“රටේ අහේනියට, සාමාන්‍ය ජනතාව පත්වෙලා ඉන්න ජීවන වියදම දරා ගැනීමේ අසීරුව, ආදායම් පහළ වැටීම, රැකියාවල අවදානම, ගමේ රැකියා හිඟවීම, විදුලිය ගාස්තු ඉන්ධන මිල ඉහළ දැමීම.....මේ ලැයිස්තුව රෝහල්වල බෙහෙත් හිඟය, ළමුන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම දක්වාම දිග ලැයිස්තුවක්. ඒ සියල්ලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබුණු පසු විසඳුම් ලැබෙනවා කියලා කියන්නේ. නමුත් දැනට කියන කතා වලින් තේරෙන එකම දේ තමයි, ණය ගෙවන්න කල් ලැබෙනවා. ඒ සමග තව ණය ගන්නත් තව ණය වෙන්නත් පුළුවන්.
ඒ පසුබිමේ අපි වෘත්තීය සමිති හැටියට විශ්වාස කරනවා, ඉදිරියේ අපේ ප්‍රශ්න වෙනුවෙන් අපට තනි ගමන් යන්න බැහැ. අප වගේ අනෙක් අයත් එක්ක හවුල් වෙලා අප හැමෝටම බලපාන ගැටළු වලට පොදු විසඳුම් දිනා ගන්න, හවුල් ගමනක් අප යා යුතුයි.
මේ යෝජනා කරන්නේ එවැනි සාමුහික ගමනකට පොදු ඉල්ලීම්. මේවා හැමෝම කියවලා සාකච්ඡා කරලා, පොදු එකඟත්වයකට එන්න ඕනේ. මේ ආරාධනාව එවැනි විවෘත සාකච්ඡා, ඔබට හැකි ආකාරයට ආරම්භ කරන්නයි.“
"එකතු වෙමු - ඉල්ලීම් දිනමු"
මේ රට තවමත් කිසිදු සමාජ ආර්ථික ගැටළුවකට විසඳුම් නැතිව එක තැන පල් වෙන රටක්. වහා විසඳුම් අවශ්‍ය ප්‍රශ්න ගණනාවක් අපට තියෙනවා. හාම්පුතුන් දැන් රැකියා නඩත්තු කිරීමට හෝ නොහැකි යැයි කියන්නේ සියලු බදු වාසි හා රාජ්‍ය වරප්‍රසාද තවමත් බුක්ති විඳින ගමන්. මේ වනවිට මධ්‍යම හා කුඩා ව්‍යාපාර 40 ට වැඩි සංඛ්‍යාවක් වසා ඇතැයි වාර්තා වෙනවා.
බඩු මිල ඉහළ යන වේගය සමග පෞද්ගලික අංශයේද රාජ්‍ය සේවාවේද අවිධිමත් ක්ෂේත්රයේද වෙනසක් නැතිව, මාසේ පඩියෙන් ජීවත්වන ලක්ෂ ගණනක් සේවක සේවිකාවන්ටත් ඔවුන්ගෙන් යැපෙන පවුලේ අයටත් දැන් දෙවේල කන්න බැරි තත්ත්වයට පත් වෙමින් ඉන්නේ.
ආර්ථික අර්බුදය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබා ගැනීමට ජනාධිපති වික්‍රමසිංහ ගිය අවුරුද්දේ මැයි මාසයේ අගමැති වශයෙන් පත්වුන දවසේ ඉඳලා සාකච්ඡ ආරම්භ කෙරුවත් දැනට මාස 10 ට ආසන්න කාලයක් තවමත් කිසිම ගිවිසුමක් අත්සන් කරලත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලැබුණු ආධාරයක්වත් නැහැ. නමුත් ඔවුන්ගේ ප්‍රකාශිත හා අප්රකාශිත කොන්දේසි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා හා කොන්දේසි මූලික වශයෙන්
- දේශීය ආදායම් වර්ධනය කර ගැනීමට යැයි බදු අය කිරීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම
- ඉන්ධන මිල හා විදුලිය ගාස්තු “වියදම් පියවා ගැනීමට හැකි අයුරු” සංශෝධනය කිරීම සහ
- රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ පෞද්ගලීකරණය කිරීම.
ආණ්ඩුව ක්‍රියාත්මක කළ බදු අය කිරීම් නිසා සියලු භාණ්ඩවල මිල කිහිප ගුණයකින් ඉහළ ගියා. පසුගිය නොවැම්බර 21 වන දින මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය සියයට 70.6 කින් ඉහළ ගිහිල්ලා. රුපියල් ලක්ෂයක සිට ඉහළට පෞද්ගලික මාසික ආදායම ලබන අයගෙන් සියයට 06 සිට ඉහළට බදු අය කිරීමේ තීන්දුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්.
