ඉතිහාසය කියන්නේ එක්තරා යුගයක ජීවත් වූ මිනිසුන්ගේ ජීවන රටාවල ලියකම් කැටයම්වලින් අලංකෘත වෙච්ච අතීතයකට. කොළඹ නගරයේ ඉතිහාසය සත්‍ය වශයෙන්ම ලියැවි ඇත්තේ කොළඹ නගරයේ චූලජනාවාස වල මිනිස්සුන්ගේ අතීත ජීවිතවල. නමුත් කිසිම ඉතිහාසඥයෙක් හෝ විද්‍යාර්ථියෙක් මේ ගර්හිතයන්ගේ පැරණි ජීවන කතා ශාස්ත්‍රාලීය මට්ටමෙන් ඉතිහාසය ලෙස පිළිනොගැනීම කුමන න්‍යායක් මත සිදු වන්නක් ද යන්න කිසිවෙකුත් නොදනී.
කොළඹ නගරයේ සැඟවුණ ඉතිහාසය සොයා යන ගමනේ හමු වූ ජීවමාන ශිලා ලිපියකි ඥානසිරි රංචාගොඩ ආරච්චි මහතා. අද දවසේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටින දීර්ඝතම සේවා ඉතිහාසයක් ඇති ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී සහායක ඥානසිරි රංචාගොඩආරච්චි ය.
ඔහු මෙන්ම ඔහුගේ පියා පියදාස රංචාගොඩආරච්චි ද අතීත (Radio Ceylon) රේඩියෝ සිලෝන් හි 'ලයින්මන්' කෙනෙකි.
ඔවුන් එදවස ජීවත් වූයේ ගුවන් විදුලියට හූවක දුරින් පිහිටි ඉසව්වකය. නවසිය හතලිහ පනහ-හැට දසවකල කොළඹ මිනිසුන්ගේ ජීවන අන්දරයන් අපූරුවට කතා ගෙත්තම් කිරීමට ඥානසිරිගේ මතකය ඉතාමත්ම ශක්තිමත්ය.
| ඥානසිරි රංචාගොඩ ආරච්චි
"මම ඉපදුනේ කුරුවිට උඩකඩ වලව්වවත්ත කියන ගමේ. මගේ අම්මා රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මැණිකේ. තාත්තා රංචාගොඩ ආරච්චිගේ පියදාස. තාත්තා ගුවන් විදුලියේ බාහිර ප්‍රචාරක අංශයේ ලයින්මන් කෙනෙක් හැටියට තමයි වැඩ කළේ. අපේ කුරුවිට ඉඩම හැම තිස්සෙම ගංවතුරට යට වෙනවා. සමහරක් දවස්වලට තාත්තට ගෙදර එන්න විදියක් නෑ, කුරු ගඟ පිටාර ගලලා ගංවතුර දාලා. අම්මයි තාත්තයි කතා වුණා අම්මට ලැබුණ මේ ඉඩමයි ගෙයයි විකුණලා කොළඹට යන්න. අපි කොළඹට ආවට අපිට කොළඹ ඉන්න හිටින්න තැනක් ස්ථිරව තිබුණේ නැහැ. අපි ලොන්ඩන් ප්ලේස් එකට ඇවිල්ලා හිස් ඉඩම් කෑල්ලක පොඩි ගෙයක් හදාගත්තා. ඒ කාලේ ලොන්ඩන් ප්ලේස් එකේ පොඩි පැල්පත් ගෙවල් අහුරක්. මේ ගෙවල් තිබුණේ දැන් BMICH එකට ලොන්ඩන් ප්ලේස් එකෙන් ඇතුල්වන පැත්තෙ ගේට්ටුව හරියේ. අපේ ගේ හරියටම තිබුණේ දැන් ලොන්ඩන් ප්ලේස් එකේ ගේට්ටුව තියෙන තැන. ඒ කාලේ බුලර්ස් රෝඩ් එකෙන් හැරිච්ච ගමන් ලොකු ගෙවල් කීපයක් තිබුණා. අල්ලස් කොමිසම තියෙන ගොඩනැගිල්ල, ඊට පස්සේ තියෙන ලොකු ගෙය තමයි ඒ කාලෙ තිබුණේ. ඊට පස්සේ ඒ දිගටම තීරුවේ තිබුණේ පොඩි පැල්පත්. CR&FC ග්‍රවුන්ඩ් එක ලග ඉඳන් දිගටම පොඩි පැල්පත් ගෙවල් තියෙනවා තිහ හතළිහක් විතර තිබුණා. ඒවා සේරම අනවසර ඉදිකිරීම්.
