
“දෙදහස් දහ අට වර්ෂයේදි පැවති පළාත් පාලන මැතිවරණයේදි, නුවරඑළිය මහ නගර සභාව හා වලපනේ ප්‍රාදේශීය සභාව සඳහා 25% ක කාන්තා නියෝජනයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරියන් නියැදියක් ලෙස ගෙන ඔවුන් 21 දෙනාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්, සිදු කල අධ්‍යයනයේ මුලික තොරතුරු පසුගිය කලාපයකින් හෙළි කල අතර, මෙවර පලවන්නේ එහි දෙවන කොටසයි”.
සමස්තයක් ලෙස, 60 කට වඩා පැවති මහ සභා වාරයන්හීදි, නියැදියට අයත් මන්ත්‍රිවරියන් විසින් අවස්ථා 495 කදි අදහස් පල කර තිබුනි. අප පෙර වතාවේ ප්‍රකාශ කළ ආකාරයට, මන්ත්‍රිවරියන් විසින් මහ සභාව වෙත ඉදිරිපත් කළ යෝජනා, වෙනත් කරුණු දැක්වීම් හා වාද විවාදයන්හීදි ඉදිරිපත් කරන ලද කරුණු, අදහස් දැක්වීම ලෙස අර්ථ දැක්වේ. මන්ත්‍රිවරියන් කතා කළ අවස්ථා ප්‍රතිශතාත්මක විග්‍රහ කිරීමේදි පෙනි යන්නේ, සමස්ත කරුණු දැක්වීමේදි, තම ධුර කාලය තුලදි, දශම එකකටත් වඩා අඩු ප්‍රතිශතයකින් දායකත්වය දක්වා ඇති මන්ත්‍රිවරියන් සංඛ්‍යාව තිදෙනෙකු බවයි.
එසේම, සමස්ත කරුණු දැක්වීමේදි වැඩිම මන්ත්‍රිවරියන් ප්‍රමාණයක් දායකත්වය දරා ඇත්තේ දශම 01 ත්, 05 ත්, අතර ප්‍රමාණයකින් වන අතර එම සංඛ්‍යාව 13 කි. මන්ත්‍රිවරියන් දෙදෙනෙකු දශම 05 ත්, 10 ත්, අතර ප්‍රමාණයකින් තම දායකත්වය දක්වා ඇත. එසේම දශම 10 ත්, 15 ත්, අතර එක් අයෙකුත්, දශම 15 ත්, 20 ත්, අතර එක් අයෙකුත් දායකත්වය දක්වා තිබේ. වැඩිම දායකත්වයත් ලබාදී ඇති මන්ත්‍රිවරියගේ ප්‍රතිශතාත්මක අගය 26.06% ක් වේ. අධ්‍යයනයට අදාලව කරුණු එක්රැස් කරන ලද මාතෘකා 20 න්, 19 ක් සම්බන්ධයෙන්ම ඇය, සභා වාරයන්හීදි අදහස් පල කර තිබුණි.
නියැදියේ සියළුම මන්ත්‍රිවරියන් දැක්වූ අදහස් පිළිබඳ සමාලෝචනය කරද්දි, ඔවුන්ගේ වැඩිම අවධානය යොමු වූ කරුණු වී ඇත්තේ, මංමාවත්, ජල සම්පාදනය, මලාපවාහනය හා පොදු වැසිකිලි, සෞඛ්‍යය පහසුකම්, වීදී පහන්, කසළ කළමනාකරණය හා පොදු උපයෝගිතා යන මාතෘකාය. එය සමස්ත අදහස් දැක්වීමේ ප්‍රතිශතයෙන් 45.68% ක අගයකි. එසේම 2.41% වැනි අඩුම ප්‍රතිශතයකින් පොදු දේපල අවබාවිතා කිරීම් සහ දූෂණ හා වංචා සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ප්‍රතිශතය 10.1% කි. නුවරඑළිය මහ නගර සභාවේ මන්ත්‍රිවරියන් කිසිවෙකු, අනිකුත් මන්ත්‍රිවරුන්ට හා වරියන්ට සිදුවන අකටයුතු කම් සම්බන්ධයෙන් කිසිදු විටෙක අදහස් පල කිරීමක් සිදු කර නැති අතර, වලපනේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරියන් කිසිවෙක් සංඛ්‍යා ලේඛණ හා දත්ත භාවිතා කරමින් එක් අවස්ථාවකදී හෝ කරුණු ඉදිරිපත් කිරීමක් සිදුව නැත.
