අප සුමිතුරු ප්‍රබෝධ රත්නායකගෙන් ඇරයුමක් ලදිමි. ඒ ජගත් ලියනාරච්චි මහතා ලියු පොතක් හඳුන්වාදීමේ උළෙලක් සඳහාය. ඒ අතරවාරයේ තවත් යමක් සිදුවන බවද පැවසුවේය. ඒ ලියනාරච්චි මහතා නීතිඥ ව දිව්රුම් දී වසර විසිපහක් සපිරෙන බැවින් ඔහුට රහසේ එය සැමරීමයි. කලක් එකට එක්ව මෙන්ම අනෙක් හැමදාම ඔහුගේ වැඩ දෙස බලා සිටි අප එදිනට යමක් ලියන බව ප්රබෝධට කීවෙමි. පෙරදින හැන්දෑවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ එක් පරිශ්රයක පැවැත්වූ එම සැමරුමේදී කියවූ පණිවුඩයයි මේ.
යමෙකුගේ නැගීමට හෝ බැසීමට ඔහුට හෝ ඇයට උපතත් සමඟ පවුලෙන් පිරිනැමෙන නම ද ඉමහත් බලපෑමක් කරන්නේය. එය වඩාත් තීව්ර වන්නේ ඊට පෙළපත් නම ද මුසු වූ විටය. එකී නාමකරණ හා සබැඳි පුද්ගල කීර්ති කදම්භය නිවැරදිව සමාජ සංසිද්ධීන් හා ගටා කියවා ගැනීමද සුහුරු යමක් නොවේ. නිදසුන් සේ මාර්ටින් වික්‍රමසිංහ හා සමඟ රනිල් වික්‍රමසිංහ යන නම එකට මුහුකොට සිතිය හැක. දිසානායක මුදියන්සෙලාගේ සුමනවීර බණ්ඩා දිසානායක හෙවත් සැවොම දන්නා එස්. බි. යන නමද අනෙක් දිසානායක යැයි පෙළපත් නම් ලත් ඇත්තෝ, එකට ගලපා කලතා බැලිය යුතුය. එවිට දැණෙන ප්‍රෞඩත්වය කුමනකාරදැයි අසන්නට ද වටිනේය.
එහෙත් ජගත්ගේ, ලියන ආරච්චි නාමයෙහි යථාවාදී තථාකාරී ගුණයක් ආලේප කොට ඇත්තේය. ජගත් යනු ලෝකයයි. කෙනෙකුට අවැසිනම් ජගතා ලෝකයා යැයි කියා වුව කීමට හැකිය. එහෙත් එහෙම කීවද කිසිදු අරියාදුවක් ඔහුගෙන් සිදු නොවන්නේය. හේතුව ජගත් යනු තමන් හට ප්රතිමල්ලවයෙක් ඇතැයි කිසිදා නොසිතන්නෙක් වීමයි.
ලියනාරච්චි යන්නෙහි ආරච්චි කෑල්ල ගැන සිංහල බෞද්ධයන් තුළ ඇත්තේ නොපහන් බවකි. ඇතා වැටුණු වැවේ දඩමස්, කොමිෂන් සේ ඉල්ලන ආරච්චිලා ගැන අපිට විමලරත්න කුමාරගමයන් බොහෝ කලකට පෙර කියාදී තිබීම ඊට හේතුව විය හැකිය. එහෙත් සැබවින්ම ජගත් ලියනආරච්චි ලියන්නෙකි. වැඩේට ආරච්චි කෙනෙකි. ලිවීමේ හා බිනිමේ වර්ණවත් හැකියාවෙන් සපිරි ජගත් ලියනාරච්චි ආදර්ශමත් බයියෙක් ද වේ. බයියා කියු විට 69 ලක්ෂය දක්වා ගණන් කරන්නට ඕනෑ නැත. මේ බයියා රන්බණ්ඩා සෙනෙවිරත්නගේ වර්ගයේ බයියෙකි. ඔහුද කලාවට බර නීතිවේදියෙක් මෙන්ම නුවරකලාවියෙන් කොළඹට ආ හාදයෙකි. මව් සෙනෙහස ගැන ඇඟ කිලිපොළා යන රිද්මයෙන් ලියූ ඔහු බයියෙක් වීම ගැන සාඩම්බරයට පත් රජරට මිනිහෙකි.
