වන්දනාමාන කළ රාජ්‍ය සේවය ජාජබ ආණ්ඩුව මතටම කඩා වැටීමේ ඛේදය

වන්දනාමාන කළ රාජ්‍ය සේවය ජාජබ ආණ්ඩුව මතටම කඩා වැටීමේ ඛේදය
  • ලක්ෂ 13, හත්ලක්ෂ පනස්දාහට බස්සන්න ඕනෑලු
  • උපාධිධාරීන්ට නිපුණතා හා වෘත්තීය සුදුසුකම් නෑලු

‘රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ආශ්‍රිත සේවා ගණවල නිලධාරීන් රාජ්‍ය සේවයට ඇතුළත් වීමට මූලික සුදුසුකමක් ලෙස උපාධිය සලකා නොබලන නමුත් උපාධියක් සහිතව රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල දැනටමත් ඇතුළත් වී සිටින නිලධාරීන් හා රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන් ආශ්‍රිතව පවතින ගැටලු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම’

එසේ සඳහන් වන්නේ දෙසැම්බර් 02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයක් පිළිබඳ කැබිනට් කාර්යාලය වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර ඇති උද්ධෘතයේය. ඊට අදාළ කරුණු තවදුරටත් විස්තර කර ඇත්තේ මෙසේය.

‘1994 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අවස්ථා 07කදී විවිධ යෝජනා ක්‍රම මගින් රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන් ඇතුළුව මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ උපාධිධාරීන් 150,000කට අධික සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටී. සංවර්ධන නිලධාරීන්ගේ හා ආශ්‍රිත සේවා ගණයන්හි සේවය කරන නිලධාරීන්ගේ නිපුණතා හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගැයීමක් සිදු නොකර රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදුකර තිබේ. ඔවුන්ට සේවාරම්භක හා සේවාස්ථ පුහුණු නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් හා විධිමත් පරිදි තනතුරට අදාළ කාර්යයන් සහ වගකීම් පැවරීම සිදු නොකිරීම හේතුවෙන් එම නිලධාරීන් වෙතින් අපේක්ෂිත කාර්ය සාධනය ළඟා කර ගැනීමට නොහැකි වී ඇත. එසේම සංවර්ධන නිලධාරීන් 15,800කට අධික සංඛ්‍යාවක් ජාතික පාසල්වල සහ පළාත් පාසල්වල ඉගැන්වීම්වල නිරතව සිටින අතර, ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන්ද මේ වනවිට ගැටලුකාරී තත්වයක් පැන නැඟී තිබේ. ඒ අනුව, සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතුවලදී මෙන්ම, කාර්ය සාධනය සම්බන්ධව වර්තමානයේදී උද්ගත වී ඇති විවිධ ගැටලු හඳුනාගෙන, එම ගැටලු විශ්ලේෂණය කර ඒ සඳහා තිරසර විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වයෙන් සහ පහත සඳහන් අමාත්‍යවරුන්/නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවට සහාය වීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී කමිටුවක් පත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.’

එම අමාත්‍ය මණ්ඩල තීරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් මෙන්ම නිලධාරි කමිටුවක්ද පත්කර ඇති අතර අමාත්‍ය කමිටුව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුය. සෙසු සාමාජිකයන් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමති මහාචාර්ය ඒඑම්ඒඑච් අභයරත්න, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ කටයුතු කරති.

ඒ සඳහා පත්කර ඇති නිලධාරි කමිටුවේ සභාපති ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ජීපී සපුතන්ත්‍රී කටයුතු කරන අතර සෙසු නිලධාරීන් වන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර,  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේඑම්ජීඑස්එන් කළුවැව,  මුදල් කොමිෂන් සභාවේ ලේකම්, ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්, ආයතන අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් යන අයයි.

මේ අතර ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකයෙකු ලෙස පත්කර ඇති ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන දුමින්ද හුලංගමුව මාධ්‍යයට කියා ඇත්තේ ලක්ෂ 13ක් පමණ වන දැනට සිටින රාජ්‍ය සේවය රටට බරක් බවත්, එම ප්‍රමාණය හත් ලක්ෂ පනස්දාහක් දක්වා අඩුකළ යුතු බවත්ය. දැනට සිටින රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා රජයේ ආදායම් වියදම් කිරීමට සිදුවී ඇති බවත්, එය ප්‍රශ්නයක් බවත් ඔහු කියා ඇත. එමෙන්ම රජයේ සේවක සංඛ්‍යාව හත් ලත්ෂ පනස්දාහක් බවට පත්කර ඔවුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ දැමිය යුතු බවත්, ඔවුන්ට මීට වඩා වැටුප් හා දීමනා ගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා ඇත.

