සටන අඛණ්ඩව, හිංසනය අවසන් ද?

16-day-activisam

බිජිං ප්‍රකාශනය සහ එහි ක්‍රියාකාරී වේදිකාව ක්‍රියාත්මක කිරීමේ වසර තිහ සපිරීමත් සමඟ මෙම 2024 වසරේදීත් තැබිලි පාට ලෝකයකට ඉඩ හසර සපයමින් දින දහසයේ ක්‍රියාවලිය ලොව පුරා ගෝලීය වශයෙන් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවත්වාගෙන යමින් සිටි. ශ්‍රී ලංකාව තුලත් රජයේ මැදිහත්වීම මත විවිධ වූ වැඩසටහන් ආයතන මට්ටමින් පවතවමින් සිටි. ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන පිටු දැකීම උදෙසා මෙම දින දහසය තුළ පවත්වන නොයෙකුත් ක්‍රියාවලීන් තුලින් හිංසනවලට එරෙහිවීමට එකිනෙකා වශයෙන් දැක්විය යුතු දායකත්වය සහ දැක්විය හැකි දායකත්වය කියාපායි.

එය සැබවින්ම සතුටට කරුණක් වුවත් මෙහිදී සඳහන් කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් නම් ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන පිටු දැකීම උදෙසා ජාතික මට්ටමින්, කලාපිය මට්ටමින්, ගෝලීය මට්ටමින් ප්‍රදර්ශනාත්මක බලපෑම් සහගත සටන්වල නියලුනත් සැබවින්ම ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන මෙම පොලෝ තලයෙන් තුරන් කිරීමට අපට හැකි වි තිබේද ? කනස්සල්ලට කරුණ නම් යම්තාක් දුරකට හිංසන පිටු දැකීම උදෙසා බලපෑම් සහගත ආමන්ත්‍රණයක් කිරීමට හැකිවී ඇතත් තවමත් ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන මුළුමනින්ම තුරන් කිරීමට හැකියාව ලැබී නොමැති බවයි. එම කරුණ ප්‍රත්‍යක්ෂ වනුයේ උතුර - දකුණ අතර පවතින ගෝලීය බලඅරගලය තුළ තවමත් කාන්තාව සහ කුඩා දරුවන් ඉලක්ක ගත කොට සිදුවන හිංසන දිනෙන් දින වර්ධනය වීම ලොවම දන්නා ප්‍රසිද්ධ රහසක් වීමයි.

එසේම සෑම විනාඩි දහයකට වරක් තම ස්වාමිපුරුෂයා හෝ තම සහකරුවා හෝ තම පව්ලේ අයෙක් විසින් කාන්තාවක් ඝාතනය කරනු ලබයි. එසේ නොවුන කිසිඳු රටක් මෙම ගෝලීය පද්ධතිය තුළ නොමැත. ඉන් සනාථ වනුයේ ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලීන් තුළ ගැබ්ව ඇති අසාර්ථකත්වය නොවේද?

නිදහස් වෙළඳ කලාපයේ කාන්තා ශ්‍රමිකයින්ගේ ඛේදවාචකය

ගෝලීය සාධයක පසෙකලා ශ්‍රී ලංකා සන්ධර්භය තුළ ඇති කාන්තා ශ්‍රමිකයන් වැඩි ගණනක් සේවය කරන නිදහස් වෙළඳ කලාප තුළ මෙම ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන පිටු දැකීම කෙතරම් දුරට ආමන්ත්‍රණය වි තිබේදැයි පිරික්සීමට යොමු වීම අගනේය. මන්ද යත් කාන්තා ශ්‍රමිකයන් බහුතරයක් සිටීම තුළ හිංසන නොතිබේ යැයි ගෝලීය සාධක අනුව උපකල්පනය කළ නොහැකි නිසාවෙනි.

ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ කටුනායක, බියගම, අවිස්සාවේල්ල, කොග්ගල සහ වතුපිටිවල යන ප්‍රදේශ තුළ නිදහස් වෙළඳ කලාප ඉදි වී ඇත. ඉදිකටු, නූල්, මහන මැෂින් තුළ පැය ගණන් සටන් කරන මෙම ඇගලුම් සේවිකාව අත්විඳින කම්කටොලු මෙතෙකැයි කියා නිම කළ නොහැක. නමුත් ඔවුන්ට විකල්ප නොමැත. ජිවන සටනට මුහුණදීමට නම් කම්කටොලු විද දරා ගනිමින් ඔවුන් ජිවතය ගෙන යා යුතුය.

