළා. අපි බොහොම සහෝදරත්වයෙන් එකමුතුව තමයි හිටියේ. කවදාවත් අපි අතර ජාතිවාදී ප්‍රශ්න ආවේ නෑ. අදත් මේ පැත්තේ ඒවා නැහැ. අපේ සීයලා ඇවිල්ලා හිටියේ මෙතනම එහා පැත්තෙ ලැයිමේ. ඒකේ මුලින්ම තිබුණේ ලැයිම් පේළියක්. ඒවා හැදුවේ කොයි කාලෙ ද දන්නෑ. ඒවා කාමර වගේ. මැද ලොකු තාප්පෙකින් වෙන්වෙලා තියෙනවා. එක පේලියක ගෙවල් 12 ගානේ දෙපැත්තෙම කාමර 24 තියනවා. ඒවා හරියටම වතු ලයින් වගේම තමයි. ඒ වගේ ලයින් හතරක් තිබුණා. පස්සෙ ඉඩ මදි නිසා තමයි මෑතක දී කඩපු 1921 හදපු තනි තට්ටුවේ සොල්දර ගෙවල් (Chaul) හැදුවේ. පස්සේ තනි පේලියේ ලැයින් ටික ටික කැඩුණා. මේවා මුලින්ම හැදුවේ තනියම ආපු කොල්ලන්ට බැචුල ක්වාර්ටස් වගේ. පස්සේ ඉතින් තමන්ගෙ පවුලත් ඒකෙම තියාගත්තා. ඉන්දියාවෙන් ආව සමහර අය එනකොට ඉන්දියාවේ පවුල අරගෙන ආවා. සමහරු දරුපවුල ඉන්දියාවේ තියලා තනියම ආවා. පස්සේ ඒගොල්ලෝ ඉන්දියාවටම ගියා. තනියම ආපු අය මෙහෙ ගෑනු අරගෙන කසාද බැඳ ගෙන මෙහෙම පදිංචි වුණා.
| පැරණි ලැයිම
ඒ කාලේ (1940 )මේ ගෙදරක කුලිය රුපියල් හතරයි. එකත් කොම්පැණිය පඩියෙන්ම කපා ගන්නවා. ඒ කාලේ අපේ ගෙවල්වල ලයිට් තිබුණේ නැහැ. කුප්පි, චිමිනි ලාම්පු පත්තු කළා. සමහර ගෙවල්වල පැට්‍රෝල් මැක්ස් තිබුණා. අපේ ගෙදරත් එකක් තිබුණා. ලයිට් ආවේ හැත්තෑ ගණන්වල විතර මට මතක විදිහට" යැයි ෆාරුක් මහතා සිහිපත් කළේය.
"මලයාලම් අය ගොඩක් කැමති ලංකාවේ ගෑනු බඳින්න. මොකද ලංකාවේ ගෑනු හරි හොඳයි කියලා ඒගොල්ලොලෝ කියනවා. ඒ වගේම ඒ ගොල්ලො තමන්ගෙ ගෑනිට හරි ආදරේ නිසා, සිංහල පිරිමි වගේ මලයාලම් මිනිස්සු ගෑනුන්ට ගහන්නේ නැති, වද දෙන්නෙ නැති අය නිසා ලංකාවේ ගෑණුත් හරි කැමතියි මලයාලම් පිරිමි බඳින්න. මලයාලම් මිනිස්සු බඳින ලංකාවේ ගෑණුන්ට ඒ කාලේ සිංහල මිනිස්සු එක එක කතා, ඇනුම් පද කිව්වා කියලත් අහලා තියෙනවා. ඒ වගේම සිංහල ගෑනු බැන්ද කිසිම මලයාලම් මිනිහෙක් ඒ ගෑනිව දාලා තනි කරලා අසරණ කරලා ගිහිල්ලා නැහැ කියන එක තමයි අදටත් තියෙන ඇත්ත. එහෙම මලයාලම් මිනිස්සු බැන්ද අයගේ දරුපවුල් අදත් මේ පළාතේ ඉතාම හොඳින් ඉන්නවා. ඒගොල්ලො ගොඩක් දැන් සිංහල කතෝලික අය විදිහට ජීවත් වෙන්නේ." යැයි ෆාරුක් මහතාගේ කතාවට ඌන පූරණයක් එකතු කරමින් ආතර් මහතා ද පැවසීය.
"ලැයිමට මෙහායින් පස්සේ හදපු තනි තට්ටුවේ ගෙවල් හදලා තියෙන්නේ 1921. ඒක දැනට අවුරුදු දෙක තුනකට කලින් කඩලා දැම්මා. ඒකේ හිටපු අපිට මේ ප්ලැට් එකේ ගෙවල් දුන්නා." යැයි ඔවුහු පෙන්වා දෙති.
නිවාස පද්ධතිය
මේ නිවාස සහිත ගොඩනැගිල්ල ඉදි කර තිබුණේ බෝම්බේ බහුලව දැකිය හැකි ඉංදියාවේ නාගරික අවවරප්‍රසාදිතයන් සඳහා ඉදි කළ Chaul නිවාස ආකෘතියටය. මෙවැනි ගෙවල් ඉන්දියාවේ බොහෝ නගරවල ජනාකීර්ණ නිවාස තදබද මුඩුක්කු කලාපවල අදත් ගරාවැටුණු ජරාජීර්ණ වී නිසි ප්රතිසංස්කරණයක් නොකළ ස්වභාවයෙන් දැකිය හැක. නමුත් එම බොම්බායේ චාවුල් නිවාසවලට සමාන ගෙවල් අහුරක් ලංකාවේ තිබුණේ රෙදිමෝල කම්කරුවන් සඳහා ඉදිකළ මෝල අසල තිබූ මෙම නිවාස පද්ධතිය පමණි. 2021 වසර දක්වා එය පැවැත් වුණා නම් ඉන්දියාව සහ ලංකාව අතර එය අතිශය වටිනා ජාතික උරුමයක් බවට පත්වන්න තිබුණි. නමුත් එවැනි උරුමයන් හි සංස්කෘතික හා මාකටින් වටිනාකම නොදන්නා දේශපාලනඥයින් හා නාගරික සංවර්ධන බලධාරීන් මෙම ගොඩනැගිල්ල මේ වන විට පොළොවට සමතලා කර හමාරය.එය ඉන්දියානු ආහාර හා වෙළඳ සංකීර්ණයක් ලෙස ඉතා අපූර්ව ට පරිවර්තනය කර ඉන්දියානුවන්ගේ සිත් නගන්නා හා ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා ඉන්දීය සංස්කෘතික අනන්‍යතාවය ලංකාවේ ඇති තැනක් බවට (India tour Destination) පත් කිරීමට හොඳටම අවකාශ තිබියදී ඔවුන් මෙම ගොඩනැගිල්ල කඩා බිම හෙළුවේය. නාගරික සංවර්ධන දේශපාලන බලධාරීන් එහි දී දුටුවේ මෙම ඉඩමේ වාණිජ වටිනාකම පමණි. එය බිම හෙළා වසර ගණනක් ගත වුවද මේ දක්වා එහි කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැත.අපේ රටේ නාගරික සංවර්ධනයේ ප්‍රඥාවේ තරම එසේය.
"මෝලේ සිකුරුටි අයට ඉන්ඩ තමයි ස්වර්ණ පාරේ දැන් පන්සල ළඟ තියෙන ගෙවල් ටික හැදුවේ. රෙදිමෝල කොනේම පීටර්සන් පාරේ තණකොළ කොටුව (අද කුරේ ක්‍රීඩාංගනය) ලඟ තව ගෙවල් ටිකක් හැදුවා." යැයි ආතර් මහතා සහ ෆාරුක් මහතා පවසයි.
