Stolen Generation වැඩි දෙනෙකු අහල තියෙන වචන දෙකක්. ඉන් හැඟවෙන්නේ ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අඳුරුතම සිදුවීමක්. 1910 සිට 1970 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්තියක් හැටියට ඇබොරිජිනල් පවුල්වල දරුවන් බලහත්කාරයෙන් දෙමාපියන්ගෙන් වෙන්කොට වෙනම ආයතන තුළ තබාගෙන අධ්‍යාපනය ලබා දෙනවා. ඒ දරුවන්ට දෙමාපියන් සමග නැවත සම්බන්ධවීමට අදාළ තොරතුරු හිතාමතාම මකා දමනවා.
තමන්ගේ මූලය අහිමි වුණු මේ දරුවෝ විශාල මානසික පීඩාවට පත් පිරිසක් හැටියට අදත් ජීවත් වෙනවා. තමගේ කිසිම ලේ ඤාතියෙකු ගැන නොදැන අහසින් කඩාවැටුණු කෙනෙකු සේ ජීවත් වෙන්නට සිදුවීම කොයිතරම් නම් දුක්ඛදායක ද?
බෙන්ඩිගෝ නගරයේ ඇබිරිජිනල් ජනයා සම්බන්ධව කටයුතු කරන කාර්යාලයේ දී නැවත සැරයක් මට මේ කතාව අහන්න ලැබෙනවා.
1983 ඉපැදුණු දරුවෙකු මාස දහයක් විතර වයසේ දී ශ්‍රී ලංකා රජයේ අවසර ඇතිව බටහිර රටක පවුලකට හදාගන්න ලබාදෙනවා. ඇය තමන්ගේ හමේ පැහැය වෙනස් නිසා බොහෝතැන්වල දී පීඩාවට පත් වෙනවා. තමන්ව ඇයි අත්හැරියේ කියන ප්‍රශ්නයෙන් ඇය ජීවිත කාලයක් පීඩා විඳිනවා. වයස 29 වෙනක්ම්ම ඇයත් තමන්ගේ කියා කිසිම ලේ නෑයෙකු ගැන නොදැන ජීවත් වෙනවා. වයස 29 දී ඇය තම සැමියා එක්ක ලංකාවට එනවා තමන්ගේ මව හොයන්න. මගේ දකුණු ඉන්දියානු හිතවතෙකු වන කාර්මේහම් ෂන්මුගම් ඒ අයව මට සම්බන්ධ කරනවා. එතැන් සිට මගේ හිතවතුනුත් සම්බන්ධකරගෙන ඇගේ මව හොයන වැඩේ පටන් ගන්නවා. ඇයව හදාගන්න බාරදෙන්නේ කොලඹ 5 පිහිටි ළමා නිවාසයකින්. අපි ඒ තැන හොයාගෙන යනවා. ඒ වෙනකොට ඒක වහලා. නමුත් එහි පාලිකාව දැනට ගල්කිස්සේ ජීවත්වෙනබව හොයා ගන්නවා. ඇය සොයාගෙන ගිහිල්ලා මේ තැනැත්තිය බාරදුන්නු දවසේ ගත්ත ඡායාරූප කිහිපයක් පෙන්නුවාම, මව සොයා දියහැකි බව ඇය පවසනවා. අවසානයේ පාලිකාව මේ තැනැත්තියගේ 'මව' ඇයට මුනගස්සනවා. උප්පැන්න සහතිකයේ සඳහන් නමත් ඇගේ හැඳුණුම් පතේ සඳහන් නමත් එකමයි. ඒ නිසා අපි කවුරුත් සතුටුවෙනවා සාර්ථක මෙහෙයුමක් නිම කළා කියලා.
ඇය ඇගේ තිස්වැනි උපන් දිනයට ලංකාවට එනවා තමන්ගේ 'මවත්' එකතු කරගෙන උපන් දිනය සමරන්න. නමුත් 'මව' ඒ අවස්ථාවට සහභාගී වෙන්නේ නෑ. ඇය එන්නට අකමැති වූ බව නිවාස පාලිකාව කියා හිටිනවා.
ඔහොම කාලයක් ගතවෙනවා. ඔය අතර 1980 සහ 90 දශකවල දී ලංකාවේ දරුවන් පිටරටවලට ලබාදීම ජාවාරමක් ලෙස සිදු වූ බව කියැවෙන වාර්තා යුරෝපයේ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා වෙන්න ගන්නවා. මේ අතර මුලින් කී තැනැත්තිය නැවත මා අමතනවා.
