තව දින 28 කින් 27 කින් පමණ මේ 2022 වසරත් අවසන් වනු ඇත. 2021 දී නොවිසඳූ සියලු අර්බුද හා ගැටළු රටේ පාලකයෝ මේ 2022 වසරට ඇදගෙන පැමිණියහ. ඒවා එකවර දෝංකාර දෙමින් මේ වසර පුරා මහා ආර්ථික අර්බදුයක් සමග දේශපාලනික හා සමාජ අර්බුදයකට පසුබිම හැදුවේය. ඔවුන්ගේ සහ රාජ්‍ය නිලධරයේ නොහැකියාව, අකාර්යක්ෂමතා හා දූෂණ හේතුවෙන් අපට ඒ විනාශ කර ගසමින් ලබන 2023 වසරට පය තබන්නට දැන් සිදුව ඇත.
ඒ පසුබිමෙහි “පාසල් ළමුන් තොග පිටින් දොට්ට දමන්න වික්‍රමසිංහ IMF සූත්‍රය යොදා ගෙන” යැයි මෝරා එන ආර්ථික අර්බුදය අධ්‍යාපනයට බලපාන ආකාරය දෙසතියකට පෙර නොවැම්බර 19 වන දින සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්ද ලීවෙමි. කිසිදු දේශපාලන පක්ෂයකින් පමණක් නොව, ආර්ථික විද්‍යා විශේෂඥයින්ගෙන්ද මේ ආර්ථික අර්බුදයට පිළිගත හැකි විසඳුම් ඉදිරිපත් නොවන බව ඊට පෙර සැප්තැම්බර 30 වන දින ලියූ “ජා.මූල්‍ය අරමුදලේ බේල් අවුට් කියන්නේ පට්ට රැවටිල්ලක්” වැනි ලිපි කිහිපයකින්ද කීවෙමි.
එහෙත් මේ සිංහල-බෞද්ධ සමාජයේ ඛේදවාචකය නම්, එවැනි කිසිදු අර්බුදයක්, සමාජ බිඳ වැටීමක් ගැන සංයමයක් ඇතිව වැදගත් අවධානයක් යොමු නොකිරීමය. වත්මන් යෝධ අර්බදුයට විසඳුම් ලෙස විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගොඩ දමන්නට වෙර දරණ බංකොලොත් දේශපාලනයක ඉපිද හැදී වැඩුණු මේ දෙවන හා තෙවන පරම්පරා ආත්මාර්ථකාමී පාරිභෝගිකයින් ලෙස පොරකන්නේ තනි තනිව තමන් ගොඩ යන්නට ය. මෙයින් තනිව ගොඩ යන්නට නොහැකි වූවත් ඔවුන්ට සමාජීය වශයෙන් අර්බුද ගැන සිතන්නට පොදු විසඳුම් ගැන කතා කරන්නට පුරුද්දක් වුවමනාවක් නැත. රටේ දේශපාලන බලය රඳවා ගෙන ඇත්තේද මේ ආත්මාර්ථකාමී පැවැත්ම සමග හෙයින් දෙමළ හා මුස්ලිම් ජනයාද මේ සිංහල-බෞද්ධ නවලිබරල්වාදී අර්බුදයට හසුව ඇත.
ඒ කවරක් වූවත් ආර්ථික කඩා වැටීම නතර වන්නේ නැත. ඒ සමග පැමිණෙන ජීවන අරගලය උග්‍රවීමත් ඉදිරියටම තල්ලුවනු ඇත. 2023 දෙස බැලිය යුත්තේ ඒ සියල්ල අප ඉදිරියේ තියා ගෙන ය. මේ එවැනි උත්සාහයකි.