"ඒ වගේම ස්වර්ණ පාරේ මුල ඉඳන්ම තියෙන ලැටිස් ගෙවල් ටිකත් රෙදිමෝලේ නිවාස" බව එහි තවත් පැරණි සේවකයෙකු වන පාමංකඩ ලැම්බට් පෙරේරා මහතා පවසයි.
ආරම්භක යුගයේ දී මෙහි දහසකට ආසන්න පිරිසක් සේවය කර ඇත. නමුත් අවසානයේ 1984 රෙදි මෝල වසා දමන අවස්ථාවේ එහි සේවක සංඛ්‍යාව හත් දහසකට ආසන්න ව සිටි බව ලැම්බට් පෙරේරා මහතා පවසයි. එයට හේතුව වූයේ දිනෙන් දින වැල්ලවත්ත රෙදි මොලේ රෙදිවලට තිබූ ඉල්ලුම ධාරිතාවය ඉහළ ගිය නිසාය.
වැඩ වර්ජනය
මුල් කාලයේ වැඩ කළ අය පැය දාසයක් දවසකට වැඩ කළ බවත්, පසුව පැය නවයකට අඩු වී පනහ දශකයේ දියත් කළ වැඩ වර්ජනයෙන් එය පැය අටක් දක්වා අඩු කරගත් බව ආතර් මහතා පවසයි.
1958 වයස අවුරුදු 15 දී රෙදිමෝලේ සේවයට ගිය ෆාරුක් මහතා ලද පලමු මාසිකව පඩිය රුපියල් සියයට අඩුය. වයස අවුරුදු 13 දී (1950) රෙදි මෝලේ වැඩට ගිය අතර් මහතාගේ පළමු වැටුප රුපියල් 60 කි.ඊට පෙර ඔහුගේ පියා (ඒබ්‍රහම් ජෝර්ජ්) වොචර් ලෙස ලද වැටුප රුපියල් විස්සකි.
"අවුරුදු තුනකට සැරයක් පඩිය වැඩි වෙනවා සත පහකින් දවසකට " ආතර් මහතා පැවසීය.
"ඒ කාලේ රෙදි මෝලේ වැඩට මිනිස්සු ගන්නේ උදේට මෝලේ ගේට්ටුව ළඟට එන මිනිස්සුන්ව සුද්දා කතා කරලා අරගෙන එක එක සෙක්ෂන්වලට එක එක දවස්වලට දානවා."ආතර් මහතා සිහි කළේය.
තුන් හාර දහසක් දවසකට වැඩ මුර තුනක් වැඩ කළ වැල්ලවත්ත රෙදි මෝලේ කැන්ටිමක් තිබී නැත.
"කට්ටිය පිටින් ඇවිල්ලා ඇතුලේ කෑම වික්කේ. ඒ වගේම පොඩි පොඩි කඩ දාපු කීපදෙනෙක් හිටියා. අපේ සෙක්ෂන් ලඟම බොයිලේරුවෙන් එන උණුවතුර අරන් තේ හදලා වික්කා. එහෙම ඒ තේ කඩයප්පන් වික්ක අය තමයි මීරාසා, රාජන්, දසනායක. ජෝන් අයියා ලඟ තමයි ප්ලේන්ටි තියෙන්නෙ. කඩයප්පම්වලට ගේන්නේ ඉදිආප්ප, මයියොක්කා, මුං ඇට වගේ ඒවා. ඉඳියප්ප දෙන්නෙ පොල් සම්බෝල එක්ක හරි තව මැල්ලුමක් එක්ක හරි. ඉඳියාප්ප මුලක් සත දහයයි. ලොකු ටින්වල තමයි තේ හදන්නේ. කිරි තේ දෙන්නේ බෙලෙක් කෝප්පවල. (ආතර් අයියා කියන විදිහට වීදුරුවලත් තේ දී ඇත.)
ප්ලේන්ටියක් ශත තුනයි. ටී එකක් සත හයයි. ඒ කාලේ සිගරට් එකක් සත අටයි. ඒ කාලෙ සිගරට් ටින් ගණන් තියාගෙන තමයි ලොකු සුද්දෝ බිව්වේ. එක සුද්දෙක් හිටියා හිටියා "ඉන්ටබොටන්" කියලා. මිනිහා අතේ හැම තිස්සෙම සිගරට් ටින් එකත් තියෙනවා. අපි බොන්නේ සිගරට් එක එක අරගෙන තමයි." යැයි ෆාරුක් මහතා පැවසීය.
ඉතාමත් සතුටින් තම මතකයන් අවදි කළ ෆාරුක් මහතා.
"මයුරා ප්ලේස් එකේ දෙපැත්තෙ ඉඳලා ලුම්බිණියේ ඇල ලඟට යනකනුත් මෝල් පිටිපස්සේ කුරේ පාර්ක් එකට යනකන් මේ ඉඩම සම්පුර්ණයෙන්ම අයිති වුණේ රෙදි මෝල අයිති ඉන්දියන්කාරයාටයි. ඒක අක්කර පනහකට වැඩියි. ඒ කාලේ මේ හරියට කිව්වේ "රෙදි මෝල වත්ත" කියලා."
"පස්සෙ කාලෙක කිව්වා 69 වත්ත කියලා" යැයි මගේ පෙර ගමන් සගයා වූ ෆාසිල් මහතා පැවසීය.
"රෙදි මෝලේ ලොක්කන්ගේ බංගලා තිබුණෙත් මේ හරියෙම තමයි. මෝලේ ලොක්කා කැප්ටන් හිටියෙත් මේ එහා පැත්තෙ ජීවන්ගේ (ජීවන් කුමාරතුංග ) මාමන්ඩි (පියසේන සේනාරත්න) හිටපු ගෙදරට මෙහා පැත්තේ බංගලාවෙි.
ලොක්කගෙ පුතා හිටියා "සෝඩි කැප්ටන්" කියලා. එයාට මේ පැත්තේ Sheco brush කියලා බුරුසු කොම්පැනියක් තිබුණා. කැප්ටන්ගේ දුව ඩයනා මිසී. එයා හරිම ලස්සනයි. ඒ කාලේ ආණ්ඩුකාරයා ඔලිවර් ගුණතිලක හිටියේ පාර්ක් රෝඩ් එකේ (දැන් ගුණතිලක ගාර්ඩ්න් ) එයා මේ ඩයනා මිස් බලන්න සමහර වෙලාවට තනියම එනවා. නැංගුරම ඉස්සරහ ගහපු කාර් එකක තමයි එන්නේ.
එකල වැල්ලවත්ත රෙදි මෝල යනු රතු සමසමාජ, කොමියුනිස්ට් බලකොටුවකි.
ඒ පිළිබඳ හොඳම විස්තර කිව්වේ ආතර් මහතා.
" ඒ කාලේ සුද්දෝ තේ රබර් පොල් තමයි වගා කළේ. BCC, Liver brothers, ලිප්ටන්, බවර්ස් වගේ කොම්පැනි අයිති වුණේ සුද්දන්ට යි. ඉන්දියන්කාරයෙක් ඇවිල්ලා ලංකාවේ දාපු පළමුවෙනි කොම්පැණිය තමයි රෙදි මෝල. ඒ කාලේ හැටියට ලංකාවේ තිබුණ ලොකුම කොම්පැණිය තමයි රෙදිමෝල. මේකට ඒ කාලේ ඉදන්ම කිව්වේ වැල්ලවත්ත
weaving and spinning mill කියලා. පටන් ගන්නකොටම අටසීයක් මේකේ වැඩ කළා. ඒ කාලේ කම්කරු නිතී මුකුත් තිබුණෙ නෑ.අපේ තාත්තලා පැය දාසයක් වැඩ කළා.පහසුකම් මුකුත් නැහැ.හැමෝම වැඩ කළේ හිටගෙන තමයි. වීවින් සහ මිල් මැෂින් වැඩ හොඳටම දන්න සුද්දො තමයි සුපවයිසර්ලා හිටියේ.මේකට පුළුන් විතරයි ගේන්නේ. කපු පුළුන් ගේන්නේ පකිස්ථානයෙන්. මේ කිළුටු පුළුන් සුද්ද කරන තැන ඉඳන් අනිත් පැත්තෙන් එන්නේ රෙදි. එක ලයින් එකට මැෂින් පනහක් විතර තියෙනවා. එක මැෂිමකට කංකානිලා පස් දෙනෙක් ඉන්නවා.
