
“දීර්ඝ අරගලයකින් පසුව වර්ෂ 1931 දී, කාන්තාවෝ නීත්‍යානුකූල දේශපාලන ක්‍රියාවලියට ඇතුල් වූවත්, පසුගිය වකවානුව දක්වාම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුව තුළ පැවතියේ 6% කට අඩු කාන්තා නියෝජනයකි. එය පළාත් සභා තුළ 5% ක් වන විට ප්‍රාදේශීය සභා තුළ තිබුනේ 2.% ක් වැනි ප්‍රතිශතයකි”.
මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පණත මගින් පළාත් පාලන ආයතන තුල 25%ක කාන්තා නියෝජනය අනිවාර්ය කරන ලදි. එම කාන්තා නියෝජනය සඳහා අනුබලය ලැබී ඇති ප්‍රධානතම නෛතික ලේඛන දෙකක් ඇති අතර, ඉන් පළමුවැන්න 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන) පනතයි. එහි 25 වන ජේදයෙහි මීට අදාළ කරුණු පැහැදිලි කොට තිබේ. එමඟින් වඩාත් බලාත්මක කොට ඇත්තේ 1987 අංක 20 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ප්‍රධාන ප්‍රඥප්තිය යටතට වැටෙන 65අ (2)අ වගන්තියයි. එහි ප්‍රතිපලයක් ලෙස 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදි, දෙදහසකට ආසන්න කාන්තාවන් සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන සඳහා තේරි පත්විය. මෙවර පැවති පළාත් පාලන මැතිවරණයෙන්ද ඒ හා සමාන සංඛ්‍යාවක්, පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වී සිටින වාකවානුවක, 2018 වර්ෂයේදි එසේ තේරි පත්වු එම සභිකයන්ගෙන් අපේක්ෂා කල ප්‍රතිපල ලැබි තිබේද? 25% කාන්තා නියෝජනය යථාර්තයක්ද යන්න, සෙවීමට අධ්‍යයනයක් සිදුකිරීම අපගේ අපේක්ෂාව විය.
අරගලයක ප්‍රතිඵලය
ඒ සඳහා නියැදිය ලෙස තෝරා ගන්නා ලද්දේ, ආදායම් අතින් ඉහළ ප්‍රතිශතයකට හිමිකම් ලබන, නාගරික කොට්ඨාශවලින් බහුල, නුවරඑළිය මහ නගර සභාව සහ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභි මෙන්ම දුෂ්කර ග්‍රාමීය කලාපයක පිහිටි පළාත් පාලන ආයතනයක් වන වලපනේ ප්‍රාදේශීය සභාවයි. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදි නුවරඑළිය මහ නගර සභාව සඳහා මන්ත්‍රිවරියන් පස් දෙනෙකු තේරී පත් වු අතර, පසුව ඇතිවූ පුරප්පාඩුවක් සඳහාද මන්ත්‍රිවරියක් පත් කර තිබුණි. වලපනේ ප්‍රදේශීය සභාව සඳහා, 2018 දි පත් වූ මන්ත්‍රිවරියන් සංඛ්‍යාව 13 කි. එම පළාත් පාලන ආයතනය සඳහාද ඇතිවූ පුරප්පාඩු මත නැවතත් මන්ත්‍රිවරියන් දෙදෙනෙකු පත් කර තිබු අතර, ඒ අනුව මෙම අධ්‍යයනයේ නියැදිය ලෙස එම පළාත් පාලන ආයතන දෙක සඳහා, නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය කොට්ඨාශ නියෝජනය කරනු ලැබු. ද්‍රවිඩ හා සිංහල ජාතිකත්ව, භාෂා, වෘත්තිමය තත්ත්වයන් හා වෙනත් විවිධාංගිකකරණයකින් යුත් කාන්තා සභිකයින් 21 ක් දෙනෙක් සම්බන්ධ කරගනු ලැබීය. මේ සඳහා කාන්තා සභිකයින් තෝරා ගැනීමේ විශේෂ හේතුව වුයේ, ඔවුන් 25% ක අනිවාර්යය කෝටාවක් ලෙස, 2018 දි ලංකාව පුරා පළාත් පාලන ආයතනවලට මුල් වරට පත්වීමෙන් පසුව, ලබා දුන් සක්‍රීය දායකත්වය විශ්ලේෂණය කිරීමයි.
