- වතුකම්කරුවාට වැටුප නොලැබෙන්නේ අතරමැදියන්ගේ මාෆියාව නිසා
- වතු කම්කරුවාගේ සල්ලි වත්තට ගෙන එන්න
වතු කම්කරුවාට රුපියල් 1700ක වැටුපක් ගෙවීමේ කතාව වතු සමාගම් සහ ආණ්ඩුව අතර විශාල නර්තනීය ගැටුමක් දක්වා තල්ලු වී තිබේ.
මෙය කම්කරු වැටුපක් ගැන ගැටුමකි. හෙට්ටු කිරීමකි. කතාව කම්කරු වැටුප ගැන නම්, කම්කරුවාත් සාකච්ඡාවේ සිටිය යුතුය. එහෙත් සිදුවන්නේ සැබෑ ලෙසම එයද?
එක් පැත්තක වතු හාම්පුතුන්ය. අනෙක් පැත්තේ මනූෂ නානායක්කාර, රංජිත් සියඹලාපිටිය ඇතුළු ආණ්ඩුවේ ප්‍රකාශකයන්ය. මේ සාකච්ඡාවේදී වතු කම්කරුවා වෙනුවෙන් කතා කරන්නට සුදුසුකම් ඇති නියෝජිතයා කවුද? ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයන්ය. ඔවුන්ගේ වෘත්තිය සමිති නායකයන් යනු මනූෂ නානායක්කාර ඇමැතිවරයා ඇතුළු පාර්ශ්වයන් සමග වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමාන්ය. ඔවුනුත් මනූෂ නානායක්කාර ඇතුළු ඇමැතිවරුන් සමග ආණ්ඩුවේ පාර්ශ්වයේ සිටගෙන කතා කරමින් සිටී.
තමන්ගේම කියා හඬක් නැතිව වතු කම්කරුවා මැද සිටී. කතා කරන්නට පුළුවන් නම් කම්කරුවා කියනු ඇත්තේ රුපියල් 1700 පවා සාධාරණ හා ප්‍රමාණවත් වැටුපක් නොවන බවය. එහෙත් දෙපැත්තෙන් කතා කරන වාරයක් පාසා හිස දෙපස හරවමින් මුව අයා බලා සිටීමට වතු කම්කරුවාට සිදු වී තිබේ.
එහෙත් කමක් නැත. දැන් කම්කරුවාගේ වැටුප 1700ක් කිරීමට හෝ රජය සමත් වේ නම් එයින් පවා කම්කරුවා යම් සහනයක් ලබනු ඇත. මධ්‍යස්ථ තැනක සිට අපට එය කිව හැක. එහෙත් එය සිදු වේද? ආණ්ඩුව අවංකව උත්සාහ කරන්නේ නම් දැන් කළ යුත්තේ වතු ක්ෂේත්‍රයේ සම්පූර්ණ ආකෘතිය වෙනස් කිරීමය. ධනය වත්තට රැගෙන ඒමය. අප මෙහි පැහැදිලි කරන්නේ ඒ ගැනය.
අපට දෙන්න බැහැ!
‘අපේ නිෂ්පාදන වියදම ලෝකයේ අනෙක් තරග කරන රටවල් එක්ක දෙගුණයක් වැඩියි. දැනටමත් හුඟක් අමාරුවෙන් තරගකාරීත්වය තියාගෙන යන්නේ. දැනටත් තරගකාරීත්වය තියාගෙන යන්නේ අපේ තේ වල තියෙන විශේෂත්වය, තේවලට තියෙන තරගකාරීත්වය හින්දා. හැබැයි දැනට වෙලා තියෙන්නේ අපේ නිසි සාකච්ඡාවක්, අනුදැනුමක් නැතිව පඩි ප්‍රමාණයක් යෝජනා කරලා තියෙනවා. නිෂ්පාදන වියදම රුපියල් 1500 විතර යනවා අඩු වශයෙන්. වෙන්දේසියේදී ලැබෙන්නේ රුපියල් 1050ක් වගේ. ලැබෙන මිල රුපියල් 1500ට ගියොත් යෝජනා කරන පඩිය ගෙවන්න පුළුවන් වෙයි. ඒක ලෝක වෙළෙඳපොළේ ඉල්ලුම සැපයුම අනුව තීන්දු වෙන්නේ.’ මේ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයිගේ අදහසය.