ජගත් අමුතුම මිනිසෙකි. ඔහු ජනයා ඔබමොබ යන හැම තැන ම ප්රාදුර්භූතය. සිවිල් සමාජය නමින් සිදුවන පැල සිටුවිමකට වුව හමුව අතරමඟ ගොස් පිටිපස්සේ ම පේලියේ සිටිමින් ඉස්සරහ පේලිය දෙස බලා සිටීමේ නිහතමානිත්වයෙන් ඔහු පිරිපුන්ය. එහෙත් ජගත් සතු සුවිශේෂත්වය එය නොවේ. ඔහු දේශපාලනිකව අවර්ණ සාංදෘෂ්ටිකත්වයෙන් යුක්ත අයෙක් වීමයි. ජගත් තරම් නානා වර්ගයේ දේශපාලන දෘෂ්ඨිවාදයන්හි එල්බගත් පාක්ෂික හා විපාක්ෂික හිතවතුන් ඇසුරු කරන මහත්මයෙක් දෙල්කඳබදව තවත් ඇතැයි නොසිතේ. එහෙත් මොන ජගතාටවත් ඔහු අභිමත දේශපාලන කඳවුර කිමැයි උපකල්පනය කල නොහැක්කේය. අසීමාන්තිකව ලියන හා කියන මිනිසෙක් එලෙස තම දේශපාලන පාක්ෂිකත්වය සඟවා ගෙන වැඩ කිරීම ම පුදුමසහගත එකකි..
රාජිතගේ අනගි වේදිකා නාට්‍යගත නමකින්ම දක්වන්නේ නම් ජගත් ''නැතිවම බැරි මිනිසෙකි''. කොළඹ නගර වැසි පර්යේෂණකාමී චින්තන කුලකයේ අලසකමටද එක් හේතුවක් නම් ජගත්ගේ අධි ක්‍රියාකාරිත්වය යැයි නොකියා බැරිය. එනම් ඔහු කවර හෝ අභිනව පනත් කෙටුම්පතක්, සුවිශේෂී වාර්තාවක් හෝ වේවා එය අප වෙත එවීමේ ස්වේච්ජා කාර්යය ඔහු ම පවරා ගෙන ඇති බැවිණි. අපගේ පරිගණක තුළ අනපනත් ගැන වෙනත් වෙනත් ෆෝල්ඩර්ස් නැත්තේය. කරන එකම දෙය ඉන්බොක්ස් එක ජගත්ගේ නමින් සර්ච් කිරීම පමණි.
ඔහු මහවැලි බහුකාර්ය යෝජනා ක්රමයද ඉක්මෙන තරමේ බහුවිධ කාර්යයන් රැසක් කරන ඇම්ඩන් පන්නයේ විද්වතෙකි. ලේඛකයෙකි. සිහිනෙන් හෝ කළුකෝට් බෑයක් ඇඟේ ලා ගෙන සිටිනවා දැක නැති නීතිඥයෙකි. ඔහු ගමේදී ගමේ පන්සලේ පෙරහැර සංවිධානය කරමින් දහම් පාසලේ ගුරුකමද, ඉඩලද විට කරමින් සිටින දැහැමි තැනැත්තෙකි. අනතුරුව වියත් සභා පොබ කරන අසිරිමත් පුහුණුකරුවෙකි. පහසුකාරකයෙකි. දේශකයෙකි. කවර හෝ දුරවබෝධ නෛතිකමය ලේඛනයක් ගැන පළමුව ලියන්නා ඔහුය. මාර්තු 12 ව්‍යාපාරයෙහි ද නයුවෙකි. ඔහුගේ මෑත කාලීන වෙසෙස් කාර්යයන් අතර අග්‍රෙශ්වර වෑයම නම් මැතිවරණ හා සබැඳි අධිකරණ තීන්දු ගැන ලියා ඇති ග්රන්ථ රත්නයයි. ධම්ම දිසානායකයන් හා ලියු කොමිෂන් සභා අස්වැන්න ගැන ප්රකාශනය ද කෙසේ හෝ කියැවිය යුත්තකි.
