නිරන්තරව පැනනගින වැටුප් ප්‍රශ්න වලට ක්‍රමික විසඳුමක් දිය නොහැකිද?

නිරන්තරව පැනනගින වැටුප් ප්‍රශ්න වලට ක්‍රමික විසඳුමක් දිය නොහැකිද?

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය මේ මොහොත වන විට ද ක්‍රියාත්මක වෙමින් පවතින අතර තවත් වැඩ වර්ජන කිහිපයක් සම්බන්ධයෙන් ‘රතු එළි‘ දැල්වෙමින් තිබේ. ඉදිරි මාස කිහිපය තුළ ජනාධිපතිවරණය ද පැවැත්වීමට නියමිත හෙයින් වැඩවර්ජන රැල්ලක් නිර්මාණය වීමට වැඩි අවකාශයක් ඇති අතර වැටුප් වැඩි කර ගැනීම ඇතුළු සේවක ඉල්ලීම් දිනා ගැනීම සහ ඒවා ලබා දෙන බවට පොරොන්දු වීම සුලභ තත්ත්වයක් විය හැකිය.

ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව තමන්ට හැකි කුමන හෝ ආකාරයකින් සිය අදායම වැඩිකර ගැනීමට හෝ ඉහළ නංවා ගැනීමට උනන්දුවීම හෝ අරගල කිරීම ගැන කිසිවෙකුට විරුද්ධ විය නොහැකි වුවත් වැටුප් ප්‍රශ්න මුල්කර ගනිමින් ‘නිරන්තරයෙන්‘ සිදුවන වැඩවර්ජන ආදිය ආර්ථික හා සමාජයීය වශයෙන් පමණක් නොව දේශපාලනිකව ද සැලකිය යුතු ඍණාත්මක බලපෑමක් කරන බවට ද සැකයක් නැත.

dr sujatha gamage 2

මෙම තත්ත්වය හමුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය දා පැවැති සිය  182 වැනි ‘කතිකාවත‘ වැඩසටහනේ දී ‘නිරන්තර වැටුප් ප්‍රශ්න වලට ක්‍රමික විසඳුමක් නැද්ද?‘ මැයෙන් විද්වත් සංවාදයක් සිදු කරන ලදී. ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් මෙම සංවාදය මෙහෙයවනු ලැබූ අතර වැටුප් කොමිෂමේ හිටපු සභාපති එස්. රනුක්ගේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා වන රවී කුමුදේශ් සහ වෘත්තීය සමිති නායිකාවන වන තමරා දයානි මෙම සංවාදය සඳහා එක් වූහ.

මෙම සංවාදය සඳහා මූලාරම්භයක් ගනිමින් ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ කොමිෂන් ගණනාවක් පත්කර වාර්තා ලබා ගෙන තිබුණ ද වැටුප් විෂමතා ආදිය පදනම් කරගත් වැඩවර්ජනවල හෝ සේවක ඉල්ලීම්වල අඩුවක් දැකගත නොහැකි බවය. මෙවැනි කොමිෂන් සභාවලින් අදාළ ගැටලු විසඳීමට නිර්දේශ ආදිය ලබා දුන්න ද ගැටලුව තව දුරටත් නොවිසඳී පැවතීම කෙරෙහි දැඩි අවධානයක් යොමුවිය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

ගැටළුවට මුල ආණ්ඩුවට වැටුප් හෝ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නොමැති වීමයි  - එස්. රනුක්ගේ

s ranukge

වැටුප් කොමිෂන් සභා ගණනාවක සභාපතිවරයෙකු සහ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර පුළුල් අත්දැකීමක් ඇති එස්. රනුක්ගේ මහතා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ ‘වැටුප් විෂමතා‘ රැසක් පවතින අතර එය ‘නොවිසඳුණු ගැටලුවක්ව‘ පවතී. 2006 දී රජය විසින් පත්කරන ලද ‘තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිෂම‘ මේ දක්වා සමස්ත රාජ්‍ය සේවයටම පිළිගත හැකි වැටුප් කොමිෂම බව ද රනුක්ගේ මහතාගේ මතය විය.

