ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයක්  නැත - විභාග අමාත්‍යාංශයක් ඇත

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයක්  නැත - විභාග අමාත්‍යාංශයක් ඇත

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම ද ඇතුළු වත්මන් දේශපාලන කතිකාවත තුළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන සැලකිය යුතු සංවාදයක් රට තුළ සිදු නොවුණත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය කාලය පුරාම මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ සිදුවිය යුතු වෙනස්කම් නැතහොත් ප්‍රතිසංස්කරණ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබේ. විවිධ වැඩමුළු, සංවාද සංවිධානය කරමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දේශපාලනිකව සහ සමාජයීයව අවධානයක් ඒ අනුව යොමු කර ඇත. හි තවත් පියවරක් තබමින් රජය විසින් පසුගිය දා ඉදිරිපත් කරන ලද “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” සම්බන්ධයෙන්  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය දා සිය කතිකාවතේ දී “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් පාසැල් අධ්‍යාපනය ගැන කියවෙන දෙය” මැයෙන් විශේෂ සංවාදයක් මෙහෙයවීමට ද  පියවර ගත්තේය.

 

harindra dasanayakeමෙම සංවාදයේ අරමුණු පැහැදිලි කරමින් ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය කියා සිටියේ රජය විසින් ඉදිරිපත් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මධ්‍යස්ථ සංවාදයක් ආරම්භ කිරීමේ අරමුණින් වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සමග මෙම විශේෂ සංවාදය පවත්වන බවය. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ යෝජිත යෝජනාවලිය පසුගිය මාර්තු මාසයේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව ආචාර්ය සුජාතා ගමගේ කියා සිටියාය. මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේ හරීන්ද්‍ර දසනායක මහතා විසිනි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ඇය මෙසේ ද පැවසුවාය.

dr sujatha gamage

අධ්‍යාපනයට අදාලව ලංකාවේ පවතින අධ්‍යාපනය - ආචාර්ය සූජාතා ගමගේ

 “මෙම ලේඛනය ඉතාම වැදගත් එකක් ලෙස මම දකිනවා. ඊට හේතුව තමයි මෙපමණ කාලයක් ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කළේ, නැතිනම් ඒ සඳහා බලය තිබෙන්නේ ජාතික අධ්‍යාපන කොමිසමට. ඔවුන් පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවකදී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයට පියවර ගෙන තිබුණා. 2022 දී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාව ඔහු පිළිගත්තේ නැහැ. එම ප්‍රතිපත්ති හදලා තිබුණේ දේශපාලනඥයින් කටයුතු කරන ආකාරය ගැන කිසිම අවබෝධයකින් තොරවයි. ඒ වගේම තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බරපතළ පරිවර්තන දෝෂ කිහිපයක් තිබෙනවා. නමුත් මේ සියල්ල පසෙක තබා මම මෙහි හරය ගැන කතා කරන්න කැමතියි"

මෙහිදී ආචාර්ය සුජාතා ගමගේ කියා සිටියේ ජාතික අධ්‍යාපන කොමිෂම විසින් මේ දක්වා සම්පාදනය කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ තිබුණේ විධානයන් බවය.  1995 දී හඳුන්වා දෙන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතා කෙටි කාලයකින් අසාර්ථක වූ බව පෙන්වා දුන් ආචාර්ය ගමගේ විභාග ක්‍රමය, විශේෂයෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් 1995 ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් කඩා වැටුණු බව කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ආචාර්ය සුජාතා ගමගේ මෙසේ ද සඳහන් කළාය. ‘‘බොහෝ විට ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී වැඩි අවධානයක් යොමු කරන්නේ විධාන කිරීම් සම්බන්ධයෙන් පමණයි. අධ්‍යාපන කළමනාකරණය සහ සම්පත් බෙදා හැරීම සම්බන්ධයෙන් අවධානයක් යොමු නොවන තරම්. මෙහිදී විශේෂ දෙයක් ගැන සඳහන් කළ යුතුයි. පාසල්වල සම්පත් විෂමතා පියවා ගන්නේ කෙසේද යන්න ගැන මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මෙහි සඳහන් වන්නේ පෞද්ගලික අංශයේ සහ පරිත්‍යාගශීලීන්ගේ උපකාර ඇතිව සම්පත් විෂමතා පවතින පාසල්වල පවතින සම්පත් විෂමතා පියවා ගත යුුතු බවයි. මෙය බරපතළ දෙයක්. ඒ වගේම තමයි අපට අධ්‍යාපන විෂමතා ගැන නිරවුල් අවබෝධයක් නැහැ. අපි එය ලඝු කරන්නේ “කොළඹට කිරි - ගමට කැකිරි”ලෙසයි.