රෙදි මෝලේ මුලින්ම යූනියන් එකක් හැදුවේ ගුණසිංහ."
1923,1926,1929 යන වර්ෂවල ගුණසිංහ රෙදිමෝලේ වැඩවර්ජන මෙහෙයවා ඇත. "නමුත් එයා 1933 රෙදි මෝලේ ස්ට්‍රයික් එක පාවලා දීලා ගියා. ඒ කාලයේ රෙදි මෝලේ හිටිය යූනියන් ලීඩර් තමයි කන්දසාමි."
ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ තිඹිරි ගෙය
කොළඹ නගරයේ විවිධ ආයතනවල සිටි ගුණසිංහගේ යුනියන් ලීඩර්ලා අතර කන්දසාමිට විශාල පිළිගැනීමක් තිබු බව පැරැන්නෝ කියති.
| එච් ශ්‍රී නිශ්ශංක
මේ වැඩ වර්ජනය අවස්ථාවේ දී ගුණසිංහ කළ පාවාදීම සමග වර්ජක නායකයන් කීප දෙනෙකුට රැකියා අහිමි වූහ. අසරණ වූ ඔවුන් රෙදි මෝල අසලම "යමුනා" නිවසේ (පසු කලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට මූලික සාකච්ඡා පැවැත්වූ නිවස) පදිංචි තරුණ නීතිඥයකු වූ එච් ශ්‍රී නිශ්ශංක හමු වී මේ අවනඩුව කීවේය. ඔහු වර්ජකයන්ව එකල "දකුණු කොළඹ තරුණ සංගමයේ" ක්‍රියාකාරිකයෙකු වූ ටික කලකට පෙර ලංකාවට පැමිණි කොල්වින් ආර් ද සිල්වා වෙත යොමු කළේය. ඒ අනුව කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වයෙන් වැල්ලවත්ත රෙදි මෝල කම්කරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් "වැල්ලවත්තේ කම්කරු සංගමය" ඒ අවස්ථාවේ පිහිටුවනු ලැබීය. එහි සම ලේකම්වරයෙකු වූ පිලිප් ගුණවර්ධන වෘත්තීය සමිතියේ කටයුතු කරට ගත් අතර අප්පුහාමි, කුට්ටන් හා රාමයියා යන කම්කරු නායකයෝ ද ඔහු සමඟ එකතු වූහ.
මේ අතර ගුණසිංහ ජාතිවාදය අවුලමින් සිංහලයන්ගේ රස්සා මංකොල්ලා කන "මලයාලම් කාරයන් එලවමු" කියන අදහස පෙරට ගත්තේය.
| ඒ. ඊ. ගුණසිංහ
නමුත් ගුණසිංහගේ ජාතිවාදයේ සටන්පාඨවලට රෙදි මෝලේ කම්කරුවෝ හසු නොවී සාමුහිකව සටන ගෙන ගිය නිසා, ගුණසිංහවරායේ තමන්ගේ යූනියන් එකේ මිනිස්සු රෙදි මෝලෝ වැඩට ඇතුල්කර මලයාලම් විරෝධී ව්‍යාපාරයක් ඇති කළ බවත්, "ගුණසිංහ ගෙන ආ මේ හොරිකඩ මැරවරයන් නිසා රෙදිමෝල ඇතුලේ සිංහල හා මලයාලම් මිනිස්සු අතර කෝලාහල ඇති වී බරපතළ තත්ත්වයක් ඇති වූ" බව පොලිසිය සඳහන් කර ඇත.
අවසානයේ ශක්තිමත් කම්කරු සමිතියක් වූ කොල්වින්ගේ "වැල්ලවත්ත රෙදිමෝල කම්කරු සංගමයේ" ප්‍රබල සටන්කාමීත්වය නිසා රජයට මෙයට මැදිහත්වීමට සිදු වී, 1931 කාර්මික ආරවුල් ආඥා පනත යටතේ කොමිෂන් සභාවක් පත්කර,ඒ යටතේ දෙපාර්ශ්වයටම සෑහෙන පරිදි තීන්දුවක් ලබා දී ඇත. මෙම රෙදි මෝලේ වැඩවර්ජනය පිළිබඳ අවසානයේ බලධාරීන් රජයට දුන් වාර්තාව වන්නේ " අපට කටයුතු කිරීමට සිදු වී ඇත්තේ වෘත්තිය සමිතියක් සමග නොව දේශපාලන සංවිධානයක් සමග බැවින් මෝලේ පාලක තැන ඉතා දුෂ්කර තත්ත්වයකට පත් වී ඇතැයි කම්කරු පාලක තැන වාර්තා කර ඇතැයි " යන්නය.
මේ වනවිට ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා හෝ නොතිබුණි. කොල්වින් ඇතුළු අය කටයුතු කළේ දකුණු කොළඹ තරුණ සංගමය නමිනි. ඒ අනුව "ලංකාවේ වමේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ තිඹිරිගෙය වැල්ලවත්තේ රෙදිමෝල" යයි කීම වරදක් නොවේ.
| කොල්වින් ආර් ද සිල්වා
1953 පැවති දවස් 40 වර්ජනය ද රෙදි මෝලේ වෘත්තිය සමිති ඉතිහාසයේ සුවිශේෂී තැනකි. සේවකයෝ රෙදිමෝල ඇතුලේ දින හතළිහක් රැඳී බලය අල්ලා ගෙන මෙම වර්ජනය දියත් කළහ. එහි ප්‍රධාන ඉල්ලීම වූයේ පැය නවයේ සේවා මුරය පැය අටක් කරන ලෙසය. එය අර්ධ වශයෙන් ජයග්‍රහණය කළ බවත් ඉන්පසු "උදේ හතට තත්පරයක් හෝ පහුවුණා නම් ඌව වැඩට ගන්නේ නැහැ" යන දැඩි තීරණය පාලකයන් ක්‍රියාත්මක කළ බව ද, "ඒ කාලේ අපිට රුපියල් 75 ක් වත් පඩිය හම්බ වෙන්නේ නැහැ. රුපියල් සීයක් ගන්න නං හොඳටම මහන්සි වෙලා OT වැඩ කරන්න ඕනේ" යැයි ආතර් මහතා මතක් කරයි.
ගුණසිංහගේ ජාතිවාදය
"ගුණසිංහ මලයාලම් මිනිස්සුන්ට හරිම විරුද්ධයි. එයා මලයාලම් මිනිස්සුන්ට කිව්වේ " කොච්චි" කියලා.
