වැල්ලවත්ත කියන්නේ කොළඹ නගරයේ දක්ෂිණ ද්වාරය. වැල්ලවත්ත හරියටම බැලුවොත් දූපතක්. හැම පැත්තම ඇල මාර්ග වලින් වට වෙලා එක පැත්තක් මුහුදට සීමාව වෙලා.
වැල්ලවත්තට ඒ නම වැටුනේ කෙසේද යන්න පැහැදිලි නැතත් කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍යවල ද වැල්ලවත්ත ගැන සඳහන්ව ඇත. පැරැන්නන් කියන විදිහට "මැහැල්ලවත්ත" යන්න පසුව වැල්ලවත්ත වී ඇත. අනෙක් අතට මුහුදු වෙරළේ සිට වත්මන් ගාලු පාර දක්වා එක යායට හා දෙහිවල ඇලේ සිට වැල්ලවත්ත සැවෝයි ඇළ දක්වා එක තීරුවට පැතිර තිබුණේ වැල්ල සහිත මහා පොල් වතු යායක් බවත් එම සංදේශ කාව්‍යවල දැක් වේ. එම නිසා වැල්ලවත්ත වූවා විය හැකි යැයි සමහර පැරැන්නෝ පවසති.
ඇළ පාරවල් වලින් වෙන් වුණ වැල්ලවත්ත අනිත් පළාත් එක්ක සම්බන්ධ වෙන්නේ පාලම් පහකින්. දෙහිවල පාලම, පාමංකඩ කළු පාලම, කිරුළපන පාලම, රෙදි මෝල ළඟ පාලම, සැවොයි පාලම.ඊට අමතරව විහාරලේන් පාලමෙන් කළු බෝවිලට සම්බන්ධ වෙනවා.
භෞතික වශයෙන් වැල්ලවත්ත දූපතක් වගේම, සංස්කෘතික වශයෙනුත් වැල්ලවත්ත ඔවුන්ටම ආවේණික වෙච්ච සංස්කෘතික දූපතක්. මහවැල්ලවත්ත යැයි පැරණි ඔප්පු වල සඳහන් වන පරිදි අතීතයේ වැල්ලවත්තේ සීමාව සටහන් වූයේ සරණංකර පාරේනි. අද එය විහාර මාවත පාලමෙන් සීමා වී ඇත.
වැල්ලවත්ත ගමක් විදිහට රාශිභූත සමාජයක් බවට පත්වන්නේ දකුණේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වකර්මයන් වැනි "සුන්නක්කර වංශයේ" මිනිස්සුන් ගෙන්.ඔවුන් බොහෝ දෙනකු හුණු නිෂ්පාදනය හා ඊට අදාළ ඉදිකිරීම් කර්මාන්ත වෘත්තීන් හි නියත වූ නිසා එම වංශයේ පිරිස් වෙහෙර විහාරයක් ඉදිකළ හැමතැනම පැතිර ගිය බව පැරැන්නෝ පෙන්වා දෙති. මේ අය වැල්ලවත්ත අවට පැතිර ජීවත් වූ අතර විහාර ලේන් අඩවිය ඒ කාලයේ අවට ගම්වල බොහෝ දෙනකු හැඳින්වූයේ "හුණු ගංගොඩ" කියාය. බොහෝ තැන් වලට හා පුද්ගලයන්ට මේ හුණු නාමය සම්බන්ධ වී ඇත. (හුණුකොටුව වත්ත, හුණු කඩේ චන්දරේ)
| ජස්ටින් දයාරත්න
වැල්ලවත්ත ගැන මෙවැනි ලිපියකින් සම්පූර්ණ කතාව කියන්න බැරි නිසා එහි ඉතිහාසයේ සංක්ෂිප්තයක් පමණක් අපට කියන්න හමුවුණේ වැල්ලවත්තේ හේවගේ ජස්ටින් දයාරත්න (86) හෙවත් විහාර මාවතේ ජස්ටින් අයියා ය. වැල්ලවත්ත ඉතිහාසයේ දිග පළල කියන්න තවමත් ඉතාමත් පුළුල් පැහැදිලි මතකයක් ඇති ජස්ටින් අයියා වැල්ලවත්තේ පැරණිතම පරම්පරාවක පුරුකක්.