ගිය අවුරුද්දේ අගෝස්තුවේදී විදුලිය ගාස්තු සියයට 70 ට වැඩි ප්රමානයකින් ඉහළ දැම්මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කෙරෙන අතරවාරයේ ඔවුන්ගේ කොන්දේසි අනුවයි. මේ 2023 ජනවාරි මාසයද ඇතුළත්කර විදුලිය ගාස්තු තව වටයක් සියයට 65 කින් පමණ ඉහළ දැමුවා. ඒවගේම දැන් දෙතුන් වාරයකට ඉන්ධන මිලත් ඉහළ දැමුවා. වැවිලිකරයේ ජනතාවට අත්‍යාවශ්‍ය භුමිතෙල් ලීටරය දැන් රු.355 යි. මේ වැඩි කිරීම් අවශ්‍ය ආයතනික වියදම් පියව ගැනීමට කිව්වට ඒවායේ වැඩිපුර තියෙන්නේ දූෂණ වංචා, නාස්තිය, අපතේ යෑම්, අකාර්යක්ෂමතා නිසා ඉහළ ගිය වියදම්. ඒවා වෙනුවෙන් අපි බිල් ගෙවන්න අවශ්‍ය නැහැ. වැඩිපුර ගෙවන්න නම්, වැඩි කළ ගාස්තු පාර ගන්න නම්, අපි දැන ගන්න ඕනේ දූෂණ වංචා, නාස්තිය, අපතේ යෑම්, අකාර්යක්ෂමතා නැතුව ලංවිම, සිපෙට්කෝ ආයතනවල ඇත්ත වියදම කොපමණද කියලා.
මේ මිල වැඩි කිරීම් එක්ක ලබන මාසායේ සිට සියලු ජනතාවගේ දෛනික වියදම් සියල්ල යළි ඉහළ යනවාමයි. ඒක ආර්ථිකයේ අනිවාර්යෙන් සිදුවන දෙයක්. ඒ නිසා මේ අවුරුද්ද රජයේ හා වැවිලිකරයද ඇතුළු පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේද නාගරික අවිධිමත් ක්ෂේත්රයේ දෛනික ආදායම්ලාභීන්ගේද, ධීවර හා කෘෂි ක්ෂේත්රයන්හි ශ්රමිකයින්ගේද ජීවිත බරපතල ආර්ථික පීඩනයකට පත් වේවී. බහුතරයකගේ ආහාර සුරක්ෂාව දැනටත් බරපතල තර්ජනයකට හසුවෙලා තියෙන්නේ.
ගිය වසරේ සියයට 10 ක් පමණ වන මන්දපෝෂණයට හසුවුනු ළමුන් සංඛ්‍යාව මේ වසරේ දෙගුණ විය හැකියි. එවැනි පවුල්වල ළමුන් මේ අවුරුද්දේ සියයට 20 ට වඩා පාසල් වලින් දොට්ට වැටෙන්නට ඉඩ තියෙනවා. (කොවිඩ්-19 සමග දිළිඳු පවුල් වල පාසල් හැර ගිය ළමුන්ගේ ප්‍රතිශතය සියයට 04.7 ක්) ආහාර අහේනියට, මන්දපෝෂණයට අමතරව ඔවුන්ට පාසල් යාමට බස් ගාස්තු සොයා ගැනීමත් දැනටම අතිශය අමාරු කාරණාවක්.
මේ ටිකත් අමතක නොකළ යුතුයි. මේ 2023 අවුරුද්දේ ඇතිවිය හැකි විරෝධතා මැඩලීමේ මර්දනකාරී යාන්ත්‍රණයක් ආණ්ඩුව තහවුරු කර ගන්න බව පෙනෙන්න තියෙනවා. ඒ වෙනුවෙන් නෛතික පදනමක් හදා ගැනීමේ නීති සංශෝධනද ආණ්ඩුව ඉදිරිපත් කරන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා මේ සමාජයේ ලොකු ඉල්ලුමක් ඇත්තෙත් නැහැ.
මේ සේරම ප්‍රශ්න එක ගොඩකට එකතු කෙරුවම අපට ඉතිරිවන උත්තරය මොකද්ද?