නියැදියේ වැඩිම අදහස් පල කිරීමේ ප්‍රතිශතය වූ 26.06% කට දායක වී ඇත්තේ, නුවරඑළිය මහ නගර සභාවේ මන්ත්‍රිවරියක වූ, අනුෂා ශ්‍යාමලිය. නුවරඑළිය මහ නගර සභාවේ සමස්ත අදහස් පල කිරීමේ එකතුවෙන් 74.56% ක ප්‍රතිශතයක් ලබා තිබෙන ඇය, අවස්ථා 129 කදි අදහස් දක්වා තිබේ. එවන් සක්‍රීය දායකත්වයක් ලබාදුන් නමුත්, අනූෂා, මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී නැත.
“අපි සභාවෙදි කරුණු ඉදිරිපත් කරන එක බොහෝ අයට වදයක්. ඒ අය කියන්නේ කැපිලා පේන්න, මාධ්‍ය වලින් ප්‍රසිද්ධ වෙන්න තමයි කතා කරන්නේ කියලා. හැබැයි අපි එතනට පත්වෙලා ආපු කාරණය ගොඩක් අයට අමතකයි. මන්ත්‍රිවරුන්, වරියන් අතරත්, තියෙනවා අපි මෙහෙම ඉන්න ඕනේ කියලා විධිහක්. ජනතා සේවයේදි කොයි තරම් අසාර්ථක කෙනෙක් වුනත් හොයන්නේ මුල් පුටු. හිස උදුම්මා ගත්ත අය වැඩියි. නමුත් ඇත්තටම සභාවට පත්වෙන්න ඕනේ, ඉගෙන ගන්න කැමති, නොදන්න දෙයක් කාගෙන් හරි අහලා දැනගෙන මහජන සේවයට කැපවෙන, නිහතමානි අයයි. එහෙම නැතුව, සභාවක කාන්තා ඔලු ගෙඩි ගාන වැඩි වුනා කියලා ජනතාවට සෙතක් වෙන්නේ නෑ”.
එසේ කියන්නේ අනුෂා ශ්‍යාමලි හිටපු මන්ත්‍රීවරියයි. රාජ්‍ය කළමනාකරණ සේවයේ නිලධාරිනියක් වන ඇය වැඩි දුරටත් අදහස් පළ කළේ මේ අයුරිනි.
මම වෘත්තියෙන්, රාජ්‍ය සේවයේ නිලධාරිනියක්. ඒක නිසා නිතරම ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි එක්ක තමයි වැඩ කරන්න සිද්ධ වුනේ. නමුත්, මහ නගර සභාවට තේරී පත්වෙන කොට, එතන සිදුවන කාර්යය භාරය හඳුනාගෙන හිටියේ නෑ. ඒ නිසා විවිධ පුහුණු වැඩසටහන් තිබුනා. ආඥාපණත්, සභාවක හැසිරෙන ආකාරය, වාද විවාද කරන විධිහ, යෝජනා ඉදිරිපත් කිරීම, පක්ෂව හරි විපක්ෂව හරි කරුණු ඉදිරිපත් කිරීම වගේ කරුණු සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදුන්නා, කොහොම වුනත්, පුහුණුව ලබපු හැම මන්ත්‍රිවරියක්ම ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නෑ. ඒකට හේතුව වුනේ කරුණු දැනගැනීම විතරක් නෙමේ, ඉදිරිපත්වීම හා පෞරුෂය කියනදේත් සාර්ථක මන්ත්‍රිවරියක් වෙන්න බලපාන නිසයි.
මගේ ක්‍රමවේදය වුනේ, සභා වාරයට කලින්, පසුගිය සභා වාර්තාව හා න්‍යාය පත්‍රය හොඳින් කියවන එක. ඒවගේ ගැටළු සහගත තැන් තියෙනවා නම් දන්න අයගෙන් අහලා කරුණු දැන ගන්නවා. අපිට පුහුණු වැඩසටහන් කරපු මහත්වරුන් එක්ක දිගටම සම්බන්ධකම් තියාගත්තා. මම ගැටළු සහගත තැන් මතු උනාම, ඒ අයගෙන් උපදෙස් ගන්නවා, ඒ නිසා කතා කරන්න කරුණු තියෙනවා. ඒවා ගැන සභාවේ වාද විවාද කරනවා.
