ඉතිහාසයේ ප්‍රථම වතාවට, වතු කම්කරු පවුල් නියෝජනය කරමින්, කාන්තාවන් දෙදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීම සුවිශේෂි තත්ත්වයකි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ, සැමුවෙල් අම්බිගා මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරි පත්වූ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන දෙදෙනාම ඉතාම පහල පංතියේ වතු කම්කරු පවුල් වල සාමාජිකයන් වීම හේතුවෙන්, වතුකරයේ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය සම්බන්ධයෙන් පුළුල් කතිකාවකට ප්‍රවේශවීමේ අවශ්‍යතාවය ලාංකේය සමාජය ඉදිරියේ මතුව තිබේ.
| සැමුවෙල් අම්බිගා | ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි
වතුකරයෙන් පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනයක්
උඩපුස්සල්ලාව, ලකීලෑන්ඩ් වත්තේ උපත ලබා හැදිවැඩුනු, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙන්ම, හපුතලේ, හපුතලේ වත්තේ උපත ලබා හැදිවැඩුනු, සැමුවෙල් අම්බිගා, වතු කම්කරු පවුල්වල සාමාජිකයන් වුවත්, ඔවුන් කම්කරු කාන්තාවන් ලෙස, වතුයායේ සේවය කර නැත. අධ්‍යාපන කටයුතු හමාරවීමෙන් පසුව, වතු සමාජයෙන් පිටතට විත්, සමාජීය හා දේශපාලන කටයුතු වල නිරතවීම, පාර්ලිමේන්තුව කරා ඔවුන් ඔසවා තැබු ප්‍රධාන සාධකය විය. එහෙත් තවමත් තේ වතුයායට කොටුවී, එහි සේවය කරනු ලබන වතු කම්කරු කාන්තාවන්ගේ තත්ත්වය ඊට වඩා බෙහෙවින් බේදජනකවේ. අම්බිගා සහ කලෙයිචෙල්වි ගේ හඩ, පාර්ලිමේන්තුව වැනි නීති සම්පාදනය කරනු ලබන ආයතන තුල නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබීම ඉතා යහපත් වුවත්, එමඟින් වතුකරයේ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය සම්බන්ධයෙන් සංතෘප්ත වෙනවාද යන කතිකාවට, ඊට වඩා පුළුල් ප්‍රවේශයක් ගත යුතුව ඇත.
පුරවැසියාගේ දේශපාලන සහභාගිත්වය යන්න සංකීර්ණ හා බැරෑරුම් සේම ගතික වූද න්‍යායික කාරණයකි. මැතිවරණ සමයකදි පමණක් ඡන්දදායකයා උත්කර්ෂයට හා ප්‍රමෝදයට නංවන සමාජයක, සහභාගිත්වය පිළිබඳව අර්ථ ගැන්වීම සීරුවෙන් කල යුත්තකි. ලාංකේය බහුතර සමාජ මතවාදය තුල ස්ථාපිත අදහස නම් දේශපාලනය සහභාගිත්වය යන්න ඡන්දය භාවිතා කිරීමයි. ඒ තුල සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයක පුරවැසියා පෙන්නුම් කල යුතු සක්‍රීයත්වය අදහස් නොකෙරේ. මෙහිදි සක්‍රීයත්වය යන්න පුළුල් පරාසයක අර්ථ ගැන්වෙන අතර, ඒ තුල නියෝජනය, අදහස් දැක්විම, මතවාද දැරීම, ප්‍රතික්ශේප කිරීම යනාදි සියලු කාරණා ඇතුලත් වේ. එහෙත් එය එසේ සිදුවනවාද? අවම වශයෙන් සිය ඡන්දය පවා තම ස්වාධින කැමැත්ත මත ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතීද?