මෙකල වැල්ලවත්ත රෙදි මෝලේ පමණක් නොව වරාය, කොළඹ නගර සභාව හා කොළඹ වෙනත් තැන්වල ද සුළු ව්‍යාපාරිකයන් වශයෙන්ද රෙදි අපුල්ලන්නන්, කරණවෑමින්, කෝකියන්, හෝටල් සේවකයන් ලෙස ද කොච්චි මිනිසුන් විශාල වශයෙන් ලංකාවේ සේවය කරමින් ජීවත් වූ බවත්, කොළඹ ජීවත්වන මලයාලම් මිනිස්සුන්ගේ ජනගහනය සලකා බලා ඔවුන්ටත් කොළඹ නගර සභාවේ ආසනයක් ඉල්ලා සිටි අවස්ථාවේ දී ගුණසිංහ තමන්ගේ "වීරයා' පුවත්පත තුළින් ඊට දැඩි විරෝධයක් පළ කළේය .ගුණසිංහ කොච්චි මිනිස්සු ලෙස මෙසේ හැදින්වූයේ ඉන්දියාවේ කොචින් ප්‍රදේශයෙන් පැමිණි මලයාලම් මිනිසුන්ටය. කඩේ යන වචනය අපේ භාෂාවට එකතු වූයේ ද මලයාලම් භාෂාවෙනි.(Malayalam භාෂාවෙන් කඩෙයි යනු කුඩා තේ අලෙවිසැලට ය)
"1931 වන විටත් කොළඹ නගරයේ ඉන්දියානු කම්කරුවෝ 33,000 පමණ ජීවත් වූ බව කුමාරි ජයවර්ධන පෙන්වා දෙයි. මදුරාසි ප්‍රාන්තයෙන් පැමිණි ද්‍රවිඩයන් හා ට්රැවන්කෝර් කොචින් ප්‍රදේශයෙන් පැමිණි මලයාලින් වූ මේ නාගරික ඉන්දියානු කම්කරුවෝ සාමාන්‍ය වශයෙන් දේශීය කම්කරුවාට වඩා අඩු පඩියකට නුපුහුණු රක්ෂාවල් කිරීමට කැමැති වූහ."
"ගුණසිංහට පස්සේ කොල්වින් පටන් ගත්ත රෙදි මෝලේ වෘත්තීය සමිති ව්‍යාපාරයට නායකත්වය දුන්නේ පිලිප් ගුණවර්ධනයි. පස්සේ සමසමාජ පක්ෂයේ වෙච්ච බෙදීමත් එක්ක යුනියන් එකත් දෙකට කැඩුණා. වැඩි පිරිසක් ගියේ ඇන්.ඇම් එක්ක. මම හිටියෙත් ඇන්.ඇම් එක්ක. එදා ඉඳන් අද දක්වාම මම සමසමාජ තමයි."
ෆාරුක් මහතා ද කියන්නේ අද දක්වාම ඔහු සමසමාජ බවත් කිසිම දවසක යූඑන්පී එකට තමන් ඡන්දය දී නැති බවත්ය.
රෙදි මෝලේ වෘත්තීය සමිති ඉතිහාසය
තවදුරටත් වැල්ලවත්ත රෙදි මෝලේ වෘත්තිය සමිති ඉතිහාසය සිහිපත් කළ ෆාරුක් මහතා සහ ආතර් මහතා
"අපේ කාලේ සිටියේ වෘත්තිය සමිති නායකයෝ තමයි, බණ්ඩයියා, කොස්තා, ධර්මසේන වගේ අය. කොමියුනිස්ට් පක්ෂ සමිතිය කළේ රෙදි මෝල ඉස්සරහම ගෙදර හිටිය යසෝදිස් සහෝදරයා. (යසෝදිස් යනු එකල කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පතේ ප්‍රකාශකයා වූ අතර, කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන අවස්ථාවේ පක්ෂයේ අංක එක සාමාජිකත්වය ලබාදුන්නේ ඔහුටය.ඒ ඔහු ඒ වන විට සිරගතව සිටියදීය.
සමසමාජ පක්ෂය ඇතුළු වමේ බලවේගවලට රෙදි මෝලේ තිබූ වෘත්තිය සමිති නායකත්වය අවසන්වන්නේ 1977 යූ.එන්.පිය බලයට පැමිණීමෙන් පසු ජාතික සේවක සංගමය එහි බලය අල්ලා ගැනීමත් සමඟය.
ජාතික සේවක සංගමය රෙදි මෝලට මොකද කලේ ?
"ලාභ පිට ලාභ ලබපු, දහස් ගණනක් වැඩ කරපු රෙදි මෝල වහන්න වැඩ කළේ ජාතික සේවක සංගමයේ අය තමයි" යැයි ආතර් මහතා පැවසූයේ හැඟුම්බර හඬිනි.
වැල්ලවත්ත රෙදි මෝල සමග බැඳී ඇති අපූරු ඉතිහාසයක් ඇති දෙයකි වැල්ලවත්ත රෙදි මෝලේ සංගුව. වැල්ලවත්ත, බම්බලපිටිය, කුරුඳුවත්ත, නාරහේන්පිට, කළුබෝවිල කොහුවල, කිරුළපන, නුගේගොඩ, දෙහිවල, පිටකොටුව ආදී පරිවාර ප්‍රදේශවලට පවා එදා රෙදි මෝලේ සංගුවේ හඬ එකල ඇසුණි. ඒ කාලේ මිනිස්සු එය හැඳින් වූයේ "මෝල පිඹිනවා' යනුවෙනි. මේ ප්‍රදේශවල මිනිසුන් බොහෝ දෙනකු තමන්ගේ දෛනික වැඩ සකසුරුවම් කරගත්තෙ මෝලේ සංගුවේ සද්දෙත් එක්ක ය.
"ඒ කාලේ මෝලේ මැෂිමට හයි කරලා තිබුණේ භාවිතයෙන් ඉවත් කරපු නැවක එන්ජිමක්. නැවේ සයිරන් හෝන් එකේ සද්දෙට තමයි මේ අපි මෝල පිඹිනවා කියලා කියන්නේ. මුල් කාලේ මුළු මෝලම දිව්වේ මේ ඇංජිමෙන් තමයි. ඒ ඇන්ජිමට පටි දාලා තමයි මැෂින් කැරකෙන්න හදලා තිබුණේ." යැයි ෆාරුක් මහතා පැවසීය.
ඒ පිළිබඳ අතීත කතාවක් කියන ආතර් මහතා" ඒ කාලේ මම පැපොල් හැදිලා අංගොඩ උණ ඉස්පිරිතාලෙ (IDH) නවත්තලා හිටියා. උදේ හයට මෝල පිඹිනවා ඒ ඉස්පිරිතාලෙටත් ඇහුණා. හැබැයි දෙවැනි එක (7.10) ඇහෙන්නේ නැහැ මොකද එතකොට වාහන සද්දෙ නිසා වෙන්න ඇති.ඒ කාලේ හයාමාරට, හතයි දහයට,එකොලහමාරට දොළහ මාරට හවසටත් මෝල පිඹිනවා" යැයි ඔහු පැවසීය.
රෙදි මෝලේ රැකියාව
එකල ලංකාවේ රෙදි අවශ්‍යතාවයෙන් 60% කට වඩා නිෂ්පාදනය කෙරුණේ වැල්ලවත්ත රෙදි මෝලේ ය. රෙදි සඳහා වන ඉල්ලුම වැඩිවීමත් සමග පැය 24 ම රෙදි මෝල වැඩ කරන්නත් ඒ සඳහා සේවා මුර තුනක් ක්‍රියාත්මක කරන්නත් පාලකයෝ වැඩ කළහ.