තොරතුරු කොමිසමේද ඔහු සාමාජිකයෙකි. ඒ ගැන අමුවෙන් කිව යුත්තේ ඔහු එහි සිටීම කොමිසමට ගෞරවයක් බවයි. තොරතුරු දැනගැනීමේ පනත යනු, සස්වාමික බැවින් ඔහු කරකාරයට නොගත් එහෙත් ඔහුගේ සදා අදරැති අනියම් බිරියයි. එපමණටම ඔහු එහි කිඳා බැස ඇත්තේය.
ලංකාවේ සිටින බොහෝ දැනුමැත්තෝ පසේ බුදුවරුන් හා සමය. දන්නා දේ කියා දීමේ මනෝ රතිය හා කැපෑසිටිය අවමය. එනයින් බලන කල ජගත් ජගතාය. විෂය කරුණු මැද්දේ ආලප් කතා දමන්නට හා ටියුබ් ලයිට් බඳු ශ්‍රාවකයන් සජීවීව තබන්නට ඔහු කදිම රුසියෙකි. එබැවින් කොමිෂන් සභාවක සාමාජිකත්වය දැරීම ආර්ථික වශයෙන් ඔහුට පාඩු බවද නොලියා බැරිය.
ඔහුගේ නිහතමානී හා සුවපත් දිවියට ජීව ප්‍රාණය පිඹින ලයාදර හිතැත්තන් බොහෝමය. නැසී ගිය ඒ.එම්. ඕ. සොයිසා වර්ගයේ සුපිරි විද්වතුන්ද, රෝහණ හෙට්ටිආරච්චි වර්ගයේ සිවිල් සමාජ හිතවතුන්ද, රංග කලංසූරිය මොඩලයේ මොඩර්නයිස් කැරැක්ටර්ස් ද ඇසුරු කරන ඔහු තරුණ ජනමාධ්‍යවේදීන් හා තරුණ නීතිවේදීන් වෙත දක්වන්නේ ළබැඳි සෙනෙහසකි. එබැවින් බිඟුන් -ප්‍රබෝධ වැන්නෝ ඔවුන්ගේ පියවරුන්ගේ වයස් හා සම මේ වැඩිහිටියා ඇසුරු කරන්නේ ගැටවර විලාසයෙන් යැයි කීම අතිශෝක්තියක් නොවේ.
ලොව ප්‍රකට නටාලී ගෝල්ඩ්බර්ග් වරක් අපූරු කියුමක් කීවේය. එනම් "Writers live twice." යනුවෙනි. එලෙස ලේඛකයෝ දෙවරක් දිවිගෙවන්නේ නම් ජගත් ලියනාරච්චි මහත්මා සිව්වරක් දිවිගෙවනවා වන්නට පුළුවන. ඒ ඔහු ලියන හා කියන දෙකම කරන බැවිණි. කවරක් කලද, ජගත් යනු ඉමහත් මමායනයෙන් දඹදෙණියේ, කැලෑගෙදර, සඳසිරි නම් නිවසටම ඇලෙන්නට දඟලන සුන්දර මහත්මයෙකි. රටේ උද්ධමනය වැඩි වුවද, වෘත්තිකයන්ට කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැසුවද ජගත් නම් සඳසිරියේ ගෙමිදුලෙන් වියතක් හෝ මෑත්ව විදෙස්ගත වන්නට හිතන්නෙක් හෝ නොවේ.
ඔයා තවත් අවුරුදු 25 ක් බැබලෙන්න අයියේ !!
| මංජුල ගජනායක