ජීවන අරගලයට හා මර්දනකාරී පියවර වලට මුහුණ දෙන්නට සිදුවන සියලු ජන කොටස් ඒකාරාශී කළ හැකි පොදු ඉල්ලීම් ඉදිරිපත් කරලා පුළුල් ව්‍යාපාරයකට මුල පුරන එක විතරයි. එවැනි ඉල්ලීම් 06 ක් අපි වෘත්තීය සමිති එකමුතුවක් ලෙස ගොනු කෙරුවා. පහතින් ඇති ඒ ඉල්ලීම් ඔබ හැමෝම වහා ඔබලගේ වැඩපළේ, කම්හලේ, කාර්යාලයේ, සංවිධානයේ, අසල්වැසි හිතවතුන් සමග සාකච්ඡාවකට ගත යුතුයි කියලා අපි යෝජනා කරනවා.
01. වැඩි කළ විදුලිය ගාස්තු සහ ඉන්ධන මිල වහා අත්හිටු වීමට බල කිරීම
ලංකා විදුලි බල මණ්ඩලයේ සහ සිපෙට්කො ආයතනයේ දූෂණ වංචා, නාස්තිය, අපතේ යෑම්, අකාර්යක්ෂමතා නිසා කෙරෙන සියලු ගාස්තු හා මිල වැඩි කිරීම් අත්හිටුවා පසුගිය අවුරුද්දේ ඒවායේ සම්පූර්ණ වියදම ප්‍රසිද්ධ කරන්නත් ඉන් පසුව ඒවායේ දියුණුවට වෘත්තීය සමිති හා එකඟත්වයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළසුම් ප්‍රසිද්ධියට පත්කර, පාරිභෝගිකයින්ගේ එකඟත්වයද ඇතිව ක්‍රියාවට නැගීමත් සමග අපි විදුලිය ගාස්තු හා ඉන්ධන මිල තීන්දු කරමු
02. දේශීය බදු සාධාරණ ලෙස සංශෝධනය කිරීමට හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමට බල කිරීම
වක්‍ර බදු වැඩි කිරීම මගින් ආහාර ඇතුළු පොදු උද්ධමනය යටතේ මාසික ආදායම රු. 70,000/= ට අඩු සියලු පවුල් සඳහා සහන මිලකට රු. 10,000/= ක අත්‍යාවශ්‍ය භාණ්ඩ මල්ලක් දෙසතියකට වරක් නොමිලේ ලබා දීම සමග එම පවුල්වල පාසල් දරුවන්ට 2023 නව පාසල් වසර ආරම්භය වෙනුවෙන් අවශ්‍ය පොත් පත්, පාවහන් හා පොත් බෑගයත් දෛනික දිවා ආහාරයත් ලංගම හා පෞද්ගලික බස් ගමන් සඳහා නොමිලේ පාසල් වාර ප්‍රවේශ පත්‍රත් ඉල්ලා සිටීම
අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ දැමුණු වක්‍ර බදු වන වැට් (VAT) බද්ද, සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්ද සහ භාණ්ඩ 600 ක් සඳහා වැඩි කළ “සෙස් අය කිරීම්” අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලෙන් වහා ඉවත් කළ යුතුයි. ඉන් ලැබූ බදු ආදායම පියවා ගැනීමට (මහ බැංකු අධිපතිට අනුව) 2021 වසර තෙක් සියයට 35 ක සහ මෙම 2022 වසරේ ගණන් බැලුනු සියයට 77 ක ඩොලර් ආදායම රටට අහිමි කළ අපනයන නිෂ්පාදන ව්‍යාපාරිකයින් බුක්ති විඳින සියලු බදු සහන වහා අත්හිටු වීමත් වංචා කරනු ලැබූ ඒ මුදල් වහා දඩ මුදල් සමගින් අයකර ගැනීමටත් දේශීය ආදායම් බදු නොගෙවා මග හරින ව්‍යාපාරිකයින් 70,000 ට අධික යැයි සඳහන් වන ව්‍යාපාරිකයින්ගේ විස්තර වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඔවුන්ට විරුද්ධව නඩු පවරා උපරිම දඩයක් සමග සියලු හිඟ බදු අය කර ගැනීමටත් ආණ්ඩුවට බල කිරීම
මේවන විටත් විවිධ අවශ්‍යතාවයන් සඳහා ණය ගන්නා අවස්ථාවේ තිබූ බැංකු පොලිය මත ණය ලබා ගත් ණයකරුවන්ගේ ණය වත්මනෙහි බැංකු පොලී පදනම් කර ගනිමින් පොලී අයකර ගැනීම නිසා රාජ්‍ය අංශයේ සේවකයින් ඇතු`ඵ පොදු ජනතාව මුහුණ පා ඇති අසාධාරණ පොලි අයකර ගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට බල කිරිම
03. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සේවක නියෝජන සමග කිරීමට බල කිරීම
ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරනු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු අනෙක් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක මුවාවෙන් රාජ්‍ය දේපල විකිණීම වහා නතර කළ යුතු අතර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ සියලු සැළසුම් වෘත්තීය සමිතිවල එකඟත්වයට යටත්ව පාර්ලිමේන්තුවට සවිස්තරව ඉදිරිපත් කිරීම