"මගේ තාත්තා බුලත්සිංහල අතුර ගමේ උපන් ජෝන් ප්‍රනාන්දු. අම්මා උඩුවරගේ ඇලිස් ප්‍රනාන්දු. අම්මගේ තාත්තලා වැල්ලවත්තට ඇවිල්ල තියෙන්නෙ බදුල්ලේ උඩුවර ඉඳලා. හැබැයි අපේ පරම්පරාවම වැල්ලවත්තේ පැතිරිලා හිටියේ. වැල්ලවත්ත ගම ජනාකීර්ණ වුණේ අපේ කට්ටිය ගෙන්."
"තාත්තා කඩ බිස්නස්වලට තමයි වැල්ලවත්තට ආවේ. හුණු,යකඩ වගේ හාඩ්වෙයාර් බඩු තමයි බිස්නස් කළේ වැල්ලවත්තේ හන්දියේ."
"වැල්ලවත්තේ අම්මගෙ පරම්පරාවේ අය පාරුවලින් අරන් එන දර, ගඩොල් උළු වගේ බඩු වෙළඳාම් කළා. කළුතර පැත්තෙ ඉදන් තමයි මේ පාරු එන්නේ. එක පාරුවක ලොරි පහක විතර දර ගඩොල් ගේනවා. මේවා බාන්නේ විහාර ලෙන් පාලම ළඟ, එහෙම නැත්නම් හැම්ඩන් ලේන් එකේ කොනේ කිරි හොද්දගේ කඩේ ළඟ. මේ එක පාරුවක් අඩි විස්සක් විතර පළලයි. අඩි පනහක් විතර දිගයි .වැල්ලවත්තේ ඇළ දැන් තියෙනවා වගේ දෙකහමාරක් විතර ලොකුයි. මුහුදේ යන ඔරු ඇවිල්ලා ඇලේ දැල් දාලා මාළු අල්ලනවා. ඒ තරම් ඇල ලොකුයි. මේ පාරු ඇතුළෙම තමයි මිනිස්සු උයා පිහාගෙන කන්නේ. අපිත් සමහර වෙලාවට ගිහිල්ලා පාරු බත් ටිකක් ඉල්ලං කනවා. ඒ පාරු බත් කාපු අන්තිම පරම්පරාව අපි තමයි. ඇළ ඒ කාලේ හරිම පිරිසුදුයි. අපි විතරක් නෙමෙයි කළුබෝවිල, පාමංකඩ, දෙහිවල පැත්තෙ අයත් ඇවිල්ලා මේ ඇලේ නෑවා."
"වැල්ලවත්තේ අපේ අය බොහෝ දෙනෙක් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගියා. ඒ අතරින් ඉහළම කෙනා තමයි ජේසන් ප්‍රනාන්දු. එයා තමයි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ගොඩක් ගොඩනැගිලි හැදුවේ. වෝකර් සමාගමටවත් එදා හදන්න බැරි වෙච්ච හදන හැම සැරේම ගිලා බහින සැවොයි බිල්ඩන් එක අද වෙනකන් තියෙන්නේ එයා හදපු හැදිල්ලට තමයි. කළුබෝවිල ගෙවල් සීය හැදුවේ එයා තමයි. එයා ඒ කාලේ සුදු ආණ්ඩුවේ ඉතාම ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවෙක්.
ඒ වගේම ගොඩක් අය දර බිස්නස් කළා. පාරුවලින් ගේන රබර්, වල් දර අරගෙන කරත්ත වලින් ගෙනිහිල්ලා ගෙවල් වලට වික්කා."
එකල විදුලිය හෝ ගෑස් නොතිබුණ බැවින් කොළඹ නගරයේ නිවෙස් සහ හෝටල් බහුල වශයෙන්ම දර පාවිච්චි කළ නිසා, එකල දර වෙළඳාම කොළඹ නගරයේ විශාල වෙළෙඳ පොලක් තිබූ ව්‍යාපාරයක් විය. වැල්ලවත්තේ ඇල්මානිස් මුදලාලි ප්‍රමුඛ ඒම පවුලේ අය හා වැල්ලවත්තේ තවත් කීප දෙනෙක් ඒ අතර ප්‍රමුඛ වේ.
