"කොළඹ යනු සිලෝනය හෝ ලංකාව තුළින් පරිණාමය වූවක් නොවේ. සිලෝනය නිර්මාණය කළේ කොළඹ යි." - "සිලෝනයෙන් ශ්‍රී ලංකාවට" මහාචාර්ය නිහාල් පෙරේරා"
ලංකාවේ පුරාවිද්‍යාවයි නාගරික සංවර්ධනයයි නොසලකා හරින ලද මහා දැවැන්ත මාතෘකාවකි කොළඹ නගරයේ උප සංස්කෘතිකබද චූල ඉතිහාසය සහ එහි සංස්කෘතික කතාව. ඒ පිළිබඳ ඉතාම වැදගත් විග්‍රහයක් මහාචාර්ය නිහාල් පෙරේරාගේ උක්ත ග්‍රන්ථයේ දැක්වේ.
ග්‍රාමීය ජනප්‍රවාද, ජනශ්‍රැති සහ ජනකතා තුළින් අපි අපේ මහා ඉතිහාසය ඉගෙන ගනිමු. කොළඹ නාගරික මහා සංස්කෘතියට පෙර ජාත වූ නාගරික උපසංස්කෘතියට අදාල මහා ඉතිහාසය සැඟවී ඇත්තේ වර්තමානයේ මුඩුක්කු පැල්පත් ආශ්‍රිත ජනකවයේ ජීවත්වන වැඩිහිටියන් අතරය. ඔවුහු එකිනෙකා දැන් අපෙන් සමු ගනිමින් සිටිති. ඔවුන් සතු කොළඹ නගරයේ ඉතිහාසයට අදාළ මතක සහ අත්දැකීම් සහ කතා ලෝක නගර උපසංස්කෘතිවල ඉතිහාස කතාවලට කිසිසේත්ම දෙවැනි නැත. වෙනස් නැත. මේ එවැනි මහා ඉතිහාසයක් දරාගෙන සිටින තොටළඟ උපතිස්සගේ මතක ඇවිස්සීමයි.
වර්තමාන බණ්ඩාරනායක මාවත හෙවත් ගල්වල ප්‍රදේශයේ (එදා සිල්වර්ස්මිත් පාර) සෙක්කුවත්තේ සුරවීර ආරච්චිගේ විලියම් සිංඤෝට සහ ආමර් වීදියේ (සුලෙයිමන් රෝහල අසල) ලංකා හෝටල්වත්තේ ජයවර්ධන කංකානම්ගේ ප්‍රේමවතීට දාව (1950) උපන් උපතිස්ස හැදී වැඩුනේ අම්මගේ නිවස තිබූ ග්‍රෑන්ඩ්පාස් කලාපයේ ය.
පසුව ඔවුන් තොටලඟ පෙට්ටිමඩුවත්තට පැමිණ පදිංචි වී ඇත.
"අපේ සීයා පිටකොටුවේ අත් කරත්ත කුලියට දීපු කෙනෙක්. අපේ තාත්තගෙ මහ ගෙවල් තිබුණේ සෙක්කුවත්ත ළඟ තමයි, සිල්වර්ස්මිත් වීදියේ බණ්ඩාරනායක මහත්තයලගේ වලව්ව තිබුණේ. ඒක පස්සේ ඉස්කෝලෙකට දුන්නා. දැන් එතන මුස්ලිම් විද්‍යාලයක් තියෙනවා."
බණ්ඩාරනායක මහතා නාගරික මන්ත්‍රී වීම
මහමුදලි බණ්ඩාරනායක මහතා සහ ඩේසි ඔබේසේකර ආර්යාව ජීවිත් වූ උඩුගහපිටිය වලව්ව ලෙස එය ප්‍රකටය. ඔබේසේකර ආර්යාව මහිලා සමිතිය පටන් ගත්තේ ද මෙම නිවසේ බව සඳහන් වේ. බණ්ඩාරනායක මහතා මුලින්ම නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනයට පිවිසියේ මෙම නිවස අයත් නිව්බසාර් ආසනයෙනි. ඒ 1927 ජනවාරි සිට 1931 දෙසැම්බර් දක්වා.