ඡන්ද දාන්නේ කාටදවත් දන්නේ නෑ
| ආරුමුගම් තිලගම්
“ඡන්දෙට කලින් වත්තේ තලෛවර් ගෙදරට ඇවිත් ඡන්ද ලකුණත් එක්ක මනාප අංක තියෙන කාඩ් එකක් දීලා යනවා. ඒක මතක තියාගෙන තමයි අපි ඡන්දපොලට ගිහිල්ලා ඡන්දේ දාලා මනාප සලකුණු කරන්නේ. ඡන්දේ දාන අපේක්ෂකයා කවුද කියලා දන්නේ නෑ. ඒ අය දින්නට පස්සේ තමයි තලෛයිවර් කියන්නේ අපි ඡන්දේ දාපු කෙනා දිනලා කියලා. හැබැයි, සමහරවිට ඊලග ඡන්දේ එනකන් වත් ඒ දිනපු කෙනා දකින්න ලැබෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මතක ඡන්දේ දැම්ම අංකේ විතරයි. ඡන්දේ ඉල්ලන පුද්ගලයා ගැනවත්, එයා කරන්න යන දේවල් ගැනවත් අපි දන්නේ නෑ.” යැයි අප සමඟ පැවසුවේ කඳපොල, සෙන්ට් ජෝන් වත්තේදි හමුවූ තේ දළු නෙලන්නියක වූ, ආරුමුගම් තිලගම් ය. ඒ වතුකරයේ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය තේ වතුයායට බැඳ දමා ඇති ආකාරයයි.
ලාංකීය සිවිල් සමාජයෙහි අර්ධයක ජනගහණයට හිමිකම් කියන කාන්තාව අරඹයා වන මේ ස්වභාවය වතුකර දෙමළ ස්ත්‍රිය කෙරෙහි බලපානුයේ වඩාත් සංකීර්ණවයි. ඒ ඔවුනට ආවේණික සමාජ සංස්කෘතික වපසරියක් තුල වන අතර බහුතර සිංහල ග්‍රාමීය කාන්තාවට වඩා වෙනස් ජීවන තත්වයන් යටතේ සිය දේශපාලන භූමිකාව නිරූපණය කරන්නට ඇයට සිදුවී තිබේ. අධ්‍යාපන මට්ටම සළකා බැලූවද පහළ මට්ටමක වෙසෙන ඇය සාපේක්ෂව වඩාත් ආන්තික ජන කොට්ඨාශයක් සේ ගැනිය හැකිය. යටත්විජිත සමයේ වතු ක්ෂේත්‍රයේ කටුක රාජකාරී සඳහා දකුණු ඉන්දියාවෙන් කැඳවා ගෙනෙනු ලැබූ කම්කරු දෙමළ ප්‍රජාවට දේශපාලනය උදෙසා වන අතිමූලික ප්‍රවේශය සේ සැළකිය හැකි ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාවද ආරම්භයේදීම හිමි නොවුනු අතර පිලිගත් පුරවැසිභාවය යන සාධකය මත ඒ උදෙසා දීර්ඝකාලීන අර්බුද වලට මැදිවන්නට ඔවුන්ට සිදුවිය. ඒ අතර ඔවුන් පෙලූ ආර්ථික දරිද්‍රතාවය, සූරාකෑම වැනි සාධක සේම සංස්කෘතික කාරණාද හේතුකොට ගෙන, ලද දේශපාලනික අයිතිවාසිකම් භුක්ති විදින්නට සිදුවූයේද පුරුෂමූලික රාමුවක් තුලයි.
“තලෛයිවර්, කියන කෙනාට නැතුව, වෙන කෙනෙකුට ඡන්දේ දෙන්න ඕනකම තිබුනත් දෙන්න බයයි. අපිට වැඩ නැවැත්තුවොත් වත්තේ මහත්තයා ලගට යන්න, ප්‍රශ්නයක් වුනොත් පොලිසියට යන්න, වෙන මොන දේකට වුනත් තලෛයිවර් එක්ක තමයි යන්න ඕනේ. අපි එයා කියන කෙනෙකුට දෙන්නේ නැතුව වෙන කෙනෙකුට දීලා කියලා දැනගත්තොත්, කිසිම දේකට තලෛයිවර් මැදිහත් වෙන්නේ නෑ. ඒ වගේ දේකට ස්වාමිපුරුෂයාවත් ගෙදර අයවත් කැමති වෙන්නෙත් නෑ. ඒක නිසා එයා කියන පක්ෂෙට හරි, කෙනෙකුට හරි ඡන්දේ දෙන්න වෙලා තියෙනවා” යනුවෙන්, අප සමඟ දොඩමළු වෙමින්, රාගල, බෲක්සයිඩ් වතුයායේ මුරුගේසන් විජයලෙච්චමි පැවසුවේ එසේය.
