වනාන්තර - අපට අහිමි කර ගත නොහැකි ජීවනාලිය; වනාන්තර සහ ජලය: හදිසි අර්බුදය වටහා ගැනීම (2 කොටස) - ලයනල් බෝපගේ

sinharaja-forest

හැඳින්වීමක් වෙනුවට

මෙම මාසයේ ශ්‍රී ලංකාව අතිශයින්ම අහිතකර කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙනු ඇත. මූලික වාර්තාවලට අනුව, එවැනි ආන්තික කාලගුණික සිදුවීම් විසින් ඇති කරන ප්‍රධාන සමාජීය හා ආර්ථික ව්‍යසනයක් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාර්ථක ලෙස සුදුසු පියවර ගෙන ඇති බව පෙනේ. විපක්ෂයේ විවේචන සැම විටම සාධාරණ වූයේ නැත. විපක්ෂයේ ඇතැම් අය ද ඇතුළුව, ආණ්ඩුවේ සියළු සාමාජිකයන්ගේ සහාය ඇතිව ආණ්ඩුව ස්ථාවර ව සිටියේය. කෙසේ වෙතත්, ආණ්ඩුවේ උත්සාහයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වූයේ ජනතාවගේ, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ සහ සන්නද්ධ හමුදාවන්ගේ මැදිහත් වීමෙනි. ඔවුහු මේ සියල්ල ඉටු කලේ ආහාර, නවාතැන් සහ සෞඛ්‍ය සේවා වැනි තාවකාලික එහෙත් අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා සැලසුම් සකස් කිරීමෙනි.

වත්මන් ආණ්ඩුව කොපමණ අඩුපාඩු සහ වැරදි සිදු කර තිබුනත්, දශක ගණනාවක් තිස්සේ පැවති දුර්-පාලනය, දූෂණය, ඥාති සංග්‍රහය සහ අල්ලස් පිළිබඳ  ඛේදජනක වාර්තාව සැලකිල්ලට ගත් විට, විපක්ෂය රට පාලනය කළේ නම් තත්ත්වය වඩා බොහෝ නරක වන්නට ඉඩකඩ තිබුණි. එසේ වුවත්, ආණ්ඩුව, විපක්ෂය, රාජ්‍ය පරිපාලනය සහ බොහෝ පුරවැසියන් සමස්තයක් වශයෙන්, සිදුවීමට නියමිත දේ සඳහා සූදානම් නොමැතිව හෝ අවශ්‍ය පහසුකම් නොමැතිව හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට අකැමැතිව හෝ සිටි බව සඳහන් කළ යුතුය. විපක්ෂය දැනට සඳහන් කරන “අනතුරු ඇඟවීම්” තිබුණේ වුවද, ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් බහුතරයක් ඉදිරියේ දී සිදුවීමට නියමිත විනාශයෙන් ආණ්ඩුවේ අවධානය වෙනත් කාරණා වෙත යොමු කරමින් සිටියහ.

මෙම දේශපාලනික සහ ඵෙතිහාසික සන්දර්භය සැලකිල්ලට ගෙන, ජනාධිපතිවරයාට, ආණ්ඩුවට, රජයට, එහි සන්නද්ධ හමුදාවන්ට, සහ දේශීය හා විදේශගත ජනතාවට සුබ පැතුම් එක් කිරීමට මා පසුබට නොවෙමි. ඔවුහු සියලු දෙනාම අනපේක්ෂිත වර්ධනයන් සාර්ථක ලෙස කළමනාකරණය කිරීම සඳහා දායක වෙමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. කෙසේ වෙතත්, මෙම ව්‍යසනය තවමත් අවසන් වී නොමැත.