අධ්‍යයන ක්‍රමවේදය ලෙස, තේරී පත්වූදා සිට ධූර කාලය අවසන් වූ දිනය දක්වාම, අදාල පළාත් පාලන ආයතනයේ, මාසික මහ සභා වාර්තා පිරික්සනු ලැබු අතර, එහිදි ඔවුන්ගේ පැමිණිම සහ ඔවුන් විසින් සභාවන්හී දැක්වූ අදහස් හා යෝජනා මත අදාල වාර්තාවේ සඳහන් වූ කරුණු, මාතෘකා 20 ක් ඔස්සේ වර්ගිකරණයක් කරනු ලැබීය. අවසානයේ මන්ත්‍රීවරියක්, එක් එක් මාතෘකා යටතේ මෙන්ම සමස්තව, අදහස් පල කළ අවස්ථා ගණන, වෙන් කර ගැනීමෙන් අනතුරුව, සංඛ්‍යාත්මකව හා ප්‍රතිශතාත්මකව විග්‍රහ කර ගැනීමට අවස්ථාව ලැබුණි. අදහස් දැක්වීම යන්නෙන් අර්ථ දැක්වීමේදි, මන්ත්‍රිවරියන් විසින් මහ සභාව වෙත ඉදිරිපත් කළ යෝජනා, වෙනත් කරුණු දැක්වීම් හා වාද විවාදයන්හීදි ඉදිරිපත් කරන ලද කරුණු ද සැලකිල්ලට භාජනය කරන ලදි. එක් අදහස් දැක්වීමකදි විවිධ මාතෘකාවන් කතා කිරීමට හැකියාව ඇති බැවින්, එම අවස්ථාවන්හීදි කතා කළ සෑම මාතෘකාවක් සඳහාම සටහනක් යොදා ඇත.
එම අධ්‍යයනයේ ප්‍රතිපල අනුව, 90% කට වඩා පැමිණීමේ ප්‍රතිශතයක් සහිත මන්ත්‍රිවරියන් දෙදෙනෙක් හඳුනාගත හැකි වූ අතර, 80% කට වඩා පැමිණීමේ ප්‍රතිශතය සහිත මන්ත්‍රිවරියන්ගේ සංඛ්‍යාව 10 ක් විය. තවත් මන්ත්‍රිවරියන් 07 දෙනෙකුගේ පැමිණීමේ ප්‍රතිශතය 70% විය. එක් මන්ත්‍රිවරියක් පමණක් 60% ක පැමිණීමේ ප්‍රතිශතයක් වාර්තා කරද්දි, අඩුම පැමිණීමක් වාර්තා කර තිබු මන්ත්‍රිවරියගේ පැමිණීමේ ප්‍රතිශතය ලෙස වාර්තා වූයේ 40% ක අගයකි. ඒ අනුව පළත් පාලන ආයතනයේ මහ සභා රැස්වීම් සඳහා බහුතරයක් මන්ත්‍රිවරියන්ගේ පැමිණීම හා සහභාගිත්වය ප්‍රශස්ත මට්ටමක පැවති බවට සැලකිය හැකිය.
අදහස් දැක්වීම්
මාසික සභා වාර්තාවන්හී දැක්වෙන ආකාරයට, මන්ත්‍රීවරියන් විසින්, දක්වා ඇති අදහස්, යෝජනා හා විවේචන, මුලික මාතෘකා 20 යටතේ සටහන් යෙදීම මෙම අධ්‍යයනයේ ඊලග අදියර විය. එහිදි, පල කළ අදහස් වෙන් කර ගත් මාතෘකා 20 වූයේ, පළාත් පාලන නීතීරීති, ප්‍රසම්පාදනය, මංමාවත්, ජල සම්පාදනය, මලාපවාහනය හා පොදු වැසිකිලි, සෞඛ්‍යය පහසුකම්, වීදී පහන්, කසළ කළමනාකරණය, පොදු උපයෝගිතා, නිලධාරින්ගේ බලතල හා වගකීම්, සේවක මණ්ඩල හැසිරවීම හා සුභසාධනය, ආදායම් උත්පාදන මාර්ග, සංඛ්‍යා ලේඛණ හා දත්තයන් භාවිතය, නිර්මාණශීලි නව යෝජනා, කාන්තා හා ළමා විෂය පථයන්, තමන්ට සිදුවූ අකටයුතුකම්, අනෙක් සභිකයන්ට සිදුවූ අකටයුතුකම්, ජනතාවට සිදුවන අසාධාරණකම්, දුෂණ හා වංචා හෙළිදරව් කිරීම්, පොදු දේපල අවභාවිතා කිරීම් සහ මන්ත්‍රී දීමනා හා වරප්‍රසාද වේ. ඊට අමතරව ඒ ඒ සභා වාරයන්හී කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනු ලැබීය.