මේවා අනවසර ගෙවල් වුණාට ඒ ගෙවල් සහ ඒ පැත්ත පාලනය කලේ සනී අයියා. මේ හරිය ඇවිල්ලා මොකක් හරි ගෙයක් අටෝගන්න සනී අයියගේ අවසරය ඕනේ. එන එන හැමෝටම එහෙම පදිංචි වෙන්න දුන්නේ නෑ සනි අයියා. තාත්තා ගුවන් විදුලියෙ හිටිය නිසා සනී අයියා හොඳ යාලුවෙක්. ඒ නිසා තාත්තා අහපු ගමන් සනී අයියා ඒ හරියෙන් තාත්තට ගෙයක් ගහගන්න අවසර දුන්නා විතරක් නෙමෙයි උදව් කළා. මට මතක හැටියට තාත්තා සනී අයියට රුපියල් හැත්තෑවක් ද කොහෙද ගෙව්වා. කොහොම හරි ඒ හරියෙන් අපි හොඳ ලොකු ඉඩම් කෑල්ලක් අල්ල ගත්තා."
කොළඹ හත කුරුඳුවත්ත යනු කොළඹ ප්‍රභූවරුන්ගේ ජනාවාස බිමයි. එම නිසා කුරුඳුවත්ත කලාපයේ නාගරික චූල ජනාවාස බිහිවූයේ ඉතාම අල්ප වශයෙන්. එයට හේතුව කුරුඳුවත්තේ බොහෝ නිවාස ඉදිකර තිබුණේ විශාල වත්තක් පරිවාර කරගෙනය. කුරුඳුවත්තේ ගෙවල්වල දැවැන්ත ගෙඋයන් තිබුණි. ඒ අතරින් පතර ඉතාම අල්ප වශයෙනි නාගරික ජනාවාස බිහිවූයේ. තාරවත්ත, ටොරින්ටන් හැටේවත්ත,කූඹි කැලේ එදවස කුරුඳුවත්තේ දක්නට ලැබුණු චූල ජනාවාසයන්ය.
"අපේ පවුලේ අට දෙනෙක් හිටියා. නංගි මල්ලි ඉපදුනේ මේ ගෙදර. අපේ ගේ වරිච්චි බැඳලා වහලෙට පොල් අතු හෙවිලි කරලා. සමහර ගෙවල් වටේට ලෑලි ගහලා වහලෙට ටකරන් දාලත් තිබුණා. ඒ කාලේ අපේ අසල්වැසියෝ තමයි සනී අයියා, අගමාවතී නැන්දා, වික්ටර් මාමා,සි රිසේන අයියා වගේ අය. තනිකඩයා වෙච්ච සිරිසේන අයියා රස්සාවට කළේ පොකට් ගහන එක. අපි සෙල්ලම් කළේ අගමාවති නැන්දගේ දරුවො වෙච්ච වික්ටර්, රමණි, සෝබා එක්ක. සනි අයියා කසිප්පු පෙරුවා. නමුත් එයා ඒවා බිස්නස් කලේ වෙන පැත්තවල් වලට ගෙනිහිල්ලා. සනී අයියා කසිප්පු පෙරුවේ දැන් ස්ලීඩා (SLIDA) තියෙන හරියට උඩ පැත්තෙ තිබිච්ච රොමානිස් අයියගේ ගෙට උඩහා පොඩි කැලෑ මණ්ඩියේ. අපිත් එක්ක හිටපු අනිත් අයත් එක එක ජාතියෙ එදා වේල රස්සා කළා.
| SLIDA
අපේ ගෙවල් මායිම් වෙලා තිබුණේ දැන් BMICH එක තියෙන ඉඩමට. ලොංඩන් ප්ලේස් එක පැත්තේ ගේට්ටුව ළඟ තමයි හරියටම අපේ ගේ තිබුණේ. ඒ කාලේ BMICH තියෙන ඉඩම Golf Ground එකක්. ඒකේ මායිම මඩ වගුර. ගොල්ෆ් සෙල්ලම් කරන අයගේ පහරවල්වලට ගෝල්ෆ් බෝලය මඩවලට වැටුනාම අපිත් එක්ක හිටිය වේලු තමයි මඩවලට බැහැලා කොහොම හරි අර බෝලේ හොයලා දෙන්නේ. ඒකට ගෝල්ෆ් ගහන මහත්තුරු රුපියලක් දෙනවා. අපේ වත්ත පැත්තට වැටුනාම අපි අරන් දුන්නම සත පනහක් දෙනවා. මේ හෙලේ වගුරේ මගුරෝ, කාවයියෝ, හුංගො, ආදෝ වගේම ඉබ්බොත් හිටියා. පායන කාලෙට පස් පාටියේ අය ඇවිල්ලා වල ඉහළ මේ මාළු අල්ලා ගෙවල් වලට බෙදලා දෙනවා. වැස්ස දවස්වලට මේ මඩ වගුර පිරිලා උතුරන කොට කාවයියෝ අපේ කුස්සියට එනවා. ඒ වෙලාවට අපේ තාත්තා කියනවා 'කටු අයින් කරගෙනම හොද්දට පනින්න' කියලා. තාත්තා උන්ව අල්ලලා ආයිත් වතුරට දානවා. මේකේ හරියට සර්පයොත් හිටියා.