වතු කම්කරු වැටුප් රට ගිනි තියන මාතෘකාවක් වෙද්දී, ඔවුන්ගේ අදහස් දැක්වීමේ කරුණු කිහිපයක් ඉස්මතු කර පෙන්විය යුතුය. ශ්‍රී ලංකාවේ තේවලට නිෂ්පාදන වියදම වැඩි වීම, නිෂ්පාදන වියදම, වෙන්දේසියේදී තේ කිලෝවකට ලැබෙන මිල අඩු වීම ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු වේ. මේ වෙන්දේසිය ගැන කතාව වතු කම්කරුවාට නිසි වැටුපක් අහිමි කරන ලොකුම මිත්‍යාවයි. ඒ ගැන අපි ඉදිරියේදී කතා කරන්නෙමු. ඊට අමතරව ඔවුන් කියන්නේ මේ තීන්දුව නිසා ලංකාවේ වතු කර්මාන්තයම කඩා වැටීමේ අවදානමක් පවතින බවයි.
මේ වෙද්දී ඔවුන් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් කිරීමේ යෝජනාවට එරෙහිව අධිකරණයට ගොස් ඇත. අප මෙහිදී අධිකරණයේ ක්‍රියා පටිපාටිය ගැන කරුණු ඉදිරිපත් නොකරන අතර, අවධානය යොමු කරන්නේ මෙයට අදාළ දේශපාලන කරුණ සහ තාක්ෂණික කරුණ දෙසටය.
අතරමැදියෝත් එයාලාමයි
පසුගිය සතියේ වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය ගැසට් කරනු ලැබීය. එම තීන්දුව මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් එම වැටුප ගෙවීමේ නොහැකියාව ගැන වතු හාම්පුතුන් කළ පෙර කී ප්‍රධාන තර්කවලට ප්‍රතිචාර මොනවාදැයි, අප කළ විමසීමකදී දුරකථනයෙන් ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“ලංකාවේ තේ වල නිෂ්පාදන මිල සහ විකුණන මිල ගැන කියන කතාව ඵලදායීතාවය ගැන නොතකා කියන දෙයක්. එතැන තියෙන්නේ ඵලදායීතාවයේ ප්‍රශ්නයක්. මේ වතු හම්බවෙනකොට රජයෙන් පවරා ගන්නකොට මේ අයගේ ඵලදාව මීට වඩා වැඩියි. අද වෙනකොට ඵලදාවත් අඩු වෙලා. ඒ ආදායම නොඑන්නට හේතුව ඵලදාව අඩු වීම. නැවත වගා කරන්නේ නැහැ. නවීන තාක්ෂණය පාවිච්චි කරන්නේ නෑ. කම්කරුවාව දාගෙන පරණ විදියටම කරනවා. මේගොල්ලන්ට මේ වත්තේ දලු කෑල්ල ගැන කතා කරන්නේ. වතුවල තියෙන ගස් ටික කපලා විකුණන එක ගැන. වත්තේ තියෙන විවිධාකාර ගස් කපා විකුණනවා. ඒවා අමතර ආදායම්. වතුවල හෝටල් ආදිය තියෙනවා. ජල ව්‍යාපෘති තියෙනවා. කොකෝවා වවනවා. අනෝදා වවනවා. වෙනත් වගාවන් සහ ආදායම් මාර්ග ගොඩක් තියෙනවා. තේ මිලෙන් විතරයි ගණන් හදලා පෙන්වන්නේ. මේගොල්ලන්ගේ වෙළෙඳපොළ වැලිව් එක. අවුරුදු 20ක් 30ක් වතු අරගෙන දලු කඩලා විකුණන එක හැර ඔවුන් වැලිව් ඇඩඩ් එකක් කරලා තියෙනවාද? එතකොට තේ මිල වෙනස් වෙනවා. දෙන ඉඩම ආණ්ඩුවේ. කම්කරුවන් එතැන.
