- විකිණීමේ තීන්දුවට එජාප, පොහොට්ටු වෘත්තීය සමිතිත් විරුද්ධයි
’පසුගිය මාස හය තුළ කිහිප වතාවක් රාජ්‍ය මූල්‍ය වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව කඩිනම් අවශ්‍යතාවයක් ඇතිවිය. අතුරු අයවැය මගින් පොරොන්දු වූ පරිදි රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සුවිශේෂි කාර්යභාරය සඳහා මේ වනවිට මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් ඒජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඒවායේ පාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමගින් ලැබෙන ආදායම් රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල් ශක්තිමත් කිරීමටත් යොදාගනු ඇත.
පරිමාණුකූල පිරිමැසුම් ඇතුළු වාසි ලඟා කර ඉගැනීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය ව්‍යවසායන්ට උපායමාර්ගික මැදිහත්වීම් සිදුකරනු ඇත. එම නිසා පසු අන්ත පෙර අන්ත හා තිරස් ඒකාබද්ධකරණය මගින් සමාන ස්වභාවයකින් යුත් ව්‍යවපාර පෙළ ගැස්සවීමටද යෝජනා කරනවා.‘
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ මාතෘකාව යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එසේ කීවේ 2023 අයවැය කතාව කරමින්ය. මෙහිදී අපගේ මතකය නිරන්තරයෙන්ම ඇදී යන්නේ 2000-2003 රනිල් වික්‍රමසිංහගේ අගමැතිත්වය යටතේ පැවති ආණ්ඩු පාලනය වෙතය. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය යන වචනය දේශපාලකයින්ගේ ශබ්ද කෝෂයට ආවේ එම ආණ්ඩු සමයේදීය. එහිදී සිදුවුනේ ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයට විකිණීමය. එහි කූප්රකට උදාහරණය ලාභ ලබමින් පැවති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ව්‍යාපාරික හැරී ජයවර්ධනට විකිණීමය.
එම විකිණීම ඉන් වසර කිහිපයකට පසු ආපසු හැරුනේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ සේවක සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ මූලික අයතිවාසිකම් පෙත්සම් අනුවය. ඒ අනුව ව්‍යාපාරික හැරී ජයවර්ධනට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආපසු බාරදෙන්නට සිදුවූ අතර ඔහු ගෙවූ මුදල් යළි ආපසු ගෙවන්නට භාණ්ඩාගාරයට සිදුවිය.
දැන් නැවතත් එම අතීතය යළි ප්‍රති නිර්මාණය වෙමින් පවතී. ඒ ඉහත සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය යෝජනාව අනුවය.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය රජය නඩත්තු කළ යුතු නැති බවට විවාදයක් නැත. එහෙත් දැනට ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විකුණන්නේ ඇයිද යන්න මෙහිදී මතුවන ප්රශ්නයයි. එම ප්‍රශ්නයට යම් පිළිතුරක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී පැවසීය. ඒ ‘එමගින් ලැබෙන ආදායම් රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල් ශක්තිමත් කිරීමටත් යොදාගනු ඇත.’ යනුවෙන් කරන ලද පැහැදිලි කිරීමය. ඒ අනුව පැහැදිලි කරුණ වන්නේ රටේ විදේශ විනිමය සංචිත වැඩි කිරීමට හා ඒ මගින් රුපියල ශක්තිමත් කිරීමට අයවැය කතාව තුළ සඳහන් කළ රාජ්‍ය ආයතන විකිණීමට යන බවයි. එම ලැයිස්තුවේ ඇති රාජ්‍ය ආයතන අතරින් දැනට පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස හඳුනාගත හැක්කේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පමණය. ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් ඒජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඒවායේ පාලිත සමාගම් ඇත්තේ ලාභ ලබන තත්වයකය.
