අවපැහැ වෙමින් ඇති සමාජයක යහගුණ සපිරි කළුකබාකාරයා

saliya-peiris

ඊසොප් තරමට ම නැතත්, ගැඹුරු දාර්ශනික අදහස් සරල හාස්‍යෝත්පාදක කතන්දර ඔස්සේ ලොවට තිලිණ කල නස්රුදින් හෙවත් මුල්ලාහ් නස්රුදින් හූජා 13 වන ශත වර්ෂයේ වත්මන් තුර්කි දේශය නිජබිම කොට උපන් සරල මිනිසෙකි. වරෙක ඔහු පහන් කණුවක් පාමුල යමක් සොයමින් සිටිනු දුටු තවකෙක් කිමෙක් සොයන්නේ දැයි විමසන ලද්දේය. පිළිතුර වූයේ නැතිවූ යමක් සොයන බවයි. එය බිම වැටුණේ කවර තැනදැයි විමසන ලදුව දෙන ලද පිළිතුර නම් නිවස තුළය යන්නයි. මෙකී පිළිතුරෙන් විශ්මයට පත් ආගන්තුකයා ඇසුවේ එසේනම් ඔබ මේ පහන් කණුව යට කුමට කාල් ගානවා ද යන්නයි. මේ නස්රුදින් මුල්ලාහ් වෙත දුන් පිළිතුරයි. 'ගේ ඇතුළේ එළියක් නැහැ නොවැ - මම එළිය තියෙන තැනයි මේ බලන්නේ''!!

මෙකී සොඳුරු මුල්ලා අද දිවමන්ව සිටියේ නම් නිසැකව ම ශ්‍රී ලංකා නීතීඥ සංගමය අරභයා දෙනු ඇත්තේද මෙවන් ගණයේ පිළිතුරකි. නිලවරණ මුවාවෙන් සභාපති ධූරයට පැනගත් සභාපතිවරුන් බහුතරය,  නීතීඥ සනුහරය වෙත අසීමිත දයාවක් හා සෙනෙහසක් දක්වා තිබිය හැක්කේය. එහෙත් දිනෙන් දින අවකලනය වන විකාරරූපි සමාජයක පෙරමුණ ගත යුතු මේ කළුකබා වෘත්තිකයෝ තම විරුවන් සේ දුටු, වැහැරුණු දේශපාලකයන් පසුපස ගියා විනා සමාජයට හා එහි වැසි ජනී ජනයාට  කල අබැටක යමක් නැත්තේය.

'ගේ ඇතුළේ එළියක් නැහැ නොවැ - මම එළිය තියෙන තැනයි මේ බලන්නේ'

වසර 1975 වසරේදී මෙකී ජනකාන්ත සංගමයේ සභාපති ධූරයට පත් රාජ නීතීඥ ආචාර්ය හෙක්ටර් විල්ෆ්‍රඩ් . ජයවර්ධනයන්ගෙන් ඇරඹුණු සභාපති පෙරහැර දෙවසරක අභිමානවත් සේවයක් නිමකළ සාලිය පීරිස් දක්වා වසර 48 ක චාරිකාවක් යමින් සිටින්නේය. එහි උස් තැන්  ඇත්තේ අතලොස්සක් වුව, මිටි තැන්නම් එමටය. සැමට පත්තියම් වන නිදසුනකින් දක්වතොත් යූ. ආර්. ද සිල්වා සමය විමසීම යෙහෙකි. ඔහුගෙන් අප දිවාරෑ දෙක්හිම දුටුවේ දේශපාලන නූල් සූත්තර කරුවෙකුගේ කපට වේශයකි. නීතිය මතු නොව සංගමය ද සර්පිලාකාර හැඩයට නමමින් සිටින වෘත්තීය සල්පිල්කරුවන් මෙකී සංගමය වරින්වර හොබවමින් තමන්, තමන් වෙතට පහනක් වූවා විනා හුදී ජන පහන් සංවේගයට අමතන්නට දොළදුක් පහළ වූවෝ මේ සංගමයේ  දුලභ වූහ. 

එහෙත් රටම වෙලාගත් භීෂණකාරී සමයක් වූ වසර 1997 පටන් වසර 1993 තෙක් මීට පත්වූ නයුවෝ නිරායාසයෙන් බැබළුණු තම කැරිස්මටික නායකත්වය සමාජ ප්‍රගමනය සඳහා ද උපයෝගී කරගත්තේ නීතීඥ  සංගමය කෙරෙහි සමාජ ගෞරවය උපද්දන සුහුරු විලාසයෙනි. එච්. එල්. ද සිල්වා, ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු, රංජිත් අබේසුරිය වැන්නෝ එහිලා ප්‍රමුඛය.