වත්මන් වැඩවර්ජනවලට හේතු වූ කරුණු රනුක්ගේ මහතා මෙසේ පැහැහැදිලි කළේය.

‘තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිෂම සිය වාර්තාව ඉදිරිපත් කිරීමේ දී සැලකිය යුතු කාලයක් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා පොදුවේ පිළිගත හැකි වාර්තාවක් ඉදිරිපත් කළා. ඊට පසුව 2016 දී චක්‍රලේඛයක් මගින් රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමක් කළා. මුලදී එය ‘දීමනාවක්‘ ලෙස නම් කළත් පසුව ඒක මූලික වැටුපට එක් කිරීමත් සමග විශාල වැටුප් වැඩි වීමක් සිදු වුණා. දැන් වැටුප් අරගල ඇති වීමට හේතුව තමයි රජය විටින් විට යම් යම් සේවාවන්වලට වැටුප් හෝ දීමනා වැඩි කිරීම. මේක අද පවතින බරපතළ ප්‍රශ්නයක්. මම දකින ආකාරයට කිසිම ආකාරයක විධිමත් සොයා බැලීමකින් තොරව සහ තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිෂන් සභා වාර්තාව නොතකා හරිමින් ‘බලය තිබෙන අය‘ නැතිනම් ‘බලපෑම් කළ හැකි කණ්ඩායම්‘ තමන්ගේ වැටුප් වැඩිකර ගන්නවා. එතකොට ‘බලය නැති අය‘ (සංඛ්‍යාත්මකව නොවේ) තමයි දැන් අරගල කරන්නේ ‘අපේ වැටුප් විෂමතාත් නැතිකළ යුතුයි‘ කියලා“

මෙහිදී රනුක්ගේ මහතා පෙන්වා දුන්නේ වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යා ආචාර්යවරුන් ඇතුළු ‘බලවත් වෘත්තිකයින්‘ විසින් ඉල්ලා නොසිටි ‘දීමනා‘ වැඩිකිරීම ද වත්මන් වැටුප් අර්බුදයට හේතුවක් බවයි. විශේෂයෙන් ‘වැටුප මත ආදායම් බදු ගෙවීමට ‘සිදු වූ අවස්ථාවේදී එම අගය පහළ දැමීම වෙනුවට එයට ඔවුන් විසින් ඉල්ලා නොසිටි දීමනා ලබාදීම මගින් ‘අලුත් වැටුප් විෂමතා අර්බුදයක්‘ නිර්මාණය කළ බව රනුක්ගේ මහතා පෙන්වා දුන්නේය.

වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩවිම සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් සෙසු වෘත්තීන්වල ද වැටුප් විෂමතා ඇතිවීම අනිවාර්ය කරුණක් බව පෙන්වා දුන් රනුක්ගේ මහතා ගැටලුව ඇත්තේ වැටුප් වැඩිවීම මත නොව ‘අතට ලැබෙන වැටුප‘ මත බව ද පෙන්වා දුන්නේය.

‘සෞඛ්‍යය සේවාවේ, විශ්වවිද්‍යාල වල තිබෙන්නේ ‘අපි ගෙදර ගෙන යන වැටුප කීයද ?‘ යන ප්‍රශ්නයයි. වෛද්‍යවරුන්ට හෝ විශ්වවිද්‍යාල ආචාර්වරුන්ට වැටුප් වැඩි වුණ ගමන් සෙසු වෘත්තීන් ද තමන්ගේ වැටුප වැඩිකළ යුතු බව බලාපොරොත්තු වෙනවා. ඒක සාධාරණ තත්ත්වයක්. එක්තරා බලපෑම් සහගත පිරිසක් රුපියල් 80,000 සිට 580,000 දක්වා වැටුප් වැඩිකර ගත්තා‘ අර්බුද නිර්මාණය කරන්නේ මෙවැනි පියවරයි“ රනුක්ගේ මහතා වැටුප් විෂමතා නිර්මාණයේදී ‘බලපෑම් සහගත කණ්ඩායම්වල‘ භූමිකාව පැහැදිලි කරමින් කීවේය.