අමාත්‍යවරයාගෙන් අපි වෙන්දේසියේ මිල ගැන විමසුවෙමු. එයට හේතුව වන්නේ වෙන්දේසිය යනු මේ රටේ තේ ලෝකෙට විකුණන මිල නොවේ. වෙන්දේසියේදී තේ මිලට ගන්නේ ලෝකයේ වෙන රටකින් එන කෙනෙකු නොවේ. තේ මිලට ගන්නේ ලංකාවේම තිබෙන සමාගම්ය.
ඇමැතිවරයා මෙසේ කීය. ‘අපි කතා කරන්නේ තේ වෙළෙඳපොළේ වෙන්දේසියේ මිල ගැන. වෙන්දේසියේ මිල ගැනම කතා කරනවා නම් 2020 ඉඳලා ඩොලර් එක නැගපු වෙලාවේ අධික ලාභ ලැබුවා. ඩොලර් එක එතකොට 370ට වික්කේ. අපේ ශ්‍රමිකයාගේ මිල තීරණය වුණේ 2020 දී. ඩොලර් එක 170- 180. ඩොලර් එක 180 ඉඳලා වික්කේ. ඩොලර් එක 380 මිලට වික්කා. දෙගුණයක් වුණ වෙලාවේ හරි නම් 2000ක් ගෙවන්න ඕනෑ. මොකද ඩොලරයේ අගයට සාපේක්ෂව ලාභ ලැබිය යුතුයි. එහෙත් ඔවුන් අතරමැදි සමාගම් දාලා ලාභය හංගනවා. බ්‍රෝකර්ස්ලා විදියටත් ඔවුන්ම කටයුතු කරනවා. එතැනින් ලාභය ගන්නවා. තේ වත්තට ලාභය පෙන්වන්නේ නෑ. වතු සමාගම් හිමිකරුවන් ඒගොල්ලන්ගේ අනෙක් කම්පැණි වහලා තියාගන්නවා.’
කෙසේ වෙතත් මේ ආකාරයෙන් තේ වත්තට ලාභය ගෙන එන්නේ නැතිව, අතරමැදි වෙන්දේසියෙන් තේ වත්තේ ලාභය හැංගීම ගැන කුමන පියවර ගන්නේදැයි ඇමැතිවරයා පැහැදිලි කළේ නැත. ඔවුන්ගේ විසඳුම වී තිබෙන්නේ තේ වතු පවරා ගැනීම පිළිබඳ දැනට මතු කර ඇති තර්කයයි. අප විමසුවේ වතු පවරා ගැනීමේ කතාව සැබෑ ලෙසම සිදු විය හැකිද යන්නය. ඇමැතිවරයා මෙසේ කීය. වතු කම්කරුවාට වැටුප් නොලැබීමට අංක එකේ හේතුව වන එම ලාභය වත්තට නොපැමිණීමේ කතාවත්, වෙන්දේසිය පිළිබඳ හාම්පුතුන් ගොඩනඟා ඇති මිථ්‍යාවත් ගැන අපි ඉදිරියේදී වැඩිපුර පැහැදිලි කරන්නෙමු.
‘ආණ්ඩුව විදියට අපි උත්සාහ කරන්නේ මේගොල්ලන්ගේ වතු ගැන සමාලෝචනයක් කරන්නට. ගෙවන්නට බැරි නම් ඔබේ පරිපාලනයේ ගැටලුවක් තියෙනවා. අපි දැන් යන්නේ කෘෂිකර්ම නවීකරණයට. මේක ඊට එහා යන්න ඕනෑ. ඵලදායී බෝග ගේන්න ඕනෑ.