අධ්‍යයනයේ ප්‍රතිපල සටහන අනුව, නියැදියට අදාල මන්ත්‍රිවරියන් 21 දෙනා, වෙන් කර ගත් මාතෘකා 20 කට අදාලව අදහස් පල කර ඇති අවස්ථා ගණන 495 කි. ඒ නුවරඑළිය මහ නගර සභාව තුල 173 ක් සහ වලපනේ ප්‍රාදේශිය සභාව තුල 322 ක් වශයෙනි. අදහස් පල කිරීමේදි මන්ත්‍රිවරියන් අතර විශාල වෙනස් කම් නිරික්ෂණය විය. මෙම පළාත් පාලන ආයතන දෙකේම, ධූර කාලයට අදාලව මහ සභා රැස්වීම් 60 කට අධික ප්‍රමාණයක් තිබි ඇති අතර, මන්ත්‍රිවරියන් 21 දෙනාගෙන්, 06 දෙනෙක්ම, එම කාල වකවානුව තුල අදහස් පල කර ඇත්තේ, අවස්ථා 05 කට වඩා අඩුවෙනි. ඉන් එක් මන්ත්‍රිවරියක්, මාස හැටකට අධික ධුර කාලය තුල අදහස් පළ කර ඇත්තේ දෙවාරයකි. තවත් 04 දෙනකු, අදහස් පල ඇති අවස්ථා ගණන 10 කට අඩුය. අධ්‍යයනයේදි හෙලිවූ කරුණු අනුව, පැමිණීමේ ප්‍රතිශතය 90% ට වඩා වැඩි මන්ත්‍රිවරියන් දෙදෙනාම, අදහස් පල කර ඇති වාර ගණන 05 කට අඩුවීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. ඉන් එක් මන්ත්‍රිවරියක් නුවරඑළිය මහ නගර සභාව නියෝජනය කරන අතර, අනෙක් මන්ත්‍රීවරිය නියෝජනය කරන්නේ වලපනේ ප්‍රාදේශීය සභාවයි.
පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නේ, මහ නගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත මූලික කර ගෙනය. ඊට අමතරව පළාත් පාලන ආයතන විසින් සම්මත කරගෙන ඇති අතුරු ව්‍යවස්ථා මෙන්ම, රීතීන් හා වෙනත් නීතිමය ප්‍රතිපාදන ඒ සඳහා ඉවහල් වේ. මෙම අධ්‍යයනයේදි හෙලිවූ කරුණක් වන්නේ, මන්ත්‍රිවරියන් අදහස් ප්‍රකාශ කිරීමේදි එම මුලික නීතිමය රාමුවට අවධානය යොමු කරමින් අදහස් පල කර ඇත්තේ අවස්ථා 12 කදි පමණක් බවයි. එයද සිදුකර ඇත්තේ මන්ත්‍රිවරියන් හතර දෙනෙකු පමණක් වේ. සමස්ත කරුණු දැක්වීමේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් 2.32% ක අගයකි. එසේම පළාත් පාලන ආයතන විසින් සිදුකරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් අදහස් පල කර ඇත්තේ මන්ත්‍රිවරියන් පස් දෙනෙකු පමණකි. අවස්ථා 32 කදි එසේ සිදුකර තිබුනත්, ඉන් 26 වතාවක්ම අදහස් පල කර තිබුනේ නුවරඑළිය මහ නගර සභාවේ මන්ත්‍රිවරියකි. ඒ අනුව පළාත් පාලන ආයතනයන්හී මැදිහත්විය යුතු වැදගත්ම මාතෘකාවක් සම්බන්ධයෙන් ඒවාට තේරී පත්වු, මන්ත්‍රිවරියන් දැඩි අවධානයක් දක්වා නොමැති බව දක්නට ඇත.