මුළු ජාතිය ම ආපදා සූදානමක පදනමකට එළඹෙන තෙක් ම, එය අනාගතයේ දීත් සිදු වනු ඇත. මෙම ආපදාවන්ට හේතුකාරක වූ කරුණු පිළිබඳ ගැඹුරු විද්‍යාත්මක ඇගයීමක් සිදු කිරීමෙන් පසුව ආණ්ඩුව, එම හේතු අවම කිරීම සඳහා ක්‍රමවත් එහෙත් විද්‍යාත්මක අන්දමට අවශ්‍ය පියවර ගත යුතු ය. එය කල යුත්තේ, එවැනි ක්‍රියාවලියක දී අනිවාර්යයෙන් ම උද්ගත වන දුෂ්කරතා අවම කර ගනිමින් එය කළ යුතුව ඇත.

මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාවේ වනාන්තර, ජල මූලාශ්‍ර සහ අන්‍යෝන්‍ය වශයෙන් රඳා පවතින ජල චක්‍රය පිළිබඳ මෙම ලිපියේ එන සාකච්ඡාව කියවිය යුත්තේ මෙම සන්දර්භය තුළ යි.

වනාන්තර, සොබා දහමේ ජල කළමනාකරුවන් ලෙස

වනාන්තර, හුදෙක් ජලය අවශෝෂණය කරනවාට වඩා වැඩි තීරණාත්මක මෙහෙවරක් ඉටු කරයි. පරම්පරා ගණනාවක් තිස්සේ ජනයා "ස්පන්ජි" ලෙස සැලකූ නමුත් ඒවා නවීන ජල කළමනාකරණ පද්ධති බව දැන් අපට වැටහේ. වනාන්තර ශාක වර්ධනයට සහාය වෙමින්, දේශගුණය නියාමනය කරමින්, පාංශු ඛාදනය වළක්වා ලමින්, වායුගෝලය සිසිල් කරමින්, තෙතමනය ප්‍රතිචක්‍රීකරණය කරමින්, භූගත ජලය යලි පුරවා ලමින්, සමස්ත පරිසර පද්ධතිවලට ම ජලය සපයා දෙයි.

මෙම ප්‍රතිලාභ හඳුනා ගත්තේ වුවද, තවමත්, ගෝලීය වශයෙන් මිරිදිය සඳහා තිබෙන ඉල්ලුම නොකඩවා ඉහළ යමින් පවතී. නිතර හට ගන්නා නියඟ හේතුවෙන් ඉල්ලුම තවත් උග්‍ර අතට හැරෙයි. ජලය මූලික මානව අයිතියකට වඩා ආර්ථික වත්කමක් ලෙස සලකනු ලබන වෙළඳ භාණ්ඩයක් බවට වැඩි වැඩියෙන් පත්වීමත් සමඟ මෙම බිඳෙන සුලු තත්ත්වය වඩාත් අනතුරුදායක බවට වර්ධනය වේ. මෙම විතැන් වීම ජල සම්පත් සාධාරණ ලෙස ලබා දීමකට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙයි.