මෙහිදී ඇය පෙන්වා දුන්නේ සියලුම පාසල්වලට ගුරුවරු පත් කිරීම, පාසල් උපකරණ ලබාදීම විෂමතාවකින් තොරව සිදු වන බවයි. මෙය මේ ආකාරයෙන් සිදු වුව ද බහුවිධ හේතුමත දුෂ්කර පාසල්වලට ගුරුවරුන් අඛණ්ඩව තබා ගැනීමේ ගැටලු පවතින බව ද ඇය පෙන්වා දුන්නාය. පාසල් අතර පවතින සැබෑ විෂමතාව ගැන හෙළිකරමින් ඇය පෙන්වා දුන්නේ සැබෑ ගැටලුව ඇත්තේ බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බවය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය සහ අත්දැකීම් පැහැදිලි කරමින් ආචාර්ය සුජාතා ගමගේ මෙසේ පැවසුවාය. “ඇත්තෙන්ම දෙමාපියන් පාසල් වෙත ආකර්ෂණය වන්නේ එකී පාසල්වල සිදුවන විෂය බාහිර ක්‍රියාකාරකම් නිසයි. ඒ වගේම තමයි පාසල් අතර විෂමතා සම්පූර්ණයෙන්ම ඇතිවන්නේ ඒ ඒ පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ ශක්තිය අනුවයි. අපි පසුගිය කාලයේ සිදුකළ සමීක්ෂණ අනුව මේ බව පැහැදිලිව සනාථ වුණා”

මෙහිදී ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ශිෂ්‍ය කාර්ය සාධනය සම්බන්ධයෙන් සියලුම පාසල්වලට ඉලක්ක ලබාදී ඇති බවය. එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා තුළ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් අන්තර්ගත වන බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය. අවුරුදු 18 දී අධ්‍යාපන කටයුතු අවසන් කළ යුතු බව සඳහන් කර තිබීම ඉතාම වැදගත් යෝජනාවක් බව පෙන්වා දුන් ආචාර්ය සුජාතා ගමගේ කියා සිටියේ පනතක් මගින් එවැනි යෝජනාවක් සම්මත කළහොත් අධ්‍යාපනයේ සැලකිය යුතු වැදගත් වෙනසක් සිදුවීම අනිවාර්ය බවය. මෙහිදී සම්පූර්ණයෙන් විභාග ක්‍රමය වෙනස් කළ යුතු බව අවධාරණය කළ ඇය කියා සිටියේ ලංකාවේ පවතින්නේ අධ්‍යාපන අමාත්‍යාංශයක් නොව විභාග අමාත්‍යාංශයක් බවය.

පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතර පවතින සෝබන සම්බන්ධතාව අවසන් කළ යුතු අතර ගුණාත්ම අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දිය යුතු බව ද ආචාර් ය සුජාතා ගමගේ මෙහිදී අවධාරණයෙන් සඳහන් කළාය.

dr ajith amarasinghe 1

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තීරණාත්මක කොන්දේසියයි - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

මෙම සංවාදයේ සම්පත්දායකයා ලෙස සම්බන්ධ වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වුව ද මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කළ සහ එ් වෙනුවෙන් මැදිහත්වීමක් සිදුකළ විද්වතෙකි. 

මෙහිදී වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ගැන සිය ස්ථාවරය පැහැදිලි කරමින් වෛද්‍ය අමරසිංහ කියා සිටියේ මෙය අවසාන ලියවිල්ල නොවන බව තම අදහස බව ආචාර්ය සුජාතා ගමගේ මහත්මියගේ පැහැදිලි කිරීමෙන් තමන්ට අදහසක් ඇති වූ බවය.  එය සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට අවස්ථාව ලබාදීම සුභදායක ආරංචියක් ලෙස තමා සලකන බවය.

