1953 සිට 1995 දක්වා දශක පහකට අධික කාලයක් ලාංකීය වැඩකරන ජනතාව වෙනුවෙන් නිහඩ නමුත් අමිල සේවයක් කල ප්‍රසිද්ධය නොතැකූ නිසාවෙන්ම උපහාර, ගුණ සමරු නොමැතිව වැඩ කරන ජනතාවට අමතකව ගිය ශ්‍රේෂ්ඨ කම්කරු නායිකාවකගේ ගුණානුස්මරණය වෙනුවෙන්, වැඩ කරන ජනතාවගේ අවබෝධය සහ ආදර්ශය පිණිස ඇය ගැන මෙසේ සටහන් කරමි.
ලෝක ප්‍රකට ෆ්ලෝරන්ස් නයිටින්ගේල් සහ තෙරේසා මවුතුමිය ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රමුඛ කාන්තා පෞරුෂයන්ය.ඒ අතරම විවිධ හේතුන් නිසා ඒ තරමටම ජනතා අවධානයට ලක් නොවූ තවත් කාන්තා චරිත වෙති.අප අතරින් සමුගත් ප්‍රවීණ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක් හා කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් වූ දිවංගත කම්කරු නායිකා මේ වික්‍රමසුරිය එවන් වීරවරියකි. ඇය අපට අහිමි වූ දා සිට වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ සහ කාන්තා අයිතිවාසිකම් ක්ෂේත්‍රය තුල අදටත් පිරවිය නොහැකි විශාල හිඩැසක් ඉතිරිව ඇත.
1924 කුරුණෑගල ප්‍රදේශයේ මධ්‍යම පාන්තික පවුලක උපත ලද ඇයගේ පියා බ්‍රිතාන්‍ය පාලන සමයේ ඌව පළාතේ ප්‍රථම ලංකික පොලිස් අධිකාරීවරයායි. කොලඹ මෙතෝදිස්ත විදුහලෙන් උසස් අධ්‍යාපනය ලද මේ සහෝදරිය තමාට උරුම වූ උසස් සමාජ පසුබිමෙන් බැහැරව කම්කරු පන්තියේ දේශපාලනයට සහ ප්‍රයෝගික ක්‍රියාකාරිත්වයට යොමු වීම තුලින් ඇයගේ මානවවාදී ගුණාංග පෙන්නුම් කරයි. පනහේ දශකයේ ලාංකීය සමාජයේ පැතිරී ගිය වාමාංශික දේශපාලන ප්‍රබෝධයෙන් කුලුගැන්වුණු මේ සහෝදරිය විප්ලවීය සමාජවාදී දේශපාලනයට සම්බන්ධ වී ඒ හරහා කම්කරු පන්ති ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් ලාංකීය කම්කරු පන්තියේ ගමන් මග වෙනස්කල ස්ත්‍රීන් අතලොස්ස අතරින් පුරෝගාමී කාන්තාවක වුවාය
සිය පියාගේ අභාවය නිසා පවුල නඩත්තු කර ගැනීම පිණිස 18 වියේදී කොලඹ නාවුක හමුදා පාලන කාර්යාලයේ රැකියාවට යාමට ඇයට සිදුවිය. දෙවන ලෝක සංග්‍රාමය පැවති එසමයේ කොලඹ නාවුක හමුදා පාලන කාර්යාලයේ ලිපිකාරිනියන් 23 දෙනෙකුව බාරව කටයුතු කිරීමට ඇයට සිදු වූ අතර ඉන් අනතුරු ඇය එඩ්වර්ඩ් රීඩ් හා බෙග් නමැති ගෘහ නිර්මාණ සමාගමේ සේවයට බැදුණි.එහිදී ඕ සිඑම්යුහි සාමාජිකත්වය ලබා ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස කටයුතු කරමින්, එවකට ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී නායකයෙකු වූ බාලා තම්පෝ සහෝදරයා විසින් මෙහෙයවූ මාක්ස්වාදී පන්තිවලට සහභාගී වුවාය.