පළවැනි කැබිනට් තීන්දුව ගත්තා. වතු පවරා ගැනීම සඳහා ජනාධිපතිවරයාට හොඳ නරක විමසා බලලා, වතු නැවත පවරා ගැනීමක් නෙවෙයි නැවත කරන්නට පුළුවන් අයට භාර දීම උදෙසා බලය ඇතුළත් කරගත් පනතක් කෙටුම්පත් වෙනවා. සමාලෝචනයක් කරනවා.’
ඇතැම් අවස්ථාවක ආණ්ඩුව යමක් කියන්නේ නම් බැලූ බැල්මට එහි විවේචනය කරන්නට දෙයක් නැති නම් එයට අතින් ලුණු දමා විවේචනය කරන්නට අවශ්‍ය නැත. ආණ්ඩුවක හෝ ඇමැතිවරයකුගේ අවංකභාවය හුදු ප්‍රකාශවලින් මනින්නට බැරිය. ඇමැතිවරයා කුමනාකාරයෙන් කටයුතු කරන්නේද? මෙය වතු කම්කරුවන්ගේ ඡන්ද ලබාගැනීම උදෙසා මැතිවරණ සමය දක්වා ඇදී යන නාඩගමක් වනු ඇතිද යන්න කාලය සමග විසඳිය යුත්තේය.
මැයි 01 වැනිදා හැටන් දිස්ත්‍රික්කයේ කොටගල වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කළ මැයි රැලියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී කතාවකිනි.
‘මුලින්ම මේ රට කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. ඊට පස්සේ රට ආර්ථික වශයෙන් කඩා වැටුණා. පසුව අරගලය ආවා. ඒකෙන් පස්සේ ලංකාවේ තේ පිටරට යවන්න බැරිවුණා. අරගලයෙන් පස්සේ මම මේ රටේ ආණ්ඩුව භාරගත්තා. මේ කාලයේ වැඩියෙන්ම දුක් වින්දේ වතු කම්කරුවන්. කොහොමද ජීවත් වුණේ කියන එකත් ප්‍රශ්නයක්.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රු. 1700 දක්වා වැඩි කරලා තියෙනවා. මම අග්‍රාමාත්‍යවරයා එක්ක සාකච්ඡා කළා ලයින් කාමර තියෙන තැන් ගම්මාන බවට පරිවර්තනය කරන්න. ජීවන් ඇමැතිතුමා එක්ක සාකච්ඡා කරලා අපි ඒක කරනවා.’ යනුවෙන් ඔහු කීය.
ඔය කියන වැටුපත් නැහැ
අප කතාව ඉදිරියට ගෙන යෑමට පෙර තව දෙයක් කිව යුතුය. දැන් වතු කම්කරුවාට රුපියල් දහසක වැටුපක් ලැබෙන්නේත් නැත. දැනට 1000ක් ගෙවන බව පවා මිත්‍යාවකි. මේ මොහොතේ රුපියල් දහසකවත් දිනෙක වැටුපක් වතු කම්කරුවා නොලබන බව වතුකරයේ ජනතා හඬ සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ ඇන්තනි ජේසුදාසන් මහතා අප සමග පෙන්වා දුන්නේය.
‘රුපියල් 1000 ක් දෙන්නේ නැති අය රුපියල් 1700ක් දෙන එක සම්පූර්ණ බොරුවක්. බොරුවට ජනාධිපතිවරයාව කොටගල ගෙනියලා, ඔහුගේ කටෙන් ඒක කියෙව්වා. ඒක වෙන්නේ නැති බව දන්නවා. තීන්දුව තියෙන්නේ සමාගම් අතේ. එහෙම තිබියදී කීවාට සිද්ධ වෙන දෙයක් නෙවෙයි.