ආර්ථික අර්බුදය යැයි කෙටියෙන් කියන්නේ මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි රටට අවශ්‍ය විදේශ විනිමය, නැතිනම් ඩොලර් උපයා ගැනීමට ඇති නොහැකියාවය. එහි ප්‍රතිපලයක් ලෙස ණයට ගනු ලැබූ ඩොලර් වෙනුවෙන් පොලියවත් ගෙවන්නට නොහැකිව බංකොලොත් වීම ය. මේ බංකොලොත්වීම නිසා අපට නැතුවම බැරි ඉන්ධන, එල්.පී ගෑස්, අත්‍යාවශ්‍ය භාණ්ඩ රටින් ගෙන්වා ගත නොහැකි සමාජ අර්බුදයක් ඇත. එනිසා දැන් වහා උත්තර සෙවිය යුත්තේ ණය මුදල් කෙසේ වෙතත් අඩුම තරමින් ණය සඳහාවන පොලිය හෝ ගෙවන්නට හැකි මාර්ගයකි. එයද සෙවිය යුත්තේ ඩොලර් වලින් ය.
පළමු ප්රශ්නය, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මගින් එය ඉටුකර ගත හැකිද?” යන්න ය. සරළම උත්තරය “නැත” යන්න ය. විදේශ විනිමය උපයා ගැනීමට හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ හෝ නව යෝජනා කිසිවක් ජා.මූ.අරමුදලේ “සහන”(?) මල්ලෙහි නැත. ඉදිරි අවුරුදු 04 ට ඔවුන්ගෙන් වාරිකව ලැබෙන මුළු මුදල ඩොලර බිලියන 02.9 කි. ඔවුන්ගේ ආධාර යැයි කියන්නේ දේශීය විවෘත වෙළඳපල ආර්ථිකය තව තවත් ජාවාරම්කාර ආර්ථිකයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම් ය.
ඉන් පළමු වැන්න, රජයේ ආදායම් වැඩිකර ගැනීම සඳහා යෝජනා කෙරෙන බදු ප්‍රතිසංස්කරණ වැලකි. පෞද්ගලික ආදායම් බදු “ප්රගතිගාමී ලෙස” (???) වැඩි දියුණු කිරීම, ව්‍යාපාරික ආදායම් බදු සහ වැට් බදු (VAT) ගෙවන සංඛ්‍යාව වැඩිකර ගැනීම එකකි. ඒ අනුව මාසික ආදායම රුපියල් ලක්ෂයකට වැඩි පුද්ගලයින් දැන් බදු ගෙවිය යුතුය. වැට් බද්ද සියයට 15 ක් කෙරිණ. ඊට අමතරව සියයට 2.5 ක සමාජ සංරක්ෂණ අය කිරීමේ බද්දක් අලුතෙන් පැනවින. ඊටත් අමතරව, භාණ්ඩ 600 ක් වෙනුවෙන් “සෙස් අය කිරීම” වැඩි කෙරුණි. ආදායම් බදු හැර ඉතිරි බදු වර්ග සියල්ල වක්‍ර බදු ය.
රජයේ ආදායම් වැඩිකර ගැනීමට ජා.මූ.අරමුදල බදු ප්‍රතිසංස්කරණ යෝජනා කරන්නේ ජාවාරම්කාරයින් නොගෙවන රුපියල් කෝටි ගණන් බදු ආදායම සාමාන්‍ය ජනතාවගෙන් පියවා ගැනීමට බැව් පළමුවෙන් කිව යුතුය. පසුගිය සැප්තැම්බරයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කවර හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තුවේදී කියු කතාවකට අනුව බදු ගෙවිය යුතු ව්‍යාපාරිකයින් 1,00,005 කින් 74,313 ක් බදු ගෙවා නැත. වැට් බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාරික ආයතන 60,721 කින් රජයට එම බදු ගෙවා ඇත්තේ 185 ක් පමණ ය. මේවායේ අඩු වැඩිකම් තිබිය හැක. නමුත් පිළිගත යුතු කාරණාව නම්, ව්‍යාපාරිකයින් රජයට, ජනතාවට දේශීය වශයෙන් රුපියල් කෝටි ගණනින් පොලු තියන බවය. එවගේම යෝධ ව්‍යාපාරිකයින් ඩොලර් ආදායම් සඟවා ගන්නා බවද ඔහු කීවේය.