පසුගිය දවසක මෙම විද්‍යාලයේ උත්සවයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ, මෙම වලව්වට අයත්ව තිබූ පැරණි අශ්ව ස්තාලය සහ ඉඩම එම පාසලට ඉල්ලා ඇත. නමුත් මේ වන විට එහි වෙනත් ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. සත්‍ය වශයෙන්ම සිදුකිරීමට නියමිතව තිබුණේ එම අශ්ව ස්ථානය සංරක්ෂණය කිරීම බව ප්‍රදේශවාසී පැරැන්නෝ කියති.
"මගේ තාත්තා ට්‍රොලිබස්, ට්‍රෑම් කාර් මැකෑනික් කෙනෙක්. ජනප්‍රිය නළුවෙක් වෙච්ච බී.එස්.පෙරේරා ඒ කාලේ ට්‍රොලි බස් කොන්දොස්තර කෙනෙක්. එයා තාත්තගේ හොඳම යාලුවෙක්. එයා හිටියේ ස්ටේඩියම් එක ඉස්සරහ තියෙන නගර සභා ගෙවල්වල.
"මගේ අම්මගේ අම්මා ඇල්බිනාහාමි. ආච්චිගේ අක්කා අපේ ලොකු ආච්චි මර්තිනාහාමි. ලොකු ආච්චි බැඳලා නැහැ .එයා පළාතේ ටිකක් බලයක් තියෙන කෙනෙක්. මොකද ග්‍රෑන්ඩ්පාස් වල තිබුණා කොහු කොම්පැනියට (ඕල්කොට් හොලංකා සමාගම) මිනිස්සු වැඩට දාන කංකානි එයා. ඒ නිසා එයාට හැමෝම කිව්වේ "මර්තිනාහාමි කංකානම්" කියලා. මුලින් එයා දේශපාලනය කළේ ගුණසිංහ මහත්තයා එක්ක. මොකද ඒ කාලේ ප්‍රේමදාස මහත්තයයි වින්සන්ට් පෙරේරා මහත්තයයි හිටියේ ගුණසිංහගේ පක්ෂයේ. ඒ දෙන්නා එදා ඉදන්ම එකටම තමයි හිටියේ. ඒ දෙන්නම මුලින්ම නගර සභාවට ගියේ ගුණසිංහගේ පක්ෂයේ බයිසිකලෙන් ඉල්ලලා. පස්සේ වින්සන්ට් පෙරේරායි ප්‍රේමදාසයි යූඑන්පි එකට යනකොට අපේ ආච්චිත් පට්ට යුඑන්පිකාරයෙක් වුණා. ඒ දෙන්නගේ කැන්වසින්වලට, පෙළපාලිවලට ආච්චි තමයි ගැහැණු අරගෙන යන්නේ. මොකද ආච්චි කතා කළොත් ඕන ගෑනියෙක් එනවා. එයාට හරි බයයි ඒ පැත්තේ අය. හොඳ බලයක් හොඳ හයියක් තිබුණා. එයා ප්‍රසිද්ධ වුණේ ප්‍රේමදාස මහත්තයාගේ වින්සන්ට් පෙරේරාගේ ළඟම කෙනෙක් විදිහට.