එම කාලයේ සිඑම්යු මැයි දින පෙළපාලියේ ගමන්කළ එකම කාන්තාව ඇය විය. එසේම සිඑම්යූ මහා මණ්ඩලයේත් විධායක කාරක සභාවේත් සභික ධුරය ලබා ගත් ප්‍රථම කාන්තාවද ඇයය. 1953 සිඑම්යූ විධායක සභාවට තේරී පත්වූ ඇය 1955 සිඑම්යූ සංගමයේ උප ලේකම්වරියක ලෙස පත්ව සංගම් මුලස්ථානයේ පුර්ණකාලීන සේවයට බැදුණි. 1980 සංගමයේ සම ලේකම්වරියක ලෙස පත්වූ ඕ 1995 රෝගාතුර වනතුරුම සංගමයේ ජ්‍යෙෂ්ඨ ලේකම් ලෙස පුර්ණකාලීනව සේවය කලාය. කාර්මික නොසන්සුන්තාවයන්, වැඩ වර්ජන, සාමූහික කෙවල් කිරීම් හා 1950 ගණන්වල සිට ශ්‍රී ලංකාව ගොදුරුවී සිටි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රශ්න, පිළිබද දේශපාලන විරෝධයන්ගෙන් යුත් දශක කිහිපයක් පුරා දිවයන ඇගේ ජීවිතය වැදගත් සිදුවීම් වලින් ගහණය වුවකි.

1966 බාලා සහෝදරයා සමග විවාහා වූ ඇය සිඑම්යුව කම්කරු පන්තියේ පෙරටුගාමී බලවේගයක් ලෙස ගොඩනැගීමටත් සාමාජිකයින්ගේ ප්‍රශ්න සදහා කෙටිකාලීන සහ දිර්ඝකාලීන විසදුම් ලබා දීමටත්, පොදුවේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට හා දිනාගත් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, පොදු මහජනතාවගේ මානව අයිතීන් දිනාගැනීම හා ආරක්ෂා කිරීම වෙනුවෙන් කාලවේලාව නොබලා තම ජීවිතය නිර්ලෝභීව කැපකළ කම්කරු පන්තියේ උදාර සටන් නායිකාවකි.
සහෝදර වෘත්තීය සමිතිය තුල “මේ” යැයි ආදරයෙන් හදුන්වනු ලබන මේ වික්‍රමසුරිය සහෝදරිය වස්තු විද්‍යා සහකාරවරියක් ලෙස ඉහල වැටුප් ලැබිය හැකි වෘත්තියක් පසෙක දමා කම්කරුවන්ගේ සහ විශේෂයෙන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, අභිවෘද්ධිය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් තම ජිවිත කාලය කැප කිරීමට කටයුතු කල විරල ගනයේ කාන්තාවකි. ඇයටම සුවිශේෂී වූ, අරමුණ සදහා පුර්ණ කැපවීම, අරමුණෙහි ස්ථිරභාවය සහ ඒ කෙරෙහි උද්යෝගිමත්භාවය නිසා කෙටි කලෙකින්ම සිඑම්යුහි සම ලේකම් සහ පසුව ලේකම් යන ඉහල නිලයන්වලට පත්වීමට හැකිවිය.
ප්‍රවීණ, කීර්තිමත්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ බාලා සහෝදරයා හට ඔහුගේ කම්කරු පන්ති සහ සමාජ මෙහෙවර සාර්ථකව ඉදිරියටම ගෙනයාම සදහා මේ සහෝදරයාගෙන් නිරන්තරයෙන් සහයෝගය ලැබිණි. බොහෝ ප්‍රබල නායකයින් පිටුපස කාන්තාවක් සිටි බවට වන ප්‍රකාශය බාලා සහෝදරයා සහ මේ සහෝදරිය කෙරෙහි වඩාත් ගැලපෙන්නේය. බාලා සහෝදරයාගෙන් වෙනකොට මේ සහෝදරිය ගැන කීමට අපට නොහැකිය වන්නේ ඔවුන් දෙදෙනා වෙනකොට දැක්විය නොහැකි තරමට වෘත්තීය සමිති කටයුතු වලදී මෙන්ම පෞද්ගලික ජිවිතයේදීද එකිනෙකා සමග බැදී සිටි බැවිනි.