මීට සතියකට පමණ ඉහතින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ චෝදනාවල සැබෑවක් ඇතැයි ඔහුගේ ස්වාධීන ප්‍රකාශයකින් සනාථ කළේය. මහ බැංකු අධිපතිට අනුව අපනයනකරුවන් 2021 ජුලි වනවිට ලංකාවට ගෙනැවිත් තිබුණේ විදේශ ආදායමෙන් සියයට 65 ක් පමණි. වර්තමානයේ එසේ ගෙනෙනු ලබන්නේ සියයට 23 ක් බවද ඔහු කියා තිබුණි. එය විස්තර කර තිබුණේ වාර්ෂිකව ගණන් බැලුණු ඩොලර් බිලියන 16.3 ක විදේශ ආදායමෙන් බිලියන 06.8 ක් (ලැබිය යුතු ආදායමෙන් සියයට 42 ක්) 2022 වසරේදී පමණක් ව්‍යාපාරිකයින් විසින් රටට අහිමි කරන්නේ යැයි කියා ය.
ඒ සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු වැදගත්ම කාරණාව නම්, මේ යෝධ ජාවාරම්කාරයින් මෙලෙසින් ඩොලර් යටි මඩි ගසා ගෙන රටට ලැබිය යුතු ආදායම් අහිමි කරන්නේ, ජයවර්ධන ජනාධිපතිගේ ආණ්ඩුවේ සිට සියලු ආණ්ඩු විසින් ජනතාවට ලැබිය යුතු බදු ආදායම් අහිමි කරමින් ඔවුන්ට ලබා දී ඇති බදු අහෝසි කිරීම්, බදු නිවාඩු, බදු විරාම සහ බදු කප්පාදු සියල්ලේ වාසියද බුක්ති විඳිමින් බවය. දේශපාලකයින් මත මේ සියලු පව් පැටවීම පහසු වූවත් මේ ජාවාරම්කාරයින් මේ රටේ දැවැන්ත දූෂණ වලටද සම්බන්ධ බැව් අමතක නොකළ යුත්තකි.
එබැවින් මේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමේ වැදගත් සහ ප්‍රධාන පියවරක් වන්නේ ඩොලර් ආදායම් රටට නොදෙන, බදු වාසි බුක්ති විඳින සහ ඒ සියල්ලට අමතරව දේශීය ආදායම් බදු පවා නිසියාකාරව නොගෙවන ජාවාරම්කාරයින්ගෙන් පසුගිය වසර කිහිපයේ සිට දඩ මුදල් සමගින් සියලු හිඟ බදු අයකර ගැනීම ය.
එහෙත් එය නෙකෙරෙන්නකි. ඒ වෙනුවට බදු ප්‍රතිසංස්කරණ සඳහා කොන්දේසි දමන ජා.මූ.අරමුදලත් හැම ආණ්ඩුවක් මෙන් මේ වික්‍රමසිංහ ආණ්ඩුවත් කරන්නේ ජනතාවගේ ජීවිත මිරිකා දමන වක්‍ර බදු පැනවීම ය. අපේක්ෂිත දේශීය ආදායමෙන් සියයට 83 ට වැඩි ප්‍රතිශතයක් වක්‍ර බදු වලින් එකතු කර ගන්නේ එනිසා වෙනි. සාමාන්‍ය ජනතාවගේ දෛනික පරිභෝජනයට අවශ්‍ය සියල්ලෙහි මිල පසුගිය මාස කිහිපයේ සීඝ්රයෙන් වැඩි වන්නට හේතුවද ආණ්ඩුව ජා.මූ.අරමුදලේ කොන්දේසි අනුව වෙනස් කළ මේ නව බදු ප්‍රතිපත්තිය වන්නේය. මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නොවැම්බර් 21 වන දින නිකුත් කළ නිවේදනයට අනුව, ඉකුත් ඔක්තෝම්බර මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සියයට 70.6 කින් වැඩි වී තිබිණ.