ඡන්ද අයිතිය තියෙන්නේ තලෛයිවර්ට
| මුරුගේසන් විජයලෙච්චමි
බොහෝ කාන්තාවන් සිය ඡන්දය මතින් වතුකරයේ රජුන් තැනුවද, ඉන් බහුතරයකට තම ඡන්දය භාවිතා කළේ කවරෙකුට යන්නද පවා දැනගැනීමට නොහැකිය. එයට හේතුව වන්නේ, වත්තේ වෘත්තිය සමිති නායකයා නැතහොත් තලෛවර්ගේ හෝ නිවසේ ස්වාමියා නැතිනම් වැඩිහිටි පුත්‍රයෙක් ලබාදෙන ඡන්ද සළකුණකට හෝ අංකයට පමණක් කතිරය ගසනු ලැබීමට ඔවුන්ට බලකර ඇති වටපිටාවයි. අප සිදුකල පුළුල් අධ්‍යයනයයේ දැක ගත හැකි වූයේ බොහෝ වතු කම්කරු කාන්තාවන් මැතිවරණ ගණනාවකදි ඡන්දය භාවිතා කර ඇතත්, තමන් ඡන්දය ලබාදුන් අපේක්ෂයා පිළිබදව නොදන්නා බවයි. ඒ අනුව ඔවුන්ට කිව හැක්කේ අසවල් පක්ෂයට හා ලබාදුන් මනාප අංකයන්ට සිය ඡන්දය භාවිතා කල බව පමණකි.
කෙසේ වුවත් මෙම ගැටළුවේ ඇති ගැඹුර සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයේදි, ඒ පිළිබඳව ඉතා දීර්ඝ කාලයක සිට ගවේෂණයෙහි යෙදෙන, වතුකර ස්ත්‍රීයගේ දේශපාලන නියෝජනය පිළිබඳ සමාජ විද්‍යාත්මක විමර්ශනයක් සිදුකලා වූ, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ, සමාජ විද්‍යා අංශයේ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යය, නිමාලි විනීෂියා මුණසිංහ මහත්මිය අප හා සාකච්ඡාවට එක්වූයේ මේ අයුරිනි.
අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලින අධ්‍යයනයක නිරත වුනා. එහිදි අපට දැකගත හැකි සුවිශේෂි කාරණය වුනේ, කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය හා ක්‍රියාකාරිත්වය හුදෙක් මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීමට පමණක් සීමාවෙන බවයි. වෘත්තීය සමිති වල සාමාජිකත්වය හිමිව තිබුණත්, සාමාජික මුදල් ගෙවනු ලැබූවත්, ඔවුන් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වී නෑ. සක්‍රීිය ආධාරකරුවන් ලෙස සහභාගී වීමේ අත්දැකීම් ඔවුන් වෙත නොතිබුනා පමණක් නොවේ, දේශපාලන ව්‍යාපාර තුල, සිය යෝජනා එක්කිරීමේ හෝ ක්‍රියාවට නැංවීමේ අවකාශ ඔවුන් සතුව තිබුණෙත් නෑ. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට සහභාගි වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අත්දැකීම විමසූ අවස්ථාවලදි අනාවරණය වූණේ, මැතිවරණ රැස්වීම් සංවිධානය, ඇමතීම ආදී ක්‍රියාවල යෙදීම පිළිබඳ අත්දැකීම් ඔවුන් සතුව නොමැති බවයි.