නීති සංගමයේ ආරම්භක සමය හා වත්මන් සමාජ, දේශපාලන ඇවසියාවන් අහසට පොළොව සේය. ගෙවුම් ශේෂ හිඟ වීමෙන් අපි කිසිදා නොවැටුණු දාර වලකට වැටී ඇති මෙසමයේ නීති වෘත්තිකයාගේ සමාජ දිවිය ද ඊට සමගාමීව උඩුයටිකුරු වී ඇතිබව දෘෂ්‍යමානය. එවන් සමයක සෑම ක්ෂේත්‍රයකම පාහේ අවශ්‍යයෙන්ම පැවතිය යුතු වෘත්තීයභාවය ද ක්‍රමයෙන් ගිලිහෙමින් ඇත්තේය. සාලිය පීරිස් කියැවිය යුත්තේ මෙකී අලකලංචි අස්සේ විනා සම්ප්‍රදායික නීති සංගමයේ සභාපති ධුරන්දර බවක් ආරෝපණය කොට නොවේ.

පුරවැසියා අල්පේශාක්‍ය වන අතර පුජකයා ද, දේශපාලකයා ද, දේශකයා ද, නීතීඥයා ද   මහේශාක්‍යය ය. මෙතෙක් නම් මොවුන් කිසිවෙක් තැනූ සුරපුරක් ගැන ලංකාද්වීපයේ කිසි සලකුණක්  නැත්තේය. එවන් පසුබිමක වුව නීතීඥ සංගමය වඩාත් ප්‍රගතිශීලි මාවතක් වෙත රැගෙන යමින් සාලිය පීරිස් සලකුණු කල මඟ අති විශිෂ්ඨ  හා නිබය එකකි. එකිනෙකා කාකොටා ගන්නා වෘත්තිකයන් හා ආළපාලුවට ගොස් හේබා සිටින හම්පඩ ඝෝෂාකරුවන් පිරුණු මෙවැනි සංගමයක් වෙත නායකත්වය දීම යනු සිය  දිවිනසා ගැනුම හා සම අවදානම් ක්‍රියාවක් වන්නේය. සාලිය පීරිස් එකී අවදානම විනෝද ක්‍රීඩාවක් සේ සිතා සැහැල්ලුවෙන් කලදවස ගෙවූ අනගි මිනිසෙකි. තම කාර්යය කෙරෙහි අනෙකා ඉර්ෂ්‍යාපරවශ වනසේ හැසිරිය හැකි මේ සම්මානිත මිනිසා, ලංකා මාතාව ආදරෙන් හා කරුණාවෙන් රැකබලා ගත යුත්තේය.

සම්ප්‍රදායෙන් ඔබ්බට

මීට දශක 8 කට එහා ඉතාලියේ පිහිටි සිසිලිය නම් නගරයකට වැටුණු දෙවැනි ලෝක යුද්ධයේ සෙවනැල්ල පාදක කර ගනිමින් ගිසෙප්පේ ටෝර්නාටෝරේ ලියන ලද මනරම් කතාවක් ඔහු ම තිරයට නැගීය. ගැටවරයන්ගේ නැගී එන ප්‍රේමාග්නිය දල්වාලමින් යොවුන් හදවත් එක රැයින් පැහැර ගත් සිහින කුමරිය වූ මොනිකා බෙලුච්චි ලෝකයට රැගෙන ගිය මාහැගි සලරුව වුයේ මෙයයි. මලිනා යැයි නම් ලද මෙකී සලරුවේ රැඟූ ඇගේ භාව භාව ලීලා අභියස වසග වූ කුසල්හාමිලා අතර සිටි ප්‍රකට එකෙක් වූයේ නාකි හම්පඩ නීතීඥයෙකි. ඇගේ නාරි මාංශය සූරා ගන්නට පෙරුම් පිරූ ඔහු අවසන තම සිතැගි ඉටු කර ගත්තේය. ඒ ඇයගේ දුර්භාග්‍ය සමයේ ඇය වෙනුවෙන් පෙනී සිටි නඩුකරයේ ගාස්තුවට හිලවු වන්නටය. මලිනා හප කළ ජාගර සිතැති කබාකාරයෝ, ලොව හැමදාමත් -හැමතැනමත් සිටින්නේය. නැත්තේ තව් තිසා දෙව්ලොව පමණි. අතලොස්සක් වූ එවන් නිරුවත් වානරයන් අතර යුක්තියේ කන්‍යාවිය හා ප්‍රේම පාශයෙන් බැඳුනු නිවුණු මිනිසුන් ද  නැත්තේ නොවේ. අප කොදෙව්වේ ඉපිද, වියත් සභා මැද බැබළුණු ආර්.කේ. ඩබ්. ගුණසේකරයෝ ද එවැන්නෙකි.