අපේ ගේ ඉස්සරහම තිබුණා ලොකු තණකොළ පිට්ටනියක්. එතන තමයි දැන් SLIDA එක හදලා තියෙන්නේ. ඒ තණකොළ පිට්ටනියේ තමයි කිරි හරක් හැදුව ජනයියා හිටියේ කුලියට.
මේ පැත්තෙම ලොකු ගෙවල්වලට කිරි බෙදුවේ ජනයියා තමයි. උදේ පාන්දර කිරි දොවාගෙන බයිසිකලේ බාර් එකේ දෙපැත්තට මල්ල වගේ එකක් දාගෙන, ඒකේ කිරි බෝතල් දාගෙන මේ පැත්තෙ ගෙවල්වලට ජනයියා කිරි විකිණුවා. සමහර දවස්වලට කිරි ඉතුරු වුණාම ජනයියා පොඩි එවුන්ට කතා කරලා ඒ කිරි දෙනවා. දැන් SLIDA එක තියෙන තැන ලිං දෙකක් තිබුණා. එකක් අන්දරගහ යට. ඒක ගෑණු අයට නාන්න. අනිත් එක කුඹුක් ගහ යට. ඒක පිරිමි අයට. මේ ළිං වල කට ගාවට නිල් කැටේට වතුර උතුරනවා. බිම වාඩිවෙලා අතින් අරන් තමයි නාන්නේ. පස් පාටියේ අයයි අපියි වටේ තියෙන පොඩි පොඩි ගෙවල්වල අයයි තමයි මේ ළිං වලින් නෑවේ. අපි බොන්න වතුර ගත්තෙත් මේ ලිං වලින් තමයි. මොකද ඒ කාලේ කාටවත් පයිප්ප තිබුණේ නැහැ. ළිඳේ වතුර කැලතෙන්න කලින් අපි මහ පාන්දරම ගිහිල්ලා බොන්න වතුර අරන් එනවා.
රොමානිස් අයියගේ කරත්ත ගාල් කළේ මේ තණකොළ පිට්ටනියේ තමයි. රොමානිස් අයියගේ මල්ලි තමයි හරමානිස් අයියා. එයා හිටියේ හැටේ වත්තේ. ඒ ගොල්ලන්ගෙ අම්මට කිව්වේ "ජපන් අම්මා" කියලා. රොමානිස් අයියගේ බිරිඳ මුස්ලිම්. එයාලගේ දරුවෝ තමයි රාජු, රාජා, තාජුන්. තව දුවෙක් හිටියා. කුරුඳුවත්ත පැත්තේ පාරවල්වල කුණු අදින නගර සභාවේ කොන්ත්‍රාත් එක්ක අරන් තිබුණේ රොමානිස් අයියා. රොමානිස් අයියගේ කරත්තවලින් පාරවල්වල එකතු කරන කුණු දවල් වෙනකොට කිරුළපනේ නගර සභාවේ කුණු මෝලට ගෙනිහිල්ලා දානවා. පාන්දර පහට විතර මේ කරත්තවල වැඩ කරන අය ඇවිල්ලා හරක් ගැට ගහලා පාරේ පෝලිමට අරන් යනකොට ඒ ගොන්නුන්ගේ ගෙජ්ජි සද්දෙට තමයි අපි ඇහැරෙන්නේ. එතන රොමානිස් අයියා ලඟ මිනිස්සු විස්සක් විතර වැඩ කරනවා. ඒ අය බහුතරය දෙමළ. සමහරු හරක් පට්ටිය ලඟම පදිංචිවෙලා හිටියා පොඩි කාමරවල.
BMICH මුල්ගල
මුලින්ම BMICH එක හදන්න ගත්තේ 60-65 මැතිනිගේ ආණ්ඩුව කාලයේ 1963 දී. BMICH හදන්න මුල්ගල තිබ්බ උත්සවය මට හොඳට මතකයි. මේ ගෝල්ෆිටියේ ඈත කොනක තිබුණ ලොකු නුග ගහ ලඟ තමයි ඒකට මුල්ගල තිබ්බේ. ඒ ගහ දැන් කපලා කපලා කප්පාදු කරලා. නුග ගහ ළඟ ලොකු වේදිකාවක් වගේ හදලා ස්ලැබ් එකක සිංහල, දෙමල,ඉංග්‍රීසි චීන භාෂාවේ අකුරු පිත්තලෙන් හදලා හයි කරලා තිබුණා. මේ පිත්තල අකුරුවල රත්තරන් කලවම් කරලා තිබුණා කියලත් ඒ කාලේ කතාවක් තිබුණා. මට මතක නෑ එකේ මොනවද ලියලා තිබුණේ කියලා. මේ ඵළකය අඩි හයක් විතර උසයි. හරිම ලස්සනයි මේ පලකය. මේ ස්ලැබ් එකට උඩින් ෂෙඩ් එකක් ගහලා තිබුණා. මේ ස්ලැබ් එකට පැය විනාඩි 45න් 45ට හමුදාවෙන් පැට්‍රෝල් ආවා. ඒක බලලා එතනින් මෙහා පැත්තේ අපේ ගෙවල් පැත්තට ඇවිල්ලා ඒ කාලේ (දැන් ස්ලීඩා එක තියෙන තැන) හමුදා රෝහලකට අත්තිවාරම් දාලා තිබුණ එක චෙක් කරනවා. 1965 මැතිනියගේ ආණ්ඩුව පැරදුණාට පස්සේ ඒ හමුදා පෙට්‍රල් එක නතර වුණා.