මෙහිදී රනුක්ගේ මහතා පෙන්වා දුන්නේ ‘වැටුප් වැඩි කිරීම සම්බන්ධ යම් යම් නිර්ණායක‘ පවතින බවයි. එසේම වැටුප් වැඩි කිරීමේ යම්කිසි ‘ක්‍රමවේදයක්‘ පවතින බව පෙන්වා දුන් ඔහු වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය මෙසේ පැහැදිලි කළේය.

‘රාජ්‍ය සේවයේ පහළම ඉන්නේ කාර්යාල කාර්ය සහයකවරුන්. ඉහළම ඉන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා. ඔවුන් අතර වැටුප් අනුපාතය 1:20යි. පසුගිය කාලය තුළ සිදු වුණ වෘත්තීය සමිති අරගල නිසා මේ අනුපාතය 1:12, 1:8 දක්වා පහළ ගොස් බරපතළ වැටුප් විෂමතාවක් ඇති වුණා. විශේෂයෙන් දේශපාලන හා වෘත්තීය සමිති බලය නිසා පහළ වැටුප් තලවල සිටින අය ‘අසාමානුපාතික‘ ලෙස වැටුප් වැඩිකර ගත්තත් ඒ අතර මැද සිටන ශ්‍රේණිවල වැටුප් ‘හැකිළුණා‘ වගේම ඉහළ වැටුප් තලවල සිටින අයගේ වැටුප් පරතරයත් අඩු වුණා. නමුත් මේ වැටුප් පරතර අවම කිරීම විධිමත් ලෙස සිදු වුණේ නැහැ. මම ඒ ගැන ප්‍රශ්න කළ විට අදාළ බලධාරියා කිව්වේ ‘ඒ ගොල්ලන්ගේ බලපෑම් නිසා මේක දෙන්න සිද්ධ වුණා. නමුත් මුදල් තත්ත්වය යටතේ එහෙම කරන්න බැහැ‘ කියලා“

මෙහිදී රනුක්ගේ මහතා පෙන්වා දුන්නේ බලධාරීන් මේ ආකාරයෙන් ප්‍රකාශ කළ ද එය වැරදි බවයි. වැටුප් වැඩි කළ යුත්තේ මුදල් තත්ත්වය බලා බව අවධාරණය කළ ඔහු රාජ්‍ය ආදායම පවතින්නේ රාජ්‍ය සේවක හා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට පමණක් නොවන බව පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද පැවසුවේය, ‘රාජ්‍ය ආදායම වැඩි වෙනවා නම් පමණයි වැටුප් වැඩි කළ යුත්තේ. සිංගප්පූරුව ආදි රටවල සිදුවන්නේ එයයි.  බලය ඇති අයගේ වැටුප් වැඩි කරමින් බලය නොමැති අයගේ ඉල්ලීම්වලට කන් නොදීම වැරදියි. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම වෘත්තීය අරගල තිබෙන්නේ‘

වෘත්තීය අරගල සිදුවන්නේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් මත ම පමණක් නොවන බව කී රනුක්ගේ මහතා පෙන්වා දුන්නේ ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් ලබා ගැනීම කාගෙත් අපේක්ෂාව බවයි. රජය ම පවසන ආකාරයට ජීවත් වීමට අවශ්‍ය අවම මුදල පවා උපයන රාජ්‍ය සේවකයින් සිටින්නේ සුළුතරයක් බවත් ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් ලබා දීමට රජයට හැකියාවක් පවතී ද යන්න ප්‍රශ්නයක් බවත් ඔහු කීවේ ය.

වැටුප් විෂමතා ගැටලු අවම කර ගනිමින් අදාළ ගැටලුව විසඳීමට ගත හැකි පියවර ඔහු මෙසේ පැහැදිලි කළේය.

‘රජය දුරදිග නො බලා බලපෑම් කණ්ඩායම්වලට යට වීමෙන් තමයි මේ වැටුප් විෂමතා ප්‍රශ්න ඇති කර ගෙන තිබෙන්නේ. මේ අර්බුදය විසඳන්න ක්‍රමික විසඳුමක් නෑ. මේක කරන්න පුළුවන් වෙන්නේ, 2018 වාර්තාවෙන් අපි පැහැදිලිව කියා තිබෙනවා ‘ඉතා බලවත් ජාතික වැටුප් කොමිෂමක් පත්කර වර්තමානය වන විට පවතින සියලුම ආකාරයේ වැටුප් විෂමතා සමාලෝචනය කර, ජාතික වැටුප් සමාලෝචන ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්න‘. එවැනි කොමිෂමක් මගින් පවා වර්තමානයේ පවතින වැටුප් විෂමතා අවම කරන්න නොහැකි වේවි. ඊට හේතුව විවිධ හේතු මත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ‘දැඩිව විකෘති කර‘ තිබෙනවා“

රනුක්ගේ මහතා අවධාරණයෙන් පෙන්වා දුන්නේ වෘත්තීය සමිති බල සහ ඇතැම් බලපෑම් කණ්ඩායම්වල බලය හමුවේ දැඩි ලෙස විකෘති වී ඇති රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුව පහසුවෙන් විසඳා ගත හැකිවනු ඇතැයි තමා නොසිතන බවයි.

‘මේ වගේ කිසිම ප්‍රතිපත්තියක් නැති ආකාරයට වැටුප් හෝ දීමනා වැඩි කිරීම මගින් ආණ්ඩුව නැති ප්‍රශ්න ඇති කර ගන්නවා‘ රනුක්ගේ මහතා වැඩිදුරත් සඳහන් කරන ලදී.

වැටුප් විෂමතා ගැටලුවලට මුල ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැතිකමයි -  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්

රනුක්ගේ මහතා විසින් දක්වන ලද අදහස් පිළිගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා වන රවී කුමුදේශ් සඳහන් කළේ, 2006 වර්ෂයෙන් පසු රජය වැටුප් සම්බන්ධ ‘නිවැරදි අධ්‍යයනයක්‘ සිදුකර නොමැති බවයි. 2006 වැටුප් කොමිෂම කටයුතු කරන අවධියේ ‘බලය ඇති අය‘ තමන්ගේ උපරිම කේවල් කිරීම කළ බව කී කුමුදේශ් මහතා වැටුප් කොමිෂම තුළ ද වැරදි දේවල් බහුලව සිදු වූ බව ද සඳහන් කරන ලදී.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කුමුදේශ් මහතා ‘වැටුප් කොමිෂම ස්වාධීන යැයි කියන එක අභ්‍යාස කරන්න තැනක් රට තුළ නොමැති බවත් බොහෝ බලපෑම් කොමිෂන් සභා තුළම සිදුවනබවය..

වැටුප් විෂමතා සම්බන්ධ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් රවී කුමුදේශ් මහතා පෙන්වා දුන්නේ වත්මන් රජය ද වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ලබා ගැනීමට කමිටුවක් පත්කර ඇති බවයි. මාස තුනක් වැනි කාලයක් තුළ අදාළ වාර්තාව ලබාදිය යුතුව තිබෙන බව ද ඔහු කීවේය.

වත්මන් රජය විසින් පත්කර ඇත්තේ වැටුප් කොමිෂමක් දැයි තමා නිශ්චිතව නොදන්නා බව කී රවී කුමුදේශ් මහතා මෙම ක්‍රියාවලියේ පවතින දුර්වලතා සහ ගැටලු පෙන්වා දුන්නේය.

‘ඔවුන්ට වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරන්න කාලයක් නැහැ. ඔවුන්ට සිදුවෙන්නේ ‘ඔවුන් සිතාගෙන සිටින වාර්තාව‘ ලබා දෙන්නයි. මේ හරහා භයානක තත්ත්වයක් ඇති වෙනවා. ‘වැටුප් කොමිෂමක් පත්කළ යුතුය‘ යන ස්ථාවරයේ අපි සිටියත්, මේ කමිටුවේ ඉන්න නිලධාරීනුත් යම් යම් මතවාද කරපින්නා ගත් කණ්ඩායමක් බවයි අපට පේන්නේ. ඔවුන්ටත් යම් යම් වෘත්තීන් තිබෙනවා. පක්ෂග්‍රාහීකම් තිබෙනවා. ඊටත් වඩා ඔවුන් තවමත් රාජ්‍ය සේවයේ ඉන්න අය. ඔවුන්ට ඔවුන්ගේ වෘත්තීන් සම්බන්ධ යම් යම් දේවල් පුළුල්ව දැකගත හැකියි. නමුත් එවැනි නියෝජනයක් නැති අයට යම් යම් ගැටලු ඇතිවිය හැකියි. ඒ වගේම රාජ්‍ය සේවයේ කටයුතු කරන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් මේ කමිටුවට හෝ කොමිෂමට ‘ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් ද ?‘ යන ගැටලුව තමා හමුවේ පවතින බව ද රවී කුමුදේශ් පෙන්වා දුන්නේය.

වැටුප් විෂමතා සම්බන්ධ වෘත්තීය අරගල රැසක් පවතින සෞඛ්‍ය සේවාව හා සම්බන්ධ වැටුප් විෂමතා අර්බුදයේ මුල බීජය වැටුප් හා දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට පැහැදිලි ප්‍රතිපත්තියක් නොතිබීම බව පෙන්වා දුන් රවී කුමුදේශ් ඒ හා සම්බන්ධ තවත් ගැටලු කිහිපයක් ද පෙන්වා දුන්නේය. ඔහු මෙහිදී කියා සිටියේ සෞඛ්‍ය සේවාව හා සම්බන්ධ වෘත්තීය සමිති අරගල බොහොමයකට මුල් වන්නේ අදාළ වෘත්තීය සමිති සමග සංවාදයක් සිදු නොවීම හා අමාත්‍යාංශය මගින් යවන නිල නිවේදන හෝ වාර්තාවලට ඉහළ පිළිගැනීමක් ලබාදීම බවයි.

වැටුප් කොමිෂමක් පත් කිරීම ගැන සිය කෘතවේදීත්වය පළ කරන නමුත් එවැනි කොමිෂමක් සිය වාර්තා සම්පාදනයේ දී ‘බර තබන ආකාරය‘ හෙළිදරව් කළ යුතු බව ද ඔහු  අවධාරණය කළේය.

වැටුප් විෂමතා අවම කරන විසඳුමක් ලැබුණොත් වැඩවර්ජන නවතීවි -  තමරා දයානි

වෘත්තීය සමිති නායිකාවන වන තමරා දයානි මෙම සංවාදයට එක් වෙමින් කියා සිටියේ 2006 සිට මේ දක්වා වසර 25කට ආසන්න කාලයක් තුළ වැටුප් විෂමතා ඉවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීමෙන් වැටුප් තල සහ ශ්‍රේණීන් අතර ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.  වැටුප් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීමට කිසිම රජයක් ක්‍රියා නොකිරීම හේතුවෙන් වැටුප් විෂමතා සම්බන්ධ බරපතළ ගැටලු හා අර්බුද නිර්මාණය වී ඇති බව ද තමරා දයානි පෙන්වා දුන්නාය.

මෙම තත්ත්වය හේතුවෙන් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය ඇය මෙසේ පැහැදිලි කළාය. ‘ලංකාවේ ලක්ෂ 80ක් පමණ වන ශ්‍රම බළකාය තුළ ලක්ෂ 13ක් පමණ තමයි රාජ්‍ය සේවයෝ ඉන්නේ. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් වර්ෂයේ ඕනෑම කාලයක් තුළ වර්ජනය කරනවා. නැතිනම් අකුරට වැඩ කරනවා. මේ තත්ත්වය නිර්මාණය වීමට ප්‍රධාන හේතුව තමයි වැටුප් විෂමතා. වැටුප් විෂමතා අවම කරන විසඳුමක් ලබා දුන්නොත් මේ බහුතරයක් ගැටලු අවම කරගත හැකියි“