මේ වෙනකොට රුපියල් 1000 ගෙවන්නේ නෑ. කිලෝ 39ක් කඩන්න ඕනෑ, 34ක් කඩන්න ඕනෑ ආදී වශයෙන්. පුද්ගලික වතුවල ඔවුන් හිතන විදිය තමයි සියල්ල වෙන්නේ. මේක ජීවන් තොණ්ඩමාන්ව උස්සන්නට ගත්ත උත්සාහයක්. ඔහු යන්නේ විවෘත වාහනයක ඡන්ද ගුණ්ඩුවක් වාගේ. මෙයාලා වාහනයක අත වන වනා යනවා. ඒක තනිකරම මිනිස්සු එක්ක තමන් ඉන්නවා කියලා කියන්න ගන්න උත්සාහයක්. ඒක සනාථ කරවන්න තමයි ජනාධිපතිවරයා ගෙන්නුවේ. සමාගම් තමයි ඒක තීන්දු කරන්න ඕනෑ. එක්කෝ ආණ්ඩුව වතු ටික පවරාගන්න ඕනෑ.
දවසට 350ක දීමනාවක් දෙනවාලු. ඒක සම්පූර්ණ බොරුවක්. දැන් රුපියල් 1000ක් දෙන වාද නැද්ද ඒකට අදාළව පියවර ගන්න එක නිරීක්ෂණය කර ආණ්ඩුවක් කොහොමද 1700ක් දෙන්නේ.’
අද මේ මොහොතේත්, වතු කම්කරුවාට දෙනවා යැයි කියන රුපියල් 1000ක වැටුප නොගෙවන පසුබිමක මෙවැනි ව්‍යාජ පොරොන්දු ඉටු කරන්නේ කෙලෙස දැයි ඔහු විමසයි.
දැනට සිදුවන ශ්‍රම සූරාකෑම වැළැක්වීමට කිසිදු ක්‍රමවේදයක් කම්කරු කොමසාරිස්වරයාටවත්, රජයටවත් නැත. එයට එරෙහිව වෘත්තිය සමිති කිසිවක් කරන්නේත් නැත.
වෘත්තිය සමිති වතු කම්කරුවාව නියෝජනය කරන්නේ නැත. ඇත්තටම වතු කම්කරුවාට වරින් වර තමන්ගේ වැටුප වැඩි කරන්නට ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්ට සිතිවිල්ලක් පහළ වෙන තෙක් ඉන්නට හේතුවක් නැත. වතු කම්කරුවාට තමන්ගේම වෘත්තිය සමිති බලයක් තිබිය යුතුය. ඔවුන්ට තමන්ගේ සැබෑ නියෝජනයක් තිබිය යුතුය. ඔවුන් සාමූහිකව තීන්දු ගත යුතුය. ඔවුන් තමන්ගේම වැටුප වෙනුවෙන් සටන් කළ යුතුය. ඒ විෂයට අදාළව, වතු කම්කරු ජීවිතය ගැන ඉදිරියේදී ‘දිවයින’ වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතය. මෙහි අපගේ මූලිකම අවධානය වැටුප වැඩි කරන්නට හැකිද? නොහැකිද? යන පූර්වෝක්ත මාතෘකාවය.
ඇත්තටම ගෙවන්න බැරිද?
ලංකාවේ වැඩිම අපනයන ආදායමක් ගෙනෙන කර්මාන්තයක, ශ්‍රමිකයාට සාධාරණ වැටුපක් ගෙවන්නට බැරිද? ඇත්තටම බැරිද?
මේ ගැන අප සමග අදහස් දැක්වූවේ මීට පෙර වතු කම්කරුවාට රුපියල් දහසක වැටුපක් දිනාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රකට ‘දාහේ ව්‍යාපාරය’ වෙනුවෙන් විශාල බුද්ධිමය මැදිහත් කිරීමක් කළ තරුණ විද්වතෙක් වන ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණය. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ වතු සමාගම් කියන කතාන්දර සහ සැබෑ තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කළේය.