තතු එසේ වුව පුරවැසි අප තුළත් සිහිණ ඇත්තේය. අපේක්‍ෂා සමුදායක් නිබඳව අප තුළ රජයන්නේය. ඒ අප බඩ හා කට වඩා ගැනුමට නොවේ. රටට සෙතක් වීම පිණිසය.  එවන් උත්සහයකදී පෙරපෙළේ අසුන්ගත යුතු කෙනෙක් සිටින්නේය. එකී  තැනැත්තා සාලිය පීරිස්ය. සාලිය පීරිස් ජරපත් දේශපාලකයන්ගේ කෙටිකාලීන කොන්ත්‍රාත්තු නිමකළ අසාධුගත කලුකෝට් කාරයෙක්  නොවීම ම පරම භාග්‍යයකි. 

හෙල්ෆිං හම්බන්තොට

සාලිය පීරිස් යනු සැබවින්ම සරල හා අව්‍යාජ මිනිසෙකි. සිවිල් සමාජය හා පුරවැසි ප්‍රජාව හා ගැටී සේවයක් සැළසීම ආනන්තරිය පාපකර්මයක් යැයි සිතන වහල් සමාජයක ඔහු කිසි දිනෙක ව්‍යාජ වෘත්තීමය බවක් ආරෝපණය කරගත් තේජාන්විත ආදිපාදවරයෙක් සේ හැසුරුණු තැනැත්තෙක් නොවේ.  කවරෙකුට හෝ නොමිලේ පිදිය හැකි සිනා වතක් හෝ නොපා කරබා සිටින පුද්ගල සමූහයක, සාලිය පීරිස් අගතැන් ගන්නේය. පුද්ගල අභිවාදනය මෙකල අතිශය භයානක ප්‍රවණතාවක් වුව සාලිය පීරිස් කෙරෙහි අල්ප හෝ විශ්වාසයක් රැඳවිය යුතුයැයි යන්න මාගේ පෞද්ගලික අදහසයි.  

අප දකින නීති වෘත්තිකයා නිරතුරු විචාරවත් භාෂණයක යෙදෙතැයි අප ගම්‍යමාන සිතිවිල්ල කීතුකිතු කොට ඉරා දමන ලද සහෝදර වෘත්තිකයන් ගහන සමයක සාලිය පීරිස් චරිතය නිසිලෙස කියවීම අනාගතවාදී ප්‍රයත්නයක් වනු ඇත. මෙරටේ අධිකරණයේ කෙදිනක හෝ විසඳිය යුතු සදොස් තැන් අට අනූවක් ඇත්තේය. ශ්‍රී ලාංකීය අධිකරණය විධායකයට යට කරන්නට තැත් දැරූ දා සිට ඊට ගොඩ ඒමක් නැති විය. සරත් නන්ද ලෙස නම් දැරූ  සිල්වා කෙනෙක් මෙරටේ අධිකරණයට මළගම කැන්දුවේය. හෙල්පින් හම්බන්තොට නාමයෙන් තම මිත්‍රත්වයේ දෑත දිගු කරමින් සුමිතුරා රැක ගත් වනචර විලාසය ඔහු පාපෝච්චාරණය කළේය. අවාසනාවට මෙරටේ නීතීඥ සංගමය මෙකී සාහසික පාපෝච්චාරණය හමුවේ එකල කම්පා නොවීය. තම ආදරබර සැමියා වෙත යුක්තිය ඉල්ලා පැමිණි රූපත් කාන්තාවකගේ පහස උදෙසා විනිස්චයාසනය මත වසුරු පැහැරූ විනිසුරුවරයෙක් සිටි රටක, පුරවැසියෝ අප වෙමු.

රුසියාවේ සාර් රජ පවුලේ සුරූපී කන්‍යාවන් සමුහයකගේ කුමරි බඹසර බිලිගත් රස්පුටින් නම් ජරපත් පුජකයාගේ සෙවනැල්ල බඳු විනිසුරෙක් නඩු ඇසුවේ අප රටේය. උත්තරීතර අධිකරණය එදා තම ගෞරවය යන්තමින් හෝ රැක ගත්තේ එකී මෙකී නොකී සේතන්ලා, සීමන්ලා සහ යූආර්ලා නිසා නොවේ. දිවි පරදුවට තබා පෙරට ලියන්නන් ටික දෙනෙකුන් නිසාය. එවන් පශ්චාත් පසුගාමී යුගයක සාලිය පිරීස්, නීතීඥ සංගමය පොදු ජනතා හිතසුව පිණිස අරුණු ආයතන පරිශ්‍රයක් බවට පත්කරන ලද බව දන්නෝ එමටය. 