ඇතැම් තරුණ ස්ත්‍රීන් පුරුෂයන්ගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ මැතිවරණ සමයන්හි ගෙයින් ගෙට ගොස් පත්‍රිකා බෙදීම වැනි කාරණා වලට සහභාගිවී තිබුනත්, දේශපාලනය පිළිබඳ අදහස් ස්ත්‍රීන් අතර අනෙකාට ප්‍රකාශ කිරීම තුලද ඔවුන් ක්‍රියාවට නංවා ඇත්තේ පුරුෂයන්ගේ උපදෙස් බව අප කළ අධ්‍යයනයේදි පැහැදිලි වුනා. ඒ සිය පවුලේ පුරුෂයන් ආසක්ත වී ඇති දේශපාලන පක්ෂයේ හෝ ව්‍යාපාරයේ තමන්ද කොටස්කාරියන් බවට පත්වෙමිනුයි. ඒ වගේම පුරුෂයන්ගේ මතිමතාන්තර වලින් බැහැරව ස්වකීය දේශපාලන අදහස් ඔවුන් අතර සංවාදයට ලක්නොවීමද කැපී පෙනුණු ලක්ෂණයක්. එවැන්නක් සිදුනොවන බවත්, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සංවාදයෙහි යෙදීමේ පුරුද්දක් හෝ එවැන්නක් සඳහා අවශ්‍ය දැනුමක්ද තමන් වෙත නොමැති බවත් මේ කාන්තාවන්ගේ අදහස වුනා. තමන් උදෙසා බලපාන කිසිම දේශපාලන පක්ෂයකින් මේ තාක් දේශපාලන දැනුම සම්පාදනය සඳහා අවකාශ විවර වී නැති බවත්, ඒ සඳහා උනන්දුවක්ද දක්වා නැති බවත් තමයි ඔවුන්ගෙන් අනාවරණය වුණේ.
| ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, නිමාලි විනීෂියා මුණසිංහ
දේශපාලන කටයුතුවල යෙදීමට අත්දැකීම් නෑ
දේශපාලන සහභාගිත්වයට අදාළව මේ කාන්තාවන් වෙතින් ප්‍රකට වු එකම කරුණවන ඡන්දය දීම පිළිබඳව සැලකු විට එයද ස්වාධීන කාර්යයක් නොවන බව අපට පෙනී ගියා. ඔවුන් ප්‍රකාශ කරන අන්දමට මැතිවරණයකදී ඡන්දය දීම සිදුකරන්නේ, තමන් නියෝජනය කරන වෘත්තිය සමිති තලෛයිවර්ගේ, නැතිනම් සිය නිවසේ ප්‍රධානියා වන ස්වාමි පුරුෂයාගේ හෝ පවුළේ තීරණාත්මක බලයක් හිමි පුත්‍රයාගේ අනුදැනුම ඇතිවයි. බොහෝවිට අසවල් පක්ෂයට, අසවල් මනාප අංක වලට ඡන්දය දෙන්නැයි ඔවුන්ට දැනුම් දෙන බවත්, ඒ අනුව ඡන්දය භාවිතා කරන බව තමයි ඒ අයගෙන් ප්‍රකාශ වුණේ.
වතුකරයේ බොහෝ ප්‍රදේශ වල ප්‍රජාව ආර්ථික අතින් පසුවන්නේ ආන්තික මට්ටමකයි. ඒ හැරුණු විට ස්ත්‍රීන් ඉපයීමට දායක වූවත්, මූල්‍ය පරිපාලනය පුරුෂයන් සතුවන නිසා නිවසේ වියදම් පිරිමසා ගැනීමේ ගැටලුවට ඔවුන් මුහුණ දෙනවා. පුරුෂයන්ගෙන් බොහෝ දෙනෙක් මත්පැන් පරිභෝජනයට ඇබ්බැහි වී සිටීන පසුබිමක් තුල ගෘහ කළමණාකරනය පිළිබඳව දැඩිලෙස උනන්දු වීම හැරෙන්නට සමාජමය කරුණු පිළිබඳව දැනුවත් වෙන්නට ඔවුන්ට අවස්ථාවක් නෑ. ඒ අතර වතු පරිපාලනය සිදුකරන වාණිජ වැවිලි සමාගම්, දේශපාලන අයිවාසිකම් වැනි සිය පරිපාලන කාර්යයට අභියෝගයක් විය හැකි සංවේදී කරුණු පිළිබඳ දැනුවත් වීමේ අවස්ථා ඇතිවීම සඳහා කිසිසේත් ඉඩ නොතබන බව වතු කම්කරු කාන්තාවන්ගේ අදහස වුනා. ඒ සඳහා ඔවුන් පෙන්වා දුන් උදාහරණය වූනේ, වතු ජනතාව අතර ක්‍රියාත්මක ඇතැම් සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන වලට, වතු පාලනය හා සහයෝගයෙන් ක්‍රියාකරමින් ඇතැම් සුබසාධන කාර්යයන්හි නිරත වීමට හැකියාව ඇති නමුත් මෙවැනි දැනුවත් කිරීමේ කාර්යයන්ට, නැතිනම් දේශපාලන දැනුම සම්පාදනය වැනි දේ කිරීම සඳහා ඉඩකඩ ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.
