කෘතිම බුද්ධියෙන් (AI) ජනමතයට බලපෑමක් විය හැකිද ? - සම්පත් ජයලාල්

කෘතිම බුද්ධියෙන් (AI) ජනමතයට බලපෑමක් විය හැකිද ? - සම්පත් ජයලාල්

අපේක්ෂකයින් සම්බන්ධයෙන් මෙන්ම මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව, ප්‍රසිද්ධ දැන්වීම් සෑදීම සහ ප්‍රචාරණය ඇතුළුව, ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර, අතරතුර සහ පසුව සිදුකරන විවිධ ක්‍රියාකාරකම් සඳහා කෘතිම බුද්ධිය (Artificial Intelligence - AI) භාවිතා කිරීම හා එයින් ඇතිවෙන බලපෑම විදහා දැක්වෙන පළමු මැතිවරණ වසර 2024 වනු ඇත.

විචාරකයින් පෙන්වා දේන්නේ, AI තාක්ෂණය භාවිතා කරමින් රැවටිලිකාර, යථාර්ථවාදී නොවන, අසත්‍ය අන්තර්ගතයන් ජනනය කිරීම සඳහා වන දේශපාලන වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. අපේක්ෂකයින් ප්‍රකාශ කරන කරුණු මෙන්ම, රටෙහි පවතින ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය සහ ඇතැම් සිදුවීම් ඇත්ත වශයෙන්ම සිදු වූවාද යන්න පිළිබඳව නිසි අවධියකින් කටයුතු නොකළහොත් එම වංචනික සහ රැවටිලිකාර භාවිතයන් හමුවේ තීරණ ගැනීමෙන් විකෘති ජනමතයක් පිළිඹිබුවීමත්, චන්දදායකයින්ගේ මූලික අයිතිය උල්ලංඝනය වීමත් සිදුවිය හැකිය.

ඒ පිළිබඳ උදාහරණ ගණනාවක් ලෝකයේ විවිධ රටවලදි පැවැත්වූ මැතිවරණ වලදි හෙළිදරව් වී තිබේ. ඉන් එක් උදහරණයක් පසුගිය කාලයේ ඉන්දුනීසියාවෙන් වාර්තා විය. ප්‍රබෝවෝ සුබියාන්ටෝ, පෙබරවාරි මැතිවරණයෙන් 58.6% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් නමුත්, ඔහු මතභේදාත්මක චරිතයකි. සුහර්තෝගේ හිටපු බෑනා වන ඔහු, සුහර්තෝගේ 32 වසරක පාලන තන්ත්‍රය යටතේ විශේෂ අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කළ අතර, සුහර්තෝ යුගයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ වධහිංසා පැමිණවීම් ඇතුළු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වීය. චෝදනා මත ප්‍රබෝවෝ හමුදාවෙන් නිදහස් කරන ලදි. දශක දෙකක කාලයක් එක්සත් ජනපදයට ඇතුළුවීම පවා ඔහුට තහනම් කරනු ලැබීය. ප්‍රබෝවෝ, 2014 දී අල් ජසීරා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැහැරගැනීම්වලට සම්බන්ධ වූ බව පිළිගත්හ.

තරුණ ඉන්දුනීසියානු ඡන්දදායකයින් අතර ප්‍රබෝවෝ සුබියාන්ටෝට ඔහුගේ ප්‍රතිරූපය මෘදු කිරීමට අවශ්‍ය වූ විට, ඔහුගේ ප්‍රචාරක කණ්ඩායම AI හරහා සිනහමුසු මුහුණක් ගෙන ආවේය. ඒ ඔහුගේම කාටූන් ඩිජිටල් අනුවාදයකි. එය ඇතුලත් ඡායාරූප හා වීඩියෝ පට සිය ගණනක් නිර්මාණය විය. ඔහු මීට පෙර, අවස්ථාවන් දෙකකදි, තමා ශක්තිමත් නායකයෙකු ලෙස නිරූපණය කිරීමට උත්සාහ කළ නමුත්, තරුණ ඡන්දදායකයින් ඔහුගේ ඉතිහාසය හමුවේ දැක්වූයේ බියජනක ස්වභාවයකි. එහෙත් මෑත වසරවලදී, තම පොදු ප්‍රතිරූපය හුරුබුහුට සීයා කෙනෙක් ලෙස, AI තාක්ෂණය හරහා ප්‍රතිනිර්මාණය කර, සිදුකළ මැතිවරණ ව්‍යාපාරයෙන් තරුණ ඡන්ද ආකර්ණය කරගත්තා පමණක් නොව මැතිවරණයද ජයගත්හ.

අද ඉන්දුනීසියාවේ, පාකිස්තානයේ, ඉන්දියාවේ මෙන්ම එක්සත් ජනපදයේත්, AI තාක්ෂණය මැතිවරණවලට රිංගා තිබේ. එය ඡන්දදායකයින් සමඟ සම්බන්ධ වීමට අපේක්ෂකයින්ට උපකාර කරන නමුත්, ගැඹුරු ව්‍යාජ ප්‍රතිරූප මැවීමේ අවදානමක් පවති. ඉන්දියාවේ මීරට් හි මාර්තු පැවති ප්‍රචාරක රැලියකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආධාරකරුවන් වෙස්මුහුණු පැළඳ සිටි අතර, මෝදිගේ පක්ෂය, ප්‍රචාරක කතා දේශීය භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමට සහ ප්‍රචාරය කිරීමට AI භාවිතා කළේය. එසේම මෑතකදි පාකිස්ථානු මහ මැතිවරණයෙන් ජයගත්, මේ මොහොතේදීත්, සිරගතව සිටින, ඉම්රාන් කාන් තම ජයග්‍රාහි කතාව ජනතාව හමුවේ තැබුවේද, AI තාක්ෂණය මගිනි.

මැතිවරණයකදී මහජන මතයට බලපෑම් කිරීමට AI තාක්ෂණයට ඇති හැකියාව, සදාචාරාත්මක  සහ නියාමන පරීක්ෂණ මාතෘකාවකි. එය මැතිවරණයකදී මහජන මතය හැසිරවීමට හෝ වෙනස් කිරීමට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව ප්‍රකට මතයකි. විශේෂයෙන්ම, වැරදි සහ සාවද්‍ය තොරතුරු පැතිරවීම, ජනමනස ව්‍යාකූලත්වයට සහ මතවාදි ධ්‍රැවීකරණය පත් කිරීම, AI තුලින් සිදුකල හැකි බැවින්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්හි අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට, එවැනි ද්වේෂසහගත භාවිත හඳුනා ගැනීම සහ ඒවාට එරෙහිව සටන් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

මහජන මතය හැසිරවීමට, AI භාවිතා කිරීම පුද්ගලිකත්වය, ස්වාධිපත්‍යය, සාධාරණත්වය සහ විනිවිදභාවය සම්බන්ධ සදාචාරාත්මක ගැටළු මතු කරයි. AI මත පදනම් වූ පද්ධතිවලින් අනවශ්‍ය බලපෑමක් නොමැතිව පුද්ගලයන්ට තම අදහස් සහ තීරණ පිළිබඳ ස්වාධීනත්වයක් තිබිය යුතුය. විශේෂයෙන්ම මැතිවරණ වැනි සංවේදී සන්දර්භයන්හිදී මහජන මතයට බලපෑම් කිරීමේදී, AI වගකීමෙන් යුතුව භාවිත කිරීම සහතික කිරීම සඳහා නියාමන අධීක්ෂණය සහ මාර්ගෝපදේශ සඳහා විශේෂ අවශ්‍යතාවක් පවතී. විනිවිදභාවය, වගවීම සහ පරිශීලක කැමැත්ත මේ සම්බන්ධයෙන් තීරණාත්මක මූලධර්ම වේ.

වැරදි තොරතුරු පැතිරීම හඳුනා ගැනීම සහ අවම කිරීම, මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සහ නොමඟ යවන තොරතුරු වල බලපෑමට එරෙහිව සටන් කිරීම සඳහා මහජනතාව අතර විවේචනාත්මක චින්තන කුසලතා ප්‍රවර්ධනය කිරීම සඳහා, AI බලගන්වන මෙවලම් සංවර්ධනය කිරීමට උත්සාහ කළ යුතුව තිබේ. AI තාක්ෂණය, දත්ත විශ්ලේෂණය කිරීමට සහ මහජන හැඟීම් තේරුම් ගැනීමට භාවිතා කළ හැකි අතර, මැතිවරණයකදී හිතාමතාම මහජන මතය වෙනස් කිරීමට එය භාවිතා කිරීම සුදුසු නොවේ. එසේම, අපේක්ෂකයින් පිළිබඳ ඡන්දදායකයින්ගේ සංජානනයට බලපෑම් කිරීමට අමතරව, ඡන්දදායකයින්ගේ පැමිණීම මැඩපැවැත්වීම සඳහා වැරදි තොරතුරු පැතිරවීම ඇතුළුව මැතිවරණ පරිපාලනය හැසිරවීමටත්, AI භාවිතා කිරිමේ අවධානමක් පවති.

උදාහරණයක් වශයෙන්, 2024 ඇමරිකාවේ පැවති ප්‍රාථමික මැතිවරණයට ස්වල්ප මොහොතකට පෙර, AI ජනනය කරන ලද ජනාධිපති බයිඩෙන්ගේ කටහඬ අනුකරණය කර, එම මැතිවරණයට සහභාගී නොවන ලෙස ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ, 2024 නොවැම්බර් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඡන්දදායකයින් තම ඡන්දය “ඉතුරු කර ගත යුතු” බවට ව්‍යාජ ලෙස යෝජනා කරමිනි. මෙම පණිවිඩය ඇසූ සාමාන්‍ය ඡන්දදායකයා නිගමනය කර ඇත්තේ බයිඩෙන් ඇත්ත වශයෙන්ම පණිවිඩය පටිගත කර ඇති බවත්, ඔවුන් ඔහුගේ ඉල්ලීමට අනුකූල විය යුතු බවත්ය.

ඉදිරිය දෙස බලන විට, පුරවැසියන් ඡන්දය දීමෙන් වලක්වාලීමට, ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හෑල්ලු කිරීමට හෝ ගින්නක් හෝ ප්‍රහාරයක් වැනි හදිසි අවස්ථා ගැන බොරු අනතුරු ඇඟවීම් කිරීමට, ඡන්දදායකයින් නිවසේ රැඳී සිටීමට පොළඹවා ගැනීමට විශ්වාසදායක කටහඬින්, වෙනත් ගොතන ලද පණිවිඩ භාවිතා කරනු ඇතැයි සිතීම අපහසු නැත. එපමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ සමාන සහභාගීත්වය සඳහා දැනටමත් බොහෝ බාධකවලට මුහුණ දී සිටින සුළු ජාතික ඡන්දදායකයින් වෙත අසමානුපාතික ලෙස වැරදි තොරතුරු ඉලක්ක සහගත ලෙස පැතිරවීමට, AI තාක්ෂණය භාවිතා කළ හැකි අවදානමක්ද තිබේ.

මැතිවරණ පරිපාලනය අඩපණ කිරීමට හෝ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ අසාධාරණ සැකයන් වැපිරීමට වංචනිකයන්ට, AI නව අවස්ථා නිර්මාණය කරයි. AI තාක්ෂණයෙන් පහසුවෙන් ව්‍යාජ රූප නිෂ්පාදනය කිරීමට සහ ඡන්ද පත්‍රිකා විකෘති කිරීම හෝ ඉරා දැමීම වැනි විෂමාචාර පිළිබඳ ව්‍යාජ සාක්ෂි නිෂ්පාදනය කිරීමට භාවිතා කළ හැක. එය මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය පළුදු වනවා පමණක් නොව, මැතිවරණ ක්‍රියාවලියට එරෙහි ප්‍රචණ්ඩත්වයේ තර්ජන ද අවුලුවාලිය හැකිය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව පවා, ප්‍රතිඵල වංචා සහගත බව කියන, අපේක්ෂකයෙකුගේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය නිර්මාණ කිරීමට, AI භාවිතා කළ හැකිය. ආර්ජන්ටිනාවේ සහ ස්ලෝවැකියාවේ ප්‍රධාන මැතිවරණවලට බලපෑම් කිරීමට AI සමඟ සාදන ලද ව්‍යාජ පුවත් දැනටමත් භාවිතා කර තිබේ. මේ වන විට ගූගල්, මෙටා (ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මව් සමාගම), OpenAI, X (කලින් ට්විටර්) සහ TikTok ඇතුළු ප්‍රධාන තාක්ෂණ සමාගම් 20 ක් මෑතකදී ගැඹුරු ව්‍යාජ භාවිතයන් හඳුනා ගැනීමට, ඒවා ලුහුබැඳීමට සහ ඒවාට එරෙහිව සටන් කිරීමට නිශ්චිත පියවර ගැනීමට පොරොන්දු විය. සත්‍ය වශයෙන්ම, ඔවුන් එම පොරොන්දු ඉටු කළ යුතුව ඇත. 

කෘතිම බුද්ධිය හෝ වෙනත් ඔනෑම ක්‍රමවේදයක් මගින් ජනමතය වෙනස් කිරීමෙන් ජනතාවගේ සහභාගිත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අවප්‍රමාණය කරයි. මහජනතාවගේ තීරණ ගැනීමේ හැකියාව අවම කරමින් ඔවුන්ගේ ස්වාධීනත්වය සීමා කරන අතර මහජන මතය වෙනස් කිරීම අවිනිශ්චිතභාවයට හේතු වේ. AI තාක්ෂණය සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන අතර, එය මහජන මතය වෙනස් කිරීමේ දී වැරදි තොරතුරු ප්‍රචාරණය කරනු ඇත. එමගින් පෞද්ගලිකත්වය, මතවාදී නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැනි මානව අයිතිවාසිකම් උල්ලංඝනය වේ.  මහජන මතය වෙනස් කිරීම මගින් ජනතාවගේ තීරණ ගැනීමේ හැකියාව මොට කරයි.

මැතිවරණ වලදි AI තාක්ෂණය භාවිතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට, විශ්වාසනීයත්වයට සහ මානව අයිතිවාසිකම්වලට තර්ජනයක් වන බව ඉතා පැහැදිලිය. එබැවින්, මැතිවරණවලට බලපෑම් කිරීමට සහ හැසිරවීමට භාවිතා කරන AI ජනනය කරන ලද මාධ්‍ය සඳහා මහජනතාව සරලව සූදානම් කිරීමට නව දැනුවත්භාවයන් ක්‍රියාත්මක කළ යුතු අතර, එමගින් එහි නරකම බලපෑම් අවම කිරීමට උපකාරී වනු ඇත.  එසේම මෙම තාක්ෂණය භාවිතා කිරීම සීමා කිරීම සහ නියාමනය කිරීම, ඒ සඳහා වගකිවයුතු ආයතන වල ප්‍රමුඛතම වගකීමක් වන්නේය.

| සම්පත් ජයලාල්

නුවරඑළිය