සමස්ත අදහස් දැක්වීමේදි, මංමාවත්, ජල සම්පාදන, මලපවාහනය හා පොදු වැසිකිලි, සෞඛ්‍ය පහසුකම්, වීදි පහන්, කසළ කළමනාකරණය හා වෙනත් පොදු මහජන උපයෝගිතා සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇතත්, ඒවා ප්‍රමාණවත් පරිදි සිදු කර ඇද්ද යන්නෙහි ගැටළුවක් ඇත. උදාහරණයක් ලෙස, පළාත් පාලන ආයතනයකට දැඩි ලෙස බලපාන කසළ කළමනාකරණය වැනි විෂයක් සම්බන්ධයෙන් අදහස් කල කර ඇත්තේ, මන්ත්‍රිවරියන් 21 ක් දෙනාගෙන්, 8 දෙනෙකුය. ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් අවස්ථා 16 කදි අදහස් පල කර ඇති අතර, එය සමස්ත අදහස් දැක්වීම සම්බන්ධයෙන් සලකා බැලිමේදි 3.23% ක පමණ අඩු අගයක් ගනී. වලපනේ වැනි කසළ කළමනාකරණය, උග්‍ර ගැටළුවක්ව පවතින, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පවා, ඒ සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමුව තිබේ.
මෙම අධ්‍යයනයේදි හෙළිවූ කරුණු අනුව, අදාල මන්ත්‍රිවරියන් විසින්, නිලධාරින්ගේ බලතල හා වගකීම් සම්බන්ධයෙන් මෙන්ම, පළාත් පාලන ආයතනයේ සේවක සේවිකාවන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම හා සුභසාධනය සම්බන්ධයෙන්, අවස්ථා 30 කට අධික සංඛ්‍යාවකදි අදහස් පල කර තිබු අතර, එය සමස්ත අදහස් දැක්වීමෙන් 11.7% ක අගයක් ගනියි.
විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයක් ආදායම් උපදවා ගත යුතු අතර, වැඩි ආදායමක් උපදවා ගන්නා සභාවන්ට, මහජනයා වෙනුවෙන් වැඩි සේවාවක් සැලසිය හැකිවේ. ඒ අනුව ආදායම් උත්පාදන මාර්ග සම්බන්ධයෙන් මෙන්ම ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් යෝජනා අදහස් ගෙන ඒම පළාත් පාලන ආයතනයන්හී සභිකයන්ගේ ප්‍රධානතම වගකීමකි. මෙම අධ්‍යයනය ඒ සම්බන්ධයෙන්ද සලකා බැලු අතර, උක්ත මාතෘකාව සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රිවරියන් 5 දෙනෙකු පමණක් වීම කැපී පෙනේ. එසේම පළාත් පාලන ආයතනයක් ක්‍රියාත්මක කිරීමේදි ඉදිරිපත් කරනු ලබන නව නිර්මාණශීලි යෝජනා ඉතා වැදගත් කමකින් යුත්ත වුවත්, නව යෝජනා ඉදිරිපත් වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. එය සංඛ්‍යාත්මකව 11 ක් වන අතර, සමස්ත අදහස් දැක්වීම් ප්‍රතිශතය සලකා බැලිමේදි 2.2%ක අගයකි.
විශේෂයෙන්ම කරුණු ඉදිරිපත් කිරීමේදි හා විවේචන ගෙන ඒමේදි සංඛ්‍යාලේඛණ හා දත්ත භාවිතා කිරීම සිදු කිරීම මගින් සාර්ථක කරුණු දැක්වීමක් සිදුකල හැකි වුවත්, අදාල නියැදියේ මන්ත්‍රිවරියන් විසින් ඒවා භාවිතා කර ඇත්තේ ඉතාම අඩුවෙන් බව පෙනේ. වලපනේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරියන් කිසිවෙකු සංඛ්‍යාලේඛණ හා දත්ත භාවිතා කරමින් අදහස් ප්‍රකාශ කිරීමක් කල ආකාරය දක්නට නැති අතර, නුවරඑළිය මහ නගර සභාවේ එක් මන්ත්‍රිවරියක් පමණක්, අවස්ථා 8 කදි සංඛ්‍යාලේඛණ හා දත්ත භාවිතා කරමින් අදහස් පල කර තිබේ.