මෙහිදී විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මෙසේ ද සඳහන් කළේය.  “මෙහිදී අප මතක තබාගත යුතු වැදගත්ම කරුණ තමයි බහු පක්ෂ ක්‍රමයක් තිබෙන රටක පක්ෂ අතර බලය හුවමාරු වෙනවා. මේ නිසාම අපි නිශ්චිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් පසුගිය කාලය පුරාම දැකලා නැහැ. අපි දැක්කේ ඒ ඒ ආණ්ඩුවල අවශ්‍යතා, ප්‍රමුඛතා අනුව කලින් කලට වෙනස් වන අධ්‍යාපන ප්‍රතිපත්තියක්.  නමුත් සිදුවිය යුතු නිවැරදි දේ නම් සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල එකඟත්වය සහිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීමයි. එවැනි ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කළහොත් එය සැලකිය යුතු කාලයක් ක්‍රියාත්මක කළ හැකියි. වර්තමානයේ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපන ක්‍රමය 1943 ඩොනමෝර් ක්‍රමය යටතේ තමයි ආරම්භ කළේ. එකල ක්‍රියාත්මක වූ විධායක කාරක සභා ක්‍රමය තුළ තමයි මේ අධ්‍යාපන ක්‍රමය සාකච්ඡා වුණේ. මේ විධායක කාරක සභා තුළ බහුවිධ නියෝජනයක් සිදුවුණ නිසා තමයි දීර්ඝ කාලයක් පුරා වත්මන් අධ්‍යාපන ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ”

මෙහිදී වෛද්‍ය අජිත් අමරසිංහ කියා සිටියේ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ද පාර්ලිමේන්තුවේ බහුවිධ නියෝජනය තුළ පුළුල්ව සාකච්ඡා කර සම්මත කර ගැනීමට හැකිවන්නේ නම් එය දීර් ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවය. 1943 සිට ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපන ක්‍රමය කිසිම ආකාරයකින් ආපසු හැරවීමක් කළ නොහැකි බව පෙන්වා දුන් වෛද්‍ය අමරසිංහ නිදහස් අධ්‍යාපනය අපේ සමාජයේ අංශයක් බවට පත්ව ඇති බව සඳහන් කළේය.

වෛද්‍ය අජිත් අමරසිංහ සිය ස්ථාවරය වැඩි දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද සඳහන් කළේය.

‘‘මේක ආපසු හරවන්න බැහැ. රටක අධ්‍යාපනය දියුණු වන්නේ ඒ රටේ ඉතිහාසය, සංස්කෘතිය මත පදනම්වයි. ලංකාවේ ජනතාව සාමාන්‍යයෙන් විශාල පරිමාණයෙන් සමාජය වෙනස් වෙනවාට වැඩි කැමැත්තක් දක්වන පිරිසක් නොවෙයි. මේ ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමයේ සමතුලිතභාවය ඇතිකර ගැනීම සඳහා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සංකල්පය මූලික වශයෙන් පිළිගන්නේද? නැද්ද? යන්න ඕනෑම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක සඳහන් විය යුතු ප්‍රධාන වාක්‍යයක් ලෙස මම සලකනවා. ඒ වාක්‍යය ඇතුළු කරලා මේක ලිව්වා නම් මම හිතන්නේ මේ අනවශ්‍ය කලබැගෑනී ඇතිවෙන්නේ නැහැ. මේ සියලු කලබලවලට ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය පිළිගන්නවාද? නැද්ද? යන්න අදාළ ප්‍රතිපත්ති රාමුව තුළ අන්තර් ගත නොකිරීම.

මෙහිදී අජිත් අමරසිංහ සඳහන් කළේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යන සෑම අවස්ථාවකදීම එම ප්‍රතිසංස්කරණ තුළින් නිදහස් අධ්‍යාපනය දුර්වල වන්නේද? නොවන්නේද?

 යන සාකච්ඡාව වෙත එකී ප්‍රතිසංස්කරණ ගමන් කරන බවය.

මෙහි හානිකර ප්‍රතිඵල ගැන සිය අදහස් දක්වමින් වෛද්‍ය අජිත් අමරසිංහ මෙසේ සඳහන් කළේය. “එ් සමග අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙසේ සිදුවිය යුතුද ? යන සාකච්ඡාව දුර්වල වෙලා, නැතිනම් අවසන් වෙලා නිදහස් අධ්‍යාපන ක්‍රමය රැකගත යුතුද, නැද්ද ? යන සාකච්ඡාව යළි ආරම්භ වෙනවා. ඊට පස්සේ සිදුවන්නේ කිසිම ආකාරයක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, වෙනසක් සිදු නොවී පවතින වත්මන් අධ්‍යාපන ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යාමට සිදුවීමයි. ඒ නිසා මේ ගැටුම අවම කිරීමට, අවසන් කිරීමට කළ යුතු ප්‍රධාන දේ තමයි නිදහස් අධ්‍යාපනය යන සංකල්පය මේ රටේ පැවතිය යුතුය, මේ රටේ ඕනෑම දරුවෙකුට මුදල් නොගෙවා ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීමට මේ ප්‍රතිපත්ති රාමුව බැඳී සිටින බව සඳහන් කිරීම”

මෙහිදී වෛද්‍ය අජිත් අමරසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ යම් මට්ටමක මධ්‍යගත සහ විමධ්‍යගත කොටසක් පවතින බවය. සම්පත්වල පවතින ඌනතාවය හේතුවෙන් විෂය නිර්දේශ සකස් කිරීම සහ ජාතික විභාග පැවැත්වීම, ජාතික අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට සමස්ත අධ්‍යාපන ක්‍රමයේ දිශානතිය කෙසේ විය යුතු ද යනාදී ඇතැම් දේවල් මධ්‍යගතව සිදුකළ යුතුව තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. පාසල් පරිපාලනය හා එහි සංයුතිය ආදිය විධ්‍යගතව තීරණය කළ කළ යුතු බව පෙන්වා දුන් වෛද්‍ය අමරසිංහ වත්මන් ප්‍රතිසංස්කරණ යෝජනා තුළ මේ ගැන නිසි පරිදි සඳහන්ව නැති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය අජිත් අමරසිංහ මෙසේද සඳහන් කළේය.

 “මේ යෝජනා තුළ තිබෙනවා  ස්වයං පාලිත මණ්ඩලවලට පාසල් පරිපාලනය භාර දිය යුතුය කියලා. මේක ඉතා භයානක යෝජනාවක්. එවා සිසුන්ගෙන් මුදල් අයකර ගන්නා ස්වයං පාලන මණ්ඩල බවත් වත්මන් යෝජනාවලිය තුළ තිබෙනවා. සිසුන්ගෙන් මුදල් අයකර ගන්නා ස්වයං පාලන මණ්ඩල ඇති කළොත් මේවා මීට පෙර විවිධ ආගමික කණ්ඩායම් යටතේ ක්‍රියාත්මක වූ පාසල් සමාගම් වෙත ආපසු යන්න පුළුවන්. මේ නිසා මේ යෝජනාවලිය සකස් කළ අය මේ ගැන ඉතාම පැහැදිලිව සැබෑ තොරතුරු හෙළි කළ යුතුයි. මේ ස්වයං පාලන මණ්ඩල පාලනය වන්නේ කෙසේද? එහි ව්‍යුහය කුමක්ද? එම මුදල් යන්නේ කාටද? යන්න ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතුයි. මෙවැනි ස්වාධීන මූල්‍ය මණ්ඩල පාලනය හේතුවෙන් මේ වන විටත් රජය විසින් ආරම්භ කළ එක්තර විශ්වවිද්‍යාලයක් බරපතළ ගැටලුවක් නිර් මාණය කරලා තිබෙනවා. ඒ නිසා මේ යෝජනාව ගැන වඩාත් පැහැදිලි සහ නිරවුල් පැහැදිලි කිරීමක් සිදුවිය යුතුයි. මෙහිදී මා දැඩිව අවධාරණය කරන්නේ මෙවැනි යෝජනා ඉදිරිපත් කරන විට විමධ්‍යගත කළ යුතු අංශ මොනවාද ? නොකළ යුතු අංශ මොනවාද ? යන්න ඉතාම නිරවුල්ව සඳහන් කළ යුතුයි. ස්වයං පාලිත මණ්ඩලවලට පරිපාලන බලතලවලට අමතරව මූල්‍යමය බලතල දුන් විට බරපතළ ගැටලු ඇතිවීම ස්ථිර නිසා මේ ගැන බරපතළ ලෙස අදාළ කණ්ඩායම්වල අවධානය යොමුවිය යුතුයි”

ස්වයං පාලිත මණ්ඩලවල මගින් නිර්මාණය කළ හැකි ගැටලුවල වෙනත් පැතිකඩක් ගැන සිය අදහස් දක්වමින් වෛද්‍ය අමරසිංහ පෙන්වා දුන්නේ ‘මූල්‍ය ශක්තියෙන් තොර හෝ දුර්වල මූල්‍ය ශක්තියක් ඇති පාසල්වලට ලැබෙන ප්‍රතිපාදන ස්වයං පාලිත මූල්‍ය මණ්ඩල ක්‍රමය හේතුවෙන් තව දුරටත් හීනවිය හැකි බවය.

| තුෂාල් විතානගේ