දේශපාලන සහභාගිත්වය දිරිගැන්වීම සඳහා ඔවුන්ගේ දැනුම හා සංවාදය මෙසේ අවම මට්ටමක පැවතීම සඳහා ඒ අය ලද අඩු අධ්‍යාපනයද මෙහිදී කැපී පෙනෙන සාධකයක්. අපගේ අධ්‍යයනයට අදාල නියැදියට අයත් කාන්තාවන් පිරිස අතුරින්, අවුරුදු 46 ත්, 60 ත් අතර වයස් කාණ්ඩයේ කාන්තාවන් සියලුම දෙනාත්, අවුරුදු 46 ට අඩු, 18 දක්වා වන කාන්තාවන් අතරින් සියයට 70 ක් පමණත්, අධ්‍යාපනය ලබා තිබුණේ සාමාන්‍යයෙන් 2 වන හෝ 3 වන ශ්‍රේණියට පමණයි. ආර්ථික මට්ටම සහ එකල අධ්‍යාපනයට පැවති අඩු උනන්දුව හා පාඨාශාලාවන්හි පහසුකම්ද අනුව මෙවැනි තත්වයක් උද්ගතව තිබෙනවා. මේ කාන්තාවන් පෙන්වා දෙන ආකාරයට අවම අධ්‍යාපනය අනුව පොතපත පරිශීලනය කිරීම හා ජනමාධ්‍ය භාවිතයේදී එල්ල වෙන බලපෑම හේතුවෙන් දේශපාලනය පිළිබඳ පුළුල් දැනුමක් ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථාව අහිමි වෙන බව පෙනි යනවා. ඒ වගේම දැඩිලෙස වෙහෙසව වත්තේ සේවය කරන ඔවුන් ජනමාධ්‍ය පරිහරණයේදීද වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ විනෝදසුඛ සම්පාදිත මාධ්‍ය කෙරෙහි වීම නිසාත් දැනුවත් වීම සඳහා ඔවුන් වෙත ඇති අවකාශ ඇහිරී යනවා. දෙමළ භාෂාවෙන් සම්පාදනය වන දැනුමේ අඩුවක්ද ලංකාව තුල පවතින බව අප වෙත අදහස් දැක්වූ වත්තේ සුබසාධන නිළධාරිනියන්ගේ හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ අදහස වුනා.