බාධා කිරීම්
මෙම අධ්‍යයනයේදි හෙලිවූ තවත් කරුණක් වුයේ, අවස්ථා 12 කදි, මන්ත්‍රිවරියන් විසින් තමන්ට සිදුවූ අකටයුතු කම් සම්බන්ධයෙන් අදහස් පල කර තිබීමයි. වෙනත් මන්ත්‍රිවරියන්ට සිදුවූ අකටයුතුකම් වෙනුවෙන් අවස්ථා 9 කදි, අදහස් පල කිරීමද විශේෂයකි. එසේම ජනතාවට සිදුවන අසාධරණකම් වෙනුවෙන්ද තම පළාත් පාලන ආයතන තුල මන්ත්‍රිවරියන් 10 දෙනෙකු හඬ නගා ඇති අතර, එය සමස්ත අදහස් දැක්වීමේ ප්‍රතිශතයෙන් 10.1% ක ඉහළ අගයක් ගනියි. එහෙත් දූෂණ වංචා හෙලි කිරීමේදි ඔවුන් දක්වා ඇත්තේ අඩුම දායකත්වයකි. නියැදියට අයත් මන්ත්‍රිවරියන් දෙදෙනෙකු පමණක් අවස්ථා තුනකදි, සිදුකර ඇති, එහි සමස්ත ප්‍රතිශතය 0.60% ක් වේ. අප අධ්‍යයනය සඳහා යොදා ගත් මාතෘකා 20 න්, අඩුම ප්‍රතිශතයක් ලැබි තිබුනේ එයටයි. එසේම පොදු දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අදහස් පල කිරීමේදි යම් උදාසීන භාවයක් දක්නට ලැබුණු අතර, අවස්ථා 09 කදි ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුනේ, මන්ත්‍රිවරියන් හතර දෙනෙකු විසිනි. අදාල මන්ත්‍රිවරියන් විසින් අවස්ථා 38 කදි තම දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.
සභා වාරයන්හීදි කරුණු දැක්වීම අඩුවීමට භාෂාව ගැටලුවක්ව පැවති බවට නිගමනයට ඒමට නොහැකි අතර එයට හේතුව වන්නේ, සමස්ත අදහස් දැක්වීම අතින් නියැදියේ මන්ත්‍රිවරියන් අතර තුන්වන ස්ථානයේ සිටින්නේ ද්‍රවිඩ මන්ත්‍රිවරියක් වීමයි. ඊට අමතරව වෙනත් ද්‍රවිඩ මන්ත්‍රිවරියන්ද වැඩි වශයෙන් අදහස් දක්වා තිබුණි. නියැදියේ අඩුවෙන්ම කරුණු දැක්වීම් සිදුකර තිබු මන්ත්‍රිවරියන් සිංහල භාෂාව කතාකරන මන්ත්‍රිවරියන් වීම හේතුවෙන්ද, කරුණු දැක්වීමේ පුද්ගල ප්‍රතිශතය අඩුවීම කෙරෙහි භාෂාව බලපා නැති බව පෙනි යයි. මෙම අධ්‍යයනය තුළින් තවත් විශේෂ කරුණු ගණනාවක් මතු කර ගැනීමට හැකියාව ලැබි ඇති අතර, අපි ඉදිරියේදි එම කරුණු ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන්නෙමු.
(25% කාන්තා නියෝජනය සම්බන්ධයෙන් සිදුකළ වලපනේ ප්‍රාදේශීය සභාව හා නුවරඑළිය නගර සභාව මූලික කරගත් අධ්‍යයනයකි. ඡායාරූප වගකීම ලේඛකයා සතුයි)
| නුවරඑළිය සම්පත් ජයලාල්