නමුත් කම්කරුවන් ලෙස මෙම ඇගලුම් කම්කරුවන් අතර දිනෙන් දින පීඩාකාරී හිංසනවලට ගොදුරුවන සුවිශේෂී ශ්‍රමිකයන් පිරිසක් සිටි. ඒ මිනිස්බල සැපයුම් ආයතන හරහා ඇගලුම් කර්මාන්තයේ නියැලෙන, එසේත් නොමැතිනම් මෑන්පවර් සේවයේ නියැලෙන ශ්‍රමිකයන් ය. කම්කරු නීති තුලද ඔවුන් උදෙසා නීති සැකසී නොතිබීම තුළ අත්ලොස්සක් වූ පිරිසකගේ අණසකට යටත්ව පීඩාකාරී සේවයක නියැලෙන ඔවුන් හට නීතියේ රැකවරණයක් ද නොමැත. ඔවුන් අත්විඳින නොයෙකුත් හිංසන හමුවේ මෑතකදී එක් මෑන්පවර් සේවකයෙක් මුහුණ දුන් හිංසනකාරී අත්දැකීම මෙලෙසින් ය. මෙම සේවකයා අඛණ්ඩව එක් කර්මාන්තශාලාවක මෑන්පවර් සේවකයෙක් ලෙස සේවයට ගොස් ඇති නමුත් එක් දිනක් ඔහුට විඩාව හේතුවෙන් සුළු මොහොතක් කර්මාන්තශාලාව තුළ නින්ද ගොස් ඇත. පසුදින ඔහු නැවතත් එම කර්මාන්ත ශාලාවට සේවයට ගිය විට ඔහුව බ්ලැක් ලිස්ට් කර ඇති බව පවසමින් ඔහුව සේවයට රැගෙන නොමැත. බ්ලැක් ලිස්ට් කිරීම යනු කුමක්දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ, බ්ලැක් ලිස්ට් වූ පසු එම නිදහස් වෙළඳ කලාපයේ කිසිඳු කර්මාන්තශාලාවකට ඔහුට නැවත සේවයට යා නොහැකි බවයි.
එය ස්ත්‍රී,පුරුෂ කිසිඳු බේදයකින් තොරව ක්‍රියාත්මක වන නීතියක් බවද තවදුරටත් ප්‍රකාශ කර සිටින ලදී. දැන ගත යුත්ත නම් එලෙස කිරීමට නීති සැකසී ඇත්තේ කුමන කම්කරු නීති තුළ ද? මෙය සැබවින්ම අසාධාරණ කම්කරු පිළිවෙතකි. මෙය තුළ හිංසනයට ලක්වන මෑන්පවර් කම්කරුවාට නීතියේ පිළිසරණක් ද නොමැති වීම තුළ අපි යෙදෙන ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන පිටු දැකීම කෙරෙහි වූ සටනේ එක් සාධකයක් වනුයේ කම්කරුවා හිංසනයට ලක් කරන මෙම මෑන්පවර් සේවය ලංකාවෙන් තුරන් කරන ලෙස සටන් කිරීමයි.

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට එරෙහි ප්‍රචන්ඩත්වය

තවත් පැවසිය යුත්තක් නම් නිරන්ත, ප්‍රසිද්ධ අවකාශයන් තුළ පවා හිංසනයට ලක්වන තවත් ආන්තික ප්‍රජාවක් නම් සමරිසි සංක්‍රාන්තික පුද්ගලයන් ය. නිදහස් වෙළඳ කලාප තුලද එය එලෙසින්ම ය. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වැඩ පරිසරය තුළ නිරන්තර හිංසනයට ලක්වෙති.
එයට කදිම නිදසුනක් නම් සංක්‍රාන්ති ලිංගික පුරුෂයන් මෑන්පවර් සේවයට යොමු කරීමේදී සේවා වර්ගීකරණයන් තුළ ඔවුන්ව පිරිමි පුද්ගලයන් විසින් සිදුකරන ක්‍රියාවන් වෙත යොමු කොට ඔවුන්ගෙන් සේවාව ලබා ගත්ත ද දවස අවසානයේ ඔවුන්ට ලබා දෙනුයේ කාන්තාවකට ලබා දෙන වැටුපක් වීම තුළ මනාව එය පැහැදිලි නොවේද. එසේම ඔවුන් මුහුණ දෙන නොයෙකුත් වාචික හා මානසික හිංසන අපමණය. එසේම නිදහස් වෙළඳ කලාපයන්හි ඇතැම් කර්මාන්තශාලා ඇගලුම් සේවිකාවන් සේවයට බඳවා ගැනීමේදී පවසන රැකියා තනතුර හා වැටුපට වඩා වෙනස් වූ රැකියා තනතුරක් සහ සුළු වැටුපක් මාසය අවසානයේ එම ඇගලුම් සේවිකාව වෙත ලබා දෙයි. එම හිංසනය වාර්තා වුයේ වතුපිටිවල නිදහස් වෙළඳ කලාපයෙනි.

ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික ක්‍රියාවලිය තුළ විදේශ විනිමය ඉපයිමෙහි ලා සැළකිය යුතු දායකත්වයක් සපයන මෙම ඇගලුම් සේවක සේවිකාවන් මෙලෙසින් ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනවලට මුහුණ දෙමින් ජිවන සටන ගෙන යා යුතු පිරිසක් නොවේ. ඔවුන් විශේෂ අභිමානයක් සහිතව සැලකිමකට හා ඇගයීමකට ලක් විය යුතු සාධාරණ සමාජයක කොටස්කරුවන්ය. එසේනම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන පිටු දැකීම සඳහා යෙදෙන සටන තව දුරටත් ශක්තිමත් විය යුතු නොවේද?

දරුවන්ගේ අනාගතය

දින දහසයේ ක්‍රියාන්විතය තුළ හිංසනයට ලක්ව කුඩා දරුවන් කෙලෙසින් නම් මගහැරිය හැකිද. නිදහස් වෙළඳ කලාප කම්කරුවා පමණක් නොව, හිංසනය සාමාන්‍යකරණ වී ඇති සමාජයක් තුළ ජිවත් වන අනාගත පරපුරේ ඇතැම් පුරුක් නිදහස් වෙළඳ කලාප තුලද ජිවත් වෙති. ඒ මෙම ඇගලුම් සේවක සේවිකාවන්ගේ දරුවන්ය.

මව, පියා රෙදිපිළි වියන පැය අට, පැය දහය හෝ පැය දොළහක වැනි වූ කාලයන් තුළ ඔවුන්ගේ දරුවන් කොතරම් අනාරක්ෂිත ද යත් කටුනායක නිදහස් වෙළඳ කලාපයටම ඇත්තේ නිත්‍යානුකූල ඒක දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පමණි. එයද දරුවන් පනහකට පමණක් සීමා සහිත වේ. ඒ දරුවන් අතරිනුත් මෑන්පවර් සේවකයන්ගේ දරුවන්ට එම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දොරටු විවෘත නොවේ.

ඉදින් අනෙක් දරුවන් සුරැකෙනුයේ රජයෙන් ප්‍රමිතිගත නොවූ කුඩා නේවාසික කාමර තුලය. එම ස්ථාන තුළ දරුවන්ගේ පෝෂණය හෝ ඔවුන්ගේ ආරක්ෂාව කෙසේනම් තහවුරු වේද? බහුතර දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙලීම එම දරුවාගේ ආහාර අනාරක්ශිතතාවය කෙතරම්ද යත් පසක් කරයි.

ඉදින් තවත් පැහැදිලි කිරීම් කුමට ද? සත්‍යකි, සටන අඛණ්ඩව ඇතත් හිංසන අවසන් ද?

(කාන්තා හිංසනයට හා ප්‍රචන්ඩත්වට එරෙහි දින 16 ක්‍රියාකාරිත්වය සෑම වසරකම නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් 10 දින දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි)

martha 6

| මාර්තා
# ස්ටෑන්ඩ් අප් මුව්මන්ට් ලංකා | Statnd up Movement Sri Lanka

 

සබැඳි පුවත්