මගේ ගවුම විතරක් දැකපු කැත වචන වලින් මට සංග්‍රහ කරපු අයට විශේෂයෙන් ලියමි. මගේ ළමයි 50%ක් සපත්තු දාන්නෙ නෑ කිව්වම සමහරු හිනා වෙලා තිබුනා. හිනා වෙන්න විවේචනය කරන්න ගොඩක් අය හිටියට පිහිට වෙන්න ඉන්නෙ අතලොස්සයි. ඊයේ දින සීගිරිය water garden hotel එකෙන් මේ දරුවො ඔක්කොටෝම සපත්තු සහ මේස් ලබා දුන්නා. එය සැබවින්ම අගය කරමි. රට ජාතිය ආගම සංස්කෘතිය ඔලුව උඩ තියාගෙන කටමැත දෙඩවීමෙන් රටට හෝ දරුවන්ට වන සේවයක් නැත. මේ දරුවන්ට කන බොන දේ ඉදන් බොහෝ අඩුපාඩුකම් තියෙනවා. විවේචන වගේම ඒ දරුවන්ට සරණක් වෙන්නත් පුලුවන් නම් අගය කරමි.
මධ්‍යම පලාතෙ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල කලාපයේ අති දුෂ්කරම ඉස්කෝලේ වන උඩවෙලයාගම ක.විදුහලේ දරුවෝ 150ක් ඉන්නවා. 1 සිට11 වසර දක්වා පංති පැවැත්වෙනවා. මේ පාසල පිහිටා තියෙන්නේ සීගිරියෙන් ඉදන් 8kmක් විතර ඇතුලට වෙන්න. එම පාසලට යාමට පොදු ප්‍රවාහනයක් නෑ. ඒ යන අතරේ වල් අලින් ගැවසෙන 3km ක පමණ කැලෑ කොටසක් පහු කරන්න තියනවා. මේ පාසල මේ වන විට පවත්වාගෙන යන්නෙ දැඩි අපහසුතාවෙන්. එයට ප්‍රධාන හේතුව නම් දුර බැහැර ගුරුවරුන් ප්‍රවාහන අපහසුතා නිසා මේ වන විට ලග පාසල් වලට අනියම් හා ස්ථාන මාරු ලබා ගොස් තිබීමයි. ඒ හේතුවෙන් දිනකට පැමිණෙන ගුරුවරු ගණන 5ක් 6ක් දක්වා සීමා වෙලා තියෙනවා.
ඒ ගුරුවරුන් සියල්ලන්ම අවුරුදු 8ක් පමණ මේ පාසලේ සේවය කර තිබීමත් සීගිරියෙ සිට මෙම පාසලට පොදු ප්‍රවාහනය නොමැති වීමත් 2011 සිට මේ දක්වා මෙම පාසලට ගෙවන අති දුෂ්කර දීමනාව වන රු2500/= රජය එක රුපියලකින් හෝ වැඩි නොකිරීමත් යන කරුණු හේතුවෙන් මෙයට ගුරුවරුන්ගෙ වරදක් නැත.
දුෂ්කර පාසලක වසර 3කුත් මෙම පාසලේ වසර 12ට ආසන්න කාලයකුත් මා සේවයේ යෙදී සිටියි. ස්ථාන මාරුවක් සදහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් ඇති මා මෙහි තවමත් සේවය කරන්නේ මේ දරුවන් අතරමං කර යාමට ඇති නොහැකියාව මතයි. මේ දරුවන්ට ඇති ප්රශ්නය මා ගවුමකින් සැරසී පාසලට යාම නොවනා බව හොදින් වටහා ගන්න.
තේ කහට එකක් වත් නැතුව ඉස්කෝලෙ එන බොහෝ දරුවන් උදේ රැස්වීමෙන් ඇදගෙන වැටෙනවා.කෙනෙකුට පුලුවන් නම් කිරි වීදුරුවක් හරි මොවුන්ට ලබාදෙන්න ඒක තමයි මේ වෙලාවෙ කෙරෙන්න ඕනෙ දේ. එහෙම නැතුව ගුරුවරියන්ට රෙදි යාර ගණන් පටලවන්න දගලන එක නෙවෙයි.
නයන ගුණරත්න
(මුහුණ පොතේ සටහනක්)