මේ වනවිටද දරුවකුගේ පාසල් පොත් ලැයිස්තුව ඇතුළු පාවහන් සහ පොත් බෑගය සඳහා දෙමාපියන් වැය කළ යුතු මුදල පසුගිය වසර කිහිපයේ වැය කළ රුපියල් 5,000 ක පමණ මුදල මෙන් තුන් ගුණයක් හෝ ඊට වැඩිය. රුපියල අවප්‍රමාණය වීමේ සිට වැට් බදු සියයට 15 දක්වා ඉහළ දැමීම දක්වා මිල ඉහළ යෑම් එබඳුය. ඉන් පසු සිදු කළ බදු පැනවීම්වල සැබෑ බලපෑම ඇති වන්නේ ලබන වසර ආරම්භයේ සිට ය. ඒ නිසාවෙන් ලබන වසරේ මාර්තු අග වනවිට බඩු මිල නිසැක වශයෙන්ම තව වටයකින් ඉහළ ගොස් තිබෙණු ඇත. ඒ වනවිට අලුත් පාසල් වසරට එක දරුවකුට අවශ්‍ය අඩුවැඩිය ගැනීමට රුපියල් 20,000 ක් ඉක්මවා වැය කරන්නට දෙමාපියන්ට සිදුවිය හැක.
භාණ්ඩ හා සේවා මිල තව තවත් ඉහළ යාම අනිවාර්ය වන තවත් කාරණාවක් වන්නේ ජා.මූ.අරමුදලේ තවත් ප්‍රධාන කොන්දේසියක් වන ඉන්ධන සහ විදුලිය සඳහා වැයවන මුදල පියවා ගත හැකි අයුරු මිල හා ගාස්තු සංශෝධනය කිරිමය. ඉන්ධන හා විදුලිය මගී හා භාණ්ඩ ප්‍රවාහනයටත් නිෂ්පාදනයට හා ශීත ගබඩා කිරීමටත් සෘජුව බලපාන බැවින් ඒවායේ මිල වැඩි කිරීම් සියලු භාණ්ඩ සහ සේවාවන්හි මිල ඉහළ යෑමේ අනිවාර්ය සාධකයක් වනු ඇත.
සාමාන්‍ය පවුල් සඳහා වන මේ බරපතල වියදම් ඉහළ යාම සැළකිය යුත්තේ පසුගිය මාසවල මිල ඉහළ යෑම් හේතුවෙන් පවුල් සියයට 30 ත් 35 ත් අතර විශේෂයෙන් අර්ධ නාගරික හා ග්‍රාමීය පවුල් ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයට හසුව ඇති තත්ත්වයක ය. මීට දෙමසකට කලින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනත් සේව් ද චිල්ඩ්රන් නම් ජාත්‍යන්තර සංවිධානයත් ළමුන් අතර අධි මන්දපෝෂණය ඉහළ යමින් ඇතැයි කියූ විට එය ප්‍රතික්ෂේප කළ සෞඛ්‍ය ඇමතිවරයා ඇතුලු බලධාරීන් දැන් දරුවන් අතර මන්දපෝෂණය ඉහළ යන වග පිළිගනිති. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය බියුරෝවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වාට අනුව පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක 03 හි පමණක් අධි මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව 18,420 කි. එහි තේරුම නම්, ඒ දිස්ත්‍රික්කවල මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් ඒ සංඛ්‍යාව මෙන් දෙතුන් ගුණයක් විය යුතු බව පමණක්ම නොවේ. ඊටත් වඩා දිළිඳු දිස්ත්‍රික්කවන මන්නාරම, කිලිනොච්චි, මුලතිවූ, මොණරාගල, මඩකළපුව, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල තත්ත්වය ඊටත් වඩා බරපතල් විය යුතු බවය.
