“ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීමට ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෙවෙයි” කියලා ආණ්ඩුවේ රාජ්‍ය දේපළ මංකොල්ලය වෙනුවෙන් මහාචාර්ය සමරජීව ලොකු ප්‍රකාශයක් කරලා, ජනාධිපති මාධ්‍ය අංශය විසින් පසුගිය ජුනි 13 වන දින නිවේදනයක් මගින් ඒකට ලොකු ප්‍රචාරයක් දීගෙන යනවා. මහාචාර්යවරයාගේ කතාව අලෙවි කෙරෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කියලා උඩින්ම ලේබලය අලවලා. කොමිසම් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙක්ද හිටපු මහාචාර්යවරයෙක්ද කියන විශේෂන මේ කතාවට ඒ තරම් වැදගත් නැහැ. මේ කතාවට වැදගත් වෙන්නේ ආණ්ඩු පාලනය සමග සරළ ආර්ථික සාධකයක් දේශපාලනිකව සාධාරණය කරන්නේ කොහොමද කියන කතාව පමණයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමට විවිධ සූත්‍ර ඉදිරිපත් කරමින් ආණ්ඩුව රාජ්‍ය ව්‍යාපාර අලෙවිය ගජරාමෙට කර ගෙන යන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඒ වෙනුවෙන් මහ භාණ්ඩාගාරයෙන් හැදුව ලේඛනයක් කියලා රජයේ ව්‍යාපාර 430 ක විතර ලේඛනයක් මාසයකට විතර කලින් මාධ්‍යවල පළ වුනා. ඒ වනවිටත් ටෙලිකොම්, ත්‍රිපෝෂ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් වැනි ලාභ ලබන රජයේ ව්‍යාපාර ගණනාවක්ද අලෙවි කිරීමට නම්කර තිබුණා.
රජයේ ව්‍යාපාර විකුණා දැමීම, ජයවර්ධන ජනාධිපතිගේ කාලයේ පටන් සාධාරණය කෙරුණේ එකම එක කාරණාවක් මත පමණයි. පාඩු ලබන රජයේ ව්‍යාපාර වෙනුවෙන් මහජනතාවගේ බදු මුදල් වැය කිරීම අපරාධයක් යැයි කීම මත පමණයි. ඒ ජනතා මුදල් වඩා ප්‍රයෝජනවත් සමාජ කාර්යන් වෙනුවෙන් වැය කළ හැකි යැයි තර්ක කෙරුණා. එයත් සම්පූර්ණ තර්කයක් නෙවෙයි. ඇතැම් රාජ්‍ය ආයතන අත්‍යාවශ්‍ය සමාජ සේවා සැපයීම සඳහා පවත්වාගෙන යාමේ දේශපාලන වගකීමක් ආණ්ඩු වලට පැවරෙනවා. ඒනිසා රජයේ ආයතනවල ලාභ-පාඩු ගණන් හැදිය යුත්තේ ඒවායේ සමාජ දායකත්වය සතු වටිනාකම ගණන් හැදීමත් සමගයි.
නමුත් ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමේ කතාවක් එතකොට තිබුණේ නැහැ. ලාභ ලබන රජයේ ව්‍යාපාර විකිණීමේ කතා පටන් ගත්තේ මීට අවුරුද්දකට කලින් “අරගලය” හරහා තහවුරු කෙරුණ මේ ජනාධිපති වික්‍රමසිංහගේ ආණ්ඩුවයි. ඒ සමග, පාඩුවට පවත්වා ගෙන යන රජයේ ව්‍යාපාරවල බර ජනතාවගෙන් ඉවත් කිරීමට ඒවා අලෙවි කළ යුතුයි කියුව තර්කය අවලංගු වෙනවා.
දැන් වලංගු යැයි කියන්න හදන්නේ ඉකුත් මාර්තු 23 වන දින මාධ්‍ය හිමිකරුවන්, කර්තෘවරුන් හා මාධ්‍යවේදීන් කැඳවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම ගැන කරුණු කීමේ මාධ්‍ය හමුවේදී ජනාධිපති වික්‍රමසිංහ මාධ්‍යවේදිනියකට දමා ගැසූ “මොනවටද රජය බිස්නස් කරන්නේ?” කියා ඇසූ ප්රශ්නය පදනම් කෙරුණු “බිස්නස් කිරීම රජයේ වැඩක් නෙවෙයි” කියූ හේතු දැක්වීමයි. ලාභ ලබන රජයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම සාධාරණය කිරීමට “ඉන්දියාවේ ලාභ ලබන ගුවන් තොටුපලවල් පවා විකුණනවා” කියූ ජනාධිපති රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම සාධාරණය කරන්න කියුවේ “විදුලිබල මණ්ඩලයට, ඉන්ධන සංස්ථාවට අපි අධ්‍යාපනයට, සෞඛ්‍යයට වඩා මුදල් ගෙවනවා” යැයි කියා ය. ඒ නැවතත් පාඩු ලබන රජයේ ආයතන අලෙවි කිරීම සඳහා තර්කයයි.
