මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව

මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව

ශ්‍රි ලංකාව ලොව සංචාරක කර්මාන්තයේ ඉහල ස්ථානයක රැඳී ඇත්තේ මෙරට පිහිටි ස්වභාව සෞන්දර්ය හේතුවෙන්ම පමණක් නොවන වගට සාක්ෂියක් මේ දිනවල මෙරට හා චීනය ඇතුළු විදෙස් රටවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී. ඒ මෙරට ජනතාවගේ ලෙන්ගතුකම හා අව්‍යාජ සිනාවත් ඒ අතර ඇති බව පෙන්වා දෙමින්ය. ශ්‍රි ලංකාවේ මල් කුමාරයා ලෙසින් ප්‍රසිද්ධව සිටින සීතල උඩරට නුවරඑළියේ තරුණයෙකුගේ දැඩි කැපවීමත්, නොපසුබට උත්සාහයත්, නිරන්තරයෙන් මුව පුරා නැගුණු අවිහිංසක හා අව්‍යාජ සිනහවත්, දිළිසෙන ඇස් නිසාත් මෙරට සංචාර කර්මාන්තයට නැවුම් අත්දැකීමක් ගොනු කිරීමට මෙකී මල් කුමාරයාට හැකියාව ලැබී තිබේ.

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා මවමින් පවතී. චීන රටේ වැසියන් පිරිසක් විසින් මෙරට යෙදුණු සංචාරයකදී හසුකරගත් දර්ශන පෙළක් සහිත රූපරාමු පෙළක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයවීම හරහා කිසිවෙකුගේ අවධානයට යොමු නොවු තිබු මෙරට සමාජයේ එක් පැතිකඩක් මෙසේ දිගහැර තිබේ.

“කට්ටිය මට ඒ විඩියෝවන් පෙන්නලා තිබෙනවා. බොහෝ සංචාරක මග පෙන්වන මහත්වරු මට මා ගැන යන විඩීයෝ පෙන්නවා. සංචාරකයන් මා ගැන කියන ගොඩක් විස්තර ඒ අය මට කියනවා නිතරම. ඒත් ඒවා ගොඩක් මතක නැහැ මට. මා බලන්න චීනයේ ඉදන් විශේෂ සංචාරකයන් පිරිසක් ලගදිම එනවා කියලා සංචාරක මගපෙන්වන මහත්තයෙක් කිව්වා. ”

මේ වනවිට ශ්‍රී ලංකා මල් කුමාරයාගේ විවිධ ඉරියව් සහිත අතිශය දැකුම්කළු චිත්‍ර රැසක් චීන ජාතිකයන් විසින් සිතුවම් කිරීමෙන් පසු ඒවා සමාජ මාධ්‍යවලට මුදා හැර තිබේ. බොහෝ පිරිසක් මල් කුමාරයා සම්බන්ධයෙන් විවිධ සටහන් අති විශාල ප්‍රමාණයක් තබා ඇති අතර, ඒවා කියවීමේදී ශ්‍රී ලංකා මල් කුමාරයා පිළිබඳව චීන ලඳුන් ඇතුළු චීන වැසියන් දැඩි සේ ආදරය දක්වන බව පෙනේ. ඔවුන් විසින් සමාජ මාධ්‍යට මුදාහැර තිබු සටහන් අතරින් තෝරා ගත් කීපයක් මෙසේය.

“එයා හරිම කෙට්ටුයි. නමුත් ජීවිතයට ආදරය කරන, ගොඩාක් වෙහෙස මහන්සි වෙන ඔහු ඇත්තටම කඩවසම්. මම දවසක ලංකාවට ගියහොත්, මමයි මගේ යාළුවොයි එයාගේ මල්වලට කැමැති වේවි. එයාව හඳුනාගන්න ආසයි.”