එහෙත් එම අයවැය කතාවේදීම ඉහත සඳහන් රාජ්‍ය ව්‍යවසාය ගැන කියන්නට පෙර ජාතික සම්පත් ගැන කතා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේ මෙවැන්නකි. ’ජාතික සම්පත් කියන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැනි භෞතික දේවල් කියලායි බොහෝ දෙනෙක් සිතන්නේ. එහෙම හිතලා ඒවායින් වැඩක් නොගෙන දිර දිරා යද්දී පවා රැකගෙන ඉන්නවා. මේ වෙද්දී අපි රාජ්‍ය හා ව්‍යවසාය 420ක් නඩත්තු කරනවා. මෙයින් ප්‍රදාන ව්‍යවසායයන් 52ක වසරක පාඩුව රුපියල් බිලියන 86ක්. මම තව දින දෙක තුනකින් මේ ආයතන ලැයිස්තුව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආයතනවලින් වසර ගණනාවක් තිස්සේ රටට සිදුවෙලා තියෙන්නේ සුගතියක්ද? නැතිනම් අගතියක්ද?’
රාජය රාජ්‍ය ආයතනවල පාඩුවේ බර දැරිය යුතු නැත්නම් මුලින්ම කළ යුත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය නාමයෙන් හෝ විකිණීමය. නැත්නම් එම රාජ්‍ය ව්‍යවසාය වසා දැමීමය. ඒවාහී දැනට සිටින සේවකයින්ට යම් වන්දියක් ලබාදී ඔවුන් වෙනත් රැකියා හෝ ආදායම් ක්ෂේත්රයකට යොමු කිරීමය. නැතහොත් සිදුවනුයේ ඉහත සඳහන් කරන ලද ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණා ලැබෙන මුදලින්ද අවසානයේ එම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව නඩත්තු කිරීමට සිදුවීමය.
ලාභ ලබන ව්‍යවසාය විකිණීම මගින් ඒවා ප්‍රතිව්‍යුහගතකරණයක් වෙනවාද යන්න ගැටළුවකි. ලාභ ලබන ව්‍යාපාර කාට හෝ විකිණීමෙන් පසුත් සිදුවන්නේ පෙර පරිදිම ලාභ ලැබීමය. ආණ්ඩුවට විශේෂයෙන් ඒ මගින් රජයට ලැබෙන්නේ ඒවා ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විකිණීමේදී ලැබෙන මුදල පමණය. බදු මුදල් යනු රාජ්‍ය ව්‍යවසායක් ලෙස තිබුණත් පෞද්ගලික ව්යසායක් ලෙස තිබුණත් රජයට ලැබෙන දෙයයි. එහෙත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායකින් රජයට ලැබෙන ලාභයේ ප්‍රතිලාභය පෞද්ගලික වූ විට රජයට ලැබෙන්නේ නැත.
ජනාධිපතිවරයා ප්‍රතිව්‍යුහගතකරණය කරනවා යැයි කියූ ලැයිස්තුවේ ඇති රාජ්‍ය ආයතනවලින් මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන පමණය. එම ආයතනයේ වාර්තා අනුව එහි 2021 වර්ෂයේ වත්කම රුපියල් බිලියන 268.43කි. බොහෝ අයට තේරෙන ලෙස රුපියල් කෝටි වලින් කිවහොත් රුපියල් කෝටි 26,843කි. එය 2021 වර්ෂයේදී ලබා ඇති ආදායම රුපියල් බිලියන 64.10කි. රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් බිලියන 3.84කි. ලාභාංශ වශයෙන් රජයට ගෙවා ඇති මුදල රුපියල් බිලියන 1.50කි. එම වර්ෂයේ බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 11.72ක් වන අතර බදුවලට පසු ලාභය රුපියල් බිලියන 10.41කි. ඊට අමතරව ජීවිත රක්ෂණ හිමියන්ට ලබාදී ඇති බෝනස් මුදල රුපියල් බිලියන 9.82කි.
ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත විකිණීමට එරෙහි වෘත්තීය සමිති එකතුව ලෙස සන්ධානගතවී ඇත. එයට ජනාධිපතිවරයාගේ පක්ෂයේ වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගමයද, ආණ්ඩුව පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදුජන ප්රගතිශීලි සේවක සංගමයද එක්වී තිබේ. එහි තේරුම වන්නේ අනෙකුත් පක්ෂවල හා ස්වාධීන වෘත්තීය සමිති කෙසේ වෙතත් එජාපයේ හා පොහොට්ටුවේ වෘත්තීය සමිති එම පක්ෂවල තීරණයට විරුද්ධ බවයි. මෙම වෘත්තීය සමිති එකතුවේ අනෙක් වෘත්තීය සමිති වන්නේ රක්ෂණ සේවක සංගමය, සමගි සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, වෘත්තීය තාක්ෂණ විධායක නිලධාරීන්ගේ සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, රක්ෂණ පොදු සේවක සංගමය, ශාඛා පරිපාලන සංගමය, අභ්‍යන්තර විකුණුම් නිලධාරීන්ගේ සංගමය, තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය, මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය, අලෙවි කළමනාකරණ සංගමය හා අලෙවි විධායක නිලධාරීන්ගේ සංගමයයි.
එම වෘත්තීය සමිති ඔවුන්ට ලැබී ඇති තොරතුරු අනුව කියන්නේ මෙවර විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇමරිකානු ඩොලර් මිලියන 300ක මුදලට විකිණීමට නියමිත බවයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 2021 වර්ෂයට ගණනය කර ඇති වත්කම වත්මන් ඇමරිකානු ඩොලර් අනුපාතයට අනුව ගණනය කළහොත් එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 733කට සමානය. එහි තේරුම වන්නේ මෙවරද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනයක් යටතේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එහි ඇත්ත වටිනාකමෙන් භාගයකට වඩා අඩු මුදලකට හෙවත් කුණු කොල්ලයට ප්‍රතිව්‍යුහගතකරණය නාමයෙන් විකිණීමට යන බවයි.
එසේ කියන්නට හේතු රනිල් වික්‍රමසිංහ රක්ෂණ සංස්ථාව අතීතයේ විකිණීමේ ගනුදෙනුවෙන්ද අපට ලැබේ. 2003 වසරේදී රක්ෂණ සංස්ථාව හැරී ජයවර්ධනට විකුණන විට එහි ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ කොම්පඤ්ඤවීදියේ ඉඩමේ පර්චසයක් තක්සේරු කර තිබුණේ රුපියල් 7230කටය. එසේම එහි තවත් කාර්යාලයක් පිහිටි කොළඹ යූනියන් පෙදෙසේ ඉඩමේ පර්චසයක් තක්සේරු කර තිබුණේ රුපියල් 4250කටය. විකිණීමේ මිල ගණන් තීන්දු තීරණය වන්නේ ඒ ආකාරයටය. එය මෙවරත් නොවේ යැයි අපට සහතිකයක් නැත. මන්ද අමාරුව සතපා ගැනීමට යමක් විකුණන්න වුවමනා වූ විට කීයකට හෝ විකිණීම ඇබ්බැහි වූවාගේ පුරුද්ද වන නිසාය.
ජනාධිපතිවරයාගේ අයවැය කතාව තුළ ඇති ‘ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඒවායේ පාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති’ යන සඳහන අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පමණක් නොව එයට සියයට සියයක් කොටස් හිමිකාරිත්වය ඇති සමාගම් මෙන්ම එයට සැළකිය යුතු කොටස් හිමිකාරිත්වයක් ඇති සමාගම්ද ප්‍රතිව්‍යුහගතකරණය නාමයෙන් විකිණීමට නියමිත බව පැහැදිලිය.