ප්‍රේමදාස මහත්තයා
දවසක් ප්‍රේමදාස ස්ථිර අගමැතිතුමා හම්බවෙන්න අපේ ආච්චි සුචරිතයට ගියහම එතන හිටපු අය මොනවා හරි බාධා කරලා. ඒක දැකලා ප්‍රේමදාස මහත්තයා ආච්චිව ඇතුලට අරගෙන ඒ අයට කිව්වලු "මම කසාද බඳින දවසේ මගේ අම්මා වෙනුවෙන් පෙනී හිටියේ මේ මර්තිනාහාමි තමයි" කියලා. ප්‍රේමදාස මහත්තයගේ මගුල් දවසේ එයා එක්ක අපේ ආච්චි ඉන්න ෆොටෝ එකක් අපේ මාලිගාවත්තේ කුමාරදාස මාමා ළඟ තිබුණා. අපේ ලොකු ආච්චි බැන්දේ නැති නිසා එයා වෙනුවෙන් අපේ පවුලේ අයට ප්‍රේමදාස මහත්තයා ගෙවල් දුන්නා මාලිගාවත්තේ. ආච්චි මැරෙන කොට ප්‍රේමදාස මහත්තයා හිටියේ ගම්උදාවේ. හේමා ප්‍රේමදාස මහත්මිය ඇවිල්ලා කිව්වා අවමංගල්‍යයේ කටයුතු සේරම බාර ගන්නවා කියලා. පස්සේ මල ගෙදරටත් ඇවිල්ලා අවමංගල්‍ය උත්සවයටත් අගමැතිතුමායි වින්සන්ට් පෙරේරා මහත්තයයි ආවා." යැයි උපතිස්ස අතීතයෙන් බිඳක් පැවසීය.
කොළඹ නාගරික දේශපාලනයට නාගරික චූල වංශයේ උපසංස්කෘතික වටාපිටාවෙන් බිහිවුණ ප්‍රධාන දේශපාලඥයන් අතර වින්සන්ට් පෙරේරා සැලකෙන්නේ නාගරික ලුම්පන් සංස්කෘතියේ විශිෂ්ට යුග චරිතයක් ලෙසයි. ඔහු ජීවත් වුණේ ග්‍රෑන්ඩ්පාස් මෝලවත්ත හෙවත් වර්තමාන ස්වර්ණ චෛත්‍ය පාරේ ලැටිස් ගහපු පේලි නිවසකය.ඒ ඔහු උපන් නිවාසය. ඇමති කාලෙත් හවසට ඔහු ස්වර්ණ චෛත්‍ය පාරේ පිහිටි ඔහුගේ කුඩා නිවසේ පඩිය උඩ වාඩි වී මිනිසුන් සමඟ සාද කතාවේ වැටී සිටීම එම ප්‍රදේශවාසීන්ට සාමාන්‍ය දසුනකි.
"අපි පුංචි කාලේ එයා හවසට ඇවිල්ලා ලිවර් බ්‍රදර්ස් එක ළඟ හතේ - අටෝවත්ත ලඟ සිංහල බෙහෙත් සාප්පුවේ පඩිය උඩ තමයි වාඩිවෙලා ඉන්නේ. මිනිස්සු එතනට ඇවිල්ලා තමයි ගමේ ප්‍රශ්න කතා කරන්නේ. ගමේ කෙනෙක් ප්‍රශ්නයක් කිව්වොත් හොඳට අහනවා. සමහරක් වෙලාවට අදාල තැනට ලියුමක් දෙනවා අරගෙන යන්න කියලා."
වින්සන්ට් පෙරේරා යනු මහා දැවැන්ත උගතෙක් නොවේ. ඔහු නොතාරිස්වරයෙක්. අලුත් කඩේ උසාවිය අසල කෙහෙල්වත්තේ ඔහුගේ කාර්යාලයක් තිබී ඇත. කොළඹ නාගරික චූල ජනාවාස ආශ්‍රිත උප සංස්කෘතියෙන් බිහි වූ විශිෂ්ටම දේශපාලඥයන් දෙදෙනා ප්‍රේමදාස සහ වින්සන් පෙරේරා බව අවිවාදිතය.
උපතිස්සට රස්සාව දුන්නේ ද වින්සන්ට් පෙරේරා මහතා බව ඔහු පවසයි.