තවත් සටහනක මෙසේ සඳහන් කොට තිබේ. “දැන් මගේ වයස අවුරුදු 36ක්. මගේ මේ මුළු ජීවිතයටම ලංකාවට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි. ඒ නිසා මම මේ වීඩියෝව තුන් සැරයක්ම බැලු‍වා. වීඩියෝවේදී එයා මට 15 සැරයක් මල් දුන්නා. ඒ මල් ඇත්තටම මගේ අතට ආවේ නැහැ. නමුත් ඒ මල් මගේ වියළුණු හදවතේ පිපිලා.”

අපේ රටේ මල් කුමාරයා සම්බන්ධයෙන් මේ තවත් චීන ළඳකගේ සටහනක්. “එයා වෙනුවෙන් ශ්‍රී ලංකාවට යන්න ආස හිතුණා. වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ දිළිසෙන ඇස් නිසා.”

| චීන ජාතිකයන් ලියා ඇති සටහන්

මේ තවත් සටහනකි. “ශ්‍රි ලංකාව දුරද? ඔව් දුරයි. මම මීට අවුරුදු හතකට කළින් එහෙ යන්න වාසනාවන්ත උණා. මුළු ජීවිතේටම ඒ ගමන අමතක වන්නේ නැහැ.”

නිරන්තරයෙන් මුවගේ රැදී අව්‍යාජ සිනහවෙන් චීන ලඳුන් මේ වනවිට මුසපත් කොට වසීකර ගැනීමට තරම් වාසනාවන්තවීමට අපේ මල් කුමාරයාට හැකියාව ලැබී තිබේ. දෙස් විදෙස් හී ප්‍රචලිත මෙකී මල් කුමාරයා සොයා පසුගියදා අප නුවරඑළිය, කොණ්ඩගල ප්‍රදේශයට ගිය අතර, ඒ වනවිටත් මහමග මල් විකුණමින් සිටි මල් කුමාරයාට චීන රටෙන් ඇතුළු විදෙස් රටවලින් පැමිණි සංචාරකයන් විශාල පිරිසකගේ දැඩි අවධානයට ලක්ව සිටින අයුරු දක්නට ලැබිණි. බොහෝ විදෙස් සංචාරකයන් සිය ජංගම දුරකතනයේ මල් කුමාරාගේ ඡායාරූපයක් මගදෙපස සිටින අයට පෙන්වමින් ඔහු සිටින්නේ කොහෙදැයි විමසමින් සිටියහ.

විදෙස් සංචාරකයන් පැමිණෙන බස් රථ ඇතුළු වාහන පසු පස කිලෝමීටර් හතරක පමණ දුරක් දිනකට වාර ගණනාවක්, එනම් කිලෝමීටර් 15ක 20ක පමණ දුරක් දිව යමින් මල් විකිණිමේ යෙදී සිටින මෙම අපුර්වතම තරුණයා නමින් දිලීප් මධුශංකය. පදිංචිව සිටිනුයේ කොත්මලේ පුරවරයේය. තවමත් 17 වැනි වියේ පසුවන නාඹර තරුණයෙකු වන දිලීප්ගේ කතාව ඔවුගේ මුවගේ රැදි සිනහව තරම් සුන්දර නොමැත. නිරන්තරයෙන් මුවගේ අව්‍යාජ සිනහවකින් පිරි දිලීප්ගේ ජීවන කතාව අතිශය කටුකය. ජීවත්වීම අරඹයා වයස අවුරුදු නවය දහය වනවිටම මල් විකිණීම සඳහා මහ පාරට පිවිසි දිලීප් සිය අධ්‍යාපන කටයුතුද 10 වැනි ශේණියෙන් පසු නිමා කිරීමට තීරණය කරනු ලැබුවේ තවදුරටත් ස්ථීර මල් විකුණන්නෙකු බවට පත්වීම පිණිසය.

| දිලීප් මල් විකුණන මාර්ගයේ කොටසක්

කෝටි සංඛ්‍යාත චීන සුරූපී ලදුන්ගේ සිහින කුමාරයා බවට මේ වනවිට පත්ව සිටින දිලීප් මධුශංක නොහොත් ශ්‍රි ලංකා මල් කුමාරයා තම කතාව දිග හරින ලද්දේ මෙසේය.

“ හැමදාම උදේම මම මගේ මල් විකුණන රැකියාව කරන්න නිවසින් එනවා. නුවරඑළිය- ගම්පොල මාර්ගයේ ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව අසල සිට ඊට කිලෝමීටර් හතරක් පමණ දුරකින් පිහිටි පලාගොල්ල තේ කර්මාන්ත ශාලාව දක්වා වු මාර්ග කොටසේ දිනයේ සෑම අවස්ථාවකදීම මම මල් අළෙවියේ යෙදී ඉන්නවා.

ලබුකැලේ, වෙදමුල්ල, පලාගොල්ල ආදි ප්‍රදේශවල ගෙවල්වලට ගොස් මල් හොයන් එනවා. කැළෑවට ගොස් විවිධ ලස්සන කොල වර්ග හොයන් ඇවිත් ඒවත් එක්ක තබා මල් පොකුරු හදා ගන්නවා. එහෙම කරලා ලස්සනට මල් පොකුරු හදලා තමයි විකුණන්නේ. විදේශිකයන් එන බස්, වෑන්, කාර් පසුපස හැමදාම මල් විකුණන්න දුවනවා. සමහර සංචාරක වාහන නතර කරනවා. කිලෝමීටර් හතරම පහළට දිව්වත් සමහර සංචාරක වාහන නතර කරන්නේ නැතිව යනවා.

දැනට අවුරුදු හත අටක් තිස්සෙම මම මල් විකුණවා. පාසල් යන කාලේ පාසල් නිවාඩු දිනවලත්, පාසල නිමවෙලා ඇවිත් හවස් වරුවෙත් මල් විකුණුවා. විදේශිකයන්ට මලක් රුපියල් 300ටත්, සම්පුර්ණ මල් පොකුරක් රුපියල් 3500කට තමයි විකුණන්නේ. ඇතැම් අවස්ථාවල ඇතැම් විදෙස් සංචාරකයන් ඊටත් වඩා මුදලක් දීලා මල් අරන් යනවා. සමහරදාට එක මලක්වත් විකුණා ගන්න බැරි අවස්ථාත් තිබෙනවා.

සංචාරකයන් අපේ රටට එන කාලයට තමයි මල් ටිකක් වැඩිපුර විකුණා ගන්න පුළුවන් වෙන්නේ. සංචාරකයන්ට මල් විකුණා ගන්න කොණ්ඩගල ඉදන් පලාගොල්ල දක්වා කිලෝමීටර් හතරක්, පහක් උඩට පහළට දුවනවා. එසේ දිව යද්දී ඇතැම් වාහන නතර කරලා මලක් හරි අරගන්නවා. ගොඩක් වාහන නතර කරන්නේම නැතිව යනවා. මෙහෙම දවසකට කිලෝමීටර් 15ත් 20ත් අතර උඩට පහළට දිවයනවා. එහෙම දුවද්දී වැටිලා තුවාල වෙලා පවා තිබෙනවා. ”

“ ගෙදර පොඩි ප්‍රශ්ණ වගයක් ආවා. ඒ නිසා අධ්‍යාපන කටයුතු 10 වන පන්තියෙන් පසු නැවැත්තුවා. ඊට පස්සේ දිගටම මල් විකිණීමට තීරණය කළා. ගෙදරට අවශ්‍ය දෛනික බඩු මුට්ටු ටික අරගෙන රුපියල් 1000ක් 1500ක් පමණ ගණනක් සමහර දිනවලදී ඉතිරි කර ගන්න පුළුවන්. සංචාරකයන් මෙරටට පැමිණෙන කාලයේදී මල් ටිකක් වැඩිපුර විකුණා ගන්න පුළුවන්. දිගටම මල් විකුණන රැකියාව තමයි මම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ගෙදර අම්මයි, තාත්තයි අක්කයි ඉන්නේ. තව අක්කා කෙනෙක් කසාද බැදලා වෙනත් ප්‍රදේශයකට ගිහින් ඉන්නවා. තාත්තයි අම්මයි ගොවිතැන් තමයි කරන්නේ. ”