බාලා සහෝදරයාගේ නායකත්වය යටතේ 1950 ගණන්වල සිට දශක 5 ක පමණ කාලයක් තුළ සිඑම්යු විසින් කරන ලද දැවැන්ත කාර්යයභාර්ය සහ අත්පත් කරගත් දැවැන්ත ප්‍රගතිය තුළ මේ සහෝදරිය විසින් ඉටු කරන ලද කාර්යයභාරය ඉතා විශාලය. බොහෝ අවස්ථාවලදී සාකච්ඡා වලට මැදිහත්වී බාලා සහෝදරයාට අදාල කරුණු සිහිපත්කර, ඔහු සමථයකට එලැඹීමේ මාර්ගය කරා නිසි වෙලාවට ගෙන එම මේ සහෝදරිය විසින් නිරන්තරයෙන් ඉටුකරනු ලැබූ ඉතා වැදගත් කාර්යයකි.
ධනේශ්වර සමාජ සන්ධර්භයක් තුල වැඩකරන ජනතාවගේ ස්වාධින බලය හා ශක්තිය තහවුරු කර එය ධනපතීන්ගේ අභිලාෂයන්ට එරෙහිව මෙහෙයවිය යුතුබව මේ වික්‍රමසූරිය සහෝදරියගේ ඒකායන ප්‍රතිපත්තියක් විය.බාලා සහෝදරයා නිරන්තරයෙන් සදහන් කරන පරිදි ඔහු විසින් දියත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමේ ප්‍රගතිශීලි අරගලයේදී සහ වෘත්තීය සමිති සහ දේශපාලන කටයුතු වලදී ඔහුගේ සමීපතම සහකාරිය ලෙස මේ සහෝදරිය බොහෝ උද්යෝගයෙන් සහ ආත්ම විශ්වාසයෙන් ඔහුට උපරිම සහාය ලබා දුන් බැවින් කම්කරු පන්තිය වෙනුවෙන් සහ පොදු ජනතාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක් හිමිකර දීමට බාලා සහෝදරයාට හැකිවිය.
අස්ථාවර වෘත්තීය සමිති සාකච්ඡා හමුවේ, දැඩි පීඩනයක් සහ ආතතියක් මධ්‍යයේ වුවද අදාල කරුණු කෙරෙහි සියුම් අවධානය යොමුකිරීම සහ ඕනෑම ප්‍රශ්නයක් හෝ ආරවුලක් සම්බන්ධයෙන් ඇයගේ සන්සුන් හා තිරසාරභාවය ඇය සතුවූ සුවිශේෂී ලක්ෂණයකි. සංගමයේ සාමාජිකයින්ගේ සේවා නියුක්තියේ නියමයන් සහ කොන්දේසි වැඩිදියුණු කිරීම සදහා සීඑම්යූ විසින් ආරම්භකරන ලද, මේ සහෝදරිය ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළහ සේව්‍ය සම්මේලනය සහ සීඑම්යූ අතර වූ සාමූහික ගිවිසුම ඒ් සදහා කදිම සාක්ෂීයකි. මෙම ගිවිසුමෙහි විශේෂ වැදගත්කමක් වූයේ පුනරාවර්ථනය නොවන ජීවන වියදම් පාරිතෝෂිකය ගෙවීමට අදාල විධිවිධාන, පැහැදිලිව නියම කරන ලද ආරවුල් නිරාකරණය කර ගැනීමේ පටිපාටියක් සහ ප්‍රසාද මුදල් ගෙවීමේ රීතියක් අන්තර්ගත වීමයි. එය බොහෝ සාමූහික ගිවිසුම් සදහා පුරෝගාමී වූ සාමූහික ගිවිසුමක් වූ අතර එය පසුකාලීනව තවත් බොහෝ වැදගත් ජයග්‍රහණවල සන්ධිස්ථානය ද විය.