"දවසක් මම පාරේ යන කොට දැකලා වින්සන්ට් පෙරේරා මහත්තයා එයාගේ කාර් එකේ මාව දාගෙන නගර සභාවට ගිහිල්ලා නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් එකට රස්සාවට දැම්මා. එකේ හිටපු දෙමල ලොක්කෙක් හැම තිස්සෙම මට කතා කරන්නේ උඹ බං බොලං කියලා. දවසක් මම ඌට හොඳටම බැනලා ගෙදර ආවා, ඊට පස්සේ රස්සාවට ගියේ නැහැ."
තොටළඟ ඒ කාලේ ගොඩක් තිබුණේ පොල් අතු නිවාස. ඒවායේ ගොඩක් හිටියේ ලීමෝල්වල වැඩ කරපු අය. අපි හිටිය වත්ත පෙට්ටිමඩුවත්ත දැන් කියන්නේ 75/95 ජනාවාසය කියලා. තේ කොල පෙට්ටි හදන මඩුවක් තිබිච්ච නිසායි අපේ වත්තට ඒ නම වැටුනේ. එකේ උළු හෙවිල්ලපු පේලි ගෙවල් අනූවක් විතර තිබුණා. කුලිය රුපියල් දහයයි. පෑලියගොඩ මදනායක මුදලි හාමුට තමයි ඒ ගෙවල් අයිති වුණේ. අද පෑලියගොඩ පොලිසිය තියෙන්නේ මදනායක වලව්වේ තමයි. එයාගේ තමයි මදනායක බස් කොම්පැනිය. ඒ බස් යාඩ් එක තමයි අද කැලණිය ඩිපෝව.
| අද ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ඇන්. ඇම්ගේ නිවසයි
කොළඹ වතු
"අල්විස් මහත්තයාගේ වත්තේ" (381වත්ත) ගොඩක් හිටියේ එක එක්කෙනා ඇවිල්ල අටෝ ගත්ත ගෙවල්වල. 391 වත්තට කිව්වේ "ගැරේජ් එක වත්ත" කියලා. ඒ ඉඩම අයිති අයගේ ගැරේජ් එකක් එතන තිබුණා. ඒකෙ මිනිස්සු ගෙවල් හදාගෙන ඒ අයට කුලියක් දුන්නා. "සෙක්කුවත්ත" (211),"පන්සල් වත්ත" (412),"ඉස්කෝලවත්ත" "මාර්කට් එක වත්ත" (33),"හාමුගේවත්ත" (361),"ලූකස් පාරේ ගෙවල්", "වැලිගොඩවත්ත" (225), "කම්මල්වත්ත", "තාච්චිවත්ත" (259) එකල තොටළඟ පරිවාරයේ තිබූ නාගරික චූල ජනාවාස සංකීර්ණයයි.
"එන්.එම්. පෙරේරා මහත්තයාලගේ ගෙයක් තිබුණා අපේ 75 වත්තේ. එයාගේ තාත්තා තොටළඟ මාටින්. පස්සේ තමයි ග්‍රෑන්ඩ්පාස්වලට ගියේ. ඇන්.ඇම්. පෙරේරාලගේ ඒ මහගෙදර තමයි දැන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය තියෙන්නේ."
"ඔසී අබේගුණසේකරගේ තාත්තගේ මහගේ තිබුණෙත් රජමල්වත්තේ (ඒ. ඩබ්. ඒ. අබේගුණසේකර කොළඹ නගර සභාවේ දීර්ඝම කතාව කළ නාගරික මන්ත්‍රීවරයා ලෙස සැලකේ) ලසන්ත වික්‍රමතුංගගේ තාත්තගේ ගේ තිබුණෙත් ඒ හරියේ. එයා ඒ කාලේ හදිසි මරණ පරීක්ෂක."