| කප්පාදු කර ඇති නුග ගහ
ඒ තරමට මැතිණියගේ කාලය මේ ස්ලැබ් එකට ආරක්ෂාව දුන්නා.
65 මැතිනිගේ ආණ්ඩුව පැරදුනාට පස්සේ ආවෙ ඩඩ්ලිගේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව ආවට පස්සේ මේක ගැන කිසිම දෙයක් හොයලා බැලුවේ නැහැ අත්හැරලා දැම්මා. පස්සේ ඔය දැන් ජාතික පොල තියෙන හරියේ තිබුණා ගෙවල් ටිකක් කොරියාව වගේ. ඒ හරියට කිව්වේ පස් පාටිය කියලා මේක හොයන්න බලන්නේ නැති වුණාම ඔය පැත්තෙ කට්ටිය ඇවිල්ලා ඉස්සෙල්ලාම ගහලා තිබුණ ෂෙඩ් එකේ ටකරන් ටික ගලෝගෙන ගියා. ඊට පස්සෙ සැරෙන් සැරේ ඇවිල්ලා මේ පිත්තල අකුරු ගලෝගෙන ගියා. අන්තිමටම ඒක හයි කරලා තිබිච්ච ඇණත් ගලෝගෙන ගියා. ඒවා බෝතල් පත්තර කඩවලට විකුණලා තිබුණා පිත්තල රාත්තල් ගානට.
හැත්තෑවේ නැවත මැතිනිගේ ආණ්ඩුව බලයට ආවට පස්සෙ මේ පිත්තල ඵලකයේ අකුරු ගැන හොයන්න ගත්තා. පස්සේ සමහර අකුරු බෝතල් කඩවල තිබිලා හොයා ගත්තා.
65 ඩඩ්ලිගේ යූ.එන්.පි ආණ්ඩුව බලයට ආවහම සම්මන්ත්‍රණ ශාලා කතාව අතැරලා දැම්මා. ඊට පස්සේ ගොඩ කරලා තිබුණ ඒ පිට්ටනියේ පොලෝ (Polo) ගහන්න පටන් ගත්තා. අශ්වයා පිටේ යමින් තමයි මේ සෙල්ලම කරන්නේ.අපි පිටිපස්සට වෙලා ඒවා බැලුවා.
BMICH නැවත ආරම්භ කිරීම
අපේ රටට මෙම සම්මන්ත්‍රණ ශාලාව ලැබීම පිළිබඳව ද අපූරු කතාවක් ඇත. ලෝකයේ පළමු අගමැතිනිය ලෙස පත් වූ මැතිනියට මුළු ලෝකයම විශාල ගෞරවයක් ලැබුණ අතර, බණ්ඩාරනායක මැතිතුමා සහ චීනය අතර තිබූ විශාල සහෝදරාත්මක බැඳීම නිසා චීනය ආධාරයක් හැටියට අපේ රටට අංග සම්පූර්ණ රෝහලක් හෝ සම්මන්ත්‍රණ ශාලාවක් ලබාදීමට මැතිනිය ගෙන් විමසීමක් කර ඇත. එකල අපේ රටේ කිසිම සම්මන්ත්‍රණ ශාලාවක් නොතිබුණ නිසා මැතිණිය චීනෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක් ලබාදෙන ලෙසයි. 1963 මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම අරඹන විට, ඉන්දියාව හැර දකුණු ආසියානු කලාපයේම එවන් අංග සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක් නොමැති බව එම සැලැස්ම බැලූ බොහෝ දෙනකු පවසා ඇත.1976 නොබැඳි ජාතීන්ගේ සමුළුව මේ රටේ පැවැත්වීමට එකල රාජ්‍ය නායකයන් තීන්දු කිරීමට ප්‍රබල හේතුවක් වූයේ අපේ රටේ අංග සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක් තිබීමයි.