“මේ” සහෝදරිය තමන් නිරතවී සිටි කාර්යයට සම්පූර්ණයෙන්ම කැපවී සිටි අතර තමන් ශක්තිමත් තත්වයක සිටින අවස්ථාවක වුවත්, ආයතන සමග දීර්ඝකාලීන සබදතාවයක හිතකර බව මැනවින් අවබෝධකර සිටි ඇය අවශ්‍ය අවස්ථාවල මදක් ළිහිල්භාවයක් දැක්වීමට තරම් දක්ෂවීම නිසා පාලකයින් අතරද ගෞරවයට පාත්‍රවීය. අවම ගැටුම් සහිතව ගැටළු නිරාකරණය කර ගැනීමට සහජ හැකියාවක් තිබූ ඇය තුළ සාකච්ඡා කිරීමේ කලාවෙහි විශිෂ්ඨ දක්ෂතාවයක් සහ නිපුනතාවයක් පැවති බැවින් අවශ්‍ය අවස්ථාවන් වලදී ඉතා ප්‍රියජනක වීමටත්, අවශ්‍ය වූ විට වානේ වැනි දැඩි හා ස්ථිරසාර ස්වභාවයක් පෙන්වීමටත් ඇයට හැකිවීය. එයට හොදම නිදසුන නම් EFC - CMU සාමූහික ගිවිසුමයි. කම්කරු නීති ගැන ඇය තුල තිබූ දැනුම මෙන්ම ඇගේ දක්ෂතා ගැන සහෝදර වෘත්තීය සමිති මෙන්ම හාම්පුතුන් ද පැහැදීමෙන් අගය කර ඇත.
වර්ථමානයේ වැඩකරන ජනතාව මුහුණ දී ඇති ගැටළු සහ පාලකයින්ගේ සහ ආණ්ඩුවල දැඩි ක්‍රියාමාර්ග හමුවේ අසරණව ඇති තත්වය තුළ ඇය වැනි අවස්ථානුකූලව, බුද්ධිමත්ව සහ යථාර්තවාදීව කටයුතු කරන වෘත්තීය සමිති නායිකාවක නොමැතිවීම සීඑම්යූ සංගමයටත් වත්මන් වැඩකරන ජනතාවටත් බරපතල පාඩුවකි.
දශක කීපයක් තිස්සේ මේ සහෝදරිය සිය කටයුතු සහ ආදර්ශය තුළින් සංවිධානයක් සමාජ ව්‍යාපාරයක් හා සංස්තෘතියක් වශයෙන් සීඑම්යූව වර්ධනය කිරීමට බෙහෙවින් දායක වූවාය. ඇය සතුව තිබුනු බුද්ධිමය හා මානුෂික ගුණාංගයන්ගෙන් හෙබි පුද්ගලයින් විරල වන අතර වත්මන් වාණිජකරණය වූ සමාජයේ ඔවුන්ගේ තැන ගත හැකි අය සෙවීම බොහෝ දුෂ්කරය. මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා කම්කරු පන්තිය සංවිධානය කිරීම කෙරෙහි කැපවූ අර්ථාන්විත ජීවිතයක් ගත කිරීමේ විරල අවස්ථාව සීඑම්යූව තුළ ඇයට හමුවීය.

මුල් රැකියාවෙන් ලැබූ දැනුම නිසා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද ඇය සතුව පවතී දැනුම සහ හැකියාව හේතුවෙන් සිඑම්යු සංගමය සතුව අදටත් පවතින කම්කරුවන්ටම වෙන්වූ සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ල සංගමයට හිමිකර දීමට ඇයගේ නොමද සහය හිමි විය.
විශේෂයෙන් ඇයල වැඩකරන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් සහ පොදු කාන්තා අයිතීන් වෙනුවෙන්ද විශේෂ අවධානය යොමුකර කටයුතු කරමින් පොදුවේ කාන්තාවන්ගේ ජීවන තත්වය සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව ද, විශේෂයෙන් වැඩකරන කාන්තාවන්ගේ සේවා තත්වයන්, සුභසාධනය සහ ආරක්ෂාව පිළිබඳවද විශේෂ අවධානය යොමුකළ අතර අනාරක්ෂිතව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද ඇය විසින් පවත්වන ලදී.අනේකවිධ පීඩාවන්ට ගොදුරුවන වැඩකරන කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීම ගැන ඇය තුල මහත් උද්යෝගයක් තිබුනු බැවින්
ඇයගේ අවංක සහ නොනැමෙන ස්ථාවරයන් කම්කරුවන්ගේ ඉල්ලීම් මෙන්ම ආරවුල් ජයග්‍රහණය දක්වා ගෙන යෑමට මහත් පිටු වහලක් විය. ඉතා අධිෂ්ඨානශීලී ලෙසත්, කාර්යක්ෂමවත්, කැපවීමකින් යුතුව තමන් බාරගත් වගකීම නොපිරිහෙළා ඉටුකිරීමට ඇය දැක්වූ උනන්දුව සහ උත්සාහය ඒවායේ සාර්ථකත්වයට හේතුවූ බැවින් ඇය සාමාජිකයින්ගේ සහ කම්කරුවන්ගේ පමණක් නොව සේව්‍යයන්ගේ සහ සේව්‍ය සම්මේලනයේද ගෞරවයට පාත්‍ර වීය.වැඩකරන ජනතාව වෙනුවෙන් අනුපමේය සේවයක් කළ මේ සහෝදරිය මානව සංහතියේ ප්‍රගතිය උදෙසාත් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී හා යුක්තිගරුක ජනතා අභිලාශයන් උදෙසාත් තම දිවියම කැපකළ උදාර කාන්තාවකි.