"ඒ කාලේ අපේ මෝලේ හදපු රෙදි තමයි පොප්ලින්, සූටින්, චීත්ත, කොටන්, ටවල්, කලිසම් රෙදි, එස්.පී. සාරි, ඩයමන්ඩ් සාරි, අමුඩ ලේන්සු, කාපට්, වේට්ටි වගේ ඒවා. අපිටත් අවුරුද්දකට සැරයක් කාකි රෙදි දෙනවා uniform මහගන්න. ඒ කාලේ රෙදි මෝලේ වැඩ කරන ඕනැම කෙනෙක් අදුරගන්න පුළුවන් පාරෙදි කාකි කොට කලිසමයි කාකි ෂර්ට් එකයි ඇඳගෙන තමයි ඒගොල්ලො වැඩට එනකොට. ඒ කාලේ රෙදිමෝලේ වැඩ කරනවා කියන්නේ දැන් බැංකුවක වැඩ කරනවා වගේ ලොකු තත්ත්වයක්. රෙදි මෝලේ කොල්ලෙක්ට තමන්ගෙ දුවලා දෙන්න ඒ කාලේ මේ පැත්තේ දෙමව්පියෝ හරි උනන්දු වුණා. මේකේ වැඩ කළ ගෑනුන්ටත් දෑවැද්ද නැතුවම මිනිහෙක් එක්ක යන්න පුළුවන්කම තිබුණා." යැයි ලියුම්කරු සිය වැඩිහිටියන් කියනු අසා ඇත. ලියුම්කරු ජීවත් වූ ප්‍රදේශයේ සිටි අවුරුදු 20 කට නොවැඩි සීතාව ෙඅවුරුදු හතළිහක පමණ ගෝපාල් අයියාට දෙමව්පියන් සතුටින් විවාහ කර දුන්නේ ඔහු රෙදිමෝලේ වැඩ කළ නිසයි. ඒ අවස්ථාව ලියුම්කරුට තවමත් මතකය.
"ඒ කාලේ දවල් කෑම වෙලාවට සුදු නැෂනල් එකක් ඇඳගත්ත එක්කෙනෙක් එනවා අපේ රෙදිමෝල වත්තෙ ඒ කාලේ තිබිච්ච නුග ගහ ළඟට. එතන ගල්තලාවක් තිබුණා. එයා ඇවිල්ලා දවල් කෑම වෙලාවෙදි මිනිහෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන හොඳ ගතිගුණ ගැන දේශන කරනවා. බණ කියනවා වගේ. මෝලේ ගොඩක් අය විශේෂයෙන් වැඩිහිටියෝ එයාගේ කතාව අහන්න එතැනට එනවා. " කතාව අතරතුර ෆාරුක් මහතා තවත් අතීත මතකයක් ඉදිරිපත් කළේය.
වැල්ලවත්ත රෙදි මෝලේ 1977 යූ.එන්.පී රජය එනතුරු හොඳින් ලාභ ලබන වැඩ බිමක් ලෙස ක්‍රියාත්මක වෙමින් පැවතුණි.70 - 77 රජය සමයේ වමේ ආණ්ඩුවේ රෙදි මෝලේ වෘත්තීය සමිති විටින් විට ඇති කළ වැඩ වර්ජන හේතුවෙන් ආයතනය පවත්වා ගෙන යාම බරපතළ අර්බුදයකට ලක් වූ බව ආතර් මහතා සිහිපත් කරයි.
"අපේ අය ඕන දේටයි එපා දේටයි හැම එකටම ස්ට්‍රයික් කරන්න ගියා. ඉන්දියන් කාරයන්ට කොම්පැණිය එපා වුණා. ඒගොල්ලො කොම්පැණිය (එන්.යූ.)ජයවර්ධන මහත්තයට විකුණලා දාලා ගියා.එයාටත් මේක කරගෙන යන්න අපේ මිනිස්සු ඉඩ දුන්නේ නැහැ. ඒ අතර තමයි හැත්ත හතේ යූඑන්පී ආණ්ඩුව ආවේ. ඊට පස්සේ ජයවර්ධන මහත්තයා ගෙන් ආණ්ඩුව මේක පවරා ගත්තා. ඔය අතර අපේ මෝලේ Waste water ඔක්කොම දැම්මේ ඇළට. මෝලේ ඩයි උණු වතුර ඔක්කොම අපිරිසිදු වතුර තමයි ඇළට ගියේ. ඒකෙන් හොඳට තිබිච්ච ඇල සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පායන කාලෙට ඇලේ ගඳ ඉවසන්න බෑ.
"ඉස්සර මේකේ ඔරුපාරු ගියා. අපිත් නෑවා. ඒ කාලේ මෝලේ උණු වතුර වැටෙන තැනට ඇවිල්ලා මිනිස්සු උණු වතුර නෑවා අපිට මතකයි" යැයි කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී එල්.ආර්.ස්ටීවන් මහතා වරක් මෙම ලියුම්කරු සමග පැවසීය.
මේ ඇලේ වතුර අපිරිසිදුවීම පිළිබඳව තවත් අතුරු කතාවක් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති එඩ්වඩ් එදිරිසූරිය මහතා මෙම ලියුම්කරු සමඟ කියා තිබුණි.
ඔලිවර් ගුණතිලක තමයි මේ ඇලට වග කියන්න ඕනැ
"ඒ කාලේ මේකට කිව්වේ "මෝඩ ඇල" කියලා. එහෙම කිව්වේ මේ ඇල කපපු ඉංජිනේරුවට වෙච්ච වැරැද්දක් නිසා. මේ ඇල කැපුවේ කැලණි ගඟේ වතුර මට්ටම ඉහළ යනකොට ඒ පිටාර ජලය මේ ඇළ දිගේ ගෙනල්ලා වැල්ලවත්තේ සැවෝයි එක ලගින් හා දෙහිවල පාලම ළඟින් මුහුදට දාන්න. ඒ සොරොව්ව තිබුණේ තොටලඟ නාගලගම් වීදියේ. ඉතිං කැලණි ගඟේ වතුර මට්ටම ඉහළ යනකොට ඒ සොරොව්ව ඇරියාම ඒ කාලේ අවුරුද්දට දෙතුන් පාරක් මේ ඇළ දිගේ ලොකු වතුරක් ගලන නිසා මේකේ කවදාවත් අපද්‍රව්‍ය රැඳුණේ නැහැ ඒ නිසා ඇල අපිරිසිදු වුණේ නැහැ.මිනිස්සු මේකෙ නෑවා.
රෙදි හේදුවා. ඔරුපාරු ගියා. මාළු ඇල්ලුවා. පාක් රෝඩ් එකේ ඇළ අයිනේ තමයි ඒ කාලේ ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලකගේ පුද්ගලික බංගලාව තිබුණේ. ඉතින් සමහර දවස්වලට මේ ඇළ දිගේ වතුර යනකොට ඇලේ වතුර ඔලිවර් ගුණතිලක ගුණතිලකගෙ මිදුලට එනවා. එයාට මේකට කේන්ති ගිහිල්ලා ඇලේ වතුර එයාගේ වත්තට එනවා කියලා එයා ඕඩර් එකක් දීලා අර නාගලගම් වීදියේ සොරොව්ව කොන්ක්‍රීට් දාල වැහුවා.ඊට පස්සේ මේ ඇලේ වතුර ගලන එක නතර වෙලා එක තැන වතුර පල් වෙන්න ගත්තා. මහවැස්සක් ආවොත් විතරයි ඇල පිරිලා වතුර මෝයෙන් මුහුදට යන්නේ යන්නේ. ඉතින් කාලයක් යනකොට ඇල අයිනේ දිගටම මිනිස්සු ගෙවල් හදාගත්තා. ඒ ගෙවල්වල මිනිස්සුන්ගේ සේරම අපද්‍රව්‍යයි රෙදි මෝලේ සේරම ඩයි වතුරයි ඇළට ඇවිල්ලා ඇල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා."
| වැල්ලවත්ත ඇල
මේ ඇල ගාලුපාර සහ බත්තරමුල්ල දක්වා ඉතාම ලාභදායී සහ කඩිනම් මගී ප්‍රවාහන සේවයක් ලෙස පවත්වාගෙන යන්න පුළුවන් සාර්ථක ප්‍රවාහන මූලාශ්‍රයක්.ඒ සඳහා වන උත්සාහයන් විටින් විට ගත් නමුත් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට කිසිදු රාජ්‍ය ආයතනයක් ක්‍රියාත්මක වී නැති බව අදටත් සත්‍යයක්.