ජලය සඳහා සටන

ශ්‍රී ලංකාවේ ජලය සඳහා කරන අරගල මාරාන්තික මුහුණුවරක් ගෙන තිබේ. උදාහරණයක් ලෙස, 2013 රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය ඒ පිළිබඳව තියුණු මතක් කර දීමක් ලෙස පවතී. පදිංචිකරුවෝ සිය ළිං ජලය ආම්ලික බවට හා පානය කිරීමට නුසුදුසු තත්ත්වයට පත් කළ රසායන ද්‍රව්‍ය යොදා ගත් අත් වැසුම් කර්මාන්ත ශාලාවකට එරෙහිව විරෝධය දැක්වූහ. හමුදාව ප්‍රචණ්ඩ ව ප්‍රතිචාර දැක්වූ කල, ළමයි දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මිය ගියහ. අවසානයේ කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙන ගොස් ඇතැම් වින්දිතයින්ට වන්දි ලබා දෙන ලදී. කෙසේ වෙතත්, සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කිරීම, වගවීම් පිළිබඳ බරපතළ ගැට‍ළු ඉස්මතු කලේය. ඉතා මෑතක දී, 2024-2025 මන්නාරමේ පැවති විරෝධතා, යෝජිත සුළං බල ව්‍යාපෘති සහ ඛනිජ වැලි කැණීම් වලින් සිදු වන පාරිසරික හානිය කේන්ද්‍ර කර ගත්තේය. ගංවතුර හා මිරිදිය ජලධර (aquifers) දූෂණයට පත් වීම පිළිබඳව බිය පළ කරමින් ප්‍රාදේශීය ජන ප්‍රජාවෝ දින 105 ක් පුරා සාමකාමී විරෝධතා පැවැත්වූහ. ජනාධිපතිවරයා, ව්‍යාපෘති හේතුවෙන් ඇති වෙන බලපෑම් සමාලෝචනය කරන බවට පොරොන්දු වීමෙන් පසුව, විරෝධතා තාවකාලිකව අත්හිටුවන ලද නමුත් ස්ථිර විසඳුම් සඳහා කරන ලද ඉල්ලීම් තවමත් නොවිසඳී පවතී.

අවස්ථා දෙකේ දීම, ජන ප්‍රජාවෝ අත්‍යවශ්‍ය ජල සම්පත් සහ පාරිසරික විශ්වාසනීය බව රැක ගැනීම සඳහා බලමුළු ගැන්වුනහ. නිසි උපදේශනයකින් හෝ පාරිසරික නිරීක්ෂණයකින් තොරව පනවන ලද සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔවුහු රාජ්‍ය බලධාරීන් සමඟ ගැටුණහ.

ජල හිඟය වැඩි වන්නේ ඇයි?

වැඩි වන ජල හිඟයත් සමඟ එකට බැඳී ජලය සඳහා පවතින ගෝලීය ඉල්ලුම ඉහළ යාම පැන නගින්නේ කරදර ඇති කරන ආකාරයෙන් එකට එකතුව ක්‍රියා කරන අන්තර් සම්බන්ධිත සාධක නිසාවෙනි. පෘථිවියේ වැඩෙන ජනගහනය හේතුවෙන් පානීය ජලය, සනීපාරක්ෂාව සහ ආහාර නිෂ්පාදනය සඳහා පවතින ඉල්ලුම ස්වාභාවික ලෙසම ඉහළ නංවයි. ආර්ථිකයන් වර්ධනය වෙද්දී සහ ජනයා නගර කරා සංක්‍රමණය වෙද්දී, වෙනස් වන ජීවන රටාවන්, කාර්මික ක්‍රියාවලි සහ පුළුල් වූ නාගරික සේවාවන් කරණ කොට ගෙන ඒක පුද්ගල ජල භාවිතය වැඩි වේ.

ගෝලීය ව ඉවත් කර ගන්නා මිරිදිය ජලය දළ වශයෙන් සියයට 70 ක් පමණ යොදා ගැනෙන්නේ කෘෂිකර්මාන්තය, ප්‍රධාන වශයෙන් වාරිමාර්ග සඳහා යි. බොහෝ ප්‍රදේශවල පවතින අකාර්යක්ෂම වාරිමාර්ග ක්‍රම සැලකිය යුතු අන්දමේ ජලය අහිමි වීමකට මඟ පාදයි. බලශක්තිය නිපදවීම සහ නිෂ්පාදනය කිරීම වැනි කර්මාන්තවලට සිසිල් කිරීම සහ සකස් කිරීම සඳහා විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වේ. දේශගුණ විපර්යාස, නියඟ වැඩි වීමට සහ අඛණ්ඩ ජල හිඟයට ප්‍රධාන හේතුවක් වෙයි. වෙනස් වුන කාලගුණ රටා දිගු කාලීන ඉඩෝර, තුනී වුනු හිම තට්ටු සහ අනපේක්ෂිත වර්ෂාපතනය වැනි ආන්තික සිදුවීම් වලට මඟ පාදයි. ඒ සිදුවීම්, ගංගා සහ ජලධර ස්වාභාවික ලෙස යලි පිරී යාම කෙරෙහි අහිතකර ලෙස බල පායි.