වැල්ලවත්තේ තවත් පිරිසක් කොළඹ කෙලින් වීදිය හා ඒ අවට ප්‍රධාන ව්‍යාපාරිකයන් බවට පත් වූහ. ලාරොන් මුදලාලි, පුංචි සිංඤෝ බ්‍රදර්ස්, සිටි පැලස්, (කයිමන් දොරකඩ ලඟ සුප්‍රසිද්ධ අටපිරිකර කඩය) වයිමන් මුදලාලිගේ ඩී.සී.ප්‍රනාන්දු සමාගම, බැස්ටියන් ප්‍රනාන්දු, දෙවන හරස් වීදියෙ රෙදිකඩ තිබුණ ඒ. ජේ. පීරිස් ඒ අතර ප්‍රධාන වේ.
එසේ මෙම ව්‍යාපාර කළ අය නගරයේ නව වෙළඳ හා සේවා පන්තියක් බිහිකරමින් දකුණෙන් ආ මේ පිරිස් දේශීය ආගන්තුක ධනපති ස්ථරයක් කොළඹ බිහි කළේය.
වැල්ලවත්තෙන් බිහි වූ මෙම නව වෙළඳ පන්තිය හා ධනවතුන් බහුතරයක් "ප්‍රනාන්දු"ලා විය. ඔවුන්ගේ ජන්ම මුල් කළුතර, මග්ගොන, වස්කඩුව, බේරුවල, අලුත්ගම, පානදුර තදාසන්න දකුණේ මුහුදුකර තීරුවට සම්බන්ධ වී තිබුණි.
| වැල්ලවත්ත දුම්රිය ස්ථානය
එයට එක් හේතුවකි වස්කඩුවට ඍජුවම සම්බන්ධ වූ වැල්ලවත්තේ විහාර මාවතේ පන්සල හෙවත් බෝධිරුකාරාමය. (බෝධිරුක්කාරාමය හා එහි රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුකුරය හා බැඳුණු ඉතිහාසය පිළිබඳ පසුව සාකච්ඡා කෙරේ)
ඒ වගේම රංජන් විජේරත්න මහත්තයාගේ උපන් නිවස තියෙන්නෙත් රොක්සි එක ඉස්සරහ. සේරුවාවිල චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කළ කොළඹ කච්චේරියේ හිටපු මුදලි ඩී. ඩී. වීරසිංහ මුදලිතුමා ජීවත් වුණෙත් වැල්වත්ත ෆසල්ස් පටුමගේ. ඒ වගේම සුදු ආණ්ඩුකාරයාට පවා වෙදකම් කළ කන්නංගර වෙද මහත්තයා හිටියේ පහේ කණුව වත්ත ළඟ. උන්නැහැගේ බෙහෙත් ශාලාව තිබුණේ බෞද්ධ මධ්‍යස්ථාන පාරට හැරෙන තැන. ඩබ්. ඒ. සිල්වා කියන්නේ වැල්ලවත්ත ආරච්චිලාගේ සිල්වා. එයා හිටියේ වැල්ලවත්තේ හයිස්ට්‍රීට් එකේ.
තව සිංහල දෙමළ මහා ප්‍රභූන්වරු උගත්තු ව්‍යාපාරිකයෝ සෑහෙන්න හිටියා වැල්ලවත්තේ.
යාපනය සහ කොළඹ අතර දුම්රිය මාර්ගය ආරම්භ කිරීමත් යාපනයේ කුලවත් ප්‍රභූන් කොළඹ පැමිණ පදිංචිවීමට තෝරා ගත්තේ වැල්ලවත්තයි. ඒ නිසයි වැල්ලවත්තට "පුංචි යාපනය" කියන්නේ. යාපනයට අනන්‍ය වූ වැල්ලවත්තේ පැළ වූ ඒ දෙමළ සංස්කෘතිය, ගෘහ නිර්මාණ, මිනිස් සබඳතා අසූ තුනෙන් පසු අපට අහිමි වී ගියේය.
වසර සියයකට ආසන්න ඉතිහාසයක් ඇති වැල්ලවත්තේ ශ්‍රී වෛශාක්‍ය බාලිකා විද්‍යාලය 1935 දී ආරම්භ කර ඇත්තේ පොල් අතු මඩුවකිනි.