වසරකට වැඩි පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට අනුව පවුල් සියයට 68 ක් පමණ ඔවුන්ගේ ආහාර සඳහාවන වියදම් කප්පාදු කරමින් සිටියහ. එය වඩාත් සිදුවූයේ 2021 මහ කන්නය සමග ග්‍රාමීය කෘෂි නිෂ්පාදනය අඩාලවූ පසුවය. එය සනාථ වන්නේ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසා ඇති දරුවන්ගේ ශාරීරික වර්ධනය අඩාලවීම (Stunting) සියයට 07 ක සිට සියයට 09.2 ක දක්වා ඉහළ යෑමත් ක්ෂයවීම (Wasting) සියයට 08 ක සිට සියයට 10 ට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබීමත් සමගින්ය.
ප්‍රතිපත්ති අධ්‍යන කේන්ද්‍රයේ ආරාධිත විශේෂඥ විමල් නානායක්කාරට අනුව 2020 අවසන් වනවිට කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග වයස අවුරුදු 06 සහ 14 අතර ළමුන් පාසල් හැර යාම වත්කම් ඇති පවුල්වල සියයට 0.7 ක් වූවත් දිළිඳු පවුල්වල එය සියයට 04.7 ක් විය. ඉදිරි මාස කිහිපයේ ආහාර අනාරක්ෂාව ඉහළ යෑමත් සමග සිදුවන්නේ දරුවන් මන්දපෝෂණය සමග අවවර්ධනයට ගොදුරුවීම පමණක්ම නොවේ. එවැනි පවුල්වල ළමුන් පාසල් වලින් දොට්ට වැටීම කොවිඩ්-19 වසංගත සමයට වඩා සීඝ්රයෙන් ඊටත් වඩා ඉහළ යෑමය.
කෙටියෙන්ම කිවහොත් ඉදිරි මාස කිහිපයේ දිළිඳු පවුල්වල දරුවන් පාසල් හැර යාම සමග කොවිඩ්-19 වසංගත සමයේ සියයට 04.7 ක් වූ ප්‍රතිශතය සියයට 10 ඉක්මවනු ඇත. එය පාසල් දරුවන් මිලියන 04.1 කින් ලක්ෂ 04 ට වැඩි සංඛ්‍යාවකි.
මේ සිදුවන්නේ ළමුන්ගේ නොසැළකීමට ළමුන් පාසල් හැර යාමක් නොවන බව කරුණාවෙන් සළකන්න. මේ ළමුන් මන්දපෝෂණයට ගොදුරුකර, ඌණ වර්ධිත ළමුන් වශයෙන් පාසල් වලින් ළමුන් දොට්ට දැමීමකි. මේ ආහාර සුරක්ෂාවද සමග ළමුන්ගේ මූලික අයිතියක්වන අධ්‍යාපන අයිතිය මහ දවල් අහෝසි කිරීමකි. බලයේ ඉන්නා ආණ්ඩුව ඊට පූර්ණ වශයෙන් හා මූලිකව වගකිව යුතුය. විපක්ෂ දේශපාලන පක්ෂද දරුවන්ගේ ආහාර සුරක්ෂාව හා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වහා ඉදිරිපත් විය යුතුව ඇත. ගුරු සංගම්ද දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සඳහා සම්මුති විරහිතව පෙනී සිටිය යුතුය. එවගේම දෙමාපියන්, භාරකරුවන් හා ගුරුවරුන් ළමුන්ගේ ආහාර සුරක්ෂාව හා අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට වහා ආණ්ඩුවට බල කළ යුතුව ඇත.
එහෙත් ඒ කිසිවකු තවම කොතැනකවත් දකින්නට නැත. ඔවුන් සැමට කිව යුත්තේ අනාගතය වෙනුවෙන් ළමා ජීවිත දේශපාලකයින්ගේ සහ ජාවාරම්කාර දූෂිතයින්ගේ ජීවිත වලට වඩා වටිනා බවය. එනිසා ඒ ජීවිත හැම ආකාරයෙන්ම සුරක්ෂිත කරගත යුතු බව අලුතින් කිව යුත්තක් නොවන්නකි.
| කුසල් පෙරේරා