අනිත් කාරණේ තමයි, අපි මොනා කරත්, ජනතාව වෙනුවෙන් පෙනි හිටියත්, නියෝජනය කරන පක්ෂය ජනතාවගෙන් ප්‍රතික්ශේප වෙනවා නම්, අපිට ජනතාව අතර පවතින්න බැරි වෙනවා. එහෙම වුනා කියලා රෙදි මාරු කරනවා වගේ පක්ෂ මාරු කරන්න බෑ. ඒක නිසා ඒ වගේ අවස්ථා වල නිහඬවීම තෝරගන්න වෙනවා.
අද ඇය නිහඬවීම තෝරාගෙන තිබුනත්, සමස්ත කාන්තා නියෝජනය සම්බන්ධයෙන් සලකා බැලීමේදි එය මහත් පාඩුවකි. මෙම අධ්‍යයනයේදි දෙවන වඩාත් සක්‍රීය දායකත්වයක් ලබාදුන් මන්ත්‍රිවරිය වූයේ, වලපනේ ප්‍රාදේශීය සභාව නියෝජනය කල මංජුලා සමරකෝන් ය. අවස්ථා 86 කදි අදහස් ප්‍රකාශ කර ඇති ඇය, 26.70% ක ප්‍රතිශතයක්, වලපනේ ප්‍රාදේශිය සභාවේ සමස්ත අදහස් පල කිරීමේ එකතුවෙන් ලබාගෙන ඇති අතර, එම අගය නියැදියේ සමස්ත අදහස් දැක්වීමේදි 17.3% ක ප්‍රතිශතකි. වලපනේ ප්‍රාදේශිය සභාව තුල ඇය දැක්වූ සක්‍රීය දායකත්වය හේතුවෙන්, පාලක කණ්ඩායමේ සිටි ඇයට, විවිධ තාඩන පීඩන වලට ලක්ව, ධූර කාලය අතරමගදි ස්වාධීන මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කිරීමට සිදුව තිබුණි. මේ ඒ සම්බන්ධයෙන් ඇය දරණ මතයයි.
“සභාව තුල ජනතාව වෙනුවෙන් කතා කල නිසාම, අපේ කඳවුරේ 90% ක් විතරම කළේ මට පහරදීපු එක. එයාලගේ මතය අනුව මම, සභාවේ නැගිටින්න සුදුසු නෑ. පක්ෂය ඇතුලේ ඉන්න සුදුසු නෑ කියලයි හිතුවේ. නායකත්වයට නම්‍යශීලි නොවෙන, එයාලට ඕනේ විධිහට හසුරුවාගන්න බැරි කෙනෙක් විධිහටයි එයාලා මාව දැක්කේ. නමුත් මට පක්ෂ නායකත්වය, සභාවේ නායකත්වය, ගන්න තීරණ ජනතා සුභසිද්ධියට පටහැනි බව දැනුනු නිසා, ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න වුනා.
මම කරපු කතා කරපු දේවල් වලට පක්ෂය තුලින් විවේචන ආවත්, ජනතාව දක්වපු ප්‍රතිචාර හොඳ නිසා ඒ මාර්ගයේ ඉදිරියට යන්න තීරණය කළා. ඒකේ අන්තිම ප්‍රතිපළය වුනේ, දේශපාලන කඳවුරේ අය පල නොකියා පලා බෙදීමයි. ඒක නිසා විසි කරන්න කලින් පුද්ගලිකව තිරණයක් අරගෙන, සභාවේ ස්වාධීන මන්ත්‍රිවරියක් විධිහට කටයුතු කළා.
අදත් මම ඒ අනුව ක්‍රියා කරනවා. මොන නායකයා වුනත්, නිවැරදි තීරණ ගන්නේ නැත්නම්, මම ඊට එරෙහිව තිරණ ගන්නවා. නමුත් ජනතාව, ඔවුන් වෙනුවෙන්, කල සේවය පිළිබඳ නිසි ඇගයීමක් තියෙනවද කියන එක ගැටළුවක්. ඔවුන් ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ ලංකාවේ තියෙන මේ දේශපාලන සංස්කෘතිය නිසයි. තමන් වෙනුවෙන් කැප වෙන්නේ කවුද? නොවෙන්නේ කවුද? කියන දේ තේරුම් ගන්න බැරි තරමක විකෘතියකට ඔවුන්ව ඇදලා දාලයි තියෙන්නේ. ඒත් මම හිතනවා ජනතාව ඒ තත්ත්වයෙන් ඉවත් වෙලා දැනුවත්ව දේශපාලන තීන්දු තීරණ ගනියි කියලා”.