04. කම්කරු නීති සංශෝධනය වහා අත් හිටුවන්නට බල කිරීම
ආයෝජකයින් ආකර්ශනය කිරීමට යැයි හේතු පෙන්වමින් මේ වන විටත් කම්කරු කාන්තාවන් සේවයේ යෙදවීම පිළිබඳව තිබූ ආරක්ෂණ නීති සංශෝධනය කර ඇතත් මෙරටට ආයෝජකයින් ආකර්ශණය නොවන්නේ මෙරට පවතින අස්ථාවර දේශපාලන තත්ත්වය සහ ආයෝජකයින්ගෙන් පවා කොමිස් ඉල්ලන රටේ පවතින දූෂණය නිසා බව ඔප්පුවී ඇත. ආයෝජකයින් ආකර්ශණය කිරීමේ මුවාවෙන් ජාවාරම්කාරයින්ට සිතැඟි පරිදි සේවකයින් සේවයට බඳවා ගැනීමට සහ ඉවත් කිරීමට මෙන්ම මෙතෙක් භුක්ති විඳි පැය 8 වැඩ දිනය අහෝසි කරමින් අතිකාල ගෙවීමකින් තොරව අමතර පැය ගණනක් වැඩ ගැනීමට ඒකීය කම්කරු නීතිය නමින් ගෙන ඒමට බලාපොරොත්තු වන කම්කරු නීති සංශෝධන සියල්ල ඉවත්කර ගත යුතුය.
05. ප්රජාතන්ත්රවාදී සමාජ අවකාශය සුරැකීම
සාමකාමී අයුරින් සහ දෛනික සමාජ කටයුතු සඳහා අවහිරයක් නොවන අයුරින් අදහස් හා විරෝධය ප්‍රකාශ කිරීමේ ජනතා අයිතිය සීමා කෙරෙන සියලු නියෝග සහ මෙතෙක් ගනු ලැබූ මර්දනකාරී පියවර ඉවත්කර ගන්නා ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුව සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස මීට පෙර පැවති ආකාරයට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර වහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටත් අතිශය කුරිරු නීතියක් ලෙස පිළිගනු ලබන සහ එය වහා අහෝසි කළ යුතු යැයි වන සමාජ ඉල්ලීම පිළිගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසිකර ඒ යටතේ මෙතෙක් රඳවා ගෙන ඇති සියලු රැඳවියන් නිදහස් කිරීමට බල කිරීම
07. නව ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම
ඊළඟ මැතිවරණයට පෙර, සියලු මැතිවරණ අපේක්ෂකයින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුලේ වත්කම් හා බැරකම් ප්‍රකාශ තම නාමයෝජනා සමග ඉදිරිපත් කිරීමත් ඒවා සතියක් ඇතුළත මැතිවරණ කොමිසම මගින් ප්‍රසිද්ධ කිරීමත් තේරී පත්වන මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම මගින් නොපමාව වාර්ෂිකව ප්‍රසිද්ධ කිරීමත් අනිවාර්ය කෙරෙන ලෙස අදාල පනත් වහා සංශෝධනය කිරීම
ඉහත ඉල්ලීම් වෙනුවෙන් ආණ්ඩුවට බල කෙරෙන වෘත්තීය සමිති පුරෝගාමීත්වය ගන්නා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සඳහා සමාජ කතිකාවක් ආරම්භ කරමු. අපේ ඉල්ලීම් සමාජගත කරමු. ඉල්ලීම් දිනා ගනිමු.
■ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
■ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
■ ලංකා බැංකු සේවක සංගමය
■ අන්තර් සමාගම් සේවක සංගමය
■ ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය
■ ලංකා වෘත්තීය සමිති සම්මේලනය
■ ලංකා ජාතික වතු කම්කරු සංගමය
■ ලංකා වතු සේවා සංගමය
■ එක්සත් කම්කරු සම්මේලනය
■ ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය
■ ශ්‍රී ලංකා ටෙලිකොම් සියළු සේවකයින්ගේ සංගමය
■ ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය
■ රක්ෂණ පොදු සේවක සංගමය
■ ලංකා ගුරු සංගමය
■ කම්කරු අරගල මධ්‍යස්ථානය
■ ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
■ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
(පෞද්ගලික, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ක්ෂ්ත්රවල වෘත්තීය සමිති එකමුතුව විසින් සකස් කළ පත්‍රිකාවකි)