ලාංකේය මාක්ස්වාදීන්ට, ඉන්දීය ශ්‍රී නෙහෙරුගෙන් අවවාදයක්

ලාංකේය මාක්ස්වාදීන්ට, ඉන්දීය ශ්‍රී නෙහෙරුගෙන් අවවාදයක්

රුසියානු ඔක්තෝබර් විප්ලවය උදෙසා පීඩිත ජන බලවේග ඒකරාශී කිරීමෙහිලා ඒක නින්නාද නැගූ විප්ලව කාහලයක් වැනි ජාත්‍යන්තර විප්ලව ගීතයක් විය. එය ඉංග්‍රීසියෙන් මෙසේය:

Arise Ye prisoners of starvation !

Arise Ye wretched of the earth !

For Justice thunders condemnation.

A better world's in birth.

No more tradition's Chains shall bind you.

Arise Ye Slaves, No more in Thrall.

The world shall rise on New Foundations.

You have been naught, You shall be all.

එහි සරල සිංහල භාවාර්ථය මේ අයුරු වෙයි.

"සාගින්නෙන් පෙළෙන සිරකරුවෙනි, නැගී සිටිනු! මහ පොළොවේ අසරණයෙනි, නැගී සිටිනු!

සාධාරණය සියලු අවමාන සුන්කර දමයි. වඩා හොඳ ලෝකයක් බිහි වේගෙන එයි. සම්ප්‍රදාය දම්වැලෙන් මින් පසු ඔබ බැඳ තැබිය නොහැකි වෙයි. වහලුනි නැගී සිටිනු! ඔබ වහල් බවෙන් මිදී ඇත. ලෝකය අලුත් පදනමක් මත ගොඩ නැගෙයි. නොවටිනා බින්දුවක් බවට පත්ව සිටි ඔබ සියල්ල බවට පත් වනු ඇත."

විප්ලව ගීතයක ස්වරූපයෙන් තොරව එම භාවාර්ථය මෙසේ විරිතට නැගීම කවර වරදද?

කුසගින්නේ දැවෙනා හැම නැගිටිවු !

මිහි පිට දුක් විඳිනා හැම නැගිටිවු !

යුක්තිය හැම අවමන් සුන් කර ලයි.

සොඳුරු ලොවක් ඉපදෙන්නට විළි ලයි.

යදමින් ඔබ යළි බැඳ ලනු බැරි වෙයි.

වහල්ව සිටි හැම නැගිටිවු !

නැගිටිවු !

යළි වහලුන් නොවනා බව දැන ගනු !

අලුත් බිමක් මත ලෝකය ඉදි වෙයි.

නොවටින බින්දුව වී සිටි

ඔබ හැම,

වටිනම සියල්ල වන බව

නියතය !

එකී ජාත්‍යන්තර විප්ලව ගීතය ඇසුරින් චතුර ලෙස විරචිතව, එකල පුරෝගාමී දේශීය වාමාංශිකයන්ගේ රැස්වීම්වල , මැයි දින පෙළපාළිවල තුඩ තුඩ රැව් දුන් අඥාත කර්තෘක (සසාධක කර්තෘ විනිශ්චයක් නොමැති බැවින්) දේශීය සිංහල විප්ලව ගීතයක්ද අප සතු විය. එය මෙයයි.

සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියචු !

මිහි තලේ අසරණුන් පිබිදියවු !

සොහොයුරන් සොහොයුරින් සටනට එළඹියවු !

ධනපති අදමිටුන් සුන් කරවු !

සව් ලොවේ මේ හඬින්

සෑම ජාති එක්වි දැන්

අන්තිම සටනට සැරසියවු !

මේ සිංහල විප්ලව ගීතය සමග බැඳුණු දේශීය වාමාංශික දේශපාලන ඉතිහාසයේ මුල දෙස යෝනිසෝ මනසිකාරයෙන් යුතුව යළි මඳක් හැරී බැලීම කවර කලකටත් වඩා දැන් අපට අත්‍යවශ්‍යව ඇතැයි සිතමි.