ඇය සමග කල කතා බහේදි වැටහුනේ, තවමත් ප්‍රධාන ධාරාවේ පක්ෂ, කාන්තාවන් දේශපාලනයේදි කැපි පෙනෙන චරිත බව පත්වීම වැලැක්වීමට දරණ උත්සහයේ කිසිදු වෙනසක් වී නැති බවයි. හෙළිකරගත් කරුණු අනුව, මෙම අධ්‍යයනය සඳහා විද්වත් මතයක් ගේන ඒමට, අපි සම්බන්ධ කර ගත්තේ 25% කාන්තා නියෝජනය සඳහා හඩ නැගු පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි යි. මේ ඔහු දැක්වු අදහසයි.
පළාත් පාලන ආයතන වලට කාන්තා පිරිමි දෙගොල්ලොම යන්නේ මහජන නියෝජිතයන් හැටියටයි. දෙගොල්ලොන්ටම එක හා වගකීමක් තියෙනවා. එකම වෙනස තමයි, කෝටා එකකින් කාන්තාවන් පැමිණීම. ඒකට අනිවාර්යයක් තියෙන නිසා විශේෂ අවධානයක් යොමු වෙනවා. නමුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් නඩත්තු කරන මුදලට වඩා සිය දහස් ගුණයක මුදලක් වැය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් ඉන්නවා, පස් පාරක් වත් කතා නොකරපු. පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය භාරය වෙන්නේ නීති සම්පාදනය හා මූල්‍ය කළමනාකරණය. ඒ දෙක ගැන කිසිදු අවබෝධයක් නැති, අදහසක් නැති මන්ත්‍රිවරු කීයක් පහුගිය පාර්ලිමේන්තුවේ හිටියද? කිසිම දෙයක් කතා නොකරපු මන්ත්‍රිවරු කීදෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියද? ඒ නිසා ගුණාත්මකභාවය බලනවා නම් කාන්තාවෝ විතරක් නෙමේ පිරිමි දිහාත් බලන්න ඕනේ. ඒක තමයි මගේ මූලිකම තර්කය.
දෙවෙනි එක, කාන්තාවන්ට විශේෂ කෝටා එකක් දීලා, කාන්තාවෝ ඉදිරියේදි දේශපාලනයේ වැඩි දායකත්වයකට ගන්න උත්සහ කරනකොට, කාන්තාවන්ගේ පැත්තෙනුත් විශේෂ දායකත්වයක් මතු කර ගන්න එක වැදගත්. ඒ ගොල්ලන්ගේ දැනුවත්භාවය, දේශපාලන පරිචය, විෂය දැනුම වැඩි දියුණු කිරීම අත්‍යවශය සාධකයක්.
මේ කාන්තාවෝ, දේශපාලන කෝටා එකකින් ගෙනාවට, 2018 ත්, මේ මැතිවරණයේදීත්, දේශපාලන පක්ෂ කොච්චර දුරට කාන්තාවෝ දේශපාලනයට ගේන්න සුදානමින් හිටියද කියන එක ගැටළුවක්. ඇත්තටම දක්ෂ කාන්තාවෝ කීදෙනෙකුට, ප්‍රධාන ධාරාවේ පක්ෂ වලින් නාමයෝජනා හම්බ වුනේ නැද්ද? මම පුද්ගලිකව දන්න අය ඉන්නවා, පහුගිය වතාවේ ප්‍රධාන ධාරාවේ පක්ෂ වලින් කාන්තාවෝ හැටියට පත්වෙලා, යම් දේශපාලන සවිංඥාණක භාවයක් ඇතිකරගත්ත සැලකිය යුතු ප්‍රමාණයකට මේ පාර ප්‍රධාන ධාරාවේ පක්ෂ නාමයෝජනා දුන්නේ නෑ. ඒකට හේතුව තමයි කාන්තාවෝ යම් විධිහකට මතුවෙලා, සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත්වෙන්න පටන් ගන්න කොට, සංවිධායකවරු භය වෙනවා. ඊට පස්සේ වෙන්නේ දක්ෂ කාන්තාවෝ එළියේ ඉදිද්දි, ආසන සංවිධායක වරුන්ට ලැදියාව තියෙන, නම්‍යශීලිභාවය තියෙන අයට වැඩි ඉඩකඩක් දෙන එක. එහෙම නොවෙන්න දේශපාලන පක්ෂ ඇතුලේ යාන්ත්‍රණයක් නෑ.