නීතිය සැමට පොදුය

අවසන හරක් කටා ගැනද යමක් කිව යුත්තේය. සාලිය පීරිස් වැන්නෙක් පිරිහෙලන්නට ඇදයක් නැති තැන ඔහු හිට් විකට් වනතෙක් බලාසිටි පිසාචයන් පිරිසක් වෙත දැන් යමක් ලැබී ඇත්තේය. පළමුව ඔබට සිහිගැන්විය යුත්තේ සාලිය පීරිස් හරක් කටාගේ නඩුකරයට කරගැසීම වරදක් යැයි උත්තරීතර පාර්ලිමේන්තුවේ හඬ නැගු ගොබිලා කවරෙක්ද යන්නයි. මිනිහා තම ගමේ හා ප්‍රත්‍යන්ත ගම් නියම්ගම්හි පස්කපා, මැරයන් නළවමින් සිට සමානුපාතික නියෝජනයේ අනුහසින් කවුන්සිලේට ආ නියෝජිතයෙකි. ඔහු අඳින කලිසම ඈත්මෑත් කළහොත් ඔහුගේ දෙපා අතරින් හරක් කටාලා සනුහරයක්ම බිමට හැලෙනවා සිකුරුය. මෙකී උත්ප්‍රාසය හමුවේ සරලව දැක්විය යුතු කරුණ නම් සාලිය පීරිස් මෑත කාලීනව ගත් නිබය තීන්දුව මෙය බවයි. හරක් කටාලා මධුෂ් ගිය ලෝකයට සැනෙකින් යැවීම උද්ඝෝෂණයේ නිරත සූකිරි බටිල්ලන්ගේ එකම පැතුමයි.

සාලිය පීරිස් මතුනොව අගවිනිසුරු වුව මැදිහත්ව මෙවැනි කුඩුකාරයන් ජිවත්කොට නිවැරදිව අසන නඩුවක් මෙරටේ තිබිය යුත්තේය. ඔවුන් පරලොව යැවීමෙන් සදා සැඟව යන්නේ කුඩු මාෆියාව කරතබා ගත් ව්‍යාජ  දේශපාලකයන් සනුහරයයි.

හරක්කටාගෙන් නිවැරදි පාපෝච්චාරණයක් ගැනීමේ ප්‍රයත්නය වළකන දේශපාලකයන්  සාලිය  පීරිස්ගේ නිවස අභියස පුවරු ඇල්ලීම එනයින් බලන කල බාල ප්‍රහසනයකි.

නීතීඥයන් පිළිබඳ සරල එහෙත් මඳක් හාස්‍යය දනවන හැඳින්වීමක් ඇත්තේය. එනම් ''Only lawyers and painters can turn white to black" යනුයි. මින් කියැවෙන්නේ නීතීඥවරුන්ටත්, පින්තාරුකරුවන්ටත් පමණක් ඇති සහජ දක්ෂතාවක්ය. එහි නිශේධාර්ථය මඳකට බැහැර කොට සිතන්නේ නම්, සාලිය පීරිස් ද, එලෙස යමෙක ප්‍රතිපක්‍ෂය උද්දීපනය කළහැකි භාග්‍යවත් හැකියාවෙන් හා සුහුරුබවින් යුත් උගත් වෘත්තිකයෙකි. අඳබාලයන් පය ගසන්නට මැලි කර්කශ පොළොවේ සක්මන් කරන්නට පීරිස් සතුව ඇතිදිරිය ආදර්ශමත්ය. ප්‍රේමය හා මිනිස්කම යදින කේඩෑරි මිනිසුන්ගේ හඬට අසංවේදී මිනිසුන් අභියස සාලිය  පීරිස්, සැබවින්ම ගැලවුම්කාර ප්‍රේමණිය මිනිසෙකි!.              

ඔබ මෙතෙක් කල මෙහෙයට ස්තූතියි සාලිය පීරිස් මහත්මා !!

manjula gajanayake 1

     | මංජුල ගජනායක 

ප. ලි.: සාලිය පීරිස් නීති සංගමයට තරඟ වදින සමයේ ලියූ ලිපියක් අදාළ පරිදි සංශෝධනය කොට මෙහි පළකොට ඇත්තේය. ඊට ආසන්න හේතුව ගෙවුණු දෙවසරේද ඔහු බිඳකින් හෝ නොවෙනස් ප්‍රතිපත්තියෙන් දවසැරි වෘත්තිකයෙක් වීමයි.