දේශපාලන දර්ශනයක් මත පිහිටා මේ රටේ පළමු වරට දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද්දේ 1935 වසරේය. ඒ ලංකා සමසමාජ පක්ෂයයි. එහි පුරෝගාමීහු මාක්ස්වාදය හිසින් ගත්තෝය.1934 අවුරුද්දේ පැතිරී ගිය මැලේරියා වසංගතය නිසා මෙරට එකම මළ ගෙයක් බවට පත් විය. එහෙත් එය ධනවතුන්ගේ හෝ ප්‍රභූවරයන්ගේ නොව අන්ත දිළිඳු පීඩිත ජනයාගේම මළ ගෙයකි. මේ ජනතා විපතේදී යට කී නව වාමාංශික දේශපාලන පක්ෂයට අයත් තරුණයෝ මැලේරියා රෝගයට ගොදුරුව මිය යමින් සිටි පීඩිතයන්ගේ ගැලවුම්කරුවෝ වූහ. ඒ පීඩිත ජනතාව ඔවුන් හැඳින ගත්තේ මාක්ස්වාදීන් හැටියට නොව විපතේදී තමන් අත් නොහරින තමන්ගේම ලේ නෑයන් පිරිසක් වශයෙනි.

අරඹා වසරක් පමණක් ගෙවුණු ලංකා සමසමාජ පක්ෂයට අයත් අපේක්ෂකයන්වූ පිලිප් ගුණවර්ධන හා ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා යන සහෝදරවරුන් දෙදෙනාම 1936 පැවැත්වුණු දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ජයග්‍රාහකයන් කරන ලද්දේ අර පීඩිත ජනතා ලේ නෑයන් විසිනි. ඒ ජයග්‍රහණය අධිරාජ්‍ය බලවතුන්ට හා අධිරාජ්‍ය ගැති ප්‍රභූ පැලැන්තියට අදහා ගත නොහැක්කක් වූවා පමණක් නොව ඔවුන්ගේ බලවත් තැතිගැන්මට හේතුවක්ද විය.

ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව සෝවියට් දේශයේ බිහි කරන ලද සමාජවාදී රාජ්‍යය තම ධජය ලෙස යොදා ගත්තේ ගොවි කම්කරු සමගිය සංකේතවත් කරන දෑකැත්ත සහ මිටිය යන සලකුණු දෙක සහිත රතු කොඩියයි. ඒ අනුව එය මෙරට වාමාංශිකයන්ගේද පොදු කොඩිය බවට පත් විය. 1939 අවුරුද්දේ ලංකාවට පැමිණි ශ්‍රී ජවහර්ලාල්

නෙහෙරු තුමා ජූලි මාසයේ 16 වැනි දා ලංකා සමසමාජ පක්ෂ මූලස්ථානයේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගි විය. එවේලේ එහි ඔසවා තිබුණු දෑකැති මිටි සලකුණු සහිත කොඩිය දුටු ඔහු මේ අවවාදය දී ඇත.

"සහෝදරවරුනි, ජාත්‍යන්තර කොඩිය එක්ක සිංහ කොඩියත් ඔසවා තබන්න."

ඒ අවස්ථාවේ එතැන සිටි පක්ෂයේ කාරක සභික සහ සිංහල දෙමළ පරිවර්තක අයි. ඇම්. ඉබ්‍රාහිම් සහෝදරයාගේ සිතෙහි ඒ වදන් රැඳුණේ කිසි දා නොමැකෙන ලෙසිනි. නෙහෙරු තුමාගේ මේ ප්‍රකාශය පිළිබඳ පුවත මගේ මනසේ කොටා තැබුවේ පුරෝගාමී වාමාංශික බුද්ධිමතෙකු මෙන්ම පරිණත ලේඛකයෙක්ද වූ මගේ සන්මිත්‍ර ලයනල් සරත් සහෝදරයාය. ඔහුගේ දෙසවන මේ පුවත ඇසුවේ ඉබ්‍රාහිම් සහෝදරයාගේම මුවින්ය.

දෑකැති මිටි සහිත කම්කරු ධජය රතු මැයි පෙළපාලිවලිනුත් අතුරුදහන්ව ඇද්දැයි නොදනිමි. ඉහත සඳහන් කළ ජාත්‍යන්තර සිංහල විප්ලව ගීතය නම් අපගේ කනට ඇසෙන බවක් පිළිබඳ නිනව්වක් ඇත්තේම නැත. එය ලංකා වාමාංශික උරුමයෙන් සදහටම ගිලිහී ගොස් ඇත්තා සේය.

Joseph Stalin සහ Leon Trotsky පිළිබඳ විශිෂ්ට අපදාන ග්‍රන්ථ දෙකක් මෙන්ම Unfinished Revolution (අවසන් නොවුණු විප්ලවය) ආදි ප්‍රශස්ත ග්‍රන්ථ රාශියක් ලිවීමෙන් විශ්ව කීර්තියට පත් ලේඛක Isaac Deutscher ගේ බිරිඳ වන Tamara Deutscher ලේඛිකාව විසින් ඉංග්‍රීසියෙන් සම්පාදිත Not by politics alone - The Other Lenin නමැති කෘතියෙහි තැනෙක එන ලිපියකින් ගත් උධෘත පාඨයකින් මගේ මෙම ලිපිය හමාර කිරීම මැනවැයි හඟිම්හ. එම ලිපිය ලියා ඇත්තේ ලෙනින්ගේ සමකාලීනයෙකු වන N. Valentinov විසිනි. ඉංග්‍රීසි උධෘත පාඨය පළමුව දක්වම්හ.

"Bolshevik Writer Mikhail Stepanovich Olminsky said."

'Vladimir Ilyich, surely you must be sickened by what Samsonov is saying ! Listen to the landlord's son giving himself away ! The truth will out: here he is , gibbering about his country estate. He talks about flowers and the way they smell just like a 16 year old school girl. Just see how carried away he is when he talks about the beauty of the lime and birch trees . A revolutionary has no right to forget that landowners used to flog their peasants and house - serfs with birch - rods in those beautiful lime - tree avenues. I can see from Samsanov's tale how much he would like to return to the scene of his happy childhood. Surrender to such feelings is dangerous for a revolutionary. You begin to pine, and soon you feel like buying yourself a little estate. Then before long you'll find yourself wanting the peasants to get on with the work while you lie on a hammock with a French novel in your hand and doze comfortably in your lime - tree avenue.'

"Lenin...stuck his thumbs into the armholes of his waist - coat, and

began to deliver a retort...."

'....It's your thinking that's odd, not his . Because Samsonov likes

lime - tree and birch - tree avenues and the flowerbeds of country estates, you decide that he must be infected by some specifically feudal psychology, and that he is sure to end up by exploiting peasants. Well, what about me, if it comes to that? I too used to live on a country estate which belonged to my grandfather. In a sense, I too am a scion of the landed gentry. This is all many years ago, but still I haven't forgotten the pleasant aspects of life on our estate. I have forgotten neither its lime - trees nor its flowers. So go on, put me to death. I remember with pleasure how I used to loll about in hay stacks, although I had not made them, how I used to eat strawberries and raspberries, although I had not planted them, and how I used to drink fresh milk, although I had not milked the cows. I gather from what you've just said about Samsonov that you consider such memories unworthy of a revolutionary? Think it over carefully, Olminsky, aren't you going a bit too far?'

[Not by Politics Alone

The Other Lenin - Pgs: 127:128]

"බොල්ෂෙවික් ලේඛක Mikhail Stepanovich Olminsky වරක් ලෙනින් සහෝදරයාට මෙසේ ප්‍රකාශ කළේය."

'ලෙනින් සහෝදරය, samsonov ලේඛකයාගේ කතාවේ එන කියුම් ඔබට බලවත් සේ අප්‍රිය වන බව මට හොඳටම විශ්වාසයි. ඉඩම් හිමියගෙ පුතා තමන්ගෙ පිටිසර වත්ත ගැන කියන දේවලින් ඔහුගෙ හිත ඇතුළ හොඳටම එළිදරව් වෙනවා. ඒ කියමන්වලින් ඔබට ඇත්ත හොඳට පැහැදිලි වේවි. එයා තමන්ගෙ පිටිසර වත්ත ගැන නන් දොඩවන්න පටන් ගන්නවා. තමන්ගෙ වත්තෙ පිපුණු මලුයි ඒවයෙන් හමන සුවඳයි ගැන එයා කතා කරන්නෙ වයස දාසයෙ පාසල් දැරියක් වගෙයි. ලයිම් හා බර්ච් ගස්වල සුන්දරත්වය ගැන එයා කතා කරන්නෙ සිහිය විකල් වෙච්ච විලාසයෙනුයි. ලයිම් ගස්වලින් සෙවණ වුණු අර සුන්දර පටු පාරවලදි ඉඩම් හිමියන් තම ගොවියන්ට හා ගෙදර වහලුන්ට බර්ච් මුගුරුවලින් තළන්න පුරුදු වෙලා හිටිය බව අමතක කරන්න විප්ලවවාදියෙකුට කිසිම අයිතියක් නෑ. සතුටින් පිරුණු ළමා කාලය වෙත ආපහු යන්න තමන් තුළ ඇති ආසාවෙ තරම Samsonov ගෙ කතාවෙන් මට පැහැදිලිවම පේනවා. ඒ වගේ හැඟීම්වලට වහල් වීම විප්ලවවාදියෙකුට අනතුරුදායකයි. කෙනෙක් ඒ විදියෙ ආසාවකින් පෙළෙන්න පටන් ගත්තහම ඉක්මනින්ම තමන්ටත් පොඩි පහේ වත්තක් සල්ලිවලට ගන්න හිතෙනවා. ඒ වගේම වැඩි කල් නොගිහින් ඔහුටත් වැඩ පළ කර ගන්න ගොවියන් අවශ්‍ය වෙනවා. ඊට පස්සෙ ගොවියන් ලවා වැඩ කරවා ගන්නා ඔහු තමන්ගෙ වත්තෙ ලයිම් ගස්වලින් හෙවණ වුණු පටු පාරෙ තැනක තොටිලි ඇඳක ඇලවීගෙන ප්‍රංශ නවකතාවකුත් අතේ ඇතුව සුවසේ නිදි කිරා වැටෙන්න පුරුදු වෙනවා.'