ඉන්පසු වැල්ලවත්ත රෙදි මෝල ඈවර කර එහි සේවකයන්ට රුපියල් 20,000 වන්දියක් සමග පෙහෙකම්හල සම්පූර්ණයෙන්ම වසා දැමිය. එහි යන්ත්‍ර සූත්‍ර යකඩවලට විකුණා දැමූ පසු එම ඉඩම පළමුව කොළඹ මහ නගර සභාවටත් දෙවනුව නාගරික සංවර්ධන අධිකාරියටත් පැවරීමෙන් පසු මේ වන විට එහි දැවැන්ත සුඛෝපභෝගී නිවාස යෝජනා ක්‍රමයක් ඉදිවී ඇත. එය "හැව්ලොක් සිටි" නමින් හැඳින් වේ.
රෙදි මෝල රජයට පවරා ගැනීම
වැල්ලවත්ත රෙදි මෝලේ ඉතිහාසය පිළිබඳ තවත් මානයක කරුණු ඉදිරිපත් කළේ, පාමංකඩ ප්‍රදේශයේ තරුණයන් අතර "ස්ටීවන් මාස්ටර්" නමින් ප්‍රකට ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වූ ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හා සමාජවාදී ජනතා පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක හා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී එල්.ආර්.ස්ටීවන් මහතාය.
"වැල්ලවත්ත රෙදි මෝලේ පහුගිය සියවස පටන් ගන්න කොටත් වැඩ කරමින් තිබිච්ච තැනක්. අපි පොඩි කාලේ ඉඳන් රෙදි මෝල ගැන මතකයි. උදේට මෝල පිඹින එකයි මිනිස්සු මොලේ වැඩට යන එකයි අපිට හොඳට පුරුදුයි .මේ මෝලේ වැඩට මුල ඉඳන්ම ගෙන්නුවේ ඉන්දියාවේ මිනිස්සු. ඩයි මාස්ටර්ලා, වීවින් මාස්ටර්ලා ඉන්දියාවෙන් ගෙන්නුවෙ ඒ අය ඒ පිළිබඳ එක්ස්පර්ට්ලා නිසා. මගේ මතක කාලයේ රෙදි මෝලේ හිටපු යූනියන් ලීඩර් තමයි සම සමාජ පක්ෂයේ (පාගොඩ) ධර්මසේන. එයා හැම තිස්සෙම වෘත්තීය සමිති වැඩ කරගෙන ගියේ පාලකයාත් එක්ක ෂේප් න්‍යායෙන්. මේ තත්ත්වය නිසා යුනියන් එක ඇතුලෙ අරගල ඇති වුණා. ඊට පස්සේ ඒක අපේ කොමියුනිස්ට් පක්ෂයේ ෂන්මුගදාසන් අල්ල ගත්තා. රෙදිමෝල ඇතුලේ අපේ යුනියන් එකේ ලොක්කා කොස්තා. අපේ පක්ෂයේ යසෝදිස් ඉස්සරහ ගෙවල් පේළියේ ගෙදරක හිටිය නිසා එයාත් යූනියන් එකේ වැඩ බැලුවා.
| ටී. බී. සුබසිංහ
ඒ කාලේ යුනියන් එකට ඔෆිස් එකක් දෙනවා රෙදිමෝල ඇතුලේ. ඊට පස්සේ ෂන්මුගදාසන් පැනලා ගියාට පස්සෙ ඒ යුනියන් එක එම්.ජී.මැන්ඩිස් අල්ලා ගත්තා. අපේ යුනියන් ඔෆිස් එකේ ෆුල් ටයිම් වැඩ කළේ පාමංකඩ පින්තු ප්ලේස් එකේ හිටපු ගෝමස්. 70 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේ වැල්ලවත්ත රෙදි මෝල ආණ්ඩුවට පවරා ගත්තා. ඒක කළේ අපේ පක්ෂයේ ටී.බී සුබසිංහ සහෝදරයා. එයා තමයි එතකොට කර්මාන්ත ඇමති. මොකද මේක හැමදාම පාඩු පිට දුවනවා කියලා තමයි කිව්වේ. එදා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තිබුණේ රටේ කර්මාන්ත දියුණු කරන එක. ඒ අනුව තමයි සුබසිංහ සහෝදරයා මේක ආණ්ඩුවට ගත්තේ. වැල්ලවත්ත රෙදිමෝල ආණ්ඩුවට ගන්න දවසෙ ලොකු උත්සවයක් තිබ්බා මට මතකයි. මමත් එතන හිටියා.රතු කොඩි ගහලා සරසලා ලොකු උත්සවයක් තියලා තමයි ආණ්ඩුවට ගත්තේ. කොහොම හරි රෙදිමෝල ආණ්ඩුවට ගත්තට පස්සේ හොඳට ලාභ ලබන්න ගත්තා. පලමුවෙනි වතාවට බෝනසුත් දුන්නා. ඒකට හේතුව බණ්ඩාරනායක මැතිණිය පිටරටින් රෙදි ගේන එක නැවැත්තුව නිසා ලංකාවේ රෙදිවලට ලොකු මාකට් එකක් එකක් හැදුනා. නමුත් ඉතින් අපේ යුනියන් ප්‍රබල නිසා, හැමදාම සේවක ඉල්ලීම්, ස්ට්‍රයික්, පිකටින් නිසා 77 වෙනකොට මේක ටිකක් අවුල් වෙන තත්ත්වෙට පත්වෙලා තිබුණා.
ජේ. ආර්ගේ විවෘත ආර්ථිකයත් එක්ක රෙදි මෝල අවසන් ගමනක
77 පත්වෙච්ච ජේ.ආර් ගේ ආණ්ඩුව ඊට පස්සේ මේකට නිසි බලධාරියෙක් පත් කළා. ගුණරත්න කියලා. එයා ඒ කාලේ පේෂකර්ම ඇමති විජයපාල මෙන්ඩිස් ගේ ගෝලයෙක්. එයා තමයි වැල්ලවත්ත රෙදි මෝල වහන්න සේරම වැඩ ටික කරන්න ආණ්ඩුවට උපදෙස් දුන්නේ. ඒ කාලේ රෙදි මෝල ජාතික සේවක සංගමයේ ලොක්කා වගේ හිටියේ පාමංකඩ ලයනල්. ජාතික සේවක සංගමයත් හරි හරියට උඩගෙඩි දුන්නා මේක වහලා දාන්න.
| ජේ. ආර්. ජයවර්ධන
වමේ වෘත්තීය සමිති බලවත් වීමත්, ජේ.ආර් ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා රෙදිමෝලේ රෙදිවලට තිබිච්ච ඉල්ලුම අඩුවීමත්, එක්ක රෙදි මෝලේ වතුර ඇළට ගිහිල්ලා ඇල ජරා වෙන එක ජරා වෙන එකත් ඉස්සරහට අරගෙන තමයි යූ.එන්.පී ආණ්ඩුව රෙදි මෝල වහලා දාන්න තීරණය කළේ. පවුල් පන් හය දාහක් ජීවත් වෙච්ච මේ රටේ රෙදි ඉල්ලුමෙන් 50% කට වඩා සප්ලයි කරපු අද තිබුණා නම් ජාතික වස්තුවක් වෙන රෙදිමෝල වහලා දැම්මේ එහෙම තමයි. රෙදි මෝලේ වැඩ කරපු මිනිස්සු ඒ කාලෙ හිටියේ රජවරු වගේ. ඒ මිනිස්සුන්ට ඒ කාලේ ලොකු ගෞරවයක්, වටිනාකමක් ලැබුණා රෙදිමෝලේ රස්සාව නිසා. පස්සෙ කාලෙක හැව්ලොක් සිටි දැවැන්ත නිවාස සංකීර්ණය හැදුනේ මේ ඉඩමෙ තමයි."යැයි ස්ටීවන් මන්ත්‍රිතුමා වැඩිදුරටත් පැවසීය.
රෙදි මෝලේ ඉඩමේ බටහිර අන්තයේ අවසානයට ඇත්තේ කනත්තක්.එය රෝමානු කතෝලික පල්ලියට අයිත් කනත්තක්. රෙදි මෝලේ වැඩ කරපු ගොඩක් මලයාලම් මිනිස්සු රෝමානු කතෝලික නිසා,ඒ මිනිස්සුන්ගේ මෘත දේහ වල දමන්න ඒ කාලයේ ඒ ප්‍රදේශයේ සුසාන භූමියක් තිබුණේ නැති නිසා රෙදිමෝලේ ඉඩමෙන්ම ඒ සඳහා ඉඩමක් වෙන් කළා විය හැකියි. ඒ කනත්ත බලාගත්තේ ඒ කාලේ "සිදයියා". (එයාගේ නියම නම සයිමන්. එයා කවුද කොහෙන්ද අවේ කවුරුත් දන්නෙ නැහැ. මිනියක් වළලපු දවසට කීයක් හරි හම්බ වුණාම වුණාම එයා හොඳටම බීල කෑගගහා ගිහිල්ලා කනත්තේ තියෙන මිනී ලෑල්ලෙ ම තමයි බුදිය ගන්නේ. එයා මැරෙනකං ජීවත් වුණේ කනත්තෙම තමයි) ඒ නිසා කවුරුත් ඒකට කිව්වේ "සිදයියගේ කනත්ත" කියලා.
රෙදි මොලේ පූරාවෘත්තය
රෙදි මෝලේ ඉතිහාසය සොයා යන ගමනේ දී හමුවූ තවත් අපූරු චරිතයකි, පාමංකඩ අළුවලවත්තෙ ලැම්බට් පෙරේරා මහතා. මේ ඔහු හෙළිදරව් කළ රෙදි මෝලේ පුරාවෘත්තයයි.
"මම ඉපදුනේ 1951.මම ඉස්කෝලේ ගියේ අර්තුසා විද්‍යාලයට. මම විභාග ඉවර වුණ ගමන්ම රෙදි මෝලේ වැඩට ගියා 1968. මගේ අයියලා සේරම වැඩ කළේ රෙදි මෝලේ. ඒ කාලේ මාව වැඩට ගත්තේ එතන මහත්තයෙක් ඉන්ටවීව් කරලා. ඉස්සර කලේ නම් රෙදි මෝලේ වැඩට අරන් තියෙන්නේ සුද්දා රෙදි මෝලේ ගේට්ටුව ලඟ ඉඳන් පාරේ යන මිනිස්සුන්ට අඬගහලා කියලා අපේ තාත්තාලා කියලා තියෙනවා. අපේ කාලේ රෙදි මෝලේ අයිතිකාරයා රාජාරාම් කියලා ඉන්දියාවේ මහරජා කෙනෙක්. ඒ වුණාට ලංකාවේ ලොක්කා වගේ හිටියේ එන්.යූ. ජයවර්ධන මහත්තයා. රෙදි මෝල ඇතුලේ යන පාර හොඳට හැදුවේ මේ රාජාරාම් තමයි. ඒ කාලෙ මෝල ඇතුලෙ හිටපු ලොක්කා තමයි වනිගතුංග මහත්තයා එහෙම. අපිට ඉතින් මාසෙකට රුපියල් සීයක පඩියක් ගන්න අම්බානක මැරෙන්ඩ ඕනේ .ඒ කොච්චර වැඩ කරත් ඉතින් අනූ අටක් වගේ තමයි ගෙවන්නේ.
අපි කොම්පැණිය (ඔහු රෙදිමෝලට කියන්නේ කොම්පැණිය කියලා) ඇතුලේ කොමිනිස්ට් පක්ෂේ යුනියන් එකක් හැදුවා. රෙදිමෝල ඉස්සර හිටපු යසෝදිස් තමයි ලීඩ් කළේ. මේ යුනියන් එක හදන දවසේ මට මතකයි කොමියුනිස්ට් පක්ෂයේ නායකයා එහෙම ආවා. අපි යූනියන් එකේ සභාපති කළේ පොල්හේන්ගොඩ කොස්තාව. එල්. ඩබ්. පණ්ඩිතත් ආවා මට මතකයි.සී.එම්.යූ යූනියන් එකේ සභාපති හිටියෙ පාමංකඩ ඇල්බට් අයියා. එයා full-time වැඩ කළා.
ලැයිමේ කට්ටිය (මලයාලම්) සෙට්වෙලා හිටියේ කොස්තාගේ පැත්තට. සිංහල මිනිස්සු ගොඩක් හිටියේ ඇල්බට් අයියා එක්ක. මලයාලම් අය හැම තිස්සෙම වලි දාගන්නවා අනිත් අයත් එක්ක. කොස්තා උන්ගේ පැත්ත ගත්තහම ඇල්බට් අයියා තමයි පාමංකඩ කට්ටියත් එක්ක ගිහිල්ලා ගේමට බහින්නේ. ඒ කාලේ මෝලේ මලයාලම් මිනිස්සුන්ට ටිකක් බලය තිබුණ නිසා ඒ හරියේ ඒගොල්ලො හැසුරුණේ චන්ඩි වගේ. මෝලේ මලයාලම් මිනිස්සු ටිකක් කොන්ට්‍රෝල් කරගෙන හිටියේ රෙදි මෝලේ ඉස්සරහා ක්ලබ් එක දාල හිටිය කුලතුංග අයියා තමයි. ඒ කාලේ බර්නාඩ් සොයිසා ගේ දකුණු අත වගේ ළඟම හිටියේ තිඹිරිගස්යායේ සේරසිංහ පොඩි මහත්තයා. එක සැරයක් බර්නාඩ් සොයිසා මහත්තයාට කට්ටියක් හූ කියන කොට සේරසිංහ පොඩි පොඩිමහත්තයා ටක් ගාලා එතනට බැස්සා. කට්ටියම ෆුල් නිශ්ශබ්ද වුණා බර්නාඩ් සොයිසා ව එක්කන් ගියා පොඩි මහත්තයා. පොඩි මහත්තයා කියන්නේ අතින් පයින් ගහගන්න පුළුවන් ඉතාම හොඳ මනුෂ්‍යයෙක්. කාටත් වැරදි කරපු නැති හොඳ චණ්ඩියෙක්. එයාගෙ ක්ලබ් එක තිබුනේ තිඹිරිගස්යාය හන්දියේ.