| දිලීප්ට ඇඳි සිතුවම්

චීනයේ ප්‍රසිද්ධව ඇති අයුරු සහ ඒ සම්බන්ධයෙන් යන වීඩියෝ පට, චීන ජාතිකයන් තබා ඇති සටහන් හා සිතුවම් කොට ඇති සිතුවම් හා අපේ රටේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන සිදුවීම් දැක තිබේදැයි අප කළ විමසුමට දිලීප් මධුශංක මෙසේ පැවැසීය.

“කට්ටිය මට ඒ විඩියෝවන් පෙන්නලා තිබෙනවා. බොහෝ සංචාරක මග පෙන්වන මහත්වරු මට මා ගැන යන විඩීයෝ පෙන්නවා. සංචාරකයන් මා ගැන කියන ගොඩක් විස්තර ඒ අය මට කියනවා නිතරම. ඒත් ඒවා ගොඩක් මතක නැහැ මට. මා බලන්න චීනයේ ඉදන් විශේෂ සංචාරකයන් පිරිසක් ලගදිම එනවා කියලා සංචාරක මගපෙන්වන මහත්තයෙක් කිව්වා.

මට ලොකු බලාපොරොත්තුවක් නැහැ. දිගමට මල් විකුණාගෙන ඉන්න ලැබුණොත් ඇති. ඒකට මට කොණ්ඩගල ප්‍රදේශයෙන් පාර අයිනේ කුඩා කඩ කාමරයක් හදා ගන්න තිබුණොත් මගේ රැකියාවට ලොකු හයියක් වේවි. මොකද මල් හොයා ගෙන ඇවිත් එතන තියලා මල් පොකුරු හදලා විකුණන්න එවිට පහසුයි.”

කෝටි ගණනක චීන වැසියන්ගේ මල් කුමාරයා ලෙස ප්‍රචලිතව සිටින දිලීප්ගේ රුව රැගත් චිත්‍ර දහස් ගණනක් මේ වනවිට චීන ජාතිකයන් අතින් හැඩවැඩ වී සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී. චීනයේ කෝටි 13ක ජනතාවකගේ හදවත් දිනා ගත් දිලීප්ට ඔවුන් දක්වන්නේ දැඩි සෙනහසකි. ඒ බව ඔහු නමින් එක් කොට ඇති සටහන් හා සිතුවම් දෙස බැලීමේදී පෙනේ.

මෙරටට මහත් ගෞරවයක් ගෙනදීමට දිලීප් මධුශංක තරුණයා මේ වනවිට සමත්ව සිටී. ඒ ඔහුගේ අපිරිමිත කැපවීමත්, නොපසුබට උත්සායත්, අව්‍යාජ සිනවහත් හා අවංකකමත් හේතුවෙනි. මෙරට නගර, ගම් නියම්ගම් පුරා නිකරුණේ විදී සරමින්, අන් අයෙකුගේ දෙයක් කඩාවඩා ගනිමින්, මුදල් සෙවීමට මිනී මරමින්, විවිධ මත්ද්‍රව්‍ය අළෙවි කරමින් පසුවන තරුණ ජීවිතවලට වඩා දුක් මහන්සියෙන් මෙරටට ඩොලරයක් හෝ රැගෙන ඒමට වෙහෙස මහන්සිව කටයුතු කරන දිලීප් මධුශංක වැනි මෙවැනි තරුණයන් ඇගයීමට ලක්විය යුතුය. ඒ සඳහා රජයේ වගකියයුතු අංශවල අවධානය යොමු විය යුතුව ඇතැයි අපට සිතේ.

(සටහන හා ඡායාරූප- තලවකැලේ-ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ - ලංකාදීප)