මැතිනිය නැවත හැත්තෑවේ බලයට ඇවිල්ලා තමයි දෙවැනි පාර BMICH හදන්න පටන් ගත්තේ. එතකොට අපිව අපි හිටපු ගෙවල්වලින් ඉවත් කරලා හෝකන්දරට යන්න කියලා කිව්වා. වන්දි මුකුත් දුන්නේ නැහැ. ඉඩම විතරයි දුන්නේ. තාත්තා කිව්වා හෝකන්දර කියන්නේ මහ භයානක පැත්තක්, අපිට යන්න බැහැ කියලා. ඊට පස්සේ අපි කුලියාපිටියේ අම්මලැ ගමට ගියා. අපිට ලැබුණ හෝකන්දර ඉඩම සිරිසේන අයියට දුන්නා. BMICH හදන කොට පස්පාටිය තිබුණා. පස්පාටියේ අයව ඉවත් කළේ BMICH විවෘත කරන කොටයි. බෝලමේසවත්තේ ෆ්ලැට් එකට දැම්මෙත් පස්පාටියෙ අයව තමයි. හැබැයි මෙතන හිටිය කාවවත් සමිට්පුරේට දැම්මේ නැහැ."
වර්තමාන සමිට්පුර යනු මට්ටක්කුලිය කැලණි ගම් මෝයට යාව ඇති විශාල නාගරික ජනාවාසයයි. කොළඹ නගරයේ සමහර තැන්වල සිටි මුඩුක්කුකාරයන්ව හා කටුනායක සිට කොළඹට එන පාර දෙපස පැල්පත් නිවාසවල සිටි අයව හා යාචකයන්ව ගෙන ගොස් නගරයේ මුල්ලකට තල්ලු කළ බව එකල වමේ පිරිස් දැඩි චෝදනාවක් එල්ල කළා. නමුත් ඥානසිරි ප්‍රකාශ කරන අන්දමට තමන් ජීවත් වූ පළාතේ කිසිම කෙනෙක් සමිට් පුරයට ගෙන ගොස් නොදැම්ම බවත්, ඒ අයට ඉතාමත් හොඳ ඉඩම් හෝ ගෙවල් දුන්න බවය.
"මේ මිනිස්සුන්ව අයින් කරන කොට විරෝධතා, පිකටින්, සත්‍යග්‍රහ, උපවාස මුකුත් නැහැ. නගර සභාවෙන් ඇවිල්ල අපට යන්න කිව්වා අපි ගියා."
"බුලර්ස් පටුමගේ දැන් පවුල් සංවිධාන සංගමය තියෙන පැත්තේ ජිනේන්ද්‍රාරාමය හරිය ලොකු හෙලක් තිබුණේ. ඒකෙත් හරියට මේ වෙල්මාළු හිටියා. පස් පාටියේ අය ඒකෙත් මාළු ඇල්ලුවා. එතන ඉඳන් නාරහේන්පිට පාර (ඇල්විටිගල මාවත) පැත්තට යනකන් තිබුණේ පස් පාටිය. අපේ ගෙවල්වලට එහා පැත්තේ දිගටම තිබුණේ වගුරු බිම්. URW (වර්තමාන පහත් බිම් සංවර්ධන මණ්ඩලය) එකෙන් පස් ගෙනල්ලා මේ වගුරුබිමේ පස් පුරවනවා. ඒක නිසා තමයි මේ පැත්තට පස් පාටිය කිව්වේ. ඒ කියන්නේ දැන් BMICH පිටුපස්සේ ඉඳන් ඇල්විටිගල පාරේ පොලිස් ගැරේජ් එක හරියට යනකම් පස් පාටිය. ඒ පැත්තම විශාල මඩ වගුරක් තිබුණේ. පස් දාලා ගොඩ කරන මේ පස් පාටියෙත් පොඩි පොඩි ගෙවල් හදාගෙන සමහරු හිටියා. ලොකු ගෙවල් තිබුණේ එකයි.අභයාරාම පන්සල පාර අයිනේ හොඳ ගෙවල් ටිකක් තිබුණා ඊට පහළට වෙන්න තිබුණෙ සේරම පොඩි පැල්පත් ගෙවල්. එතන පල්ලමේ ජාතික පොල පැත්තට යන තැන හොඳ ළිඳක් තිබුණා. ඒ ළිඳ තවම තියෙනවා. ඒ හරියේ ඉඩම් ඔක්කොම බොරලු. ඔය මැද්දෙන් යන ඇලත් ඒ දවස්වල හොඳට තිබුණා.