ඒවා අතරින් ජන ජීවිතයට බලපාන කවුරුත් දන්නා ප්‍රධානම සමාගම වන්නේ ලිට්රෝ ගෑස් සමාගමය. ලිට්රෝ ගෑස් සමාගමේ සියයට 99.94ක කොටස් හිමිකමක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමි අතර එහි ඉතිරි කොටස් හිමිකාරිත්වය ඇත්තේ ලිට්රෝ සමාගමේ සේවකයින්ටය. එමෙන්ම ලිට්රෝ ගෑස් ටර්මිනල් සමාගමේ සියයට 100ක කොටස් අයිතිය ඇත්තේද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටය. ගෑස් වෙළඳපොලේ සියයට 70ක පංගුවක් හිමි ලිට්රෝ ගෑස් සමාගම අමාරුවෙන් හෝ ජනතාවට ගෑස් සපයන්නේ එය රාජ්‍ය සමාගමක් නිසා කෙසේ හෝ විදේශ විනිමය රජයෙන් සපයන නිසාය. එම වගකීමත් රජයට නැතිව ගියහොත් ලාෆ්ස් ගෑස් සමාගම කියනා අයුරින් රජය ඩොලර් දුන්නොත් අපි ගෑස් ගෙන්වන්නම් කතා අපට අසා සිටින්නට සිදුවනු ඇත.
මීට අමතරව ලංකා හොස්පිටල්හි සියයට 51.34ක හිමිකාරිත්වය රක්ෂණ සංස්ථාවට ඇති අතර ලංකා හොස්පිටල් ඩයොග්නොස්ටික්හි සියයට 100ක කොටස් හිමිකාරිත්වයද රක්ෂණ සංස්ථාවට හිමිය.
රාජපක්ෂ පවුලේ ව්‍යාපෘතියක් වන හයට් හෝටල්වලට අදාල කැන්විල් හෝලිඩිංග්ස් හි සියයට 52.5ක කොටස් හිමිකාරිත්වය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමි අතර එහි ඉතිරි කොටස් අයිතිය ඇත්තේ ලිට්රෝ ගෑස් සමාගමට හා ඊපීඑෆ් හෙවත් සේවක අර්ථසාධක අරමුදලටය. කැන්විල් හෝල්ඩිංග්ස් යටතේ ඇති කැන්විල් හොටෙල් ස්පා පුද්ගලික සමාගමේ, සිනෝ ලංකා හොටෙල් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගමේ හා හෙලන්කා හොටෙල් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගමේ සියයට 100ක කොටස් අයිතිය ඇත්තේද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටය.
ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විකිණීම යනු එම සංස්ථාව විකිණීම පමණක් නොවේ. ඒ යටතේ ඇති දැනට ලාභ ලබන ලිට්රෝ ගෑස් සමාගම මෙන්ම ලංකා හොස්පිට්ල්ද විකිණීමකි. හයට් හොටෙල් සමාගම් දැනට ක්‍රියාත්මක නොවන තත්වයේ පැවතියද ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත්, ලිට්රෝ ගෑස් සමාගමත්, සේවක අර්ථ සාධක අරමුදලත් ආරම්භයේ යොදවා ඇති මුදල රුපියල් බිලියන 18.5කි. ඉන්පසු අවස්ථා කිහිපයකදීම ඒ සඳහා තවත් රුපියල් බිලයන ගණනාවක් රක්ෂණ සංස්ථාව යොදවා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය නාමයෙන් විකුණන්නට යන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන කිහිපයක් හා විශාල ආයෝජනයක් යොදවා ඇති රාජ්‍ය ආයතන බව සැඟවිය නොහැකි සත්‍යයකි. අයවැය කතාව අනුවම සඟවා ඇති එම විකිණීමේ සත්‍යය ජයගනු ඇතිද? නැතහොත් පරාජය වනු ඇතිද? සිදුවන්නේ කුමක්දැයි අපට බලා සිටීමට සිදුවනු ඇත.
ලසන්ත රුහුණුගේ (අනිද්දා)