මේ සහෝදරියගේ ජීවිතයේ කැපී පෙනුණ විශේෂත්වය නම් නිහඬ සේවයයි. එවන් සමාජ ක්‍රියාකාරීන් බොහෝ විරලය. ඇය කිසි විටෙකත් ප්‍රසිද්ධිය වෙනුවෙන් සේවය නොකළාය. සීඑම්යූව ගැන ඇය ආඩම්බරයෙන් කතා කළ නමුත් සිය සැමියා වූ ශ්‍රේෂ්ඨ කම්කරු නායක බාලා සහෝදරයා ගැන හෝ උඩගු නොවූවාය. ඇය, රැස්වීම්වල අතපය වීසිකරමින් කතා නොකළ අතර වේදිකාවල මුලසුන දැරුවේද නැත. එහෙත් සාමාජිකයින්ගේ රැකියා අනතුරේ නොහෙළා මව් කෙනෙකු මෙන් ඔවුන්ට ගුරුහරුකම් දෙමින් ජයග්‍රහනය දක්වා ඔවුන් මෙහෙයවීය. සැමවිටම ඇයගේ දැඩිකම බලපාන ලද්දේ පාලකයින්ට මිස සේවකයින්ට නොවේ.
ඇය සිඑම්යු සංගමයට කල අමිල සේවයට උපහාරයක් ලෙස 1999 නොවැම්බර් 30 වන දින පැවැත්වූ මහා මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව 1999 දෙසැම්බර් 13 වන දින මහා සාමාජික රැස්වීමක් කැදවා, සිඑම්යු ශාලාව මේ වික්‍රමසුරිය අනුස්මරණ ශාලාව ලෙස නම් කර මේ සහෝදරිය වෙනුවෙන් ස්මාරකයක්ද විවෘත කරන ලදී.
ඇගේ යුග මෙහෙවර නිමා කර වසර 27ක් ගතවී ඇතත් සිය ස්වාමියවූ බාලා සහෝදරයා සමග ඇය එක්ව බිහිකළ ඔවුන්ගේ එකම දරුවා වන සිඑම්යුව වැඩකරන ජනතාවගේ මෙන්ම පොදු මහජනයාගේ වෘත්තීය මෙන්ම මානව අයිතීන් වෙනුවෙන් අදටත් උරදී සටන් කරයි එය අපහට ඇයට දැක්විය හැකි උතුම්ම උපහාරයයි.වසර 40කට අධික කාලයක් තම තාරුණ්‍ය මෙන්ම මව් පදවිය පවා පරිත්‍යාග කර විසිවැනි සියවසේ කලබලකාරී දශක වල නිර්භයව වෘත්තීය සමිති කටයුතු වල යෙදෙමින් ලංකා වෙළද කාර්මික සහ පොදු කම්කරු සංගමයේ සේවකයින් වෙනුවෙන් ඇය ඉටු කල විශිෂ්ඨ සේවාව අගයමින් ඇයට උපහාර පිණිස 27 වන ගුණ සැමරුම වෙනුවෙන් මෙය පල කරන ලදී.
| අනුර කුමාර රත්නායක
සිඑම්යු පරිපාලන ලේකම්