දේශපාලනය කියන්නේ අධ්‍යාපනය හා වෘත්තිය දැනුම විතරක් නෙමෙයි. ප්‍රයෝගික මිනිස්සු වෙන්නත් ඕනේ. පාරට ලයිට් දාන එකට, කුණු එකතු කරන එකට, බෝක්කු හදන එකට, අමතරව නිර්මාණශීලිව අළුත් ආදායම් මාර්ග උත්පාදනය කරන්න, මිනිස්සුගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න තියෙන ප්‍රායෝගික පැත්තත් ඉතා වැදගත්. ඒ වගේම මන්ත්‍රිවරු ගාව ඩේටා බේස් එකක් තියෙන්න ඕනේ. කොට්ඨාශය ජනතාව කොච්චර ඉන්නවද? ළමයි කොච්චර ඉන්නවද? කොට්ඨාශයේ තියෙන ස්වභාවික සම්පත් මොනවද? නිෂ්පාදන ආර්ථිකට දායක කරගන්න තියෙන දේවල් මොනවද? කියලා. එහෙම තොරතුරු පද්ධතියක් එක්ක වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව මළ ගෙදරට, මඟුල් ගෙදරට, ගිහිල්ලා විතරක් සාර්ථක මන්ත්‍රිවරයෙක් වත්, මන්ත්‍රිවරියක්වත් වෙන්න බෑ.
ඒ ඔහුගේ මතයයි. මන්ත්‍රිවරියන් 21 දෙනෙකු නියැදියක් ලෙස යොදා ගනිමින්, අප සිදුකළ අධ්‍යයනය මගින් 2018 වසරේදි පළාත් පාලන ආයතන සඳහා තෝරා ගත් 25% කාන්තා නියෝජනයේ යම් පැතිකඩක් නිරූපනය කරන අතර ඔවුන් සම්බන්ධයෙන් සාධාරණ නිගමනයකට ඒමට අපට හැකියාව ලැබි ඇත. එහෙත් එය සමස්තය ලෙස පැවසීමට අප ඉක්මන් වන්නේ නැත. කෙසේ වුවත්, මෙම අධ්‍යයනයෙන් හෙළි වන කරුණු, ඔවුන්ගේ ඉදිරිපත්වීමේ උදාසීනත්වය, ඒ සඳහා බලපාන සාධක, සමහර මාතෘකා සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙහිලා ඔවුන් දක්වන අසමත්කම හා ඒ හා බැඳුනු කාරණා අපට පහසුවෙන් අමතක කළ හැකි නොවේ. එබැවින්, මෙම අධ්‍යයනයේ ප්‍රතිපළ සටහන, පුළුල් සංවාදයක් කරා මංපෙත් විවර කරවයි.
අනෙක් අතින්, මෙවර මැතිවරණයෙන් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රිවරියන්ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අනාවැකි කීමේ හැකියාවක් තවමත් අපට නැත. එහෙත් ඔවුන් පළාත් පාලනයේදි වඩාත් සක්‍රීය ලෙස දායක කර ගැනීම සමස්ත සමාජයේම වගකීමක් වන අතර, ධුර කාලයෙන් පසුව ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කරන අධ්‍යයනයකට වඩා, ඔවුන් ක්‍රියාකාරිව සිටින අතරතුර වඩා පලදායි ප්‍රවේශයක් කරා රැගෙන යාම, වඩා යහපත් හෙටත් වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක් බව අප දැඩිව විශ්වාස කරමු.
(25% කාන්තා නියෝජනය සම්බන්ධයෙන් සිදුකළ වලපනේ ප්‍රාදේශීය සභාව හා නුවරඑළිය නගර සභාව මූලික කරගත් අධ්‍යයනයකි. ඡායාරූප වගකීම ලේඛකයා සතුයි)
| නුවරඑළිය සම්පත් ජයලාල්
සබැඳි පුවත්