"ඒ කාලේ තොටළඟ පාරුවේ සත පහයි එගොඩට පෑලියගොඩට යන්න. තොටු ළඟ පාරු තොටුපල ළඟ තමයි ලොකු මාකට් එක තිබුණේ. පූගොඩ ජා-ඇල පැත්තෙ ඉඳන් මිනිස් එනවා බඩු ගෙනියන්න. ඒ කාලේ කොටුවෙ ඉඳන් එන ට්‍රෑම් කාර් එක ඉවර වුණේ තොටළඟ තොරණ ගහන තැනින්. ට්‍රොලි බස් ඉවර වෙන්නේ තොටළඟ පාලම ළඟින්. ට්‍රොලි බස් යාඩ් එක තමයි දැන් සුගතදාස ඉන්ඩොර් ස්ටේඩියම් එක තියෙන තැන."
පාරුකරුවන්ගේ වර්ජනය
තොටළඟ යනු පසුගිය සියවස මුල් කාර්තුව වනවිටත් විශාලම පාරු කිඳ හෙවත් පාරු නැවතුම බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ගොඩගේ මහතා පවසයි. පොතපතේ සඳහන් නොවූවාට ලංකාවේ පළමු වර්ජනය සිදුකර ඇත්තේ පාරුකරුවන් බවත්, එම වර්ජනයේ සටන් බිම වූයේ තොටළඟ බව ද ඔහු පවසයි.
එකල තොටළඟ තිබූ නිව් මිනර්වා සිනමා ශාලාව සතියේ දිනවල 6.30 සහ 9.30 දර්ශන පෙන්වූ බවත්, සෙනසුරාදා ඉරිදා 10.30 සහ 2.30 දර්ශන ද පැවැති බව උපතිස්ස සිහි කරයි.
"සතියේ දවස්වල 2.30 යන්නේ ෆුල් සීරියල් එකක්. මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා හෝල් එකේ රීල් කරකවනවා.
දවසට සත තිහයි පඩිය. ඒකේ අයිතිකාරයා තොටළඟ පෙරේරා හෙවත් සේදවත්තේ සී.පෙරේරා. ඒ කාලේ ජිනදාස අයියා බූරු ඇඳත් අරගෙන ගැලරියට ගිහිං 6.30 /9.30 ෂෝ දෙකම එකටම එක දිගට බලනවා. ඒ කාලේ ආවා ෂෝ තමයි වීර විජය, පුරුෂ රත්නය, ඩිංගිරි මැණිකා, මාතලන්. ඒ වගේම දෙමළ පිච්චරුත් ආවා."
ඒ කාලේ රා තැබෑරුම තිබුණේ මාදම්පිටිය පාරේ. ඒක කළේ කේරළෙන් ආපු කොච්චි මිනිස්සු. රා පීප්ප තමයි තිබුණේ. පොල් කට්ටක් සත පහයි ශත දහයයි.
තොටලඟින් කැලණි ගඟට වැටෙන ඇල පටන්ගන්නේ ගෝල්ෆේස් එකේ බේරේ වැවේ බේසම ලඟින්. ඒකට අලුත්කඩේ හරියෙ දි සන්ත බස්තියන් ඇල කියනවා. එය උසාවිය පිටිපස්සෙන් බී.සී.සී එක ලඟදී බී.සී.සී ඇල වෙනවා. ඊට පස්සේ මාලිගාවත්ත ඛෙත්තාරාම පැත්තෙන් ග්‍රෑන්ඩ්පාස් පහු කරලා තොටළඟින් කැලණි ගඟට වැටෙනවා. ඉඟුරුකඩේ හන්දියේ ඉඳන් තොටළඟට යනකොට ඒකට කියන්නේ "කළු ජාඩිඇල" කියලා. ඒ නිසා තොටළඟ මාකට් එකට යන පාරට ඒ කාලේ කිව්වේ ජාඩිඇල පාර කියලා. මොකද ඒ පාරේ දිගටම තිබු ජාඩි කඩ. අද නාගලගම් වීදිය කියන්නේ ඒ ජාඩිඇල පාරට."
මේ ඇල ඕලන්දක්කාරයින් කැළණි ගඟ දිගේ ගෙන එන විවිධ භාණ්ඩ කොළඹට ප්‍රවාහනයට යොදා ගත් බවට ද සඳහන් වේ.
මෙම පාර නාගලගම් විදිය ලෙස නම් කළ පසුබිම ප්‍රකට නැත. පවතින තොරතුරුවලට අනුව කියවෙන්නේ තොටළඟ කැලණි ගඟේ සොරොව්වක් ඉදි කර ගංවතුර උවදුර නැති කළ දමිළ ඉංජිනේරු මහතාගේ නමින් මෙම මාර්ගය නම් කළ බවය.
නාගලගම්වීදිය හැදුණු හැටි
තොටළඟ දෙසට යන විට අපට අදටත් දැකිය හැකි පැරණි රේල් පාරක නටබුන් ඇත. එය අතීතයේ බ්ලුමැංඩල් සිට කොළොන්නාවට තෙල් ප්‍රවාහනය කළ දුම්රිය පාරයි. වරායේ සිට කොලොන්නාවට සෘජු නල මාර්ගයක් ඇති කළ පසු මෙම මාර්ගය ප්‍රයෝජනයක් නැති තත්ත්වයට පත්විය. පසුව රණසිංහ ප්‍රේමදාස මහතා එය නාගලගම් වීදිය සිට කොටුව දක්වා මගී ප්‍රවාහන දුම්රිය මාර්ගයක් ලෙස සකස් කළ ද එය අසාර්ථක වූ බව ප්‍රදේශවාසීහු පවසති.
කොළඹ නගරයේ උස් පහත් භේදයක් නැතුව කාටත් පිහිට වූ බාල්දි වැසිකිලි තොටළඟ වතුවල ද විය.
"අපේ වත්තේ බාල්දි කක්කුස්සී තිබුණා. ඒවායේ වැඩ කරන්න සක්කිලි පවුලක් අපේ වත්තේ හිටියා. හැබැයි අපි ඒගොල්ලන්ව කොන් කරලා සැලකුවේ නැහැ.අපි හැමෝම සාමාන්‍ය විදිහට ජීවත් වුණා.
ඒකට අමතරව අපේ වතුවල මිනිස්සු ඒ කාලේ ගියේ තොටලඟ තිබිච්ච පොදු වැසිකිලියට. පාන්දර හතරෙ ඉදන් අපේ මිනිස්සු ටොයිලට් එකට යන්න ඕනේ. මොකද සෙනඟ වැඩි නිසා. වතුර ටිකක් ගන්නත් අපේ අය ගොඩක් දුක් වින්දා. දැන් ඒවා ඉවත් කරලා බුදු පිළිමයක් හදලා තියෙනවා. නාගලගම් වීදියේ තොරණ හදපු තැන තිබුණා පරණ වැසිකිළිය තවම තියෙනවා. ආමර් විදියේ රාජගිරිය 176 බස් හෝල්ට් එක ගාවත් ආණ්ඩුවේ කකුස්සියක් තිබුණා .පස්සේ ප්‍රේමදාස මහත්තයගේ කාලේ ඒවා කඩලා දැම්මා.
ඒ වගේම පිටකොටුවේ, තොටළඟ නාට්ටාමි වැඩ කරන ගොඩක් දෙමළ අය හිටියා. කොහෙන් ආවද කුල මල මොනවද අපි කවදාවත් හෙව්වේ නැහැ.
අපේ වත්තේ හිටියා ලන්සි පවුල් දෙක තුනක්.නි කලස් ඩඩා, නෙවිල් කියන අය වාද බයිලා ෂෝ වල බැංජෝ, මැන්ඩලින් වාදකයෝ.
වාද බයිලා
ඒ වගේම ඒ කාලේ නත්තලට අලුත් අවුරුද්දට අපේ පැත්තෙ ජෝගි නටනවා. ඒවාවල නටන්නේ ගෑණු වගේ ඇඳගත්ත පිරිමි. මේගොල්ලෝ ගොඩක් වෙන්නේ හෙට්ටියාවත්තේ බිලිංවත්තෙන්. මාර ලස්සනයි නටනකොට. ඒගොල්ලෝ කලින් ඇවිල්ලා කාඩ් බෙදලා යනවා ලොකු ගෙවල්වලට. කඩවලට. පස්සේ ඒගොල්ලෝ නැටුවාම ඇන්ලොප්වල දාලා සල්ලි දෙනවා. බෑංචූන් ගහගෙන තමයි එන්නේ.
ගමේ යමක් කමක් තියෙන හැමෝම ඒගොල්ලන්ට හොඳට සලකලා තමයි යවන්නේ.
තොටළඟ වෙසක් නාට්‍ය කලේ ලෝගුස්සයියා. ආමර් වීදියේ ලක්ෂ්මි බායිත් ආවා ඒවට. ලෝගුස්සයා තමයි ලියන්නේ අධ්‍යක්ෂණය නාට්‍ය සංවිධානය කරන්නෙත් කොමඩි නළුවත් එයයි."
"මම තොටලඟ සංඝබෝධි ස්කෝලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සෙ මම කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංගමයට බැඳිලා ගමේ පොදු වැඩ කළා. අපි තොටලඟ පක්ෂ කාර්යාලයක් දාගෙන ම වැඩ කළා. කාදර් නානයි ප්‍රේමදාසයි තමයි අපේ නායකයෝ. පීටර් කෙනමන් තමයි අපේ ඇමති. එයා තමයි අපේ 75 වත්තේ ගෙවල්126 කට ඔප්පු දුන්නේ. මහවත්ත ආසනය හැමදාම වමේ ආසනයක්. ඒ කාලේ හැමදාම ඒක දින්නේ විවියන් ගුණවර්ධන තමයි.
| ජපානයට ගිය තොටළඟ තොරණ
තොටළඟ තොරණ
උපතිස්ස කියන විදිහට ලංකාවේ විදුලි බල්බ දාලා කළ මුල්ම වෙසක් තොරණ තොටළඟ තොරණයි. ඒ 1955 හෝ ඒආසන්න කාලයේ. ඒ තොටළඟ. ඒ තොරණ හදන්න නායකත්වය දුන්නේ නාගලගම් වීදියේ විල්බට් මුදලාලියි."පස්සේ මේ තොරණ ජපානයට ගෙනිච්ච කියලත් ආරංචියක් තිබුණා. අපි කොල්ලෝ කට්ටියක් හදපු තොරණ බලලා තමයි විල්බට් මුදලාලි මේ ලොකු තොරණ හදන්න හිතුවේ. බණ්ඩාරනායක මහත්තයා තමයි තොරණ විවෘත කරන්න ආවේ. ඇත්තටම තොටළඟ තොරණ ඉතිහාසය ලොකු කතාවක්. ඒ අයත් එක්ක කතා කළොත් තමයි හොඳම විස්තර ටික ගන්න පුළුවන්. ඒ කාලේ තොටලඟ තොරණට පුවක් කොට එන්නේ රුවන්වැල්ලේ පැත්තෙ ඉඳන් කැලණි ගඟ දිගේ. අපි තමයි පීනලා ගිහිල්ලා ඒවා ගොඩට ඇදලා ගන්නේ."
ආර්.ආර්.සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍ය (1975) එකල රටේ පැවති මජර දේශපාලනය සහ කුණු වූ නිලධාරි පැලැන්තිය නාගරික අව වරප්‍රසාදිතයන් සුරා කන අන්දම නිර්දය උපහාසයට ලක් කළ මෙරට නාට්‍යලෝලීන් අතර අතිශය ජනප්‍රිය වූ තවමත් වේදිකාගත වන නාට්‍යයකි.
එකල කැලණි පාලම පාමුල සේදවත්තේ පහත් බිම් වල හා තොටලඟ වික්ටෝරියා පාලම යට සිටි ජනතා වසර කීපයකට වරක් මේ කැලණි ගඟ පිටාරයාමෙන් ඇති වූ ගං වතුරෙන් පීඩාවට පත් විය.
| කැළණි පාලම නාට්‍යයේ පෝස්ටරයක්
කැළණි පාලම
"ඉස්සර කැලණි ගඟේ මෝය කටේ ලොකු කළු ගලක් තිබුණා.ඒක නිසා උඩහ පැත්තෙන් ලොකු වතුර පාරක් එනකොට හැමදාම මේ පහත් බිම් යට වෙනවා.සේදවත්තේ කට්ටිය එනවා අලුත් පාලම උඩට. ඒ ඇවිල්ලා පොඩි පොඩි හට් ගහගෙන පාලම උඩ ඉන්නවා වතුර බහිනකන්. වික්ටෝරියා පාලම යට කට්ටිය යනවා වික්ටෝරියා පාලමේ බැම්මටයි සංඝබෝධි ඉස්කෝලෙටයි. නගර සභාවෙන් තම ඇවිල්ලා කන්න බොන්න දෙන්නේ. එතකොට ඉතින් ජල්බරි තමයි. ඒවා තමයි ඔය කැලණි පාලම නාට්‍යයේ තියෙන්නේ. පස්සෙ මෝය කටේ ඒ ගල කඩලා දැම්මා. පල්ලෙහා ගෙවල් යටවෙන එක නතර වුණේ ඊට පස්සේ"
ලිපිය අවසනට පෙර උපතිස්ස පිළිබඳ වචනයක් කිව යුතුය. උපතිස්ස යනු තොටළඟ ඉතිහාස පොතකි. එසේම ඔහු තමන්ගේ වරිගයා වන නාගරික චූල ජනපදවාසීන්ගේ යහපත උදෙසා නිලධාරි තන්ත්‍රය සමග හැමදාම හැප්පෙමින්, ගන්න පුළුවන් හැම තැනින්ම හැමදේම අරගෙන වරිගයාට වැඩ කරන්න මුළු ජීවිතයම කැප කළ මහා මානවකයෙකි.
| උපතිස්ස මහතා
"මේ වතුවලට ලයිට් වතුර ගන්න, වැසිකිලි හදන්න, ගෙවල්වලට ඇඩ්රස් අරන් දෙන්න, ළමයින්ට මොන්ටිසෝරියක් හදන්න, තරුණයන්ට ලයිසන් අරන් දෙන්න, ප්‍රජා ශාලා හදන්න, අවමංගල්‍යාධාර සමිතියක් හදලා ඒ වැඩ කරන්න, කාන්තාවන්ට මහන මැෂින් අරන් දෙන්න, වීදි නාට්‍ය, ක්‍රිකට් කණ්ඩායම් හදන්න සේරටම මැදිහත් වෙලා වැඩ කළේ, අදටත් වැඩ කරන්නේ උපතිස්ස අයියා තමයි යනුවෙන් ඒ සියල්ල කැටි කොට තොටලඟ අශෝක බෞද්ධ මධ්‍යස්ථානයේ වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රවේදී ඉඟුරුවත්තේ විභාවිරතන හිමියෝ ප්‍රකාශ කළේ අනිවාර්යෙන්ම මේ ලිපියේ එය සටහන් කර තබන ලෙස ඉල්ලීමක් කරමින්ය.
(පින්තූර - අන්තර් ජාලය ඇසුරෙන්)
| උපුල් ජනක ජයසිංහ
(අරුණ පුවත්පතට ලියූ ලිපි මාළාවක සංස්කරණයකි)
සබැඳි පුවත්
- "කොළඹ අයිතිකාරයෝ" - වැල්ලවත්ත ඇලේ පාරු බත් කෑ ජස්ටින් අයියා
- කොළඹ අයිතිකාරයෝ - සියවසක් කොළඹ දිහා බලාගෙන සිටි ජින්තුපිටියේ පියසිලි අම්මා (1 කොටස)