මෙම අදහස් දැක්වීම අවබෝධ කරගැනීම සඳහා ඔබ සිහි තබාගත යුත්තේ, මෙහි නිෂ්පාදන වියදම කිලෝවකට ගණනය කරන බවය. වතු කම්කරුවකු නිෂ්පාදනය කරන කිලෝ ප්‍රමාණය අනුව ධනූෂ පතිරණලා උක්ත ගණනය කිරීම් සිදු කර තිබේ. ඔහු මෙසේ කියයි.
‘2017 දී තේ දලු කිලෝවක නිෂ්පාදන වියදම 466ක් පමණ තියෙනවා. 2022 දී මෙය කිලෝවකට රුපියල් 639.99ක් පමණ වෙනවා. එය රුපියල් 170කින් වැඩි වී තිබෙනවා. වෙන්දේසි මිල ඒ කාලසීමාව ඇතුළත කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියා බලමු.
දැන් තේ කර්මාන්තකරුවන් තර්ක කරන්නේ වතු කම්කරුවන්ගේ වැටුප ගෙවන්නේ වෙන්දේසි මිලට සමපාතව කියලා. ඒ අනුව ඔවුන් තර්ක කරනවා මේ ඉල්ලා සිටින වැටුප් ලබා දිය නොහැකි බව. එහෙත් එතැනත් සැඟවුණු කතාවක් තිබෙනවා. එය අප දැනට පසෙකින් තියමු. මම ඒ ගැන පැහැදිලි කරන්නම්.
අපි දැනට වෙන්දේසි මිල සලකා බලමු. 2019 දී වෙන්දේසි මිල රුපියල් 546යි. රුපියල් 1000ක වැටුපක් ඉල්ලා සිටියේ ඒ අවුරුද්දේදී. 2022 දී වෙන්දේසි මිලම වැඩි වෙලා තියෙනවා රුපියල් 1270ට. එය සියයට 120ක පමණ වැඩි වීමක්. එකකට එකක් වැඩි වීමක්. එහෙත් 2019 සිට වැටුප වැඩි වෙලා නෑ. වෙන්දේසි මිලම සියයට 120කින් වැඩි වෙලා තියෙනවා.
වැටුප පසෙකින් තබමු, නිෂ්පාදන වියදම මම කලින් කීවා වගේ 2017 සිට 2022 දක්වා වෙනස මම පෙන්වූවා කලින්. රුපියල් 466 සිට රුපියල් 639 දක්වා වැඩි වීමක්. ඒ අනුව නිෂ්පාදන වියදම වැඩි වී තිබෙන්නේ සියයට 32යි. ඔය නිෂ්පාදන වියදම තුළ සියයට 80ක් පමණ තිබෙන්නේ කම්කරුවා වෙනුවෙන් ගෙවන වැටුප්.
එසේ සියයට 32කින් පමණ නිෂ්පාදන වියදම වැඩි වෙද්දී, 2019- 2022 කාලසීමාවේ වෙන්දේසි මිලම සියයට 120කින් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව ඔවුන්ම පෙන්වා දෙන මිල ගණන් සංසන්දනයන් තුළ, ඔවුන් කම්කරුවාට ලැබිය යුතු වැටුප් වැඩි වීම කරලා නැති බව පැහැදිලියි.
කෙසේ වෙතත් තේ අපනයන වියදම 2019 දී රුපියල් 822යි. 2022 දී එය රුපියල් 1641ක් දක්වා වැඩි වුණා. එයද එකට එකක් වැඩි වීමක්.’
මෙරට තේ නිෂ්පාදකයාගේ සිට අපනයනය කරන මොහොත දක්වා අතරමැදි අවස්ථාව වන්නේ වෙන්දේසියයි. වෙන්දේසියේදී තේ මිලදී ගත හැකි වරලත් අපනයනකරුවන් සිටී. ඔවුන්ට වෙන්දේසියේදී මිල තීන්දු කිරීමේ බලය ඇත. ඔවුන් එලෙස වෙන්දේසියේදී මිල තීන්දු කොට ගන්නා නිෂ්පාදිත තේ අපනයනය කරනු ලබයි. අපනයන මිල වෙන්දේසියේ මිලට වඩා විශාල පරතරයකින් යුක්තය. ඒ අනුව තේ නිෂ්පාදනය කොට වෙන්දේසියට ගෙන එන අයට සාපේක්ෂව අපනයන සමාගම අති දැවැන්ත ලාභයක් උපයයි. මේ අපනයනකාර සමාගම් ප්‍රසිද්ධ සමාගම් නොවන අතර ඔවුන්ගේ ලාභ- අලාභ ප්‍රසිද්ධියේ දැකබලාගත නොහැක.
