හිංසනයෙන් වින්දිතයින් වන කාන්තාවන් ආරාක්ෂා කිරීමට රජයේ තීරණයක්

women-harassment-12

හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හමුවේ හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් තාවකාලික රැකවරණය සැලසීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ගම්පහ, රත්නපුර, මොනරාගල, කොළඹ, මාතර, මඩකළපුව, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රික්කවල එක් රැකවරණ නිවාසයක් බැගින් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකවරණ නිවාස 02ක් ද වශයෙන් රැකවරණ නිවාස 10ක් පවත්වා ගෙන යනු ලබන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා රැකවරණ නිවාසයක් 2025 ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඇතැම් රැකවරණ නිවාසවල පරිපාලන හා නඩත්තු වියදම් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සෘජුවම දරනු ලබන අතර, ඇතැම් නිවාස සඳහා අදාළ වියදම් කාන්තා සුබසාධනය මූලික කරගත් සංවිධාන කිහිපයක් විසින් දරනු ලබයි.

2020 වර්ෂයේ සිට 2024 වර්ෂයේ දෙවන කාර්තුව දක්වා වින්දිත කාන්තාවන් 2,852ක් වෙනුවෙන් රැකවරණය සලසා ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 60.35ක පිරිවැයක් දරා ඇත. එහෙත්, එම කාලය තුළ ඒ වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 37.69ක් පමණක් ප්‍රතිපාදන වශයෙන් ලැබී ඇති අතර, රුපියල් මිලියන 22ක පමණ බිල්පත් තවදුරටත් නිරවුල් කළ යුතුව තිබේ.

ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන වෙන් කිරීමටත්, ඉන් අනතුරුව ඉදිරි වර්ෂයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.