කැන්ටිම
අපි යනකොට කොම්පැනියේ ඇතුලේ හැමතැනම කැන්ටින් දාලා තිබුණේ. ලොකුම එක තිබුණේ කොනේම. ඉස්සර එක එක්කෙනා ඇතුලට ඇවිල්ලා කෑම තේ විකුණලා තියෙනවා. කිරුලපනේ චන්දරේ අයියා තමයි ලොකුම බිස්නස් එක කළේ. මිනිහා පාන් රාත්තල් 25 ක් විතර ගේනවා. තව සමහරු කඩයප්පන් ගේනවා. රෙදිමෝල ළඟ හිටපු මලයාලම් අය ඉදියප්පන්, තෝසේ, ඉට්ලි, වඩේ අරව මේවා පාර්සල් ගේනවා. මේවා පිළිවෙලක් කරන්න කියලා තමයි කොම්පැනියෙන්ම කැන්ටින් දැම්මෙ. කැන්ටින් ඔක්කොම පාලනය කළේ welfare එකෙන් තමයි.අපිට කූපන් පොත් දෙනවා. ඒ කූපන් පොත්වලින් තමයි කෑම ගන්න ඕනේ. සතේ ඉදන් එක එක ගණන්වලට රුපියල් පහේ දහය කූපන් පොත් තියෙනවා. මාස අන්තිමටම පඩියෙන් කපනවා අපි ගත්ත කූපන් පොත්වල ගාන. අපේ අයියා තමයි (බර්නාඩ් පෙරේරා) කැන්ටින් සුපවයිසර්.welfare එකේ ලොක්කා හිටියේ පියසේන සේනාරත්න. (ජිවන් කුමාරතුංග මහතාගේ බිරිඳගේ පියා) සෙක්ෂන් එකට එක ගානේ වගේ මේ කැන්ටින් දාලා තිබුණා. ඒ කාලේ ක්‍රිකට් බෝඩ් එකේ හිටපු ලොක්කා අපේ කොම්පැණියේ ලොක්කෙක්. එයා ක්‍රිකටර්ස්ලා ගත්තා මෝලේ වැඩට. අරගෙන ඒ අයට ක්‍රිකට් සෙල්ලම් කරන්න උදව් කළා. බන්දුල වර්ණපුර, රංජිත් සෙනවිරත්න, ඩී එස් ද සිල්වා ඒ කාලේ ප්‍රැක්ටිස් කළෙත් අපේ රෙදි මෝලේ ග්‍රවුන්ඩ් එකේමයි.එතනම එහා පැත්තෙ තිබුණා ක්ලබ් එක. ඒකට යන්න පුළුවන් උසස් නිලධාරීන්ට විතරයි. ලොක්කෝ එතෙන්ට හවසට ගිහිල්ලා කනවා බොනවා. පියසේන සේනාරත්න හිටියෙත් ඒ ළඟම මෝලේ බංගලාවක. එයා ජේ.ආර් විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ඉඳන් ළඟම හිටපු එක්කෙනෙක්. පස්සේ එයා ඒ හිටපු ගේ සල්ලිවලට ගත්තා. යූඑන්පී ආණ්ඩුව ආවහම එයාව පේෂකර්මාන්තයේ ලොක්කා කළා. තුල්හිරිය, පූගොඩ, වේයන්ගොඩ, ඔක්කොමගෙම ලොක්කා එයා තමයි. පස්සේ පොහොර සංස්ථාවේ සභාපති වුණා.
| වැල්ලවත්ත රෙදි මෝල තිබූ තැන අද දර්ශනයන්
රෙදි මෝලේ තිබුණෙ Horsepower 100 එන්ජිමක්. ඒක වැඩ කළේ කළේ steam (වාෂ්ප) වලින්. බොයිලර් තුනක් තිබුණා උණු වතුර එන්න. ඒක නැවක එන්ජිමක්. ඒක කපල් කරලා තිබුණේ ඇක්සල් දාලා මැෂින් වලට. මේකෙ වතුර ඔක්කොම යන්නේ කොම්පැණිය මැද්දේ තිබිච්ච පොකුණ වගේ එකකට. ඒක වටේට කාණු බැඳල තිබුණා. ඒකෙන් ගිහිල්ලා උණු වතුර නිවිලා ඒ වතුර ආයිත් උඩ ටැංකියකට අදිනවා. එකම වතුර ටික තමයි rotate වෙන්නේ. පස්සෙ කාලෙක මේ පොකුණේ මාළුත් හැදුනා. ඩයි සෙක්ෂන් එකේ හෝදන වතුර තමයි ඇළට ගියේ. එක එක පාට ඩයි යනකොට ඇලේ වතුර එක එක පාට වෙනවා. ඒක නිසා පස්සෙ කාලෙක මේ ඇල සම්පූර්ණම ජරාවාස වුණා.
රෙදිමෝල සම්පූර්ණයෙන්ම වහලා දැම්මෙ1984 දී . අපිට වන්දි දුන්නා. මටත් විසිපන්දාහක් හම්බවුණා. ඒ කාලේ රෙදි මෝලේ කොච්චර මිනිස්සු වැඩ කළා ද කියනවනං ෂිෆ්ට් තුනක් තිබුණා. ඒ කාලේ පැය 24ම වැඩ. ගෑනු අයට දහයෙන් පස්සේ වැඩ නෑ. අන්තිම ෂිෆ්ට් එක ඇරෙන්නේ රෑ දොලහට. එතකොට රෙදි මෝල ලඟ ඉඳන් හොරණට, අවිස්සාවේල්ලට, පිටකොටුවට, පානදුරේට හැම පැත්තටම බස් දාලා තිබුණා. රෙදිමෝල ඉඩම කොනේම තිබුණ ඉඩම අයිති පල්ලියේ ෆාදර් රෙදිමෝල අයිතිකාරයාට ඒ ඉඩම දුන්නේ නැහැ. එයා ඒක පල්ලියේ මිනිස්සුන්ට කනත්තකට දුන්නා. ඒක තමයි අද සිදයියගේ කනත්ත.
එහෙම නොවුනා නම් නොවුනනම් වැල්ලවත්ත රෙදි මෝලේ පිටිපස්සේ (බටහිර) ගේට්ටුව වැටෙන්නේ ගාලුපාර හරියේ. සිදයියාගේ කනත්තට පස්සේ තිබුණේ තනිකරම තණකොළ කොටුවයි ඇල ඉන්න දිගටම කැලෑවයි. ගාලු පාරට යනකං එක ගෙයක් වත් තිබුනේ නෑ ඒ කාලේ ඇල අයින දිගට (ධර්මාරාම පාර) යැයි ලැම්බට් මහතා වැඩිදුරටත් පැවසීය.
වැල්ලවත්ත රෙදි මෝලේ ඉතිහාසය සොයා ගිය ගමනේ දී එච්.ඒ.ජේ.හුළුගල්ල මහතා තැබූ සටහනක් මෙසේ ය. "කර්මාන්තශාලා බොහෝ සංඛ්‍යාවද කොළඹ නගරයේ ඇති අතර ඉන් සමහරක් ඉතා පැරණි වූ ඒවාය. සීමාසහිත වැල්ලවත්ත රෙදි විවීමේ හා නූල් කැටීමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත ශාලාව සර් විලියම් මිචෙල්ගේ මූලිකත්වයෙන් Darley Butler සමාගම විසින් පිහිටුවන ලද්දකි. මෙම වෙළඳ සමාගමේ අයිතිය ගවලියර් හි මහරාජා වන මත්රිදාස් ගෝකුලදාස් මහතාට ද ලාංකික කොටස්කරුවන් සහිත සමාගමකට ද පැවරිණි." |
| උපුල් ජනක ජයසිංහ
(අරුණ පුවත්පතට ලියූ ලිපි මාළාවක සංස්කරණයකි)
සබැඳි පුවත්
- “කොළඹ අයිතිකාරයෝ“ පාමංකඩ වමේ බලකොටුවක්
- “කොළඹ අයිතිකාරයෝ“ - BMICH තියෙන තැන හිටපු කම්කරුවන්ට මොකද වුණේ ?
- "කොළඹ අයිතිකාරයෝ" - ලංකාවේ පළමු වර්ජනය සිදුකර ඇත්තේ පාරුකරුවන්
- "කොළඹ අයිතිකාරයෝ" - වැල්ලවත්ත ඇලේ පාරු බත් කෑ ජස්ටින් අයියා
- කොළඹ අයිතිකාරයෝ - සියවසක් කොළඹ දිහා බලාගෙන සිටි ජින්තුපිටියේ පියසිලි අම්මා