තමාගේ 'මව' හැටියට හඳුන්වා දුන් කාන්තාව ඇත්තටම තමන්ගේ මව දැ'යි ඇයට සැක බවත් ඒ කාන්තාවගේ DNA පරීක්ෂණයක් කිරීමට උදව් විය හැකිදැයි ඇය ඉල්ලා සිටිනවා. යුරෝපයේ පළවූ වාර්තා නිසා කලබලයට පත්ව සිටි 80 වියේ පමණ සිටි නිවාස පාලිකාව නැවත අපව හමුවීම ප්‍රතික්ෂේප කරනවා. 'මව' ලෙස හඳුන්වා දුන් තැනැත්තියගේ තොරතුරු ලබාදීමත් ප්‍රතික්ෂේප කරනවා.
මේ අතර ඇගේ උප්පැන්න සහතිකයේ පිටපතක් රැගෙන මම රෙජිස්ට්‍රාර් ජෙන්රාල් කාර්යාලයට යනවා. එහි දී සොයාගත් තොරතුරු අනුව ඒ උප්පැන්න සහතිකය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක්. ඒ ලේඛනයේ සඳහන් ආකාරයට රත්නපුර කහවත්ත රෝහලේ එහෙම දරු උපතක් සිදු වූ බවට කිසිම සාක්ෂියක් නෑ.
අවසානයේ 'මව' ලෙස අපට ඉදිරිපත් කළ කාන්තාව අපි හොයාගන්නවා. ඇය හමු වූ විට කියා හිටින්නේ තමන් පෙරකී තැනැත්තියගේ මව නොවන බවත් ළමා නිවාසයේ පාලිකාව කී පරිදි අදළා දරුවා බාරදීම පමණක් සිදු කළ බවත්.
මේ ක්‍රියාවලියට සම්බන්ධවීම නිසා ලංකාවෙන් 1980-90 දශකවල ලංකාවෙන් හදාගන්න විදේශ රටවලට ලබාදුන් දරුවන් ගැන මට විශාල අවබෝධයක් ලැබෙනවා. ඔවුන් සංඛ්‍යාවෙන් දහදාහක් පමණ වෙනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අද මානසික ප්‍රතිකාර ලබන අය. තමන්ගේ මූලය ගැන කිසිවක් නොදැන අහසින් වැටුණු අයසේ ලෝකයේ ජීවත් වෙන අය. පර්යේෂණවලින් හෙලිවන ආකාරයට ඔවුන් අන් සාමාන්‍ය අයට වඩා දිවි නසා ගැනීමේ සම්භාවිතාව හතර ගුනයකින් වැඩියි.
ඕස්ට්‍රේලියාවේ තත්ත්වය එක්ක සසඳනවා නෙවෙයි. නමුත් ඕස්ට්‍රේලියාව තම රජයෙන් වූ වැරැද්ද පිළිගන්නවා. ඒ වැරැද්දට සමාව ඉල්ලනවා. එයින් පීඩාවට පත් අයට සහාය වෙන ක්‍රම හදා තියෙනවා. නමුත් ලංකාවෙන් පිටමංකොට ලෝකය පුරා වේදනාබර ජීවිත ගත කරන දහදාහක් පමණ වන පිරිසක් ඉන්න බවක් වත් අප දන්නේ නෑ. ඔවුන් තම මූලය සොයාගෙන ලංකාවට ආවම ඒ අයට උදව් කරන රජයේ වැඩපිළිවෙළක් නෑ. ඒ නිසාම ඔවුන් නැවත නැවත සූරාකෑමටත් රැවටීමටත් ලක් වෙනවා.
ඕස්ට්‍රේලියාවෙ Stolen Generation ගැන අහන හැම වෙලාවෙම මට මතක්වෙන්නේ තමන්ව ඇයි අත්හැරියේ කියන ප්‍රශ්නයෙන් පීඩා විඳින, තමන්ගේ කියා කිසිවෙකු ගැන නොදැන අහසින් වැටුණු අයසේ ලෝකය පුරා ජීවත්වන ශ්‍රී ලාංකික දහදාහක් පමණ වන පිරිස.
(මුහුණ පොතිනි)
| මහාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි