සාදාචාරව මාධ්‍ය හැසරවීමෙන් යහපත් ජනාධිපතිවරයකු තෝරපත් කරගැනීමට හැකිද? - ඉරෝෂා දීපානි
ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වෙමින් තිබෙන අතර ඉදිරියේ පැවැත්වෙන එම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සහ නාමයෝජනා කැඳවීමේ බලය මැතිවරණ කොමිසම වෙත ලැබී තිබේ.
මේ කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනාධිපතිවරණ පනත මෙන්ම මැතිවරණ කොමිසමට අදාළ මාධ්‍ය උපමානවලට මුද්‍රිත, ගුවන්විදුලි, රූපවාහිනී මෙන්ම සමාජ මාධ්‍ය සියල්ලක්ම ඔවුන්ගේ මාධ්‍යභාවිතයේදී පිළිපැදිමට බැඳී සිටී.
රටට යහපත උදාකරණ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා මහජනතාවට නිවැරැදි තීරණය ගැනීමට නම් මාධ්‍යය සත්‍ය තොරතුරු ජනතාවට ලබාදිය යුතුය. ඒ සඳහා මාධ්‍යවේදීන් මාධ්‍ය ආචාරධර්මවලට අනුව ඔවුන්ගේ කර්තව්‍ය ඉටු කිරීම යුතුකමකි. පසුගිය අරගලය සමයේදී ජනාධිපතිවරයාට විරෝධය පල කළ සෑම අවස්ථායකදීම මාධ්‍යයට ඇඟිල්ල දික්කෙරුණේ ඒ යුතුකම පැහැරහැරීම නිසාය. සමහර මාධ්‍ය ආයතන වටලා විරෝධය පළ කළ අයුරු ඔබට මතක ඇත.
මේනිසා රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතනයන්ද එකසේ මාධ්‍ය උපමානවලට අවනතව මාධ්‍ය හැසිරිය යුතුය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද පහැදිලිව සඳහන් වේ.
අපේ රටේ මාධ්‍ය ආයතන තවමත් හොඳ පාඩමක් ඉගෙන නැතැයි කිව හැකි සිදුවීමක් ඉතාම මෑතකදීද සිදුවිය. ජූලි 12 වැනිදා පැවැති පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු සහ එහි හිමිකරුවා පිළිබඳ පාර්ලිමේන්තුවේ විනාඩි 10කට වැඩි කාලයක් ගෙන සිදු කළ කතාව ඊට හොඳම උදාහරණය ලෙස පෙන්වා දිය හැකිය.
දෙරණ අරුණ උදෑසන පුවත්පත් සිරස්තල පිළිබඳ වැඩසටහනේදී පසුගිය ජූලි 12 වැනි දිනදී එය ඉදිරිපත් කළ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා කොළයක් බලාගෙන තමන්ට මඩ ගැසූවා යැයි සුසිල් ප්‍රේම ජයන්ත ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය.
අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තමන් මුලින්ම පත්වූයේ 2000 වසරේදී බවත්, 1991දී තමන් පාර්ලිමේන්තුවේ නොසිටි අතර මාධ්‍යවේදියෙකු ලෙස තම ඉතිහාසය හරිහැටි නොදැන චතුර අල්විස් මහතා එය පටලවාගෙන ඉදිරිපත් කළේ යැයි ඇමැතිවරයා පැවැසීය. කරුණු හරිහැටි නොදැන පටලවාගෙන තමන්ට මඩ ගැසීම සිදු කළ බවද ඔහු කීය.
පෙර දින පාර්ලිමේන්තුවේ සිදුවූ කිසිවක් පුවත් ලෙස කිසිදු පුවත්පතක මුල් පිටුවේ හෝ ඇතුළුපිටුවල පළ නොවුනු බවත් චතුර අල්විස් මහතා කොලයක් බලාගෙන තමන්ගේ මතයක් ලෙස ඉදිරිපත් කරමින් තමාට මඩ ගැසූ බවට ඇමැතිවරයා චෝදනා කළේය. එම කොළය ඔහුගේ මාධ්‍ය ආයතනයේ හිමිකරුවා විසින් ඔහුට ලියා දෙනු ලබන්නට ඇති බවත්, ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට සිටින්නේ යැයිද එම හිමිකරුවා මේ දිනවල ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ අභියෝගයට ලක්කරමින් සහ ව්‍යවසායකත්වය උගන්වමින් රටපුරා යන බවත් ඇමැතිවරයා චෝදනා කළේය. හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාට රටහැර යන්නට සිදුවූවේද එම මාධ්‍ය ආයතනයේ හිමිකරුවාගෙන් ව්‍යවසායකත්වය ඉගෙන ගැනීමට යාම නිසා යැයි ඇමැතිවරයා සෘජුව චෝදනා කළේය.
තමන් වසර 20කට වැඩි කාලයක් කිසිදු චෝදනාවක් නොමැතිව දේශපාලනය කරන බවත් තමන්ට මඩ ගසන්නට එපා යැයිද ඇමැතිවරයා පැවැසීය. තමන් මුදල් ලබාගෙන ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කරන්නේ යැයි චතුර අල්විස් මහතා චෝදනා කළ බවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන් ඉදිරිපත්වී සිදු කළ සේවාවන් වෙනුවෙන් මුදල් ලබාගත්තේ යැයි චෝදනාවක් තිබෙන්නේ දැයි ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
තමන්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එක වෙනම ගෙනයන ලෙසත් නාලිකාවක් හදාගත් පමණින් සහ හිටපු ජනාධිපතිවරයෙකුට ලනු දුන් පමනින් ජනාධිපති අපේක්ෂකයකුව ජනාධිපති වීමට හැකි යැයි ඔවුන් සිතන්නේ යැයි ඇමැතිවරයා පැවැසීය.
තමන්ගේම නාලිකාවක් සාදාගත් පමණින්, එම නාලිකාව හරහා ඔ්නෑම දෙයක් කීමට හැකි යැයි ඔවුන් සිතන බවත් ඇමැතිවරයා පැවැසීය. තමන් පොළේ ගිය නිසා ඇමැතිකම අහිමි කරගත්තේ යැයි චතුර අල්විස් මහතා පැවැසූ බවත් තමන් කඩේ නොගොස් පොලේ ගිය නිසා ඇමැතිකම අහිමි වූ බවත් ඔවුන් කඩේ ගිහින් වරප්‍රසාද ලබා ව්‍යාපාර කරන යැයි ඇමැතිවරයා චෝදනා කළේය.
පාර්ලිමේන්තු මන්ති ධුරය තමන් හයවරක්ම දිනූ බවත් තමාගේ චරිතය ඝාතනය නොකරන්නැයි ඇමැතිවරයා චෝදනා කළේය. වරප්‍රසාද ස්ථාවර නියෝග 118 යටතේ වරප්‍රසාද කමිටුවට ඔවුන් කැඳවන ලෙස ඇමැතිවරයා කථානායකගෙන් ඉල්ලා සිටියේය.
“මම මේක මැතිවරණ කොමිසමට ලියනවා, තාම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නැති නිසා ඒක කරන්න බෑ. මොකද අපේක්ෂකයෙක් වෙන ආයතන ප්‍රධානියෙක් එයාගේ ප්‍රොමෝෂන් ඒකකට, අපේ නම් ඈඳාගෙන අපට මඩගහන්න බෑනේ. ඒතුමන්ලා දන්නේ නැහැ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද මොනවාදැයි කියලා” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
නඩේෂන් තීන්දුව සිට එ් පිළිබඳව ඔවුන්ට පැහැදිලි කර දෙන බවත් තමන් නීති උපාධිය කළේ නිකමට නොව ඒවා ප්‍රායෝගිකව යොදා ගැනීමට බවත් ඇමැතිවරයා පැවැසීය. තමන් අදාල දෘඩ තැටිය පාර්ලිමේන්තු සභාගත කරන්නේ යැයිද අදාල මාධ්‍ය ආයතන නිලධාරින් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙසද කතානායකවරයාගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටියේය.
අධ්‍යාපන ඇමැතිවරයා ලෙසත්, පාර්ලිමේන්තුවේ සභානායක සහ නීතිඥවරයෙකු ලෙසත් ඔහු එදින පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව මාධ්‍යවේදීන්ට වැදගත් නීතිමය කරුණු කිහිපයක් සිහිපත් කර දෙන්නකි.
ඇමැතිවරයා අදාල මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මාධ්‍ය උපමාන යටතේ පැහැදිලිව දක්වා තිබේ. මේ සිදුවීම සිදුවූ දිනය වන විට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර නොමැති වුවත් ජනාධිපතිවරණයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව හා මේ කාල වකවානුව ඒ සඳහා අපේක්ෂකයන් සිය ප්‍රචාරණ කටයුතු සිදු කරන කාලයකි.
මැතිවරණ සමයේදී තොරතුරු බෙදාහැරීම්වලට අදාළ නීති රීති පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්ය නීතිඥ ඩී.ඒම්. දිසානායක මහතාගෙන් විමසීමු.
ඔහු පවසන පරිදි පසුගිය ජනාධිපතිවරණයේ සිට ඊළඟ ජනාධිපතිවරණය දක්වා කාලය මැතිවරණ සිදුවීම් එකතුවක් ලෙස මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සලකා කටයුතු කළ යුතුව තිබේ. ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් ප්‍රකාශයක පත් කර මැතිවරණ කොමිසම බලතල ලබාගැනීමෙන් පසුව ක්‍රියාත්මක වන මාධ්‍ය උපමාන තිබේ. ජනතාවට නිවැරැදි තීරණ ගැනීමට මාධ්‍ය වාර්තාකරණය වැදගත් වුවත් මාධ්‍ය ආයතන ජනතාවගේ මතය වෙනස් කිරීමට කටයුතු කරන අවස්ථා ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔනෑ තරම් තිබෙන බව දිසානායක මහතා පැවැසීය.
නිර්දෝෂී අපේක්ෂකයා සාක්ෂි නොමැතිව වැරැදිකරුවකු කිරීම, වැරැදිකාර අපේක්ෂකයකු නිර්දෝෂී කිරීමට මාධ්‍යයට හැකියාව තිබේ. මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ලෙස මාධ්‍ය උපමාන වෙත අවනතව වාර්තා කිරීම් රටක අනාගතයට වැදගත් වන්නේ යැයි ඔහු පැවැසීය.
රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ උදෑසන ප්‍රචාරය කරන පුවත්පත් සිරස්ථල ඉදිරිපත් කරන වැඩසටහන් අතරතුරදී එය ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් මුදාහරිමින් තමන් කැමැති දේශපාලන පක්ෂයකට, දේශපාලනඥයකුට හෝ කණ්ඩායමකට හුණුගෑම සිදු කරයි.
එහෙත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු මැතිවරණ කොමිසම බලතල ක්‍රියාත්මක වන කාලය තුළ සිරස්ථලය පමණක් කතා කළ යුතුවේ. එසේම යම් වැඩසටහනක් යම් පක්ෂයකට වැඩි දායකත්වයක් සපයමින් වැඩසටහන් පෙළක් සති පතා ප්‍රචාරණය කරමින් පවතින්නේ නම් ජනාධිපතිවරණ කාලය තුළ එම වැඩසටහන තාවකාලිකය නවතා දැමිය යුතුය.
සිරස ටීවී මාවත වැඩ සටහන ජනතා විමුක්ති පෙරමුණ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන් නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නකි. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණ සමයේදී එම වැඩසටහ සඳහා හඳුන්නෙත්ති මහතා නොමැතිව ප්‍රචාරය කිරීම හොඳ උදාහරණයකි.
අපේක්ෂකයෝ සෑම දෙනෙකුටම සමාන ගුවන් කාලයක් ලබාදිය යුතුය. ප්‍රවෘත්ති විකාශය තුළදී අපේක්ෂකයකුට සාක්ෂි නොමැතිව චෝදනාවක් සිදු කළහොත්, ඔහුට ඊට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව එවැනි ප්‍රවෘත්ති වැඩසටහනකදීම ලබාදිය යුතුවේ. මෙය සාමාන්‍යයෙන් වාර්තාකරණයේ මාධ්‍ය ආචාරධර්මයක් වන අතර, මැතිවරණ කාලසීමාවේදී නීතියක් වේ.
මාධ්‍යය ආයතන සහ මාධ්‍යවේදීන් ලෙස රටට යහපත් ජනාධිපතිවරයකු පත්කර ගැනීමට ජනතාවට නිවැරැදි සහ සත්‍ය තොරතුරු ලබාදී මාධ්‍යයේ වගකීම යැයි නීතිඥ දිසානායක මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
| ඉරෝෂා දීපානි
සබැඳි පුවත්