කාර්මික, කෘෂිකාර්මික සහ නාගරික දූෂණය පවතින මිරිදිය මූලාශ්‍ර අපවිත්‍ර කර ලයි. මෙම දූෂණය, මිරිදිය මූලාශ්‍ර මිලාධික පිරිපහදු කිරීමකින් තොරව භාවිතයට ගැනීම නුසුදුසු බවට හෝ අනාරක්ෂිත බවට පත් කරයි. මෙය ප්‍රබල ලෙස පවතින සැපයුම අඩු කරයි. ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් රඳා පවතින්නේ ජලධර වලින් භූගත ජලය පොම්ප කිරීම මත යි. බොහෝ විට ස්වාභාවික ව යලි පුරවා ලිය හැකි ප්‍රමාණයට වඩා වේගයෙන් මෙම සම්පත භාවිතා කරනු ලැබේ. මෙය භූගත ජලය ක්ෂය වී යාමට හේතු වේ. ජල චක්‍රය තුල වනාන්තර ඉටු කරන කාර්යභාරය කෙසේ වෙතත්, දේශගුණ විපර්යාස විසින් වර්ෂාපතන රටා වෙනස් කරයි; ඉඩෝර වාර ගණන සහ ඒවායේ බරපතලකම වැඩි කර ලයි; බොහෝ ප්‍රදේශවල ජලය ලබා ගැනීමේ මුළු හැකියාව අඩු කරයි. දැඩි ආතති තත්වයන් යටතේ වනාන්තර සිය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට අරගල කරයි.

බෝතල් කල ජලය

මේ අතර, ප්ලාස්ටික් බෝතල්වල අසුරා ජලය අලෙවි කිරීමත් සමග, පානීය ජලය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම ලොව පුරා විශාල ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිළිකා ඇති කරන බවට තවමත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවද, ඒවා මගින් DNA වලට හානි කළ හැකි බව ද, අවයව පටලවලට හානි කළ හැකි බව ද, දැවිල්ල ඇති කළ හැකි බව ද, බඩවැල්වල සෞඛ්‍යයට බාධා කළ හැකි බව ද සමහර පර්යේෂණවලින් සොයා ගෙන ඇත. කෙසේ වෙතත්, ජලය ලාභ ලබා ගන්නා වෙළඳ භාණ්ඩයක් බවට පත්වීම, ජල කළමනාකරණයේ ආර්ථික මානය පිළිබඳව ප්‍රධාන ගැට‍ළු ඉස්මතු කරයි.

ඇතැම් සන්දර්භයන් තුළ ජලයේ අගය බොහෝ විට අවතක්සේරු කරනු ලබන විට හෝ ගෙවීමක් නොමැති ලෙස සලකනු ලබන විට, එය අකාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට සහ යටිතල පහසුකම් කෙරෙහි ආයෝජනය කිරීම හිඟ වීමට හේතුකාරක වේ. ලාභය සඳහා පමණක් කළමනාකරණය කරනු ලබන විට, නොවැදගත් සේ සලකන ප්‍රජාවන්ට ජලය ලබා ගැනීමට ඇති ඉඩකඩ සීමිත බවට පත් වේ. එසේ වන්නේ බෙදා හැරීම, අවශ්‍යතාවට වඩා ගෙවීමේ හැකියාව අනුගමනය කරන බැවිනි. බොහෝ ප්‍රදේශවල කල් ඉකුත් වන හෝ ප්‍රමාණවත් නොවන ජල යටිතල පහසුකම් කාන්දුවීම් තුලින් සිදු වන සැලකිය යුතු පාඩු වලට හේතු කාරක වේ. උචිත ජාතික ප්‍රතිපත්ති රාමු, ඵලදායී ලෙස නියාමනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය නොමැතිකම නිසා, බෙදා හදා ගත් ජල සම්පත් සහ තිරසාර නොවන උකහා ගැනීමේ පිළිවෙත් සම්බන්ධයෙන් ආරවුල් වලට මඟ පාදා ඇත.