ජනාධිපති කියුව මෝඩි ආණ්ඩුව ලාභ ලබන ගුවන් තොටුපල 07 ක් අලෙවි කිරීම, මෙතෙක් ඉන්දියානු ඉතිහාසයේ සිදු කෙරුණු අති දූෂිතම ගනුදෙනුව කියලා ඉන්දීය සමාජයේ දැඩි විරෝධයක් තිබුණා. ගුජරාත් සමයේ සිට මෝඩිගේ සමීප ජාවාරම්කරුවකු වන අඩානි සමූහ ව්‍යාපාරයේ අයිතිකරුට ඒ ගුවන් තොටුපල 07 න් 06 ක්ම විකුණන්න, අලෙවිකරණය සඳහා මෝඩි ආණ්ඩුව පත් කළ කමිටුව තීන්දු කෙරුවා, ගුවන් තොටුපල කලමනාකරණය ගැන පෙර අත්දැකීම් අවශ්‍ය නැහැ කියලා. ඉන්දියාව ලාභ ලබන රජයේ ගුවන් තොටුපල පවා විකුණුවා කියලා ජනාධිපති කිව්වේ එහෙම අත යට ගනුදෙනුවකටයි. මෙහෙත් ලාභ ලබන රජයේ ව්‍යාපාර විකුණා දැමීම ඒ වගේම යෝධ ජාවාරමක් වෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියා ගත යුතු නැහැ. ලාභ ලබන ත්‍රිපෝෂ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් වැනි අනෙක් රජයේ ව්‍යාපාර දැනට පැත්තකින් තියලා, විකුණා දැමුවට ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා මහාචාර්ය සමරජීව කියන ටෙලිකොම් ආයතනය ගැන කතා කළොත් වසර 2000 දී ටෙලිකොම් ලැබූ ශුද්ධ ලාභය රුපියල් මිලියන 181 යි. අවුරුදු 22 ක් නොකඩවා ලාභ ලැබූ ටෙලිකොම් ආයතනය පසුගිය 2022 අවුරුද්දේ රුපියල් බිලියන 100 ක ලාභයක් පෙන්නා තියෙනවා. 2021 අවසන් වනවිට රුපියල් බිලියන 220 ක වත්කම් ටෙලිකොම් ආයතනයට තිබුණා. මේ විකුණා දමන්න කතා කරන්නේ නිකම් ලාභ ලබන පොඩි බිස්නස් එකක් නෙවෙයි. ආණ්ඩුවටත් ජනතාවටත් ඇත්තටම ආඩම්බර විය හැකි අවුරුද්දකට බිලියන ගණන් ලාභ ලබන බිලියන ගාණක වත්කම් තියෙන රාජ්‍ය ව්‍යාපාරයක්. අනෙක්වා ප්‍රතිසංවිධානය කිරීමේදී ආදර්ශයට ගත හැකි ඉතාම සාර්ථක රජයේ ව්‍යාපාරයක්. එහෙම ව්‍යාපාරයක් රජයේ අයිතියට තිබීමේ වරද මොකද්ද? ප්රශ්නය මොකද්ද?
රජයේ ව්‍යාපාර ගැන යුරෝපීය රටවල් 27 ක අත්දැකීම් සහ ඒවායේ ගුණ දොස් අධ්‍යයනය කළ බෙල්ජියමේ ගෙන්ට් විශ්ව විද්‍යාලයයේ 2018 නොවැම්බර ක්ෂේත්‍ර වාර්තාවෙන් කියන්නේ “යුරෝපා මහද්වීපයේ රාජ්‍ය හිමිකාරිත්වය ව්‍යාප්තව තිබෙන්නකි. ඇතැම් රටවල එය වැඩියෙන් වර්ධනයවී ඇත. මෙවැනි හිමිකාරිත්වයන් බෙහෙවින් ගොනුව තිබෙන්නේ පතල්, බල ශක්ති, ප්‍රවාහන තැපැල් හා විදුලි සංදේශ ක්ෂේත්රයන්හි ය.” ටෙලිකොම් අලෙවි කිරීමට ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන හැමෝටම මම කියන්නේ “State Owned Enterprises Across Europe”නමින් වන ඒ වාර්තාව කියවන්න කියලයි.
ජාතික ආරක්ෂාව ගැන කතාව පැත්තකින් තියලා මහාචාර්යවරයා දැන් කියන්න ඕනේ ඇයි මෙහෙම බිලියන ගණන් ලාභ ලබන ව්‍යාපාරයක් විකුණන්නෙ කියලා. පසුගිය අවුරුදු 30ට වැඩි කාලයේ ජාතික ආරක්ෂාවට ටෙලිකොම් එකෙන් තර්ජන තිබුණද? ටෙලිකොම් එක මේ පවතින ව්‍යුහය සමග රාජ්‍ය ව්‍යාපාරයක් වීමෙන් ජනතාවට අවාසියක්, ගැටළුවක් තිබුණද? ටෙලිකොම් එක විකුණලා ආණ්ඩුව ජනතාවට ලබා දෙන වාසිය මොකක්ද? මහාචාර්යවරයා ඒවාට පැහැදිලි උත්තර දිය යුතුයි.
මේ රාජ්‍ය ව්‍යාපාර අලෙවි කිරීමට හවුල්වන හැම වෘත්තිකයෙක්ම ඊට හවුල් වෙන්නේ අත ලෙව කන්න නෙවෙයි. ව්‍යාපාර අලෙවි කිරීමේ උපදේශන කාර්ය වෙනුවෙන් මහ භාණ්ඩාගාරයේ කැඳවීමට ඉදිරිපත්ව ඉන්නා ජාත්‍යන්තර කීර්තියක් ඇතැයි කියන ප්‍රධාන මූල්‍ය හා විගණන විශේෂඥ සමාගම් ද බරපතල දූෂණ චෝදනා ඇති සමාගම් බවත් අවසන් වශයෙන් කියන්න ඕනේ.
| කුසල් පෙරේරා
2023 ජුනි 14 වන දින