වෙළෙඳ කළාපයේ “වුමන් පවර්” හූරන් කරන “මෑන් පවර්” ලා කලාපයේ ජීවිත කොල්ලකෑම

වෙළෙඳ කළාපයේ “වුමන් පවර්” හූරන් කරන “මෑන් පවර්” ලා කලාපයේ ජීවිත කොල්ලකෑම

රටේ අපනයන ආදායම ගැන කතා කරන විට මේ වනවිට අපට මදකුදු හෝ ආඩම්බර වන්නට ඉතිරිව ඇති ප්‍රධාන ආදායම් මාර්ග තුනෙන් එකක් වන්නේ වෙළෙඳ කලාපයි. එහෙත් බොහෝ දෙනෙක් තුළ මේ වන විට ඒ ගැන ඇත්තේ එතරම් යහපත් හැඟීමක් නොවේ. වත්මන වන විට “කලාපය” යනු කාන්තාවන්ගේ දුක, කඳුල ගැන කියැවෙන සංකේතයක් බවට පත්ව හමාරය. “කලාපේ කෙල්ලන්”, “කලාපේ ගැහැණුන්” ලෙස නාමකරණය වූ ඔවුන් අත්විඳින පීඩනය පාලක පැලන්තිය සූක්ෂමව යටපත් කරනු ලැබ තිබේ. අවාසනාවකට තවත් විටෙක ඔවුන්ටම (කලාපේ යුවතියන්ටම) ස්වයං වාරණ පනවා ගනිමින් එය යටපත් කර ගැනීමට සිදුව තිබේ. මේ ඒ හෙළි නොවන කතා ගොන්නක සංක්ෂිප්තයයි.

කර්මාන්තපුර සංකල්පය අපේ රටේ ක්‍රියාත්මක වන්නට පටන් ගෙන දශක හතරකට ආසන්න කාලයක් ගත වුවද, රටේ ආර්ථිකයේ වැඩි බරක් ඔසවා ගෙන යන පිරිසක් ලෙස තවමත් ඔවුන්ට හිමි වෘත්තීය ගරුත්වය හිමි නොවේ. බොහෝ දුර බැහැර ආර්ථික දුෂ්කරතා ඇති, රැකියා අවස්ථා නොමැති ප්‍රදේශවලින් වෙළෙඳ කලාප වෙතට සංක්‍රමණය වී රැකියවේ නියැළෙන කාන්තාවන් කලාපයේ බොහෝය.

ඔවුහු නාගරික සමාජයේ අතිශය සංකීර්ණ කාරණා කෙරෙහි සංවේදී නැත. එහෙයින්ම, බොහෝ “කොළඹ මහත්වරුනට, අයියලාට” අනුව ඔවුන් ලිංගික ශ්‍රමිකයන්ය. මේ මහත්වරුන්ගේ සිතුවිලි හා ගැළපෙන පරිද්දෙන්ම කලාපය ආශ්‍රිත උප සංස්කෘතිය ද ගොඩනැඟී තිබේ. දවසෙන් භාගයක් කාර්මාන්ත ශාලාවකත් ඉතිරි භාගය කුඩා කාමරයකත් දිය කර හරින ඇතැමුන්ගේ ජීවිත කතා කිසිදු ප්‍රාණියකුට අසා සිටිය හැකි නොවේ. අහඹු ලෙස කතා බස් කළ දුකම වැළඳූ කලාපේ කාන්තාවන් කිහිප දෙනකුගෙන් ලබා ගත් තොරතුරු මෙසේ සටහන් කොට තබන්නේ බියගම වෙළෙඳ කලාපයේ සෑබෑව හෙළිදරව් වනු පිණිස ය.

  • ප්‍රභාගේ ඉරණම

තවමත් අවුරුදු විස්සක් නොපිරුණු ආර්. ප්‍රභාශ්වරී එක් දරු මවකි. බදුල්ලේ සිට බියගම වෙළෙඳ කලාපයේ රැකියාවකට එද්දී ඇයට යන්තම් සොළොස් විය සම්පූර්ණ වූවා පමණි. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ඇය බියගම වෙළෙඳ කලාපයේ රැකියාවකට එන්නේ ඥාති සොයුරියක් සමගය. පැමිණ වැඩි කලක් නොගොස්ම පෙම්වතියක් වන ඇය පෙම්වතා හා වෙනත් නවාතැනක් වෙත ගොස් ඇත්තේ ඥාති සොයුරිය සහ ප්‍රභාගේ පවුල ද අතහැර ය. නමුත් විවාහ වීමට නොහැකි වී ඇත්තේ ඇයට නිසි වයස සම්පූර්ණ වී නොමැති නිසා ය. ඇය ගර්භණී වන්නේත් ඇගේ රැකියාව අහිමි වන්නේත් එකවරය. පෙම්වතා මත විශ්වාසය තබා සැනසුන ද ඈ සිතූ තරම් පෙම්වතා ඇයට කාරුණික වූයේ නැත.

රැකියාවේ කටයුතු සඳහා යැයි පවසා සතියකට දින දෙක තුනක් පිටත ගත කරන ඔහු, පසුව නවාතැනට පැමිණ තිබෙන්නේ මාසයකට වතාවක් හෝ දෙවතාවක් පමණි. ඇය දරුවා ලැබෙන්නට රෝහල්ගත වී ඇත්තේ ද තනිවම ය. එය අවුරුදු 18ක් වත් නොවුණු දැරියකට දරාගත හැකි බරක් නොවේ.

අතදරුවෙක් සමග රැකියාවක් නොමැතිව තනිවූ ඇයට නවාතැන් හිමියා නොමිලේ නවාතැන් පහසුකම් ලබා දෙන්නේ ය. ඒ ද මිනිසත්කම පරයා නරුම බව ඉස්මතු වූ මොහොතකි. නවාතැනේ කුළිය මේ නරුම මිනිසා හිලවු කරගන්නේ අවශ්‍ය විටෙක ඇගේ සිරුරේ පහස ලබා දෙන බවට ඇයව පොරොන්දු කරවාගෙනය. ඊට අමතරව එම නවාතැන්පළ සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු ද ඇයට පැවරුණේ නවාතැන් හිමියාගේ ගැලවිල්ලටය. ප්‍රභා එයට අකමැත්තෙන් වුවද එකඟ වන්නේ මව් කිරිවලින් පමණක් පෝෂණය වන කිරි දරුවා තනිකර වෙනත් රැකියාවකට යා නොහැකි නිසාය. “මාස ගාණකින් දරුවගේ තාත්තා ආවෙ නෑ. හොයාගෙන යන්නවත් ඉන්න තැනක් දන්නේ නෑ. දැනගත්තත් එහෙම යන්නත් මගේ අතේ සල්ලිත් නෑ. ඉන්න තැනටත්, කෑම බීම ගෙනත් දෙනවටත් මම මේ කාමරේ අයිති මනුස්සයා සතුටු කරන්න ඕන. ඉන්න, කන්න, බොන්න දෙන නිසා හරි කියලා ඒකට කැමති වුණත් මෑතක ඉඳන් ඒ පුද්ගලයා තවත් පුද්ගලයන් මගේ කාමරයට එවන්න පුරුදු වෙලා. මගේ අතට සල්ලි නොලැබුණත් කාමරේ අයිති මනුස්සයාට ඒ අයගෙන් මුදල් ලැබෙනවා. මගේ අතට එහෙම හරි සල්ලි ලැබුණා නම් මම මෙතනින් යන්න තිබුණා. කාත් කවුරුත් නැතුව, අතේ කීයක්වත් නැතුව දරුවත් අරන් පාරට බහින්න මට බයයි. මොනවා නැතත් දරුවට කෑම බීම ටික හරි දැන් ලැබෙනවනේ.” ඇය හිත සනසා ගන්නේ එලෙස ය.

කලාපයට මෙවැනි කතා අලුත් නොවේ. එවකට දැරියකව හුන් ඇගේ ළතෙත් හදවත දරුවා ඇති දැඩි කිරීමට තීරණය කළ ද බොහෝ මව්වරු පියවරුන් නැති දරුවන් අතහැර දමති. ඒ ඇතැම් දරුවන් උපදින්නටත් පෙරාතුව ය. වැසිකිළි තුළ, කාණුවල සිටින අලුත උපන් බිළිඳුන් කලාපයට සාමාන්‍ය සිදුවීම් වී හමාර ය. ඒ අතින් බැලූ කළ ප්‍රභාෂ්වරීගේ බිළිඳිය තරමක් වාසනාවන්ත ය. මන්ද ඇයට ඇගේ මව සමග ජීවත් වීමට හෝ ඉඩ ලැබී ඇත. නමුත් ඇය උස් මහත් වන්නේ දැරියකට ජීවත් වීමට තරම් සුදුසු පරිසරයක නොවේ. බරපතළම කාරණය වන්නේ ප්‍රභා වැනිම තනි වූ තරුණියන් පියවි සිහියෙන් ජීවිතයට මුහුණ දී ගත නොහී මත්ද්‍රව්‍ය වෙත ආකර්ශනය වීම සුලබ වීමය. ඔවුන් මෙන්ම ඔවුන්ගේ දරුවෝ ද මත්ද්‍රව්‍ය භාවිතයට හා ඒවා බෙදාහැරීමේ කටයුතු සඳහා’ යොමුව සිටිති. අවාසනාවකට මෙන් මේ සියලුම දෙනා සමස්ත “කුඩු කාරයන්ගේ කැටගරියට” දමා, කලාපයේ උප සංස්කෘතිය තුළ සිදුවන බොහෝ අකටයුතුකම් අමතක කර දැමීමය.

  • සින්දු තරමට මිහිරි නැති සින්දුගේ ජීවිතය

එස්. සින්දු වෙළෙඳ කලාපයට එන්නේ සීතල බණ්ඩාරවෙල සිට ය. ඇය විසි දෙහැවිරිදි ය. වසර කිහිපයක සිට බියගම වෙළෙඳ කලාපය ආශ්‍රිතව රැකියාව කරන ඇයට, ඇගේ රැකියාව අහිමිව ඇත්තේ කොවිඩ් 19 වසංගත සමයේදී ය. මේ සින්දුගේ හඬයි.

“මම කොළඹට ආවෙ 2018 දී. ඒ වෙද්දී අවුරුදු 18ක් නෑ. යාලුවෙක්ගෙ හැඳුනුම්පතක් දීලා ෆැක්ටරි එකක වැඩට ගියා. ඒ කාලෙ මේ තරම් වියදම් සැර නෑ. කාලා, බීලා, බෝඩිං ගාස්තු ගෙවලා, තව පොඩි ගාණක් ඉතුරුත් කරගන්න පුළුවන්. එහෙම ඉතුරු කරගත්තේ කසාද බඳින දවසක රත්තරං බඩු ටිකක් හදාගන්න හිතාගෙන. ඒත් අවුරුදු දෙකක් වගේ තමයි කරදරයක් නැතුව වැඩ කරන්න පුළුවන් වුණේ. මගේ අක්කට පිළිකාවක් හැදිලා මහරගම පිළිකා රෝහලේ නතර කළා. ගෙදර අනිත් අයට යන්න එන්න අමාරු නිසා මම තමයි එයාව බැලුවේ. ඒ දවස්වලම කොරෝනා ආවා. අපේ ෆැක්ටි්‍රයේ කිහිප දෙනෙක්ට කොරෝනා කියලා දැනගත්ත දවසෙ බෝඩිමට එද්දී මගේ කාමරේ තිබුණ බඩු ඔක්කොම උර වලට දාලා ගේට්ටුව ළඟ තියලා තිබුණා. යන්න එන්න තැනක් නැතුව ඉද්දි අන්තිමේ එදා යාලුවෙක්ගෙ නවාතැනකට එක්ක ගියා. ඊට දවස් දෙක තුනකට පස්සේ අපි හැමෝම නිරෝධායනය කරන්න යැව්වා. ආපහු එද්දී යාලුවාගෙ නවාතැනත් නැති වෙලා. ඉන් පස්සේ ඉන්න තැනක් නැති නිසා අපි ගමේ ගියා. ගමට ගිහින් කොරෝනා අඩු වෙනකල් ටික කාලයක් ඉඳලා ආපහු එද්දී රස්සාවත් නැතිවෙලා. රස්සාව නැතිවුණා කියලා ආපහු ගමට ගිහින් දෙමාපියන්ට බරක් වෙන්න බැහැ. එහේ ගිහින් මට කරන්න රස්සාවකුත් නැහැ. ගමේ තියෙන රස්සා වලටත් එහෙමට කියලා පඩියක් ගෙවන්නේ නෑ.

  • විමෙන් පවර් සූරා කන මෑන්පවර්

වැඩපළවල්වලට ගිහින් ඇහුවම රස්සා නෑ කිව්වට හැමදාම උදේට මෑන්පවර් වලින් දෙතුන් සීයක් වැඩට ගන්නවා. ඒ අයට ගෙවන්නේ ඇතුළෙ අයට ගෙවනවට වඩා අඩු ගාණක්. ස්ථිර හෝ කොන්ත්‍රාත් පදනමට වැඩ කරන සේවකයෙක්ට ලැබෙන කිසිම දෙයක් මෑන්පවර් හරහා යන සේවකයන්ට ලැබෙන්නේ නැහැ. දෛනික වැටුප් ගෙවලා ගන්න අය නිසා ඒ දවස ඇතුළත මරව මරවා වැඩ ගන්නවා. රස්සාවක් නැති කමට මොන දුක විඳගෙන වුණත් වැඩට යනවා. දුකයි කියලා නතර වුණොත් ඒ හම්බෙන සොච්චමවත් ලැබෙන්නේ නැහැනෙ.” ඇය කියන ආකාරයට දිනපතාම මෑන්පවර් ආයතනයකට ගොස් රැකියාවක් සොයාගත යුතුය. උදෑසන හතරට පහට පමණ ගොස් එම ආයතනයක එදින රැකියාවකට ලියාපදිංචි විය යුතුය. මෑන්පවර් ආයතනයට කර්මාන්ත ශාලාවලින් එදිනට ලැබී ඇති ඇබෑර්තු සම්පූර්ණ වී ඇත්නම් ඔවුන්ට වෙනත් මෑන්පවර් ආයතනයකට යෑමට සිදු වෙයි. “ඊයේ උදේත් අපි වැඩක් බලන්න ගියා. මාත් එක්ක ගිය අනිත් අයගේ නම් ටික අරන් ඉවර වෙද්දී එදා දවසට ඕන සේවක සංඛ්‍යාව සම්පූර්ණ වෙලා. ඉතින් මම වැඩ නැතුව ආපහු බෝඩිං කාමරේට ආවා.”

ඇතැම් මෑන්පවර් ආයතන රැකියා සොයා එන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් බලාපොරොත්තු වන බව ද ඇය කියන්නී ය. එසේ එකඟ වන සේවිකාවන්ට රැකියා සොයා දෙන ආයතනවලින් රැකියා ලබාදෙන බවත් උදෑසන සිට පෝළිම්වල නොසිට රැකියා ලබා ගත හැකි බවත් ඇය පවසන්නී ය.

  • අඩුවක් නැති කාමාතුර ඇලුම් බැලුම්

සින්දුට ඇති අනෙක් ගැටලුව නම් උදෑසන පිරිසක් සමග මිස තනිවම රැකියාවක් සොයා යෑමට නොහැකි වීමයි. කාන්තාවන් බහුල ප්‍රදේශයක් බැවින් ප්‍රදර්ශනකාමී මානසිකත්වයෙන් පෙළෙන පුද්ගලයන් වැඩි වශයෙන් ගැවසෙන බවත් සෑම දිනකම අවම වශයෙන් එවැනි පුද්ගලයන් හතර දෙනකුවත් දක්නට ලැබෙන බවත් ඇය පැවසුවේ අපුලෙනි. ඔවුන්ගෙන් හානියක් නොවුණ ද අඳුරේ තනිවම පාරේ ගමන් කිරීම අනතුරුවලට අත වැනීමක් ලෙස ඇය සිතයි. ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන කාන්තාවන් සොයා එන පිටස්තර පුද්ගලයන් ගැවසෙන නිසා තනිව ගමන් කිරීමේ දී ඔවුන්ගේ බලපෑම්වලට හසුවන්නට තිබෙන ඉඩකඩ වැඩි බව ඇය පෙන්වා දෙන්නීය.

“අපි හතර දෙනෙක් තමයි හැමදාම වැඩක් හොයාගෙන යන්නේ. අපේ එක්කෙනෙක්ට හදිස්සියේ ගෙදර යන්න වුණා. තව එක්කෙනෙක් අසනීප වෙලා. අනිත් කෙනා එයාගේ අක්කා. එයා නංගිට බෙහෙත් ගේන්න යන්න නැවතුණා. මට උදේ පාන්දර තනියම යන්න බැරි නිසා නතර වුණා.”

මග තොටේ අනාරක්ෂිත බව නිසාම ඇය එදින රැකියාවට ගොස් නැත.

තව ද, අවම පහසුකම් ඇති කුඩා කාමරයක ජීවත් වන මොවුන්ට ඇඳි වත රැකගන්නට පවා වෙනම වෙහෙසක් ගැනීමට සිදුව ඇත්තේ කාන්තා යට ඇඳුමෙන් සැනහෙන්නන්ගෙන් ද අඩු නැති නිසාය. ලැබෙන සොච්චම් මුදලට දිනපතා කාගේ හෝ මනදොළ සැපිරීමට ඇඳුම් පැළඳුම් මිලට ගැනීම ඔවුන්ට කළ හැක්කක් නොවේ. ඒ නිසාම පොතේ සඳහන් ආකාරයට හෝ වෛiවරුන් පවසන ආකාරයට හෝ යට ඇඳුම් හොඳින් සෝදා තද අව්වේ වියලා ගැනීමක් සිදු කරන්නේ නැත. සෞඛ්‍ය ගැටලු ඇති වන බව දැන සිටිය ද වෙනත් විසඳුමක් නැති හෙයින් කාමර තුළම යට ඇඳුම් වේලා ගන්නේ කාන්තා යට ඇඳුම් සොරා ගන්නා වෙනම පිරිසක් කාන්තා නේවාසිකාගාර අවට කරක් ගසන නිසා බව “සින්දු” කියන්නී ය.

ඉහත කතා ද්විත්වයෙන්ම පැවසෙන්නේ ඔවුන් පිළිබඳ කතාව පමණක් නොවේ. වෙළෙඳ කලාපයේ බොහෝමයක් කාන්තාවන්ගේ කතාවයි. කිසිම රැවටීමකට, අකරතැබ්බයකට, අඩත්තේට්ටමකට මුහුණ නොපෑ කෙනෙක් කලාපයෙන් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ සෙවීමටත් වඩා අමාරු කාර්යයකි. මෙවැනි සිදුවීම් වලට හේතු වී ඇත්තේ වෙළෙඳ කලාපයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයක් නොමැති වීම බව වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මහතා පවසයි.

  • කලාපයේ සේවකයන් අනාරක්ෂිතයි

“වර්තමාන ආර්ථික අර්බුදයෙන් බරපතළ ලෙස වෙළෙඳ කලාපයේ බොහෝ දෙනෙක් ප්‍රයෝජන ලබා ගන්නවා. ආර්ථික අර්බුදයෙන් අපනයන ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට සෘජු බලපෑමක් එල්ල වුණා. කොවිඩ් කාලයේ අනුගමනය කළ ක්‍රියාපිළිවෙළ තවමත් ක්‍රියාත්මක කරමින් සේවක කප්පාදුව දිගින් දිගටම සිදු කරනවා. බොහෝ කර්මාන්ත ශාලා හිමිකරුවන් කරන්නේ කොවිඩ් සමයේදී වගේ කාණ්ඩ වශයෙන් සේවයට කැඳවනවා. එසේ කැඳවන විට පැමිණීමේ දීමනා, උනන්දු දීමනා, දිරි දීමනා සහ අතිකාල දීමනා ලබා දෙන්නේ නැහැ. මූලික වැටුප පමණයි ලබා දෙන්නේ. මූලික වැටුපෙන් පවුලක් නඩත්තු කරන්න බැහැ. ඒ නිසා සේවකයන් වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වෙනවා. ඉන්පසු ඔවුන් සේවයට කැඳවූවත් සේවයට පැමිණෙන්නේ නැහැ. කැඳවූ විට සේවයට වාර්තා නොකරන විට සේවකයා සේවය හැර ගියා සේ සැලකෙනවා. සේවකයන් අස් නොකර සේවය අතහැර යන තැනට කටයුතු සලසනවා. ස්ව කැමැත්තෙන් සේවය හැර යන පුද්ගලයන්ට වන්දි මුදලක් ලබා දිය යුතු නෑ.”

ඔහු පවසන ආකාරයට හාම්පුතුන් විසින් සිදු කරන සේවක කප්පාදුව අතිශය සූක්ෂම ය. සේවක කප්පාදුවට සාපේක්ෂව නිෂ්පාදනය අඩු විය යුතු වුවද එහි ද අඩුවක් නැත. සුළු සේවක සංඛ්‍යාවකින් භාගෙට මරවා හෝ වැඩි වැඩ කොටසක් ලබා ගන්නා වැඩ පරීක්ෂකවරු ද කලාපයේ අඩුවක් නැති ය. රැකියා වෙළෙඳපොළේ ඇති තරගයත්, ආර්ථික දුෂ්කරතාත් හේතුවෙන් සේවකයන්ට ඊට එරෙහි වන්නට ද නොහැකි ය.

  • වන්දි මුදලක්වත් නෑ

“නිදහස් වෙළෙඳ කලාපයේ බොහෝ දෙනකුගේ රැකියාවල සුරක්ෂිත භාවයක් නැහැ. කර්මාන්ත ශාලාවල හෙට දවස ගැන කිසිම විශ්වාසයක් නෑ. අද තියෙන එක හෙට වහලා. කලාපයේ කුඩා පරිමාණ හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ශාලා බොහොමයක් වැසී ගිහින්. මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලාත් කිහිපයක් වහලා දාලා වෙනත් රටවල්වලට ගෙනිහින්. ඒවා වහලා දාන කල් පාලකයෝ මුණිවත රැක්කා. ආයෝජන කලාපයක් කිව්වට ඇත්තටම වෙනත් රටවල්වලින් ආව ආයෝජකයෝ දැන් නැහැ. දේශපාලන හිතවතුන් හෝ මුදලාලිලා ආයතන පවත්වාගෙන යන්නේ. යහපත් ව්‍යාපාරික මහත්වරුන් කලාපයේ නැහැ. මේ අය මේ ආයතන පවත්වාගෙන යන්න බැරි වුණාම වන්දි මුදලක්වත් නොදී කර්මාන්ත ශාලා වහලා දානවා. එවිට එකවරම විශාල පිරිසකගේ රැකියා අහිමි වෙනවා. කර්මාන්ත ශාලාවක් වසා දැමීමේ දී හෝ සේවකයන් ඉවත් කිරීමේ දී හෝ කර්මාන්ත හිමියෝ නිශ්චිත පටිපාටියක් අනුගමනය කරන්නේ නැහැ. ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් හිටිය සේවක පිරිස දැන් ලක්ෂ තුනහමාරක් දක්වා අඩු වෙලා. පසුගිය වසර දෙක තුන ඇතුළත බියගම වෙළෙඳ කලාපයේ පමණක් රැකියා අහිමි වූ පිරිස එක් ලක්ෂ පනස්දහසකට අධිකයි. කම්කරු අයිතිවාසිකම් ගැන සොයා බැලිය යුතු වගකිවයුතු අය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරනවා. ඔවුන් සේවකයන්ට සිදු වන අසාධාරණය ගැන තැකීමක් කරන්නේ නැහැ.”

ලංකාවේ කිසිවක් සිදු විය යුතු ආකාරයට සිදු වන්නේම නැත. සිදු වන්නේ නම් ඒ ද නොපිටට ය. කම්කරුවන් විෂයෙහි ද එය එලෙසම බව ඇන්ටන් මාක්ස් මහතාගේ පැහැදිලි කිරීමෙන් තහවුරු වේ.

සේවකයන්ගේ ගැටලුව මෙතරම් ප්‍රශ්නකාරී වීමට බලපාන මෑන්පවර් ආයතන සම්බන්ධව ද ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය. කලාපයේ කර්මාන්ත ශාලාවල පුරප්පාඩු නැති බව කීව ද එය සම්පූර්ණයෙන්ම සත්‍යයක් නොවන බව ද පැහැදිලි කළේ ය.

“සමහර කර්මාන්ත ශාලාවලට උදේට තමයි වැඩ කරන්න කට්ටිය හොයාගන්නෙ. මාසෙ දවස් විස්සක් වැඩ කළොත් කර්මාන්ත ශාලා විස්සක වැඩ කරලා. මේක එක්තරා විදියට වහල් සේවයක්. උදේම පෝලිම් ගැහිලා ඉන්න ගෑනු මිනිස්සු ටිකක් පටවාගෙන ගිහින් කර්මාන්ත ශාලාවක දොරටුව ගාව හලලා හවසට ගිහින් අරන් එනවා. ඒ සේවකයන්ට පැමිණීමේ දීමනා, දිරි දීමනා අතිකාල දීමනා, අර්ථසාධක හා වෙනත් ප්‍රතිලාභ හිමිවන්නේ නැහැ. දවසක් වැඩ තිබුණොත් ඊළඟ දවසෙ වැඩ නෑ. මෑන්පවර් ආයතන හරහා සුළු දෛනික වැටුපකට සේවකයන් සොයා ගත හැකි නිසා කර්මාන්ත ශාලාවලින් නොබියව සේවක කප්පාදුව සිදු කරනවා. කලාපයේ රැකියා මෙතරම් අවිනිශ්චිත වෙන්නට මෑන්පවර් ආයතන විශාල හේතුවක් වුණා. රැකියවේ අස්ථාවරත්වය නිසාම වෙනත් ඉපයීම්, නීති විරෝධී, සමාජ විරෝධී ක්‍රියාවන්වලට මොවුන් යොමු වෙලා.

බොහෝ දුර බැහැර ප්‍රදේශවලින් තමන්ගේ පවුලෙ අයත් අතහැරලා වෙළෙඳ කලාපයට එන්නේ ජීවිතේ ගොඩනඟා ගන්න. ඒත් ගොඩාක් අයට ජීවිතේ වරදිනවා. රැකියාවක් කළාට රටේ පවතින මේ ආර්ථික තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. ජල හා විදුලි බිල් වැඩි වීමත් එක්ක නවාතැන් ගාස්තු ඉහළ ගිහින්. මේ ආර්ථිකය එක්ක ඔට්ටු වෙද්දී නොදැනීම අනවශ්‍ය ගැටලුවලට මැදි වෙනවා. රැකියාව ස්ථිරසාර නම්, ඔවුන්ගේ මහන්සියේ තරමට වැටුපක් ලබාදෙනවා නම් මෙවැනි දේ සිදු වන්නේ නැහැ.”

කාන්තා අයිතිය සුරකින්නට කටයුතු කරනවා යැයි කියන රටක ඇසෙන කතාව මෙබඳුය. අප හැමකෙක්ම එකට එක්ව ලැජ්ජාවිය යුතුය. මේ යුවතියන් දහඩිය මුගුරු හෙලන්නේ මේ වෙනුවෙන් බව සිතන කෙනෙක් නැත. රටට ඩොලර් ගෙනෙන්නට නොපෙනෙන මෙහෙවරක යෙදෙන්නේ ඔවුන්ය. එහෙත් ඔවුනට ලැබෙන ඇගයීමක් නැත.

| සෝබා කෝලියවංශ

(දිවයින)