"තම උඩු කය වසා සිටි කොට කබාය දෑලේ සාක්කු විවර අස්සේ

මාපටැඟිලි දෙක රුවා ගත් ලෙනින් පිළිතුරු දීමට පටන් ගති."

'Olminsky සහෝදරය, විකල්ව ඇත්තේ ඔබ හිතන විධිය මිස ඔහු හිතන විධිය නෙමෙයි. Samsonov සහෝදරයා ලයිම් හා බර්ච් ගස්වලින් හෙවණ වුණු පටු පාරවලටත් පිටිසර වතුවල ඇති මල් පාත්තිවලටත් දක්වන ආසාව ඔබ සලකන්නෙ ඔහු තුළට නියත වශයෙන්ම යම් කිසි වැඩවසම් මනෝ විඥානයක් ඇතුළු වීමක් හැටියටයි. ඒ වගේම අවසානයේ ඔහු නිසැකවම ගොවි ජනතාව සූරා කන්නෙකු බවට පත් කිරීමට එය හේතුවක් වෙන බවයි. හොඳයි, ඒ අනුව ඔබ මං ගැන කියන්නෙ මොකක්ද? මමත් මගෙ සීයට අයිති පිටිසර වත්තක ජීවත් වෙලා පුරුදුයි. එක විදියකින් මමත් ඉඩම් හිමි කුලීන වර්ගයකින් පැවත එන්නෙක්. ඒ සේරම සිද්ද වෙලා දැන් අවුරුදු ගාණක් ගත වෙලා. ඒත් අපේ ඒ වත්තෙ ගත කළ ජීවිතයෙ සුන්දර දේවල් මට තාමත් මතකයි. ඒ වත්තෙ තිබුණු ලයිම් ගස් වගේම මලුත් මට මතකයි. ඉතිං මාව මරලා දාන්න එපායැ ! පිදුරු කොළ මත්තෙ එහා මෙහා පෙරළෙන්න, ස්ට්‍රෝබෙරියි රාස්ප්බෙරියි කඩාගෙන කන්න, අලුත් කිරි බොන්න, මං ඒ කාලෙ පුරුදු වෙලා හිටිය හැටි අද මං මතක් කරන්නෙ කොච්චර සන්තෝසෙන්ද ! ඒ පිදුරු කොළ ගොඩ ගැහුවෙ, ස්ට්‍රෝබෙරියි රාස්ප්බෙරියි වැව්වෙ, එළදෙන්නුන්ගෙන් කිරි දෙව්වෙ මං නෙමෙයි. මේ වගේ මතක විප්ලවවාදියෙකුට නොහොබිනා දේවල් හැටියට ඔබ සලකන බවක් ඔබ මේ දැන් Samsanov සහෝදරයා ගැන කියාපු දේවලින් මට වැටහී යනවා. Olminsky සහෝදරය, ඔබ මේ ගැන නැවත වරක් පරිස්සමෙන් සිතා බැලිය යුතුයි. මේක, ඔබ ඕනෑවට වඩා වැඩි දුර යෑමක් නෙමෙයිද?'

[ඔබ නොදුටු ලෙනින් - 40;41;42 පිටු.]

(Tamara Deutscher ගේ මුල් ඉංග්‍රීසි කෘතියෙන් තෝරා ගත් ලිපි සංඛ්‍යාවක් සිංහලට නගා පළ කැරුණු මගේ 'ඔබ නොදුටු ලෙනින්' පොතෙන් මෙහි සිංහල පරිවර්තන පාඨ උපුටා ගැනුණි.)

karunarathna amarasinghe

| කරුණාරත්න අමරසිංහයන්ගේ මුහුණ පොතිණි