ඒ කාලේ චන්ඩි
අභයාරාම පන්සල පහළ තමයි ටැක්සි පාක් එක තිබුණේ. එතන හිටියා ජස්ටින් කියලා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මිනිහා හොඳ UNP කාරයා. දවසක් රෝහණ විජේවීර කාර් එකක ආවා එතනට, ඒකේ රතු කොඩියක් ගහලා තිබුණා. ජස්ටින් අයියා පයින් ගැහුවා කොඩිය කැඩෙන්න. පස්සේ කාලෙක හැටේවත්තේ උපාලිගේ ළඟම මෙයා හිටියා.
ඒ දවස්වල හිටපු චන්ඩි හරිම ජෙනුයින් මිනිස්සු. දවසක් ලොන්ඩන් ප්ලේස් එකේ සුගතෙයි පස් පාටියෙ සුමනෙයි අතින් පයින් චැලෙන්ජ් ගේමක් ගියා. ඔට්ටුව හරක් මස් රාත්තල් දෙකයි. සුගතේ පරාදයි. පස්සේ මස් රත්තල් දෙකම උයලා පාන් ගෙනල්ලා ඔක්කොමලා බෙදාගෙන කාලා හිනා වෙවී ගියා.
ඇල්විටිගල පාරේ රජය නිවාස ළඟ තමයි සමූපකාරය තිබුණේ. ඇල්විටිගල පාර ඔච්චර පළල් නැහැ. නාරාහෙන්පිට කොටුව බස් ගියාඅපිට සමූපකාරයෙන් එහාට යන්න දෙන්නේ නැහැ අම්මලා. දැන් ආමේන් හොස්පිටල් එක තියෙන හරියේ ලර්නස්කාරයෝ කාර් ගහගෙන හිටියා. එතනම පොඩි හෝටලයක් තිබුණා. ඇල්විටිගල ෆ්ලැට් තිබුණේ නැහැ ඒ කාලේ, ටොරින්ටන් ෆ්ලැට් තිබුණා.
BMICH පිටිපස්සේ (දැන් සරණ පාර) එක යායටම තිබුණේ කැලේ. ඒකට කිව්වේ කූඹි කැලේ කියලා. මේ කුඹී කැලේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම ගෙවල් හදාගෙන හිටියා. නමුත් අපේ අම්මලා අපිව වැඩිය ඒ පැත්තට යැව්වේ නැහැ. තව ලොකු ඉඩම් කෑල්ලක් තිබුණා, ඒක තමයි ස්කවුට්ලා ජම්බෝරි එහෙම තියෙන පිට්ටනිය. ඒකට සමහරු කිව්වේ "කූඹිකැලේ ග්‍රවුන්ඩ්" එක කියලා. ඔය පල්ලිය හැදෙනවා අපිට මතකයි."
එදා කූඹිකැලේ ඉස්කෝලේ දැන් ඩී. එස්. සේනානායක විද්‍යාලය
වර්තමාන බෞද්ධාලෝක මාවතේ ක්‍රිස්තියානි දේවස්ථානය සහ එහි අනුශාංගික ආයතන ගොඩනැගිලි ඉදිකර ඇත්තේ මෙම කූඹිකැලේ ග්‍රවුන්ඩ් එක නමින් එකල ප්‍රචලිතව තිබූ බිමේය. එසේම ඩී.එස්. සේනානායක විද්‍යාලය ඒ කාලයේ බොහෝ දෙනා හැඳින්වූයේ ද"කූඹිකැලේ ඉස්කෝලේ" කියා බව ද ප්‍රදේශයේ පැරැන්නෝ සිහිකරති.
"ඔය පල්ලිය මේ පැත්තෙන් හදනකොට තමයි එහා පැත්තෙන් සම්මන්ත්‍රණ ශාලාව හදන්න පටන් ගත්තේ. සම්මන්ත්‍රණ ශාලාවට වඩා උසින් මේ පල්ලිය හැදෙන්න ගත්තා. බණ්ඩාරනායක මැතිනියට කවුරු හරි මේ සිද්ධිය කියල තියෙනවා. ඒ පාර මැතිනිය කියලා තියෙනවා සම්මන්ත්‍රණ ශාලාව ඉස්සරහින් මේ දෙකටම වඩා උසින් අවුකන පිළිමය හදන්න කියලා.අපේ තාත්තලා ඒ කාලේ මේ කතාව කියනවා මට ඇහිලා තියෙනවා. මට මතක හැටියට ඒ පිළිමේ හැදුවේ මාපලගම විපුලසාර හාමුදුරුවෝ."
නමුත් මේ පිළිබඳව බෞද්ධාලෝක මාවත ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ගෙන් අප කළ විමසුමක දී උන් වහන්සේ කියා සිටියේ එය නිවැරදිම මතය නොවන බවයි.