අරුමය එය නොවේ. එවැනි සමාගම්වල හිමිකාරීත්වයත්, තේ නිෂ්පාදන සමාගම්වල හිමිකාරීත්වයත්, වෙන්දේසිය මෙහෙයවන වෙන්දේසි ආයතනත් එකම සුළු පිරිසක් සතු වීමය. ඒ සමාගම් එකම සමාගම් ජාල කිහිපයකට අයත්ය. ඇමැති මනූෂ පෙන්වා දී තිබුණේ එයය. සරල බසින් කීවොත් තේ වත්ත, තේ දලු කඩන කම්කරුවා, තේ ෆැක්ටරිය, තේ මිල තීන්දු කරන වෙන්දේසිය, තේ මිලට ගන්නා අපනයනකරුවා සහ අපනයනය කිරීම යන සියලු දේ තමන් විසින්ම සිදු කරන ව්‍යාපාරික බලවතුන් සුළු පිරිසක් සිටී. ඔවුන්ට නිෂ්පාදන වියදම රුපියල් 639ක් වෙද්දී, අපනයන වියදම රුපියල් 1641ක් වෙද්දී අති දැවැන්ත ලාභ ප්‍රතිශතයක් තමන්ගේ නමින් ඇති විවිධ සමාගම් හරහා සාක්කුවට දමා ගැනීමට හැකි වේ. කම්කරුවාගෙන් ශ්‍රමය සූරා කමින් ඇත්තේ ඔය වෙළෙඳපොළ කතිපයාධිකාරය තුළය.
දැන් ඇත්තටම වතු කම්කරුවාට දෙන සාමාන්‍ය වැටුප රුපියල් 1000ක් නොවේ. සැබෑ ලෙසම ලබා දෙන වැටුප සාමාන්‍යයක් ලෙස ගතහොත් දිනකට රුපියල් 850කට ආසන්නය. ධනූෂ පතිරණ වැඩිදුරටත් මෙසේ කීය.
‘තේ කිලෝවක මේ මොහොතේ සාමාන්‍ය අපනයන මිල කිලෝ එකක් 2100කට වැඩියි. පහතරට තේ වල අපනයන මිල ඊටත් වැඩියි. එහෙත් අපට එය සමග සංසන්දනය කරන්නට මේ වෙලාවේ නිෂ්පාදන වියදම දත්තයක් විදියට නැහැ. මහ බැංකුව නිෂ්පාදන වියදම ඉදිරිපත් කරන්නේ වාර්ෂිකව. එම නිසා මම යොමු වෙන්නම් අපට සියලු දත්ත ලබා ගන්න පුළුවන් මෑතම වර්ෂය වූ 2022 වර්ෂයට. 2022 දී නිෂ්පාදන වියදම රුපියල් 639 ක් හා අපනයන වියදම රුපියල් 1640ක් වෙද්දී ඔවුන්ට රුපියල් 1700ක් ගෙවන්න පුළුවන්. එහෙම කළහොත් නිෂ්පාදන වියදම රුපියල් 1100ක් වේවි. ඒ මුදල ගෙව්වත් ඔවුන්ට සියයට 45ක ලාභයක් තියාගන්න පුළුවන්.’
ඔහු පෙන්වා දෙන සියයට 45ක ලාභය පවා සාමාන්‍ය ව්‍යාපාරිකයන් උපයන මට්ටමේ ලාභයක් නොවේ. අති දැවැන්ත ලාභයකි.
‘අදටත් කම්කරුවාට දෙන වැටුපේ වැඩි වීමක් නැහැ. එහෙත් ඔවුන් විකුණන මිල තුන් ගුණයකින් පමණ වැඩි වුණා. ලෝක වෙළෙඳපොළේ තේ මිල වැඩි වුණා. අප අනුමාන කරන්නේ මේ මොහොතේ මිල අනුව නිෂ්පාදන වියදම වගේ හතර ගුණයකට ඔවුන්ට අපනයන මිලක් ලැබෙනවා. අතිශය අසාධාරණ සහ අතිශය දැවැන්ත ආදායමක් උපයනවා.
තේ කිලෝවක් නිෂ්පාදනය කරලා අපනයනය කරන මොහොත දක්වා වැඩිම පිරිවැයක් තියෙන්නේ කම්කරු ශ්‍රමයට. ලොකුම කොටස කරන්නේ තේ වත්තේ ගිහින් දලු කඩාගෙන එන කම්කරුවා අතේ. ඊට අමතරව තේ කර්මාන්තයේ ආනයනික යෙදවුම් ඇත්තේ සාපේක්ෂව පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ තෙල්, යන්ත්‍රසූත්‍ර ආදිය වෙනුවෙන් යන වියදම් අඩුයි. වැඩිපුර තියෙන්නේ මහන්සිය. ඒ අනුව කම්කරුවා දලු එකතු කරලා, කර්මාන්තශාලාවට ගෙනාවාට පස්සේ එතැන ක්‍රියාවලියෙන් තේ කොළ නිෂ්පාදනය වෙනවා.
මෙන්න මේ තේ නිෂ්පාදනය කරන සමාගම අතට තේ අපනයනයේදී ලැබෙන මිලෙන් සැලකිය යුතු කොටසක් එන්න ඕනෑ. එහෙත් තේ වතු සමාගම් සහ අපනයනය කරන සමාගම් ඔවුන් පවත්වාගෙන යන්නේ වෙන වෙනම.’
ඔවුන් පෙන්වා දෙන ආකාරයට ප්‍රධාන විකල්පය යෝජනාව වන්නේ අපනයන මිල සහ වෙන්දේසි මිල අතර පරතරය පාලනය කිරීමය. ඒ අනුව අපනයන මිලෙන් යම්කිසි ප්‍රතිශතයක් දක්වා වෙන්දේසි මිල නියම කළ යුතුය. වෙන්දේසි මිල අසාමාන්‍ය ලෙස අඩු නොවිය යුතුය. එයින් පසු තේ නිෂ්පාදන සමාගම වෙත නිසි ලාභය යොමු වේ. එනම් තේ ආදායම වත්තට ලැබේ. එයින් පසු එම ආදායම වතු කම්කරුවාට වැටුප් ලෙස ගෙවිය හැක.
එයට අමතරව වතු කම්කරුවන්ගේ සහ සේවකයන්ගේ නියෝජිතයන්ට කර්මාන්තයේ පරිපාලනය වෙත මැදිහත් වීමට අයිතිය හිමි විය යුතු බවත් යෝජනාවකි. ඒ අනුව වෙන්දේසියේදීත් වැටුප් තීන්දු කිරීමේදීත් ඔවුන්ට සාධාරණ අයිතියක් හිමි වේ.
ඉතින් මෙම අර්බුදය ඉදිරියේදී කෙසේ විසඳෙනු ඇති දැයි අපි බලා ඉන්නෙමු. ආණ්ඩුව තදින් පෙනී සිටින බව පෙනෙන නිසා අප ඉවසීමෙන් බලා සිටිය යුතු නමුත්, එලෙස බලා ඉන්නේ දැන් පවතින තත්ත්වය වෙනුවට කම්කරුවා තමන්ගේ අරගල තමන්ම කරන දවසක් එනු ඇතැයි අපේක්ෂාව පෙරදැරිවය.
| තරිඳු උඩුවරගෙදර (දිවයින)