මෙම අමාත්‍ය මණ්ඩල තීරණයෙන් හා ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකවරයාගේ අදහස් පැහැදිලි කිරීමෙන් පෙන්නුම් කරන්නේ රජයේ සේවයේ නිරත අති විශාල සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවටද දැනී ඇති බවය. එහෙත් බලයට පත්වීමට පෙර නම් ජාතික ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට හෝ රජයේ සේවය බරක් නොවූ අතර එය එසේම පවත්වාගෙන යා යුතු බවට අදහස් පළකරනු ලැබීය. ඉන්ද නොනැවතී රජයේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් තවදුරටත් රජයේ රැකියාවලට බඳවා ගත යුතු බවටද අදහස් පළ කරනු ලැබීය.

දෙකෝටි විසි ලක්ෂයක් පමණ වන ජනතාවකට ලක්ෂ 13ක් පමණ වන රාජ්‍ය සේවයක් නඩත්තු කිරීම බරක් බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. එය බරක් බව කියමින් හා දැන දැනම රාජ්‍ය සේවයට තව තවත් උපාධිධාරීන් ඇතුළු කළේ හිටපු පාලකයන් විසින් ඔවුන්ගේ ඡන්ද දේශපාලනය සඳහාය. වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් මීට පෙර උපාධිධාරීන් ඇතුළු පිරිස් රාජ්‍ය සේවයට බඳවා ගත යුතු බව කීවේද ඔවුන්ගේ ඡන්ද දේශපාලනය සඳහාය. දැන් ආණ්ඩු බලය ඇති විට පිරිසක් කළ ඡන්ද දේශපාලනය හා ආණ්ඩු බලය නැති විට පිරිසක් කළ ඡන්ද දේශපාලනය එකිනෙකට හමුවී ඇත. 

එම කැබිනට් පත්‍රිකාවට අනුව 1994 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අවස්ථා 07කදී විවිධ යෝජනා ක්‍රම යටතේ මධ්‍යම රජයේ සහ පළාත් සභා රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් සංඛ්‍යාව 150,000කට අධිකය. ඒද රජයේ සේවයට දේශපාලන ලැයිස්තු මත බඳවාගෙන ඇති පහළ ශ්‍රේණිවලට අයත් අනෙකුත් සේවකයන්ට අමතරවය. කොළඹ ජාතික රෝහලේ ඉහළ නිලධාරියකු මීට මාස කිහිපයකට පෙර ලියුම්කරු සමඟ පැවසුවේ එහි ඇති ඇඳන් ගණනට සමාන ගණනක සුළු සේවකයන් පිරිසක් එහි සේවය කරනා බවය. එහෙත් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යෑමේදී හා වෙනත් රෝගීන් බැලීමට යෑමේදී අපට ඇති අත්දැකීම වන්නේ ලෙඩුන්ගේ කටයුතු බලා ගැනීම සඳහා පවුලේ කිසිවකු හෝ හිතවතෙකු නොමැති නම් පිටතින් මුදල් ගෙවා පුද්ගලයන් ලබා ගැනීමට සිදුවන බවයි. සනීපාරක්ෂක කම්කරුවෝ යන රාජ්‍ය සේවක පිරිසක් රෝහල්වල සිටියද ප්‍රධාන රජයේ රෝහල්වල පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන්නේ පිටතින් මුදල් ගෙවා පෞද්ගලික අංශය මගින් ලබාගත් පිරිස් මගින්ය. එම කාර්යය පිටතට මුදල් ගෙවා ලබා ගන්නේ නම් තවදුරටත් රටේ රෝහල් පද්ධතියට සනීපාරක්ෂක කම්කරු රැකියා අවශ්‍ය වන්නේ නැත. එහෙත් එවැනි තනතුරු දේශපාලනඥයන් තවදුරටත් තබා ගන්නේ සෘජුවම ඔවුන්ට රැකියා ලබාදිය හැකි එක් මාර්ගයක් වන්නේ එවැනි රජයේ රැකියා නිසාය. ඔවුන්ගේ ඡන්ද දේශපාලනයේ එක් ආකාරයක් වනුයේ  ඒ ආකාරයට රැකියා ලබාදීම වන නිසාය.

රාජ්‍ය සේවයේ බොහෝ ආයතන ගත්තද ඒවායේ සේවකයන් සිය රාජකාරිය නියමිත වේලාවේදී නියමිත පරිදි සිදු නොකරන අතර බොහෝ සේවකයන් කල් ගත කරන්නේ කිසිදු වැඩක් නොමැතිව හා දවසකට ඉතා සුළු වැඩක් සහිත කාර්යාල වේලාවක් ගතකරමින්ය. පළාත් රාජ්‍ය සේවය ගතහොත් විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව වැනි ආයතනවල ‘ආමි’ ‘නේවි’ යන ආමන්ත්‍රණවලින් යුතු සේවකයෝ සිටිති. ඔවුන් රැකියාව වෙනුවෙන් කිසිදු කාර්යයක් කරන්නේ නැත. ත්‍රීවීල් පැදවීම හෝ වෙනත් ආදායම් උපදවන කාර්යයන්වල නිරතව සිටිති. නමුත් ඔවුන් රැකියාවට පැමිණි බවට සලකුණු වේ. ඒ වෙනුවෙන්  ඔවුන් බාරව සිටින සුපවයිසර්වරයාට මාසිකව නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