දිග හැරෙන අර්බුදයක්

ගංගා සහ විල් වලින් ලැබෙන "නිල් ජලය" මෙන් නොව, "හරිත ජලය", එනම්, ආහාර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය පාංශු තෙතමනය , ඇතැම් ජාතීන්ට සහ සමාජයන්ට අනෙකුත් ජාතීන්ට සහ සමාජවලට වඩා ප්‍රතිලාභ ඇති කරයි. ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසම විසින් පළ කරන ලද වාර්තාවකට   අනුව, එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට තෙතමනය රැගෙන යන "වායුගෝලීය ගංගා" තුලින් ජලය ගලා යයි. සෞඛ්‍ය සම්පන්න ශාක පදනම් කර ගත් පරිසර පද්ධති වායුගෝලයට ජලය නැවත ලබා දෙයි. එය ලෝකයේ ගොඩ බිම පදනම් කර ගත් වර්ෂාපතනයෙන් අඩක් පමණ වේ. අනෙක් අතට, එය පහලට ගමන් ගන්නා වලාකුළු උත්පාදනය කරයි.

ලෝක ජනගහනයෙන් අඩකට දැනටමත් ජල හිඟය කනස්සල්ලට හේතු වී තිබෙන බව ද, දේශගුණ අර්බුදය ගැඹුරු වන විට එය තවත් උග්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම වාර්තාව යෝජනා කරයි. ගෝලීය වශයෙන් ජල අර්බුදය උග්‍ර වෙමින් පවතින බවට එය අනතුරු ඇඟවීය. ජල සම්පත් ආරක්ෂා කිරීමට සහ මිරිදිය නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය කරන පරිසර පද්ධති විනාශ වීම වැළැක්වීමට වහාම පියවර නොගතහොත්, ඉදිරි වසර 25 තුළ ලෝකයේ ආහාර නිෂ්පාදනයෙන් අඩකට වඩා තිරසාර නොවන තත්ත්වයට පත් විය හැකිය. දශකයේ අවසානය වන විට මිරිදිය සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා සියයට 40 කින් වැඩි වන බැවින්, ලෝකයේ ජල පද්ධති මත "පෙර නොවූ විරූ ආතතියක්" ඇති වෙනවා ඇත.

ජලයේ ගුණාත්මක බව

ජලයේ ගුණාත්මක බව සමාජයක සමෘද්ධියේ සහ සෞඛ්‍යයේ අඩිතාලම සපයයි. පිරිසිදු, සුරක්ෂිත ජලය එක සමානව ලබා ගන්නට හැකි විට දී සහ සැපයුම ඉල්ලුමට වඩා වැඩි වන විට දී, එය ලොව පුරා සිටින ප්‍රජාවන් තුළ ජීවිතයේ බහුවිධ ක්ෂේත්‍ර හරහා සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති පවත්වා ගනිමින්, ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින්, සහ සමාජීය හා ආර්ථික සංවර්ධනය මෙහෙයවමින්, ඉතා වේගවත් (exponential) වර්ධනයක් සඳහා වන කොන්දේසි නිර්මාණය කරයි.

උසස් ගුණාත්මක බවින් යුත් ජලය, ජාතික සංවර්ධනය වේගවත් කිරීම සඳහා තීරණාත්මක උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කරමින්, මහජන සෞඛ්‍ය සහ සමාජ සමෘද්ධිය පිළිබඳ මූලික දර්ශකයක් ලෙස සේවය කරයි. අනෙක් අතට, භයානක රෝග වාහකයක් බවට පත් වන අපවිත්‍ර වූ ජලය, මිනිස් යහපැවැත්මට බරපතළ තර්ජන එල්ල කරයි.