වතුකරයේ ස්ත්‍රි දේශපාලන සහභාගිත්වය ඡන්දය භාවිතා කිරීමට පමණක් ලඝු වීම අරභයා වඩාත් බැරෑරුම් සාධකයක් ලෙස ඔවුන්ගේ දමිළ සමාජයීය පුරුෂ මූලික බව ඉස්මතු වෙනවා. සෑම ක්ෂේත්‍රයක්ම තුළ ස්ත්‍රිී සහභාගිත්වය ස්වභාවයෙන්ම ඇවුරුණු හා මෙවැනි ක්ෂේත්‍ර පිළිබඳ වගකීම හා උල්ලංඝනය කළ නොහැකි අයිතිය ඇත්තේ පුරුෂයන් සතුවය යන මතය දෙමළ ජන සමාජයේ පවතින බව මේ සත්‍රීන්ගේ අදහසයි. ඔවුන් අතරින් වැඩි පිරිස ඊට එරෙහි නොවූයේ එය දෙමළ ජන සංස්කෘතියේ ස්වරූපය යැයි සළකමින්. ඔවුන්ගේ සංස්කෘතිය තුළ පුරුෂයා ස්ත්‍රියට වඩා උසස්ය යන හැඟීම දක්නට ලැබෙන්නක්. පුරුෂයාට අතිශයින් ගෞරව සම්ප්‍රයුක්තව හා භය පක්ෂපාතව සිටීම ස්ත්‍රීන්ගේ වගකීම ලෙසයි ඔවුන් සලකන්නේ. ඒ තුළ පුරුෂයා වෙත පැවරුණු දේශපාලනික කාර්යයන්හී නිරත නොවී ගෘහීය කටයුතු වල නිරතවීමද දේශපාලනය විෂයයෙහිද එනම් ඡන්දය දීම ආදී කරුණුවලදී පුරුෂයාට අවනත වීම නියම ස්ත්‍රියකගේ ලක්ෂණය බව ඔවුන්ගේ අදහස වුනා. ඒ වගේම ස්වකීය සංස්කෘතියෙහි ගති ස්වභාවය තුළම ඒ බව ඉස්මතු වෙන නිසා, එය ඉක්වමා යාම හෝ වෙනස් කිරීම අපහසු බවද මේ ස්ත්‍රීන්ගේ මතය වුනා. එවැනි තත්ත්වයක් තුල වතු කරයේ කාන්තාවන්ගේ ස්වාධින දේශපාලනය සාක්ෂරතාවය පුළුල් කිරීම සඳහා සමාජීය කතිකාවතක් ඇති කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව තමයි මගේ අදහස වෙන්නේ...
ඒ ඇය විසින් සිදුකරන ලැබු දීර්ඝ අධ්‍යයනයක් මත පිහිටා සිදුකරනු ලැබු අදහසයි. සැබවින්ම යතාර්ථයත් එයම වේ. වතු කම්කරු පවුල් නියෝජනය කරමින් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි හා සැමුවෙල් අම්බිගා පාර්ලිමේන්තුවට තේරි පත්විම ජයග්‍රහණයකි. එහෙත් ඒ පසුපසද ඇත්තේ පුරුෂ මුලික දේශපාලනයක් විනා, වතු කරයේ කාන්තාවන්ගේ දේශපාලන පෙළගැස්මක් නිසාවෙන් බව අපට කිව නොහැකිය. පැහැදිලිව එය වඩාත් ඉස්මතු කළ හැකි ජයග්‍රහණයක් විය හැකිව තිබුනේ වතුකරයේ කාන්තාවන්ද ඔවුන්ගේ මැතිවරණ ක්‍රියාවලියේ පිටුපසින් සිටගත්තේ නම් පමණි. නමුත් එය එසේ නොවීය. එබැවින් වතුකරයේ කාන්තාවන්ගේ නැගී සිටීමක් ලෙස එය උත්කර්ෂයට නැංවිම යථාර්තවාදි නොවේ. තවමත් වතුකරය පවතින්නේ පුරුෂ මූලික බලපෑමෙන්, ස්ත්‍රියගේ මතය යටපත් කරමින්, ඇගේ දේශපාලන සභාගිත්වය හා ක්‍රියාකාරිත්වය පාගා දමමිනි. එබැවින් කලෙයිචෙල්විගේ හා අම්බිගාගේ ජයග්‍රහණය උත්කර්ෂයට නැංවිමට වඩා ඉදිරියට ගොස් වතුකරයේ කම්කරු කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය පිළිබඳව වඩා පුළුල් කථිකාවකට හා ක්‍රියාකාරිත්වයකට එළිඹිය යුතු බව අවධාරණය කල යුතුව ඇත.
| නුවරඑළිය සම්පත් ජයලාල්