රජයේ තීරණය හා සෞඛ්‍යයේ තීරණය එකක්ද? දෙකක්ද?
කොව්ඩ් වසංගතය පාලනය කරන්න කියල දස අතින් රජයට බලපෑම් ආපු නිසා මැයි 21 අඛණ්ඩ සංචරණ සීමා දාන්න ආණ්ඩුව තීරණය කරා. සෞඛ්‍ය අංශ වලින් කරන දැඩි බලපෑම නිසා සංචරණ සීමා දැම්මට ඒක ඉවත් කර ගන්න රජයට ලොකු උවමනාවක් තිබෙන බව තමයි බැලූ බැල්මට පෙන්න තිබුනේ. ජුනි මස 14 වෙනිදා සංචරණ සීමාව ඉවත් කරන්න තිබුනත් බොහෝ සෞඛ්‍ය අංශ වලින් කිව්වේ ඒක නැවත දීර්ඝ කරන්න ඕන කියලා. හමුදාපතිවරයා මාධ්‍යයට ඇවිල්ලා ඒක ස්ථිර වශයෙන්ම දීර්ඝ නොකරන බවට පැහැදිලි ප්‍රකාශයක් කරල පැය 24ක් යන්නටත් මත්තෙන් ඒක දීර්ඝ කරන බව නැවත එතුමා විසින්ම කිව්වා. සංචරණ සීමාව ඉවත් කිරීම සහ නොකිරීම අතර ඇති ප්‍රභල විවාදාත්මක තත්වය පැය 24ක් ඇතුලත හමුදාපතිවරයාගේ ප්‍රකාශ දෙකේ පරස්පරයෙන්ම පමණක් උනත් අපිට තේරුං ගන්න පුළුවන්
වසංගතය පාලනය කරන්න රජයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් මහජනතාවටත් එක හා සමාන වුවමනාවත් තියෙනවා. සංචරණ සීමා හෝ ඇඳිරි නීතිය දාන්නේ වසංගතය පාලනය කරන්න කියලා අපි හැමෝම දන්නව නං එක හා සමාන වුවමනාවක් තියෙන පාර්ශ්වයන් අතර එහෙම විවාදාත්මක තත්ත්වයක් ඇති වන්නේ ඇයි?
කැපවීමේ ප්‍රතිඵල තිබෙනවාද?
රටක් විදිහට අපි දවස් 23 ක් එහෙමත් නැත්නං මාසෙකට ආසන්න කාලයක් සංචරණ සීමා දාගෙන අසීමිතව දුක් විඳිනවා, මහජනතාව විශාල කැප කිරීම් කරනවා, රජය අමතර අභියෝග ගණනාවකට මුහුණ දෙනවා, රට ආර්ථිකව පිරිහෙනවා, ඒ සියල්ල කරන්නේ මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ හඬට මුල් තැන දීලා “සියල්ලට පෙර සෞඛ්‍ය” කියන ප්‍රතිපත්තියට අකැමැත්තෙන් වුනත් ඉඩදෙන්න සිදුවෙලා තියෙන නිසා.
සාමාන්‍ය මිනිස්සුන්ගේ සරල ප්‍රශ්ණ මොනවද?
රටම කැප වෙලා දාපු සංචරණ සීමාවෙන් වැඩක් වෙලා තියෙනවද? රෝගය අබමල් රේණුවකින් හරි පාලනය වෙලා කියල කාටහරි කියන්න පුළුවන් කමක් තියෙනවද? හැබැයි වාචාල කමට මාධ්‍ය ඉදිරියේ නෙමෙයි, විද්‍යාත්මකව දත්ත පෙන්නල, රෝගයට අදාල පුරෝකථනයන්, ප්‍රක්ෂේපණයන් ඉදිරිපත් කරල රෝග ප්රවණතාවයෙහි පාලනය වීමක් ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න කාටහරි පුළුවන්ද? එහෙම ප්‍රකාශයක් සිදු කිරීම සඳහා කවුරුහරි මේ වෙනකොට දත්ත එකතු කරල තියෙනවද? ප්‍රක්ශේපණයන් ප්රවණතාවයන් අධ්‍යයනය කරල තියෙනවද? සංචරණ සීමා දාපු නිසා රෝග ප්‍රවණතාවය වසංගතයේ පැතිරීම අවම වූ බව හා එසේ නොවූයේ නම් එය කෙසේ සිදුවිය හැකිද යන බව දත්ත ආශ්රයෙන් විද්‍යාත්මකව පැහැදිලි කරන්නට කවරුන් හෝ සූදානමින් සිටිනවාද? විවාදය ඇති වන්නේ එතැනින්.