"ඔතන මුලින්ම තිබුණේ පොල් අතු මඩුවක්. ඒකේ ඉංග්‍රීසි ඉගැන්නුවේ. ඒ ඉස්කෝලේ හැදුවේ සිරිල් ප්‍රනාන්දුගේ තාත්තා ඊ.එස්.ප්‍රනාන්දු. එයාගේ ෆොටෝ එකක් ඔය ඉස්කෝලෙ පඩිපෙලේ නගින තැන ගහලා තිබුණා දැන් තියෙනවද දන්නේ නෑ. යුද්ධ කාලේ ඒ ඉස්කෝලෙ අරන් ගියා අර්තුසා එකට එහා පැත්තේ පාමංකඩ පැත්තේ තැනකට. පස්සේ ඔය බිල්ඩින් හදලා ඒක හමුදා කඳවුරක් කළා. පස්සෙ ආයිත් ඉස්කෝලෙ මෙතනට ගෙනාවා. ඔය ස්කූල් ලේන් එකේ (E.S.ප්‍රනාන්දු මාවත) ගොඩක්ම හිටියේ හමුදා නිලධාරි. ඉස්කෝලෙ තියෙන ඔය උස බිල්ඩින් එකේ ඒ කාලේ ලොකු ඇලුමිනියම් පාට බැලුමක් තිබුණා. මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. ඒකෙ කට මට වඩා උසයි. වෙලාවකට ඒක ලොකු ලොරියක දාගෙන ගෙනිහිල්ලා අහසට අරිනවා. මොනවා හරි පරීක්ෂණ කරන බැලුමක් ඒක."
මෙම විද්‍යාලයේ පළමු මහලේ බැල්කඩියේ ඇති (අදටත් දැකිය හැකි) සිමෙන්ති ග්‍රිල් සකස් කර ඇත්තේ එංගලන්ත ජැක් කොඩියේ ආකෘතියටය. එම හමුදා කඳවුරේ උසස් නිලධාරීන් පැමිණි අශ්වයන් ගාල්කර තැබූ හා එම කුදිරකාරයන් පදිංචිව සිටි නිවෙස් ඇතුළත් වත්ත අදටත් එම විද්‍යාලය ආසන්නයේ ඇත. (451 වත්ත හෙවත් ලයිසන්පොළවත්ත)
"අද වැහිලා තියෙන විහාර ලේන් ස්කෝලේ පටන් ගත්තේ 1930 විතර. නමුත් ඒකෙන් ඉගෙන ගත් අය ගොඩක් ලොකු තැන් වලට ගියා."
වැල්ලවත්ත අයත් වන්නේ දකුණු වැල්ලවත්ත නාගරික මන්ත්‍රී කොට්ඨාශයටය. 1963 වන විට එහි භූමි වපසරිය අක්කර 167 කි.ජනගහනය 9888 කි. ජන ඝනත්වය අක්කරයකට 59.2 කි. දකුණු වැල්ලවත්ත ආසනයෙන් කොළඹ නගර සභාව ජයගත් නාගරික මන්ත්‍රීවරු අතර අද්විතීයා වන්නේ 1948 හා 1953 නගරාධිපති ධුරයට ද නැවත 1954 උප උප නගරාධිපති ධූරයට ද පත් ටී. රුද්‍රා මහතාය. ඔහු ඉන්දියාවේ සිට පැමිණි පසුව වැල්ලවත්තේ කාන්තාවක හා විවාහ වී වැල්ලවත්ත ෆසල්ස් පටුමගේ ජීවත් වූ අයෙකි .ඔහු නමින් වැල්ලවත්තේ රුද්‍රා ක්‍රීඩාංගණය ද වැල්ලවත්තේ රුද්‍රා මාවත ද නම් කර ඇත.
"රුද්‍රා මහත්තයා කසාද බැන්දේ අපේ කෙනෙක්. ඡන්ද කාලෙට අපි ඔක්කොම එයාගේ ගෙදරට යනවා. තෝසෙ වඩේ ඕන තරම් අපිට කන්න දෙනවා. ඒ කාලේ නගර සභාවේ හිටිය වමේ කට්ටිය කුමන්ත්‍රණය කරලා තමයි ස්වාධීනව හිටිය මෙයාව නගරාධිපති කළේ ටික කාලෙකට. අපේ තාත්තගේ පවුලේ අය කොටින්ම අපේ ජාතියේ (වංශයේ) කට්ටිය සේරම යූ.එන්පී.ජේසන් ප්‍රනාන්දු මහත්තයත් හොඳ යුඇන්පිකාරයා. එයාට තිබුණා පොඩි වෑන් එකක්. ඡන්ද කාලෙට අලියෙක් හදාලා ඒකේ හැම තැනම යවනවා ඡන්ද ප්‍රචාරෙට. එක සැරයක් මේ අලියා ගැරේජ් එකේ තියෙද්දි සමසමාජ අපේ කට්ටිය රෑ ගිහිල්ලා අලියට රතු තීන්ත ගාලා ආවා.."
| විහාර මාවත පාලම අද
"අද වැල්ලවත්ත පොලිසිය තියෙන ගොඩනැගිල්ල ගෝමස් පවුලට අයිති එකක්. ඒ ගෝමස් පවුලේ එක්කෙනෙක් පොලිසියෙ ලොක්කෙක් වෙලා හිටිය (නි.පොලිස්පති මුනිගෝමස්). ඒගොල්ලන්ගේ ගේ තිබුණේ පොලිසියත් එක්කම තියෙන හාමර්ස් ලේන් එකේ. ඒකෙ ලොකු ළිඳක් තිබුණා. හැමෝම ඇවිල්ලා නෑවේ එකෙන්. ඒකට කිව්වේ "නාන බාල්දිය" කියලා."
මෙවැනි නාන බාල්දි හෙවත් බක්කි බාල්දි හෙවත් නාන ටැංකි කොළඹ නගරය පුරාම විශාල වශයෙන් ඒ කාලයේ පැතිර තිබුණි.වැල්ලවත්තේ කුරේ මාවතේ ද හාමර්ස් පාරේ ද (හයිස්ට්‍රීට්) ඩබ්.ඒ.සිල්වා මාවතේ ද එවැනි නාන බාල්දි පිහිටා තිබුණි.
"වැල්ලවත්තේ මුලින්ම ලයිට් දැම්මේ දැන් නෝලිමිට් එක තියෙන තැන තිබුණ ලයිට් ස්ටෝරුවේ. ඒක පිටිපස්ස වත්තේ තමයි වැල්ලවත්තේ පියදාසගේ (හුණු කඩේ චන්දරේගේ අයියා) කට්ටිය හිටියේ. එයාට තමයි වැල්ලවත්ත හන්දියේ හයිය තිබුනේ. එයාගේ කට්ටිය තමයි රාමන්, කුස්සි සිමී, බෝම්බ සිරිසේන,කොච්චි පියදාස. විහාර ලේන් හංදියේ හිටියේ පීරිස් අයියා. එයාට ගාලු පාර අයිනේ ක්ලබ් එකක් බෝල මේසයක් තිබුණා. එයා යූඑන්පිකාරයා. සමසමාජ කාරයන්ට එයා වැල්ලවත්තේ ඔළුව උස්සන්න දුන්නේ නෑ. පස්සේ එයා පිහි අනුමකින් මියගියා"
වැල්ලවත්ත සහ කළුබෝවිල එකතු කරන වත්මන් විහාර ලේන් පාලම ඉදිකළේ 1964 චම්ලි ගුණවර්ධන ප්‍රසිද්ධ වැඩ ඇමති සමයේ. ඊට පෙර එහි තිබුණේ එක අත් කරත්තයකට පමණක් යා හැකි පටු ලෑලි පාලමක් බව පැරැන්නෝ කියති.(එය 1890 ඉදිකළ එකක් බව මුහුණු පොතේ දැක්වේ.) ඒ සමගම කුඩා පාරුවක් තිබුණ බවත් එය එගොඩ මෙගොඩට ලණුවකින් ඇද මෙහෙයවූ බව ද ඔවුහු සිහි කරති.
"අනුලා කරුණාතිලකලගේ ඉඩමේ ගහක තමයි ඒ කඹේ ගැට ගහලා තිබුණේ. " ජස්ටින් අයියා ඒ කතාව තහවුරු කරයි.
"අපි පුංචි කාලේ රේල් පාරට එහා මුහුද පැත්තට වෙන්න පොල් අල්ලි (පේලි) තුනක් තිබුණා. ඒ පොල් ගස් බදු අරන් තිබුණේ අපේ සැල්දිරිස් මාමා. කොල්ලොත් එක්ක බේරගන්න බැරුව මාමා ඒ බදු ගැනිල්ල අත්හැරලා දැම්මා. ඒ කාලේ මොරටුව පැත්තෙ ඉඳන් මිනිස්සු ඇවිල්ලා වැල්ලවත්තේ මුහුදේ වැල්ලවත්ත ස්ටේෂම ළඟට යනකං දැල් අදිනවා"
ඉස්සර වැල්ලවත්ත පොලිසිය තිබුණේ පෙන්කුයික් රෝඩ් එක ළඟ නතර කරලා තිබුණ පිටිපස්සෙන් නගින ඊබට් සිල්වා ජාතියේ බස් එකක. ඊට එහායින් තිබුණ ගෙවල් පේලිය තමයි බැරැක්ක ය.
ඒ කාලේ මුලින්ම ඔය ඇල (ඉවුරේ) කංඩියේ ගෙවල් ගහන ව්‍යාපාරය ගෙනිච්චේ සමසමාජයේ අය. සිකුරාදා රෑ එළිවෙනකොට ගේ ගහනවා.දවස් දෙකක් උයන් කනවා. සඳුදා නිලධාරී යනකොට වැඩේ ඉවරයි. උසාවි ගියාම ඒ මිනිස්සුන්ව අයින් කරන්න බැහැ කියනවා. සමසමාජයේ කොල්වින් ආර් ද සිල්වා, බර්නාඩ් සොයිසාලා තමයි මේ ලෝ පොයින්ට් එක දුන්නේ. මට මතක හැටියට බණ්ඩාරනායක මාවත හැරෙන තැන නෝනිගේ අම්මට තමයි ඒ විදිහට පළවෙනි ගේ හැදුවේ. ඊට පස්සේ දිගටම ඇලකන්ඩිය දිගේ ගෙවල් හැදුනා."
"රොක්සිහෝල් එක පටන් ගත්ත අවුරුද්ද මට මතක නැහැ. හැබැයි ඒකෙ පෙන්නපු පළවෙනි චිත්‍රපටය "ආන්". ඒකේ රඟපෑව දිලිප් කුමාර් සහ නිම්මි හෝල් එක ඕපන් කරන උත්සවයට ආවා. එදා රෑ නමේ ෂෝ එක අපි කොල්ලෝ ඔක්කොටම පෙන්නුවේ නොමිලේ.
ඒ වගේම ඒ කාලෙ වෛශාකා ඉස්කෝලේ එඩී - රුක්මනී රඟපාන නාට්‍ය පෙන්නුවා. නාට්‍ය වෑන් එක ආවහම අපි තමයි බඩු උස්සන් යන්නේ උඩට. අපේ නම් ලැයිස්තුවක් ලියලා තියාගෙන ඉඳලා, රෑ නමයේ ෂෝ එක අපිට නොමිලේ බලන්න දෙනවා. ඒක අපිට ඒ කාලෙ හරි ආඩම්බර වැඩක්."
පොළොන්නරුව සෝමාවතී චෛත්‍යය නැවත මතුකර ගැනීමේ ඉතිහාසයේ වැල්ලවත්තට ඇත්තේ ඉතාමත් විශාල ගෞරවනීය සම්බන්ධයකි. අදටත් වැල්ලවත්තට පවරා දීපු ඉඩමක ඉදිකළ සුංගාවිල විශ්‍රාම ශාලාව භාරව පවතින්නේ වැල්ලවත්තටයි.