සැබැඳි පුවත්

ජීවනය ලබා දෙන සම්පතක් හෝ රෝග පැතිරවිය හැකි වාහනයක් ලෙස ජලය උසුලන මෙම ද්විත්ව ස්වභාවය, ඕනෑම ජාතියකට ජල කළමනාකරණය ඉහළම ප්‍රමුඛතාවක් විය යුත්තේ මන්දැයි යන්න අවධාරණය කරයි. අව්‍යාජ පිරිසිදු ජලය ලබා ගැනීමට හැකියාව සහිත ජන ප්‍රජාවෝ, පහළ රෝග අනුපාත, උසස් අධ්‍යාපන ජයග්‍රහණ, ඉහළ ආර්ථික ඵලදායිතාවක් සහ වැඩිදියුණු වූ සමස්ත ජීවන තත්ත්වයක් අත් විඳිති.

මේ අතර, ජලය අපවිත්‍රතාවෙන් පෙළෙන ප්‍රදේශ, යලි යලිත් ඇති වන මහජන සෞඛ්‍ය අර්බුද, පීඩාවට ලක් වුන සෞඛ්‍ය සේවා පද්ධති, පහත වැටුණු ශ්‍රම බල ධාරිතාව සහ නිරන්තර දරිද්‍රතා චක්‍රවලට මුහුණ දෙති. මෙම අවස්ථා දෙක අතර වෙනස බොහෝ විට රඳා පවතින්නේ ස්වාභාවික ජලය සපයා ගත හැකිද යන්න තුල නොව, පවතින යටිතල පහසුකම්වල ගුණාත්මක බව, පාලන තන්ත්‍රය සහ ජලය හුදෙක් ආර්ථික වෙළඳ භාණ්ඩයක් ලෙස නොව මූලික මානව අයිතිවාසිකමක් ලෙස සලකන්නට ඇති කැපවීම ද තුළ යි.

සාධාරණත්වය සහ සහයෝගය

ජාත්‍යන්තර වශයෙන් ගත් විට, ජල කළමනාකරණය යනු ධනවතුන් හා දුප්පතුන් අතර ද, සහ බලවතුන් හා අවදානමට ලක් විය හැකි අය අතර ද සාධාරණත්වය ආරක්ෂා කිරීමට අදාළ වන්නක් ද වේ. වාර්තාවලට අනුව, යුක්‍රේනය, කසක්ස්තානය සහ බෝල්ටික් කලාපයේ තිරසාර වනාන්තර කළමනාකරණය මත චීන ආර්ථිකය රඳා පවතී. ඒ හා සමාන ලෙස, ආර්ජන්ටිනාව බ්‍රසීලය මත රඳා පවතී. මෙම අන්තර් සම්බන්ධිත බව පෙන්නුම් කරන්නේ මිරිදිය, ගෝලීය පොදු වස්තුවක් ලෙස ගෝලීය ආර්ථිකය තුල තැබිය යුත්තේ මන්ද යන්නයි; එහෙයින් ප්‍රමාද වීමට පෙර ජල සම්පත් කළමනාකරණය කිරීම සඳහා රටවල් සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ මන්ද යන්නයි.

මේ නිසා මිරිදිය මූලාශ්‍ර සංරක්ෂණය කිරීම, ජලය වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීම සහ අවදානමට ලක් විය හැකි අය ඇතුළුව සෑම ප්‍රජාවකට ම මිරිදිය ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම අතිශයින්ම වැදගත් වේ.

 Lionel Bopage 1

| ලයනල් බෝපගේ

2025 දෙසැම්බර් 22 වන දා

මතු සම්බන්ධයි.