"මේ ප්‍රතිමාව නිර්මාණය කළේ හෙන්රි ධර්මසේන මහතායි. මේ පිළිමය හැදුවේ අපි දවස් විසි එකෙන්. නිදහස් චතුරශ්‍රයේ දී කොටස් තුනකට පිළිම වහන්සේ නිර්මාණය කරලා තමයි මෙහි ගෙනල්ලා ස්ථාපනය කළේ. ඒකට නායකත්වය දුන්නේ මම සහ තව පිරිසක්. ඒ සඳහා සම්පූර්ණ අවසරය සහාය මට ලැබුණේ බණ්ඩාරනායක මැතිනිය ගෙන්.(මේ පිළිබඳ ඉතාම දීර්ඝ විස්තරයක් උන් වහන්සේ මෙම ලියුම්කරු සමග ප්‍රකාශ කළහ. ඒ පිළිබඳව වෙනම රචනාවක් පසුව පළ කිරීමට අදහස් කරමු)
"දෙවැනි පාර BMICH හදන කොට තමයි ස්ලීඩා එකත් හැදෙන්න පටන් ගත්තේ. චීන කට්ටිය තමයි ඇවිල්ලා මේ සම්මන්ත්‍රණ ශාලාව හදන වැඩ කළේ. මේකට ඇතුලට කාටවත් යන්න දෙන්නේ නැහැ. දවසක් අපි මේ සම්මන්ත්‍රණ ශාලාව හදන වැඩ එළිය ඉඳන් බලන් ඉන්න කොට අපූරු වැඩක් වුණා. වැඩ කරන චීනෙක්ට මොකක් හරි අනතුරක් වෙලා එයාගේ සපත්තුවට උඩින් ලේ ගලන්න ගත්තා. චීන දොස්තර කෙනෙක් ඇවිල්ලා අර මනුස්සයට ටක් ගාලා බෙහෙත් දාලා එයාව අයින් කරලා අර දොස්තර ඒ විල් බැරෝ අරන් දිගටම වැඩ කළා. ඒ කාලේ හිටපු මැති ඇමතිවරුත් සමහරක් දවස් වලට ඇවිල්ලා ශ්‍රමිකයන් විදිහට වැඩ කළා බව මෙම සාකච්ඡාව අතර දී එක් වූ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක හැරල් ප්‍රනාන්දු මහතා පැවසීය.
එදා විද්‍යාතිලකය අද සුජාතා විද්‍යාලය
"අපි ඉස්කෝලේ ගියේ නාරාහේන්පිට පරාක්‍රමබාහු එකට. අපි කූඹි කැලේ අස්සෙන් රිංගලා තමයි ඉස්කෝලෙට ගියෙත් ආවෙත්. ඒක තමයි ෂෝට් කට් එක. ඉස්සර අභයාරාමයෙත් ඉස්කෝලයක් තිබුණා විද්‍යාතිලකේ කියලා. පස්සේ ඒක කිරිමණ්ඩල මාවතට ගෙනිහිල්ලා වෙන නමක් දැම්මා. ඊට පස්සේ දැන් එතන තියෙන්නෙ සුජාතා විද්‍යාලය. දැන් විද්‍යාතිලකය තියෙන්නේ තිඹිරිගස්සාය ජාවත්ත හන්දියේ."
"අපිට ළඟපාත තිබිච්ච පන්සල තමයි ජිනේන්ද්‍රාරාමය. අපි දහම් පාසල් ගියෙත් ඒ පන්සලට. ඒකට ඒ කාලේ වටාපිටාවේ මිනිස්සු කිව්වෙ 'මඩකරි ආරාමය' කියලා. විශාල වගුරු බිමක් තනිකරම කුණු දාලා ගොඩ කරලා තමයි හාමුදුරුවෝ මේ පන්සල හැදුවේ. ධම්මතිලක ලොකු හාමුදුරුවෝ තමයි අපිට දහම් පාසලේ ඉගැන්නුවේ. තව හිටියා සෝමාලෝක හාමුදුරුවෝ. වටපිටාවේ හැම පැත්තෙන්ම ළමයි මේ දහම් පාසලට ආවා. වැඩියෙන්ම ආවේ නාරහේන්පිට, තිඹිරිගස්සාය පැත්තෙන්. ඒ වුණාට පස් පාටියෙත් අපේ ගෙවල්වලිනුත් ළමයි වැඩිය ආවේ නැහැ. අපේ පැත්තෙන් ගියෙත් අපේ ගෙදර අය විතරයි. පන්සලට ගිය හැම ළමයෙක්ම ආයි ගෙදර එන්නේ කුණු දූවිලි නාගෙන. කුණුවලට උඩින් දාන රතු පස් පොඩි හුළඟටත් ඇවිස්සිලා ඒ පැත්තම දූවිලි වළාකුලක් වගේ වැහිලා යනවා. වැස්ස දවස්වලට ඒක තනිකර මඩවලක්. ඒක නිසයි මේකට මඩකරි ආරාමය කිව්වේ. මැලිබන් මුදලාලි තමයි ප්‍රධාන දායකයා. අහල පහල ලොකු පවුල්වල අය තමයි දායක සභාවේ හිටියේ. ඔය පැත්තේ තමයි විමලා විජයවර්ධන නෝනාත් හිටියේ. දැන් ටොරින්ටන් තැපැල් කන්තෝරුව කියන තැන තිබුණේ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගේ පන්සල. ඒකේ දහම් පාසලක් තිබුණෙ නැහැ.