"වැල්ලවත්තේ ආයුර්වේද බෙහෙත් ශාලාව ඉතාම පොඩියට පටන් ගත්තේ අපේ මාමා ආයුර්වේද වෛද්‍ය ඇල්බට් මෙන්ඩිස්. එයා බෙහෙත් හොයන්න අනුරාධපුරේ සහ පොළොන්නරුවේ යනවා. පොළොන්නරුවේ ගියහම නවතින්නේ පානදුරේ ඉඳලා ආව ඩයස් මුදලාලිගේ මනම්පිටියෙ කඩේ. දවසක් එතන්ට මට්ට කරත්ත වලින් දර අරන් ආපු මට්ට මිනිස්සු ( පොළොන්නරුවේ ගම්බද මුස්ලිම් ජනතාව හඳුන්වන සරල නාමය) කිව්වලු කැලේ ලොකු පස් කන්දක් තියෙනවා, එතන හැමදාම කවුරු හරි මල් පූජා කරනවා කියලා. ඊට පස්සේ අපේ මාමලා තමයි ඒක හොයාගෙන ගියේ. එක ලොකු කතාවක්.ගිහිල්ලා බලනකොට ඇත්ත. එදත් අලුත් මල් තිබිලා තියෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය එතන පොඩි ටකරන් මඩුවක් ගහලා, පස්සේ රිජ්වේ තිලකරත්න මහත්තයාට (එවකට පොළොන්නරුව මහ දිසාපති - ගුවන් විදුලි සංස්ථාවේ විප්ලවීය වෙනසක් කළ යුග පුරුෂයා) මේක කියලා තියෙනවා. මොකද රිජ්වේ තිලකරත්න මහත්තයත් පානදුරේ. මං හිතන්නේ මේ 1930 ගණන් වල. පස්සෙ වැල්ලවත්තේ හැදුවා "සුංගාවිල සෝමාවතී විශ්‍රාම ශාලා සංවර්ධන ශ්‍රම දාන සමිතිය". ඒකෙන් අපි ගියා1950 ගණන් වල සෝමාවතියේ ශ්‍රමදාන වැඩට. අපි ගෙදරින් යනකොට කාඩ්බෝඩ් සිගරට් පෙට්ටි කෑලි පොඩි පොඩියට කපාගෙන යනවා. සෝමාවතියට යනකොට අපි මග දිගට මේවා හලාගෙන යනවා පාර හොයා ගන්න ආයිත් එන්න. හෝමාගම ඒ කාලේ ලොරි තුබුණ ඩී.ඒ. අබේසිංහ සහ ඩී.ඩී අබේසිංහ කියන අයියලා මල්ලිලා දෙන්නට.(ඩී.ඩී. අබේසිංහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජ්‍යෙෂ්ට උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ පියා) අබේසිංහ මහත්තයලා ඒ ලොරි වලින් මිනිස්සු අරගෙන ගිහිල්ලා පොළොන්නරුවේ ඉස්පිරිතාලේ හන්දියෙන් සෝමාවතියට යන පාර කපලා හැදුවා."
| වැල්ලවත්ත මංසන්ධිය 1960 දී
ජස්ටින් අයියගේ වැල්ලවත්ත පුරාණය තවත් බොහෝ දිගය. ඉන් එක කතාවකින් මෙය අවසන් කරමු.
"ඉස්සර හැම ගෙදරකම බාල්දි කක්කුස්සි තිබුණා. පාන්දර එනවා බාල්දිය ඔලුවෙ තියාගෙන. අපි වතුර බාල්දියක් තියලා තියන්න ඕනේ. අර ටික එයාගේ බාල්දියට හලාගෙන එතන හෝදලා පිරිසිදු කරලා යන්නේ.ඊට පස්සේ ඒ බාල්දි අත් කරත්තෙන් අරන් ගිහිල්ලා දෙහිවල පාලම ළඟදි ලොරියකට දානවා. ඊට පස්සේ දෙහිවල මෝය කට ළඟින් තමයි මේ බාල්දි ඔක්කොම හෝදන්නේ. එතන මාළු පිරිලා. මේ බාල්දි හෝදන කොට බාල්දිය ඇතුලටම සමහර වෙලාවට මාළු එනවා. සක්කිලි මිනිස්සු ඉතින් හිනා වෙවී උන් අරන් ගිහින් උයන් කනවා. වැල්ලවත්තේ හාමර්ස් ලේන් එක පල්ලෙහම ( මෙරීන් ඩ්‍රයිව් එක සංවර්ධනයේදී ඒ නිවස කැඩී ගොස් ඇත) මුහුද අයිනටම වෙන්න තිබුණ ගෙදරක හිටියා කවුරු හරි පිටරට ලොකු එක්කෙනෙක්. එයා මේ සක්කිලි කෙල්ලෙක් අඹුවට ගත්ත පටලැවිල්ල ඒ කාලේ වැල්ලවත්තේ හරි ප්‍රසිද්ධයි. ඒක නේද ඔය "අල්බොරෝදා" කියලා පිච්චර් ගහලා තියෙන්නේ..."
| උපුල් ජනක ජයසිංහ
(අරුණ පුවත්පතට ලියූ ලිපි මාළාව)
සබැඳි පුවත්