සෞඛ්‍ය විද්‍යාත්මකව කල්පනා කලයුත්තේ කවුද?
ජනාධිපතිවරයා හෝ හමුදාපතිවරයා ඇතුළු දේශපාලන යාන්ත්‍රණය සෞඛ්‍ය විද්‍යාත්මකව කල්පනා කරන්නේ නැහැ. එසේ කල යුතුත් නැහැ. ඇත්තම කියනවනං ඒක කරන්න 150,000ක පමණ ශ්‍රම බලකායකට අමතරව 1000කට ආසන්න වෛද්‍ය පරිපාලකයන් සහ විශේෂඥයන් විශාල ප්‍රමාණයක් ඇතුළු එකී නොකී ප්‍රවීණයන් රැසක් රටක් විදිහට අපි නඩත්තු කරමින් ඉන්නව. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන තනි ගොඩනැගිල්ල ඇතුලෙ විතරක් වෛද්‍ය පරිපාලකයෝ කීදෙනෙක් ඉන්නවද?
ශ්‍රම බලකාය මෙහෙයවලා දේශපාලන තන්ත්රයට අවශ්‍ය විකල්ප සහිත විද්‍යාත්මක පුරෝකථනයන් හා ප්‍රක්ෂේපණයන් මඟින් ඇතිව තිබෙන තත්ත්වය සංසන්දනාත්මකව වාර්තා කිරීම අදාල විශේෂඥයන්ගේ සහ පරිපාලකයන්ගේ වගකීමය. එය සිදු කිරීම සඳහා ලැබෙන සම්පත් වල විශාල අඩු පාඩුවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම එහෙම කරනවනං ඒ හඬට කන්නොඳෙමින් මඟහැරයමින් දේශපාලනික තීන්දු ක්‍රියාත්මක වන බවක් තියෙනව කියල පිළිගන්න තරං සාක්ෂිත් නැහැ.
සංචරණ සිමාවේ ප්‍රතිඵලය විද්‍යාත්මකව කිව හැකිද?
සංචරණ සීමාව දැමීම හෝ නොදැමීම, රට සම්පූර්ණයෙන්ම වසා දැමීම හෝ නොදැමීම, සංචරණ සීමාව දැමීම ඇඳිරි නීතිය දැමීම, වැනි තීන්දු වලට එළඹීමේදී වසංගතය පාලනය වන්නේ කොයි ආකාරයෙන්ද? මරණ සංඛ්‍යාව අඩු හෝ වැඩි වන්නේ කොයි ආකාරයෙන්ද? වසංගතය පාලනය කිරීමට ගත වන කාලය වෙනස් වන්නේ කොයි ආකාරයෙන්ද යන්න පැහැදිලි දත්ත මඟින් පුරෝකථනය කල හැකි වූ දිනක දේශපාලන තීන්දුව සහ සෞඛ්‍ය තීන්දුව අතර විවාදයක් මතුවේ යයි අප විශ්වාස කරන්නේ නැත.
එසේම ඕනෑම විකල්පයක් තොරා ගැනීමට දේශපාලඥයන්ට බලය ඇත්තා සේම තමන් තොරා ගන්නා විකල්පය මඟින් රටට අත්වන ඉරණම පිළිබඳව පූර්ව අවබෝධයක් සහිතව ඔවුන් එම විකල්පය තෝරා ගන්නා බැවින් එහි පූර්ණ වගකීමද ඔවුන් වෙත පැවරෙනු ඇත.
සංචරණ සීමා මැද වසංගතය ඔඩුදුවලද?