මහාචාර්ය මලලසේකර
මලලසේකර මහත්තයයි හිටියේ CR&FC එකත් එක්කම තියෙන පොඩි පාරේ. එතුමා හරිම හොඳ නිහතමානී කෙනෙක්. අපි උදේට මල් කඩන්න යනකොට එතුමා හමුවෙනවා කොට කලිසම ඇඳගෙන ඇවිදිනවා. අපිව දැක්කම කතා කරලා දහම් පාසල් යන්නද මල් කඩන්නේ, හොඳට ඉගෙන ගන්න ඕනි කියලා ඔලුව අතගානවා. අපි දුප්පත් පැල්පත්වල ළමයි කියලා සමහරු වගේ එතුමා අපිව පහත් කරලා සැලකුවේ නැහැ."
ලොන්ඩන් පෙදෙස වර්තමානයේ නම්කර ඇත්තේ "මලලසේකර මාවත" ලෙසයි. නමුත් එතුමාගේ ප්‍රතිමාව ස්ථාපිත කර ඇත්තේ විජේරාම මාවත ආරම්භක ස්ථානයේ. මෙම නාමපුවරුව අවම වශයෙන් 'මහාචාර්ය ජී.පී. මලලසේකර මාවත' ලෙස සවිකරන්නවත් නාගරික බලධාරීන් නිහතමානී නොවීම කණගාටුවට කරුණකි.
| CR&FC
"අපි පොඩි කාලේ සෙල්ලම් කලේ CR&FC ග්‍රවුන්ඩ් එකේ. අපි රගර් තමයි සෙල්ලම් කළේ. හැටේ වත්තේ ළමයිනුයි අපියි තමයි සෙල්ලම් කරන්නේ.
අභයාරාම පැත්තේ තිබුණ සක්කිලිවත්තේ හිටිය "අප්පන්" තමයි ඒ කාලේ අපිත් එක්ක හිටිය අය ගෙන් හොඳම රගර් ප්ලේයර්. සක්කිලි වත්ත කිව්වට මේකෙ සිංහල දෙමළ ඔක්කොමලා හිටියා. ඒකෙ හිටපු පියදාස අයියා මට හොඳට මතකයි. ඒ වත්ත දැන් හොයන්න බැහැ. මේ වටේ තිබුණ සේරම ඉඩම් ආණ්ඩුවේ ඒවා. ඒවා වල මිනිස්සු ඇවිල්ල ගෙවල් හදාගෙන හිටියා. අල්මේදා, ටෝනි, ටෝනි රම්කින්ලත් හොඳ ප්‍රසිද්ධ රගර් ප්ලේයර් තමයි CR&FC එකේ ඒ කාලේ අපේ ලෝකෙ වීරයො ඒගොල්ලෝ තමයි. ග්‍රවුන්ඩ් එකේ තිබුණ හැම මැච් එකක්ම අපි නිකන් බැලුවේ. මොකද වොචර් රාසයියා අපි ඇතුලට දානවා. ඇතුලට යන්න බැරි වෙච්ච සමහරු ග්‍රවුන්ඩ් එක වටේ තිබුණ කස ගස් උඩ නැගලා තමයි මැච් බැලුවේ. ග්‍රවුන්ඩ් එකේ වැඩ ඔක්කොම බැලුවේ ජේසු අයියා, ජෝර්ජ්, උක්කු කියලා අයියලා මල්ලිලා තුන්දෙනෙක්. ඒ අයට ග්‍රවුන්ඩ් එක ඇතුලෙම ගෙයක් හදාගන්න දීලා තිබුණා. මැච් දවසට මාර සද්දෙ ඒවා අපේ ගෙවල් වලටත් ඇහෙනවා.
එකට හිටපු අපි කට්ටිය හෝකන්දරටයි තැනින් තැනට වීසිවෙලා ගියාට පස්සේ අපි ඉඳලා හිටලා තමයි හමුවුණේ.මේවා තමයි ඇත්තටම කොළඹ ඇත්ත කතා.
(ඥානසිරි රංචාගොඩ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් පසුව, විශ්‍රාම යාමෙන් පසුවත් දිගු කාලයක් සංස්ථාව සමග එකතුව කටයුතු කළා. දැන් ඔහු සිය දියණිය සමඟ ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ. මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කළේ ඔහු ඔස්ට්‍රේලියාවට යාමට ටික කාලෙකට පෙරය)
| උපුල් ජනක ජයසිංහ
සබැඳි පුවත්