යම් මාර්ගයක ඇති නඩත්තු කටයුත්තක් රාජ්‍ය සේවකයන් සිදුකරන අයුරු බලා සිටීම කරුණු අවබෝධ කර ගැනීම සඳහා එක් උදාහරණයක් වශයෙන් ප්‍රමාණවත්ය. මාර්ගය සිදුරු කිරීමට, වළ හෑරීමට, පස් ඉවත දැමීමට, අවශ්‍ය කටයුත්ත කිරීමට, වළ පිරවීමට, තාර දැමීමට, තාර තද කිරීමට ආදි වශයෙන් ඉතා සුළු වැඩකටත් 10-15 දෙනෙකුගේ කණ්ඩායමක් පැමිණේ. එහෙත් මේ ආකාරයේම වැඩ අප බටහිර රටවල දකින්නේ කෙසේද? වාහනය පදවාගෙන එන පුද්ගලයාම එය අවශ්‍ය තැන නතර කර, මාර්ග බාධා සලකුණු තබා, පාර සිදුරු කර, එය හාරා, පස් ඉවත්කර, අවශ්‍ය නඩත්තුව කර, තාර දමා, එය තදකර, කාර්යය නිමකර උපකරණද පටවාගෙන යන බවයි.  

එම කැබිනට් තීරණයේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ සංවර්ධන නිලධාරීන් හා ආශ්‍රිත සේවා ගණයන්හි සේවය කරන නිලධාරීන්ගේ නිපුණතා හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගැයීමක් සිදු නොකර ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදුකර තිබෙන බවයි. ඉන් ගම්‍ය වන කරුණ වන්නේ රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් තිබූ පමණින් ඔවුන් රාජ්‍ය සේවයට හෝ වෙනත් රැකියාවකට සුදුස්සන් නොවන බවයි. වත්මන් රජයට බලයට පත්වීමෙන් පසු එය ඔවුන්ට තේරුම් යෑමද හොඳ කරුණකි.

එමෙන්ම එම කැබිනට් තීරණයේ තවදුරටත් සඳහන් කරන්නේ, ඔවුන්ට සේවාරම්භක හා සේවාස්ථ පුහුණු නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් හා විධිමත් පරිදි තනතුරට අදාළ කාර්යයන් සහ වගකීම් පැවරීම සිදු නොකිරීම හේතුවෙන් එම නිලධාරීන් වෙතින් අපේක්ෂිත කාර්ය සාධනය ළඟා කර ගැනීමට නොහැකි වී ඇති බවයි. ඉන් ගම්‍ය වන්නේද එසේ බඳවාගෙන ඇති පිරිස් නිසි වගකීමක් හෝ කාර්ය සාධනයක් නොමැතිව රාජ්‍ය සේවයේ නිරතව සිටින බවයි. දේශපාලන වාසි තකා රැකියා ලබාදී ඇති නිසා එසේ සිදුවී ඇති බවයි.

මෙහිදී අප තේරුම් ගත යුතු එක් කරුණක් වන්නේ රැකියාවක් සඳහා වන එකම සුදුසුකම උපාධිය නොවන බවත්, සෑම උපාධියක්ම රැකියාවක් සඳහා සුදුසු නොවන බවත්ය. එමෙන්ම උපාධිය යනු රැකියාවක් සඳහා පුද්ගලයන් බිහි කරන එකක් නොවන බවයි. උදාහරණයකට ගුරු වෘත්තියම ගතහොත් එය උපාධි සුදුසුකම මත කළ හැකි එකක් නොවේ. ඒ සඳහා පුහුණුවක් අවශ්‍ය වේ. ගුරු අභ්‍යාස විද්‍යාල හා අධ්‍යාපක විද්‍යා පීඨ ඇත්තේ ඒ සඳහාය. සේවයේ නිරත පිරිස පුහුණු කිරීමත්, ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන පිරිස පුහුණු කිරීමත් ඒම ආයතනවල අරමුණුය.

කොහොමත් රටට අවශ්‍ය රාජ්‍ය සේවකයන් ගණන අප තීරණය කළ යුත්තක්මය. එය මෙතෙක් පවත්වාගෙන ආ ආකාරයට ලිපිගොනුවක වැඩ කිරීමට, එහි අත්සන් කිරීමට, එය රැගෙන යෑමට ආදී වශයෙන් එක් කටයුත්තක් සඳහා අනවශ්‍ය රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් නඩත්තු කරන්නක් නොවිය යුතුය. ඩිජිටල්කරණයට ලක්කළ නවීන කාර්යක්ෂම එකක් බවට රාජ්‍ය සේවය පත්විය යුතුය. නැතහොත් නැවතත් එහි බර දරන්නට වන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවටය. නොඑසේව ඒ සම්බන්ධයෙන් ජනප්‍රිය තීන්දු තීරණ ගන්නා දේශපාලනඥයන්ට නොවේ. වත්මන් ආණ්ඩුව අවබෝධයට ගතයුතු කරුණ වන්නේ එයයි.

lasantha ruhunage

| ලසන්ත රුහුණගේ (අනිද්දා සති අග)