“සියල්ලට පෙර සෞඛ්‍ය” කියන තේමාව යටතේ මසකට ආසන්න කාලයක් රට පාලනය කරපු රජය සහ මහජනතාව ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. එසේ නම් එම ප්‍රතිඵල නිවැරදිව, පැහැදිලිව සහ විද්‍යාත්මකව නිකුත් කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ භාරගත යුතුය.
මැයි මාසේ 21 වැනිදා සංචරණ සීමා පැනවීමට පෙර සතියේ 2021.05.15 දින ඉදල 2021.06.12 කියන මාසයක කාලයක් තුල දෛනික කොරෝනා මරණ ප්‍රමාණය, දෛනික රෝගීන් ප්‍රමාණය, දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ සමස්ථ රෝගීන් ප්‍රමාණය සහ මරණ සංඛ්‍යාවට අදාල දත්ත මේ වගුවේ තියෙනවා. මේව අපි ගත්තේ ලොකයේම පිළිගත්ත worldometers.info කියන වෙබ් අඩවියෙන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියෙන්.
දෛනික කොරෝනා මරණ ප්‍රමාණ
Source 01: https://www.worldometers.info/coronavirus/country/sri-lanka/#graph-deaths-daily
Source 02: https://hpb.health.gov.lk/covid19-dashboard/
මේ අනූව අපේ දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය පල්ලම් බහිනවා. මරණ ප්‍රමාණය ගත්තොත් ඒක අඛණ්ඩව වැඩිවෙනවා සති 4 ක් තුල මරණ ප්‍රමාණය තුන් ගුණයක් වෙලා සංචරණ සීමා පැනවුනු කාලසීමාව තුලදීම එහෙම සිදුවීම ඉතාම භයානක තත්වයක්. හැබැයි දෛනික රෝගීන් ප්‍රමාණය දෛනිකව වැඩිවෙලා පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමත් සමඟම නැවත අඩුවෙනවා මේක කෘතීම අඩුවීමක්. ඒක නිසා තමයි අපි කිව්වෙ පීසීආර්ම විතරක් කරන්න ගිහින් කවදහරි ඇනගන්නවා කියලා. මේ ප්‍රස්ථාර ටික බැළුවාම දත්ත වල හැසිරීම හොඳින්ම පෙනෙනවා.
වල්ඩෝමීටර් දත්ත වලට අදාලව සංචරණ සීමාව තුලදී මරණ සංඛ්‍යාව වැඩි වන විට රෝගීන් අඩුවන බවක් පෙනී යනවා. බැලූ බැල්මට එය වෛරසයේ හෝ ප්‍රභේදයේ ප්‍රභලතාවයේ (Virulence) පුරෝකථනයක් ලෙස සැළකිය හැකි වුනත් එම කාල සීමාව තුල සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ගැන සළකා බැලීමේදී වර්ඩෝමීටර් පුරෝකථනයත් උඩු යටිකුරු කළ හැකියි. ඒ අනූව එම කාලසීමාවේ සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම සොයා ගනු ලබන රෝගීන් ප්‍රමාණය අඩු වීමට හේතුව බව සාධාරණ ලෙස උපකල්පනය කල හැකිය. ඒ අනූව රෝගීන්ද, මරණද සමාන්තරව වැඩිවීම තුල වෛරසයේ ප්‍රභලතාවය පිළිබඳව සිදු කරන පුරෝකථනය වඩා නිවැරදි නොවන අතර පීසීආර් පරීක්ෂණ අඩු කිරීම මඟින් පුරෝකථනය සඳහා කෘතීම බලපෑමක් සිදුව ඇත. මෙය මාර්තු මස අග සති වලදී සහ අප්‍රේල් මස මුල සති කිහිපය තුල සිදුවූ වරදට සමාන වන අතර අවශ්‍ය ධාරිතාවට අනූව කොරෝනා රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු නොකිරීමෙන් විද්‍යාත්මක පුරෝකථනයන් සඳහාද බරපතල බාධාවන් ඇති කරනු ලබන බවට වැදගත් සාක්ෂියක්.
කොරෝනා පරික්ෂණ අඩු කිරීමෙන් පුරෝකථන වලට බලපෑම් කිරීම....
උක්ත සරල දත්තයට අදාලව පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට අපට ඇති උනන්දුව අඩුවෙමින් තිබියදී පවා හමුවන රෝගීන් සහ මරණ ප්‍රමාණය වර්ධනය වී ඇත. ඒ නිසා සෞඛ්‍ය පිළිබඳ මහා වින්‍යාස නොදන්නා කෙනෙකුට උනත් “සංචරණ සීමා දමා ගනිමින්, එදිනෙදා වේල සරිකර ගන්නට නොහැකිව මෙතරම් දුක් විඳිනු ලබන්නේ කුමක් සඳහාද” යනුවෙන් සිතීම අතිශය සාධාරණය.
එම සරල ප්‍රශ්ණයට පිළිතුර ලෙස “මෙලෙස නිකුත් වී ඇති සියළු ප්‍රතිඵල සංචරණ සීමා දැමීමට පෙර සිදු කරන ලද වැරදි භාවිතාවන්ගේ ප්‍රතිඵල” බව පවසමින් සැබෑ ගැටළුව මඟහැර යන්නත් පුළුවන්. නමුත් කිසියම් සෞඛ්‍ය බලධාරියෙකු තවම අපි සංචරණ සීමා දැමීමෙන් ලද ප්‍රතිඵල ලබා ගෙන නොමැති බවත් ඒ සඳහා පුරෝනථන ඉදිරිපත් කිරීමට කාලය මදි බවක් පවසන්නේ නම්, එය විද්‍යාත්මක දත්ත අසුරෙන් පැහැදිලි කල යුතුය.
“විද්‍යාත්මක පැහැදිලි කිරීම් රටේ හැමෝටම කියන්න ඕනෑ නැහැ” යනුවෙන් සැබෑ ප්රශ්නය මඟහරින්නත් උත්සහ කරන අය ඉන්නවා. ඔවුන්ට කියන්න තියෙන්නේ සරල දෙයකි. සියළු කැප කිරීම් සිදු කරනු ලබන්නේ රටේ සාමාන්‍ය මහජනතාව වන බැවින් ප්‍රතිඵල දැනගැනීවමටත් ඔවුන්ට අයිතියක් තියෙනවා. තවදුරටත් වසගතය ප්‍රභූ සාධකයක් නොවිය යුතුයි.
හැබැයි සංචරණ සීමා දැමීමෙන් හෝ රට වසා තැබීමෙන් වසංගතය පාලනයට උදව්වක් නොවන බව මින් අදහස් වන්නේ නැහැ. නමුත් සංචරණ සීමා දැමීම සඳහා කරනු ලබන බලපෑමේ ප්‍රමාණයට සංචරණ සීමා දැමීමෙන් ලැබිය හැකි ප්‍රතිඵල පිළිබඳ සංවේදීද යන්න මෙම සංවාදයේ ප්‍රධාන ගැටළුවක්. සංචරණ සීමා දැමීමට පෙර සක්‍රීය රෝගීන් සංඛ්‍යාව සහ පසු සක්‍රීය රෝගීන් සංඛ්‍යාව සමාන වුවද, වැඩි වුවද, රෝගය පාලනය වී නොතිබෙන බව එයින් කියවෙන්නේ නැත. සක්‍රිය රෝගීන් සංඛ්‍යාව සඳහා කරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණයට අනූව පමණක් රෝග ව්‍යාප්තිය පැහැදිලි කල නොහැකි බවත් එය රටේ සිටින රෝගීන් සංඛ්‍යාව හඳුනාගැනීමට ඇති එකම එක නිර්ණායකය නොවන බවත් අප නිතර පවසන්නේ ඒ නිසාය.
පුරෝකථනය නිවැරදිව කරන්නේ කොහොමද?
සංචරණ සීමාවෙන් පැනවීමෙන් පසු අහඹු (Random) හා අක්‍රීය (Passive) පරීක්ෂණ කිසිවක් සිදු නොකල බැවින් සංචරණ සීමා හේතුවෙන් සමාජයේ රෝගීන් කොපමණ ප්‍රමාණයක් අඩු වී ඇත්ද යන්න විද්‍යාත්මකව කියන්නට අපට නොහැකිය. ඒ නිසාම “සංචරණ සීමාවෙන් මොකද වුනේ” යනුවෙන් අසන සාමාන්‍ය ප්‍රශ්ණයට අසාමාන්‍ය හේතු දක්වමින් ප්‍රශ්ණය මඟහැර යන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවී ඇත. ඒ නිසාම ලෙඩා විසින්ම ලෙඩේ හොයාගෙන පැමිණි විට කරන පරික්ෂණ වලින් පමණක් වසංගතයක් ගැන විද්‍යාත්මක අදහසක් ඇති කර ගැනීමට නොහැකි බව අප නැවත නැවතත් කියනවා.
සංචරණ සීමා දැමීම හෝ රට වසා දැමීම සිදු කරන ලෙස රජයට සහ මහජනතාවට බලපෑම් කරනවාටත් වඩා රජය විසින් ගනු ලබන බරපතල තීන්දු වල ප්‍රතිඵලය විශ්ලේශණය කිරීමට සහ මැන මැලීමට වසංගත රෝග විද්යාවයට අදාල මිනුම් දඬු ස්ථාපිත නොකරමින් සීමාවන් දැමීමට සහ රට වසා දැමීමට කරනු ලබන බලපෑම තවදුරටත් අඳුරේ අතපතගෑමක්. එනිසාම සෞඛ්‍ය තීන්දුව පරයා යන්නට දේශපාලන තීන්දුවට හැකි වීමත් එසේ සිදු කිරීමට සාධාරණ හැඟිමක් ඇති වීම පිළිබඳත් වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැරිය යුතුය.
අන්තිමට ඔබට කියන්න තියෙන්නේ මොනවද?
මෙච්චරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය මොනවත්ම නොකර හිටියත් කවදහරි දවසක කොවිඩ් අඩුවෙලා යනවා. ඒ වගේම තමයි රැලි විදිහට මතුවෙලා වැඩිවෙලා ව්‍යාප්ත වෙන කොවිඩ් තත්වයන්ද එක තැනකින් පටන් අරගෙන උපරිමයට වැඩිවෙලා එතන ඉඳං අඩුවෙලා නැති වෙලා යනවා. ඒක ස්වාභාවික තත්ත්වයක්.
නමුත් ගැටළුව තියෙන්නේ ඒ වැඩි වීමෙදී කොච්චර රෝගීන් සංඛ්‍යාවක් ඇති වෙනවද? කොච්චර කාලයක් රැල්ල සමාජයේ පවතිනවද? කොපමණ අතුරු ආබාධ ප්‍රමාණයක් සමාජය තුල ඉතිරි වෙනවද? සහ කොපමණ ආසාධිතයන් ප්‍රමාණයක් රෝගයට බිලි වෙලා මියයනවද? කියන එක. සෞඛ්‍ය අංශයන්ගේ වගකීම තමයි මේ විදිහට ඇතිවන රෝගීන් සංඛ්‍යාව, අතුරු ආබාධ, මරණ සංඛ්‍යාව සහ රෝගය හෝ රැල්ල සමාජයේ පවතින කාලය අඩු කරන එක. එනිසාම උචිතයා ඉතිරිවෙලා දුර්වලයා මියයන ස්වාභාවික වසංගත පාලනයකට සෞඛ්‍ය සේවාවක් අවශ්‍යවන්නේ නැහැ. රැලි මර්ධනයට හා වසංගත පාලනයට අදාලව ස්වාභාවික වරණයට එහා ගිය යමක් සිදුකල බව විද්‍යාත්මකව හා සංඛ්‍යාත්මකව කියන්නට සෞඛ්‍ය සේවාවට පුළුවන් වෙන්න ඕන. විශාල නිළධාරීන් පිරිසක් නඩත්තු කරලා, මහ ලොකු විද්වතුන්ගෙ උපදෙස් පිළිපැදලා මදිවට රටේම ජනතා බදු වලින් වැඩිම කොටසක් වියදම් කරලත් කොරෝනා පාලනය වෙන්නේ ස්වාභවික විදියට නම් එදාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාවලිය පුස්සක් වෙනවා.
රවී කුමුදේශ්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය